Home » ලෝකයේ වැඩිම පේටන්ට් බලපත්‍ර හිමිකාර ශ්‍රී ලාංකිකයාගේ කතාව

ලෝකයේ වැඩිම පේටන්ට් බලපත්‍ර හිමිකාර ශ්‍රී ලාංකිකයාගේ කතාව

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීම සුළු පටු කරුණක් නොවේ. ඒ සඳහා වසර 5ක පමණ කාලයක් බලා සිටිය යුතුය. එය ලාංකිකයකුට විදේශ රටකදී නම් ඊටත් වඩා අසීරු කරුණක් වන්නේය. යුරෝපය අමෙරිකාව වැනි රටවල සියලු කරුණු ‘තිතට‘ සොයා බලන හෙයින් පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීම බොහෝ දෙනාට සිහිනයක් වන්නේය. එහෙත් ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් පේටන්ට් 124ක් ලබාගෙන ඇති බව කිවහොත් එය විශ්වාස නොකරන තරම් වූ කතාවක් වන්නේය. එහෙත් එය සැබෑවකි. ඒ පේටන්ට් ලබාගෙන ඇත්තේ ද නවීන තාක්ෂණික කටයුතු හමුවේ වීම මෙහි ඇති තවත් විශේෂිත වූවක් වන්නේය.

මේ කතා නායකයා වන්නේ දොන් හේමචන්ද්‍ර ගුණසේකරය. නමුත් අද විදෙස් රටවල ඔහු හැඳින්වීමට හේම ගුණසේකර යන්න ද භාවිත කෙරේ.

හේම­චන්ද්‍ර ගුණ­සේ­කර සිය බිරියශ්‍රියානි ගුණ­සේ­කර සමඟ

හේම­චන්ද්‍ර ගුණ­සේ­කර සිය බිරිය ශ්‍රියානි ගුණ­සේ­කර සමඟ

උපන් ගම කොළඹ දිස්ත්‍රික්කයේ කොරතොට වුවත් ඔහු පාසල් ගියේ අනුරාධපුර කනිෂ්ඨ විදුහලටය. පසුව අනුරාධපුර මැදි විදුහලට ඇතුළත් වූ ඔහු දැක්වූ දස්කම් අනුව එතැනින් කුරුණෑගල මලියදේව විදුහලට ඇතුළත් විය. උසස් පෙළ උසස් ලෙස විද්‍යා අංශයෙන් සමත් වූ මේ සිසුවාගේ ලොකු අපේක්ෂාවක් වූයේ විදෙස්ගතව දැනුම වැඩිකර ගැනීමය. ඒ අපේක්ෂාව සඵල විය. ඔහුට එංගලන්තයේ අධ්‍යාපනය ලැබීමේ භාග්‍යය උදා විය. එහිදී ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු පරිගණක ප්‍රථම උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව වෙස්ට් ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබා ගත්තේය.

එතැන් සිට එංගලන්තයේ ඉංජිනේරුවකු ලෙස රැකියාව කළ හේමචන්ද්‍ර ගුණසේකර කෙටි කලකදීම රැකියාවේ ඉහළට ගියේය. ආරම්භයේදී ඉංජිනේරුවරයකු ලෙස සේවය කළ ඔහු පසුව විධායක ඉංජිනේරු අධ්‍යක්ෂවරයකු ලෙස ඉහළටම ගියේය.

‘‘මගේ දියුණුවට බොහෝ දුරට ඉක්මනින් යන්න පුළුවන් වුණේ මම අමෙරිකාවට ගියාට පස්සෙ. අ‍ෙමරිකාවෙ පමණක් මගේ සේවා කාලය මේ වෙනකොට අවුරුදු 33ක් විතර ඇති. ඊට අමතරව එංගලන්තය හා කැනඩාවෙත් මම අවුරුදු 17ක් සේවය කළා. ඒ ‘නෝ ටෙල්‘ නමින් හැඳින්වුණු දුරකතන හුවමාරු (Telephone Exchange) හදන ආයතනයක. ඒ ආයතනයෙන් ලංකාවටත් දුරකතන හුවමාරු විශාල වශයෙන් සපයලා තියෙනව.

මම පේටන්ට් බලපත්‍ර 124කට හිමිකම් කියනවා. එයින් මම පෞද්ගලිකවම ලබාගත් පේටන්ට් 116ක් තියෙනවා. ඉතිරි 8 මගේ මූලිකත්වයෙන් සිසු පිරිස් හා එක්ව ලබාගත් ඒවා. අ‍ෙමරිකාවේ පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්නවා කියන එක ලෙහෙසි පහසු නැහැ. ඒ සම්බන්ධයෙන් අප පළමුව පර්යේෂණ කළ යුතුයි. එහි තහවුරු බව පෙන්වා දිය යුතුයි. ඒ වගේම අවුරුදු 5ක් පමණ යනවා පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්න. ඒ වුණත් මට මාස 9ක් ඇතුළත පේටන්ට් බලපත්‍ර ලබා ගත් අවස්ථාත් තියෙනවා. මම ලබාගෙන ඇති බොහෝ පේටන්ට් බලපත්‍ර චන්ද්‍රිකා තාක්ෂණය, අන්තර්ජාල තාක්ෂණය, චුම්බකත්වය වැනි විද්‍යාත්මක පර්යේෂණ හරහා ලබාගත් පේටන්ට් බව කිව යුතුයි. මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕන කරුණක් තමයි ජංගම දුරකතන හා සැටලයිට් සම්බන්ධ තාක්ෂණයට පේටන්ට් බලපත්‍රය මට ලැබී ඇති බවක්. ඒ කියන්නෙ අපි ජංගම දුරකතනයකින් ඒ කියන්නෙ රැහැන් රහිත දුරකතනයක් (Wireless) භාවිත කරමින් යද්දි අදාළ ජංගම දුරකතන කුලුනේ (Cell Tower) ආවරණ ප්‍රදේශය පසුවූ විට දුරකතනය ක්‍රියා විරහිත වෙනවා. එම නිසා ස්වයංක්‍රීයවම චන්ද්‍රිකා තාක්ෂණය හා සම්බන්ධ වන ලෙස තාක්ෂණයක් මම හඳුන්වා දුන්නා. ඒ වෙනුවෙන් මට පේටන්ට් බලපත්‍රය හිමි වුණා. මම සොයාගත් තාක්ෂණයට අනුව ජංගම දුරකතන ආවරණ බල ප්‍රදේශයෙන් ඉවත් වන විටම ස්වයංක්‍රීයවම එය හඳුනා ගන්නවා. ඒ සඳහා මම 2013 වසරේ පේටන්ට් අනුමැතිය ඉල්ලුවෙ. 2015 අවුරුද්දෙ ලැබුණේ. පේටන්ට් බලපත්‍රයක් ලබා දෙන්න නම් එම තාක්ෂණික මෙවලම එහෙමත් නැත්නම් තාක්ෂණය ඉදිරි අවුරුදු 20ක්වත් පවතින්නක් විය යුතුයි. ඒ සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව තමයි පේටන්ට් බලපත්‍රය ලබා දෙන්නෙ. ඒ අනුව 2015 මට පේටන්ට් ලබා දුන් ඒ තාක්ෂණය වසර 2035 දක්වා පවතින බව පැහැදිලියි.

මට පේටන්ට් බලපත්‍රය හිමි වූ එම තාක්ෂණය අනුව ජංගම දුරකතන සීමාවෙන් බැහැර වූ දුරකතනය චන්ද්‍රිකා තාක්ෂණය හා සම්බන්ධ වී සබඳතා ගොඩ නඟා ගත්ත ද යළිත් ජංගම දුරකතන ආවරණ ප්‍රදේශයට පැමිණි විට ස්වයංක්‍රීයවම ජංගම දුරකතන පද්ධතිය හා සම්බන්ධ වනවා.

විදත් වාහන වෙනු­වෙන් විදුලි සම්ප්‍රේ­ෂණ මාර්ග (Power Line) ඔස්සේ තාක්ෂ­ණයලබා දීමට ලබා ගත් පේටන්ට් බලපත්‍රය

විදත් වාහන වෙනු­වෙන් විදුලි සම්ප්‍රේ­ෂණ මාර්ග (Power Line) ඔස්සේ තාක්ෂ­ණය ලබා දීමට ලබා ගත් පේටන්ට් බලපත්‍රය

එහිදී මේ තාක්ෂණ දෙක එක් කිරීමේදී අමතන්නා හඳුනා ගැනීම ඇතුළු පද්ධති ගණනාවක් ඔස්සේ අවධානය යොමු කළ යුතු වුණා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් පසුව මේ වන විට එය ‘6 වන ජෙනරේෂන්‘(6 G) ලෙසින් හඳුන්වා තිබෙනවා. තවමත් අප සතුව පවතින්නේ 5 G තාක්ෂණයයි.

ඒ වගේම විදත් වාහන වෙනුවෙන් මම විශේෂිත තාක්ෂණයක් හඳුන්වා දුන්නා. ඇත්තටම ඒ විදත් වාහන සංකල්පය ශ්‍රී ලංකාව වැනි රටවලට පැමිණීමටත් පෙරයි. විදත් වාහන ආරෝපණය කර ගැන්ම පිණිස පාරිභෝගිකයා දැනුම්වත් කිරීමේ තාක්ෂණයක් ඒ අනුව මම හඳුන්වා දුන්නා. වාහනයේ කොපමණ ආරෝපණයක් තිබෙනවාද යන්න සොයා දැන ගැනීම නිෂ්පාදකයාට නිර්මාණය කළ හැකියි. නමුත් වාහනයකින් ගමනක් යාමේදී අදාළ පුද්ගලයාට එම වාහනයේ ආරෝපණයෙන් කොපමණ දුරක් ගමන් කළ හැකිද? ඊළඟ ආසන්න ආරෝපණ මධ්‍යස්ථානයට ඇති දුර, එම ස්ථානයේ ආරෝපණය කළ හැකි ආරෝපණයන් කොපමණ තිබෙනවාද? එමෙන්ම කොපමණ වේලාවක් ගත වන්නේද? එම ස්ථානයේ මේ වන විට වාහන කොපමණ සංඛ්‍යාවක් ආරෝපණය කරමින් තිබෙනවාද? පුරප්පාඩුව ඇති ආරෝපණ ලබා දිය හැකි පහසුකම් තිබෙනවාද? ආරෝපණය වෙමින් ඇති වාහන කොපමණ වේලාවකින් ඉවත් වනවාද? මෙවැනි සියලු කරුණු මාර්ගයේ ඇති විදුලි සම්ප්‍රේෂණ හරහා (Power Line) ලබාගත හැකි තාක්ෂණයක් මම නිපදවූවා.

ජංගම දුරකතන පද්ධතීන් හරහා එහි ආවරණ ප්‍රදේශ නැත්නම් සේවය ලබා ගත නොහැකියි. නමුත් විදුලි සම්ප්‍රේෂණ මාර්ග (Power Line) ඔස්සේ ඒ තාක්ෂණය ලබා දීමට හැකිවීමෙන් ඒ තාක්ෂණය මම හඳුන්වා දුන්නා. එය කොහේවත් භාවිත නොකළ තාක්ෂණයක්. විදුලි සම්ප්‍රේෂණ මාර්ග ඔස්සේ එවන් පණිවුඩයක් ලබා දීම පහසු කාර්යයක් නෙමෙයි.

එහෙත් මගේ තාක්ෂණය අනුව විදුලි සම්ප්‍රේෂණ මාර්ග හරහා අදාළ ආරෝපණ ස්ථානයන්හි පෙර කී සියලු විස්තර මෝටර් රථයට ලබාගත හැකි වනවාක් මෙන්ම අදාළ ආරෝපණ මධ්‍යස්ථානයට පණිවුඩයක් ලබා දීමට හැකිවෙනවා.‘‘

හේම ගුණසේකරයන් විසින් එසේ හඳුන්වා දී ඇත්තේ අපට සිතාගැන්මටවත් නොහැකි තාක්ෂණයකි. අද වන විටත් ඇමරිකාවේ විදත් වාහන එම තාක්ෂණය ඔස්සේ කටයුතු කිරීම සුලබ කරුණකි. එසේම ‘වයිෆයි‘ (wifi)තාක්ෂණය සම්බන්ධයෙන්ද හේම ගුණසේකර විසින් හඳුන්වා දෙන ලද තාක්ෂණික ක්‍රමවේදය අද දක්වාම භාවිත කෙරේ.

‘‘ අ‍ෙමරිකා මහාද්වීපයේ විවිධ ස්ථානයන්ට වයිෆයි පහසුකම් ලබා දිය යුතු වෙනවා. සාමාන්‍යයෙන් නිවසකට හෝටලයකට වගේ නෙමෙයි ස්ටේඩියම් එකක් වැනි ජනතාව රැස්වන ස්ථානයකට එවැනි පහසුකමක් ලබා දීම ලෙහෙසි පහසු නැහැ. මොකද එවන් ස්ථානයක වයිෆයි පහසුකම් වැඩියෙන්ම අවශ්‍ය වන්නේ, පාපන්දු තරගයකදී නම් ගෝලයක් ලබා ගත් අවස්ථාවන් වැනි විශේෂිත අවස්ථාවකදී. එවන් අවස්ථාවකදී සාමාන්‍යයෙන් 40,000ක් 50,000ක් වැනි පිරිසක් බොහෝ විට එකවර වයිෆයි තාක්ෂණය භාවිතයට උත්සහ කරනවා. වරක් 80,000ක පිරිසක් එවන් තරගයක් නැරඹීම පිණිස පැමිණ සිටියා. එවන් අවස්ථාවකදී වයිෆයි පහසුකම් ලබා දීම වෙනුවෙන් මම විශේෂිත සැලසුම් ක්‍රමයක් සකස් කළා තාක්ෂණිකවම. ඒ අනුව වැඩි ගාස්තු අය කරන පිරිස 1 පංතිය ලෙසින් ඊළඟට ගාස්තු අය කරන පිරිස 2 පන්තිය ලෙසින් හා අඩුවෙන් ගාස්තු අය කරන පිරිස අනෙක් පන්තිය ලෙසින් අප වෙන් කරමින් පහසුකම් ලබා දුන්නා. අද වන විට ‘ප්ලැටිනම්‘, ‘ගෝල්ඩ්‘ , ‘සිල්වර්‘ වගේ ක්‍රමවේදයන් පැමිණ තිබුණත් ඒ සඳහා අවුරුදු 15කට 20කට විතර කලින් පේටන්ට් හිමිව ඇත්තේ මටයි.‘‘

හේම ගුණසේකර ලබාගත් සියලු පේටන්ට් බලපත්‍ර ලබා ගෙන ඇත්තේ ඔහු රැකියාව කළ ආයතනයන්හි අවශ්‍යතා හෝ ගැටලුවලට ලබා දුන් විසඳුම් ලෙසින් බව ද පෙන්වා දිය යුතුයි. පළමුව එංගලන්තයේ සේවය කළ ඔහු පසුව කැනඩාවට ගොස් එතැනින් පසුව කොරියාවේ හා ජපානයේද වසර 2ක් පමණ සේවය කර ඇත. හේම ගුණසේකර සතුව පවතින්නේ 2010 වසරට පසුව ඔහු විසින් ලබාගත් පේටන්ට් වන අතර ඊට පෙරද ඔහු විසින් පේටන්ට් බලපත්‍ර ලබා ගෙන තිබුණි. පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීම වෙනුවෙන් වසර ගණනාවක් ඒ වෙනුවෙන් පර්යේෂණ කළ යුතුය. ඒ වෙනුවෙන් සැලසුමක් සකස් කළ යුතුය. අනුමැතීන් පළමුව ලබා ගෙන නීතිඥයන්ගේ ද අධීක්ෂණයෙන් එය යොමු කළ යුතුය.

හේම ගුණසේකර කැනඩාවේ සේවය කරන සමයේ ‘නෝ ටෙල් නෙට් වර්ක්‘ නම් දුරකථන හුවමාරු නිෂ්පාදනය කළ සමාගම හා එක්ව කටයුතු කළ සමයේ ද පේටන්ට් රැසකට හිමිකම් පාන්නට සමත් විය.

එමෙන්ම කොරියාවේ සේවය කළ සමයේ එවකට එරට තිබූ දැවැන්තයන් අතර දෙවැනි තැන සිටි (අද කොරියාවේ පළමු තැන සිටින) එහේ එස්. කේ. ටෙලිකොම් සමාගම හරහා සැම්සුන් ආයතනයේදී ලබා ගත් අත්දැකීම් ඔහුට පේටන්ට් රැසක් ලබා ගැනීමට ඉවහල් වී ඇත. විශේෂයෙන්ම රැහැන් රහිත ස්ථාවර දුරකතනයේ අමතන්නා හඳුනා ගැනීමේ (Ring Tones) සම්බන්ධයෙන්ද (මෙරට භාවිත සන්ටෙල්, ලංකා බෙල් වැනි රැහැන් රහිත ස්ථාවර දුරකතන) හේම කටයුතු කළේය. ඒ Voice Over IP (VOIP) තාක්ෂණය භාවිත කරමිනි. ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගන්නට ඔහුට වැය වූයේ මාස 9ක් පමණි.

හේම ගුණසේකර සතුව ඇති පේටන්ට් හරහා විදෙස් රටවල්වල සමාගම් හා ආයතන අතිවිශාල පහසුකම් ලබා ගනිමින් තිබේ. ඒ අනුව එම රටවල ජනතාවගේ සේවා උසස් ලෙසින් සැලසේ. පළමුව ඉංජිනේරුවරයකු, පසුව කළමනාකරුවකු ඉන් පසුව ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු, අධ්‍යක්ෂවරයකු, ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයකු හා විධායක අධ්‍යක්ෂවරයකු ලෙසින් ඔහු කටයුතු කළද ඔහු සේවය ලබා දුන් සියලු ආයතනවලට සම්බන්ධ වීමේදී කොන්දේසියක් ඉදිරිපත් කළේය. ඒ තමන් කොළ, ෆයිල් ගොඩක් අස්සේ රැඳී සිටීමට පමණක් සූදානම් නැති බවයි. නිරතුරුවම තාක්ෂණයත් සමඟ තමන්ට සිටීමට අවශ්‍ය බව ඔහු පැවසුවේය. ඒ අනුව නිරතුරුවම ඔහු නව නිර්මාණ නව තාක්ෂණය ගැන අවධානය යොමු කරන්නට විය.

හේම­චන්ද්‍ර ගුණ­සේ­ක­රගේ කාම­රය පුරාම ඇත්තේඔහු ලබා­ගත් පේටන්ට් බල­ප­ත්‍ර­

හේම­චන්ද්‍ර ගුණ­සේ­ක­රගේ කාම­රය පුරාම ඇත්තේ ඔහු ලබා­ගත් පේටන්ට් බල­ප­ත්‍ර­

හේම ගුණසේකර විසින් තම පර්යේෂණ සිදු කරන්නට එක්සත් රාජධානියේ මිඩ්ල්සෙක්ස් විශ්වවිද්‍යාලය, එක්සත් රාජධානියේ ලොෆ්බරෝ විශ්වවිද්‍යාලය, බටහිර ලන්ඩන් – බෘනෙල් විශ්වවිද්‍යාලය, එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා අත්ලාන්තික් විශ්ව විද්‍යාලය ඇතුළු ආයතන රැසක් භාවිත කර ඇත.

එමෙන්ම හේම ගුණසේකර සේවයේ යෙදී සිටි ප්‍රධාන ආයතන අතර එක්සත් රාජධානියේ GEC (පර්යේෂණ ඉංජිනේරු) , එක්සත් රාජධානියේම සම්මත දුරකථන සහ කේබල් UK – ඉංජිනේරු අංශයේ (ජ්‍යෙෂ්ඨ කළමනාකරු) කැනඩාවේ නොර්ටෙල් හි (ජ්‍යෙෂ්ඨ කළමනාකරු සහ ඉංජිනේරු අධ්‍යක්ෂ) ඇමරිකාවේ Siemens හි (ඉංජිනේරු අංශයේ කළමනාකරු)

Iridium Satellite හි (විධායක ඉංජිනේරු අධ්‍යක්ෂ) Teligent හි (ඉංජිනේරු අධ්‍යක්ෂ) Lockheed Martin හි (ඉංජිනේරු අධ්‍යක්ෂ), NexTel communications හි (ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු) Sprint Communications හි (රැහැන් රහිත ඉංජිනේරු විද්‍යාව පිළිබඳ අමෙරිකා එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු) Time Warner Cables හි (අ‍ෙමරිකා එක්සත් ජනපදයේ රැහැන් රහිත ඉංජිනේරු අධ්‍යක්ෂ) SES Satellite හි ලක්සම්බර්ග් සහ අ‍ෙමරිකා එක්සත් ජනපදයේ (ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකරු) ආදී තනතුරු රැසක් දරා ඇත.

එමෙන්ම හේම ගුණසේකර ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) 1985 වසරේ සිට චාටඩ් ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කරන අතර එම ආයතනයේ “Fellow” තනතුරක්ද ඔහු වෙත ලබා දී ඇත. එසේම එක්සත් රාජධානියේ ඉංජිනේරු හා තාක්ෂණ ආයතනයේද (IET – UK) ඔහු 1985 වසරේ සිට චාටඩ් ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කරන අතර එම ආයතනයේ ද ඔහු “Fellow” තනතුර හොබවයි.

එමෙන්ම ඔහු ඇමරිකානු Institution of Electrical, Electronics Engineers (IEEE – USA) හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ලෙස කටයුතු කරයි.

දකුණු කොරියාව, තායිවානය, චීනය, ජපානය, බ්‍රසීලය, ඉතාලිය, මෙන්ම යුරෝපයේද නිරතුරුවම තමන්ගේ සේවා ආයතන වෙත සේවය ලබා දෙන්නට යාම නිසා වසරකට ගුවන් සැතපුම් 450,000ක් පමණ යන්නට සිදුවූ අවස්ථා ඇති බව හේම ගුණසේකර පවසයි. සමූහ කළමණාකරුවකු ලෙසින් කටයුතු කිරීමේදී එම වගකීම අකුරටම ඉටු කිරීමට එසේ ගමන් කරන්නට සිදු වූ බව ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවන්හිදී නවාතැන් ගැන්මට ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ නිවසක් ඉදි කළද හේම ගුණසේකර විසින් එය සසුනට පූජා කර ඇත.

අද වන විට විශ්‍රාමික සුවයෙන් කටයුතු කළද ඇමරිකාවේ වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානයට සේවය සපයයි.

සිය බිරිය වන ශ්‍රියානි ගුණසේකර සමඟ ඇමරිකාවේම දිවි ගෙවන ඔහුගේ සේවය අපට අහිමි වීම අපේම අවාසනාවකි.

‘විශ්‍රාම ගියත් මමත් ඉගෙන ගන්නවා. මගේ දැනුමත් ලබා දෙනවා.‘ ඒ ඔහු අවසන් වරට අපට පැවසූ වදන් පෙළයි.

ඡායාරූප – සුදත් නිශාන්ත

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division