සිනමා කලාකරුවන් ඇගැයීමට ලක් කිරීම අත්‍යවශ්‍යයෙන්ම සිදු විය යුත්තේය. එවන් ඇගැයීම් වරින්වර සිදු වුවත් හෙළයේ සිනමා සක්විත්තන් සිව් දෙනකුට අභිනන්දන පුද කිරීම හෙවත් ‘සතරාව දීපනී‘ නමින් හැඳින්වූ ප්‍රවීණ සිනමාවේදීන්ට උපහාර සම්මාන ප්‍රදානය විශේෂයෙන්ම අගය කළ යුත්තේමය.
එසේම එම අභිනන්දනයේදීම තාක්ෂණික විෂයයෙන් ඉහළම ලකුණු ගන්නා සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරෙන ප්‍රඥා බන්ධු ශිෂ්‍යත්ව උත්සවයක් ද පසුගියදා සිදු කෙරිණි.
‘සතරාව දීපනී’ නමින් හැඳින්වූ ප්‍රවීණ සිනමාවේදීන්ට උපහාර සම්මාන ප්‍රදානය කිරීම සිදු වූයේ පසුගිය 16 වෙනිදා සෙනසුරාදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදීය. මාලිනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවආරච්චි, අනෝජා වීරසිංහ සහ රවීන්ද්‍ර රන්දෙණිය විශිෂ්ට සිනමාවේදීන් සිවුදෙනා ‘සතරාව දීපනි’ උත්තමාචාර සම්මානයෙන් එසේ පිදුම් ලැබූහ. ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කළ ‘සතරාවදීපනී’ ශිෂ්‍යත්ව ප්‍රදානය සහ ප්‍රවීණ සිනමාවේදීන්ට උපහාර දැක්වීමේ උලෙළ එසේ පවත්වන ලදී.
එම අවස්ථාවට වැඩම කළ වදාළ මහාවිහාර වංශික ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක, ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීම නිසාය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මේ උත්සවයේ ආරාධිතයන් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන හිටපු කථානායක කරු ජයසූරිය සහ මැති ඇමැතිවරු රැසක්ද විදේශීය තානාපතිවරු හා මහ කොමසාරිස්වරුද සහභාගි වූහ. අතුරු සිදුරු නැතිව පිරී ගිය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිරි පෙළ කහ සිවුරින් බැබළී තිබුණි.
එමෙන්ම කලාවට අනුපමේය සේවාවක් කළ කලාකරුවන් රැසක්ද මේ අවස්ථාවට පැමිණ සිටියේ එදින උපහාර ලබන තමන්ගේ සහෝදර සහෝදරියන්ට සුබපැතීම වෙනුවෙනි.
ඊට අමතරව දිවයිනේ සිව්දෙසින් පැමිණ සිටි පාසල් සිසු සිසුවියෝ ද එහි වූහ. ඒ ඔවුන්ට දෙවසරක ශිෂ්‍යත්වයක් හිමිවීම නිසාය. අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන සිසුන් 250 දෙනකුට එසේ දෑ අවුරුදු ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබුණි.
දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය ලෙස තෝරා ගත් සිසු සිසුවියන් පිරිසකට සංකේතවත් ලෙස ‘ප්‍රඥා බන්දු’ ශිෂ්‍යත්ව පිරිනැමීමට ද එහිදී කටයුතු කෙරිණි.
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ සහ හිටපු කථානායක කරු ජයසූරිය මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම ශිෂ්‍යත්ව පිරිනැමීම එහිදී සිදු කෙරිණි.
එසේම ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් අර්ථපතිත්වය දරන ලද සම්භාව්‍ය සම්මානිත චිත්‍රපටවලට සිය සුවිශේෂී නිර්මාණ දායකත්වය දුන් විශිෂ්ට සිනමාවේදීන්ට ‘සතරාව දීපනී’ උත්තමාචාර සම්මාන පිරිනැමීම සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සුරතිනි.
ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර විසින් වැඩසටහනේ මුඛ්‍ය දේශනය සිදු කළ අතර දේශීය සම්ප්‍රදායික හා නව නිර්මාණාත්මක කලා අංග රැසකින් මේ උත්සවය වර්ණවත් කෙරිණි. ප්‍රධාන දේශනය කරන ලද්දේ ගණකාධිකාරී ගණක අමරසිංහ විසිනි.
ඉන්දියාව, රුසියාව, ජපානය ඇතුළු රටවල් රැසක මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන් ඇතුළු විදෙස් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු ද, කැබිනට් ඇමැතිවරුන් ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයෝ ද, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද, කලාකරුවන්, ව්‍යාපාරිකයන් ඇතුළු ආරාධිතයෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
සතර දෙනෙක් රූපණවේදියෝ
ස්වර්ණා මල්ලවආරච්චි
සුද්දීලාගේ කතාවේ සුද්දී – සාගර ජලයේ හීන් මැණිකා, කැඩපතක ඡායා හි නන්දා, බවදුක (නෝනහාමි), අනන්ත රාත්‍රියේ (අයිරින්), චරිත නිරූපණ ඇගේ රංගන ප්‍රතිභාව පිළිබිඹු කළ සිනමා කෘතීන්ය. පරාක්‍රම නිරිඇල්ලගේ අයෝමා හි ඇය ලාලනි වූවාය. සුද්දිලාගේ කතාව – අයෝමා බන්දුල ගුණවර්ධනගේ අර්ථපතිත්වයෙන් නිපැයුණු සිනමා කෘතීන්ය. සරසවිය, ජනාධිපති, ඕ.සී.අයි.සී., රණ තිසර, ස්වර්ණ සංඛ ඈ බෙහෙවින් අනගි සම්මාන ඇය විසින් දිනාගන්නා ලද්දේ රඟපෑමේ කුලසතා මහිමය විශිෂ්ටත්වයට පත්කළ හෙයිනි.
මාලිනී ෆොන්සේකා
පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කළ බන්දුල ගුණවර්ධන නිපැයූ සිරිමැදුර එබඳු තවද ජනාකර්ෂණීය සිනමා කෘතියකි.
මාලිනී අන්තර්ජාතික අභිනන්දනයට පාත්‍රවූ ප්‍රථම ශ්‍රී ලාංකික නිළිය වීමේ භාග්‍යය උදාකර ගත්තාය. රුසියාවේ මොස්කම් සිනමා උලෙළෙනි.
සරසවිය, දීපශිඛා, ඕ.සී.අයි.සී., ජනාධිපති, රණතිසර, ස්වර්ණ සංඛ, සුමති වැනි වැඩිම සම්මාන දිනූ නිළිය වීමේ වරම මාලිනී ට උදාවිය.
සසර චේතනා ක්‍රියාදාම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඇය ටෙලි නාට්‍ය රැසක රංග ප්‍රතිභාව විදහා දැක්වූ අග්‍රගණ්‍ය කලාකාරියකි.
අනෝජා වීරසිංහ
කෙළිමඬල ඇය නිපදවූ චිත්‍රපටයකි. අධ්‍යක්ෂණය කළේ ඩී. බී. නිහාල්සිංහයි. ජැක්සන් ඇන්තනි අධ්‍යක්ෂණය කළ ජුලියට්ගේ භූමිකාව ඇගේ කඩඉම් සලකුණු ඉතිරි කළ චිත්‍රපටය වෙයි. එසේම පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කළ බන්දුල ගුණවර්ධන නිපැදවූ සිරිමැදුර චිත්‍රපටයේ ඇගේ පිළිබිඹුව විචාරක ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් අග්‍රගණ්‍ය රඟපෑමකි. මහා බ්‍රිතාන්‍යයේ ලැම්ඩා ආයතනයට බැඳී ප්‍රාසංගික කලා, සංගීත, රංගන හඬ උච්චාරණය ප්‍රගුණ කළ ඇය ආපසු ලංකාවට පැමිණ නව පරපුරකට බෙහෙවින් අතහිත දෙමින් සිටින්නීය.
රවීන්ද්‍ර රන්දෙණිය
දේශීය සිනමාවේ එදා මෙදා තුර බිහිවූ විශිෂ්ට නළුවන් පස්දෙනකු නම් කළහොත් රවීන්ද්‍ර ඔවුනතරට ඇතුළත් කිරීමට කිසිදු නුසුදුසුකමක් නැතැයි ගාමිණී වේරගම ප්‍රවීණ චිත්‍රපට විචාරකයා පවසයි. ආචාර්ය නුවන් නයනජිත් ශ්‍රී ලංකා සිනමා වංශය නම් කෘතියේ සම්මානිත මෙම කලාකරුවන් කුසලතා මහිමය පිළිබඳ අගනා ඇගැයීමක් සටහන් කොට ඇත. රවීන්ද්‍ර ස්වී කෘත රංගන ප්‍රතිභාව හා ස්වීයත්වය මනාව විද්‍යමාන කළ කලාකරුවෙකි.