ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානි ගේ පුත් අනන්ත් අම්බානිගේත්, ඔහුගේ පෙම්වතිය රාධිකා මර්චන්ට්ගේත් පූර්ව විවාහ උත්සවය පසුගිය දිනවල මාධ්‍ය තුළ සුවිසල් අවධානයක් දිනාගත් සිදුවීමක් වුණා. එම උත්සවය අවසන්ව දින කිහිපයක් ගත වෙද්දී තවත් විශේෂ විවාහ උත්සවයක් ගැන මේ දවස්වල ඉන්දියාවෙන් වාර්තා වෙනවා. මෙම වාර්තාවලින් පැවසෙන්නේ එරට ඉතා ජනප්‍රිය සහ දක්ෂ නිළියක වන තාප්සි පන්නු ද තව නොබෝ දිනකින් විවාහ වීමට සූදානම් වන බවයි.
තාප්සි මේ මාසයේ අවසන් දිනවල යුග දිවියට එළැඹෙනු ඇති බවත් එරට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ වනවිට 36 වැනි වියෙහි පසුවන ඇය දැන් කලෙක සිටම ප්‍රේමයෙන් බැඳී සිටින බව රහසක් නොවෙයි. තාප්සි ගේ පෙම්වතා වන්නේ මතායස් බෝ (Mathias Boe) .
ඔහුත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. ඩෙන්මාර්ක් ජාතිකයකු වන මතායස් ඔලිම්පික් පදක්කම්ලාභී බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක්. ඔහු 2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් උලෙළේ දී ද, 2013 ලෝක ශූරතා තරගාවලියේ දී ද රිදී පදක්කම් දිනා ගන්නට සමත් විය.
මතායස් සහ තාප්සි අතර ප්‍රේම සම්බන්ධය ආරම්භ වී තිබුණේ මෙයට වසර 10 කට පමණ කලිනුයි. තමාට හරියටම ගැළපෙන ආදරවන්තයා හමු වීමට පෙර තමා සම්බන්ධතා කිහිපයක් පවත්වා තිබූ බව ද තාප්සි වරක් පවසා තිබුණා. ඇය සැලකෙන්නේ මෙවැනි කාරණා ගැන ඉතා විවෘතව අදහස් දක්වන කෙනෙකු හැටියට යි. මතායස් තමාගේ සිත ගත්තේ ඔහු පටු, බොළඳ අදහස්වලින් තොර පරිණත කෙනෙකු නිසා යයි ද ඇය සඳහන් කර තිබුණා.
තමාට මතායස් හමූ වූයේ පළමු බොලිවුඩ් චිත්‍රපටයේ රඟපාමින් සිටි කාලයේ බවත් වරක් තාප්සි සඳහන් කළා. තාප්සි ඇයගේ රංගන දිවියේ මුල් කාලයේ රඟපෑවේ තෙලිඟු සහ දෙමළ චිත්‍රපටවලයි. ඇය පළමු වරට බොලිවුඩ් සිනමාපටයක රඟපෑවේ 2013 වසරේ යි. ‘චැස්මේ බදූර්’තමයි තාප්සි ගේ පළමු හින්දි චිත්‍රපටය වුණේ.
මේ දෙදෙනා මුල්වරට එකිනෙකා හමු වූයේ 2013 වසරේ පැවැති ඉන්දියානු බැඩ්මින්ටන් තරගාවලිය අතරතුර බවයි සඳහන් වන්නේ. මතායස් ක්‍රීඩකයකු ලෙස ඊට සහභාගි වී තිබූ අතර තාප්සි එක් කණ්ඩායමක සන්නාම තානාපතිනියක ලෙස සහභාගි වී තිබුණා. එම තරගාවලිය අතරේ ඇති වූ දැනහැඳුනුම්කම තමයි පසුව ආදර සම්බන්ධයක් දක්වා දුර දිග ගිහින් තිබුණේ. ඔවුන් දෙදෙනා එකිනෙකාගේ වෘත්තීය ජීවිතවලට විශාල වශයෙන් උදව් කරගනිමින් අපූරු ආදර සම්බන්ධයක් පවත්වාගෙන යන බව සඳහන් වෙනවා.
“ඔබේ ප්‍රේම සම්බන්ධතාවක සාර්ථක බව මැන ගත හැකි හොඳම විදිය නම් එම සම්බන්ධතාව ඔබට බරක් හැටියට නොදැනීමයි” තාප්සි වරක් සම්මුඛ සාකච්ඡාවක දී එලෙස පවසා තිබුණා. එයින් හැඟවෙන්නේ මතායස් සමඟ සම්බන්ධයෙන් තාප්සි සැහැල්ලු, නිදහස්, ආස්වාදයක් ලබන බවයි.
ඉන්දීය මාධ්‍ය වාර්තාවලින් පැවසෙන ආකාරයට තාප්සි සහ මතායස් මාර්තු අග විවාහ වීමට සූදානමින් සිටිනවා. ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වෙනු ඇත්තේ රාජස්ථාන් ප්‍රාන්තයේ උදායිපූර් නගරයේ බවයි පැවසෙන්නේ. එය ඉතා චාම් විවාහ උත්සවයක් වනු ඇති බවත්, සිනමාවට සම්බන්ධ අය ඊට සහභාගි නොවනු ඇති බවත් සඳහන්. මාධ්‍ය වාර්තාවලට අනුව මෙම උත්සවයට සහභාගි වනු ඇත්තේ පවුල්වල සාමාජිකයන් සහ සමීප හිතවතුන් පමණයි.
තාප්සි සික් ආගමික කාන්තාවක්. මතායස් ක්‍රිස්තියානි. මේ නිසා විවාහ උත්සවයේ දී සික් සම්ප්‍රදායන් මෙන්ම ක්‍රිස්තියානි සම්ප්‍රදායන් ද අනුගමනය කෙරෙනු ඇති බව සඳහන් වෙනවා. කෙසේ වෙතත් පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වනවිටත් තාප්සිවත්, මතායස්වත් සිය විවාහය ගැන කිසිවක් අනාවරණය කර තිබුණේ නැහැ.
මේ වනවිට ඉන්දීය නිළියන් අතර දක්ෂම නිළියක වන තාප්සි මුලින්ම සිනමාවට පිවිසුණේ 2010 වසරේ තිරගත වූ ජුමාන්දි නාදම් නැමැති සිනමාපටයෙනුයි. එය තෙලිඟු චිත්‍රපටයක්. සිනමාවට එක් වීමට පෙර ඇය කලක් මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙසත් කටයුතු කර තිබුණා. පසුව නිරූපණ ශිල්පයට එක්ව තිබූ අතර සිනමාවට එක් වීමට ඇයට අවස්ථාව ලැබුණේ ඒ ඔස්සේ යි.
ඇයගේ පියා දේපළ වෙළෙඳාමෙහි නිරතව සිටි කෙනෙක්. තාප්සිට ෂාගුන් නමින් බාල සොහොයුරියක් ද සිටිනවා.
මේ වසරේත් තාප්සිගේ චිත්‍රපට කිහිපයක් තිරගත වීමට නියමිතයි.