ඇය නිත්‍යවානි කන්දසාමි. මෙහෙම කිව්වාම කිසිවෙකුටත් එක වර ඇය කවුදැයි මතකයට නොඑනු ඇති. එහෙත් සරෝජා චිත්‍රපටයේ දෙමළ කෙළි පොඩිත්ති සරෝජාව නම් තවමත් ඔබේ මතකයේ ඇති බව නම් නොඅනුමානයි. සරෝජා චිත්‍රපටයේ රඟමින් සම්මානනීය නිළියක් වූ ඇගේ ඊළඟ චිත්‍රපටය වූයේ පුංචි සුරංගනාවි. සත්‍යා නම් දැරියගේ චරිතයට පණ දුන් ඇය දැන් වෛද්‍යවරියක් ලෙස සෞඛ්‍ය සේවයේ කටයුතු කරන්නීය. මේ වන විට රඟපෑමෙන් ඈත්ව සිටින , එහෙත් සිය කාලය වෛද්‍ය වෘත්තිය වෙනුවෙන් කැප කොට සිටින නිත්‍යවානි සමඟ ඇගේ අලුත් තොරතුරු පිළිබඳ විමසුවෙමු.
“මම දැන් ගම්පොළ මූලික රෝහලේ වෛද්‍යවරියක ලෙස කටයුතු කරනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් තමයි මම වෛද්‍ය උපාධිය ලැබුවේ. වසරක කාලයක් කළුතර රෝහලේ පුහුණු වුණා. මුල්ම පත්වීම ලැබිලා තමයි මම ගම්පොළ රෝහලට පැමිණියේ . දැන් මම මේ රෝහලට ඇවිල්ලා මාසයක් පමණ වෙනවා. ඥාතියෙකුගේ නිවසේ තමයි නතර වෙලා ඉන්නේ. “
නිත්‍යා පවසන්නේ බොහෝ සතුටිනි. සරෝජා චිත්‍රපටය කරන සමයේ අමාරුවෙන් සිංහල වචන එක්කර කතා කළ ඇය දැන් මනාලෙස සිංහල භාෂාව හසුරුවන්නීය.
“මම මුලින්ම ඉගෙන ගත්තේ බම්බලපිටිය රාමනාදන් පාසලේ. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව උසස් පෙළට විද්‍යා විෂයන් හැදෑරුවේ. පසුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. අපිත් එක්ක හිටපු ළමයි මාව අඳුනගෙන හොඳට කතා බහ කළා. “ආ ඔයා සරෝජා නේද?“ කියලා අහපු අය හිටියා. මට මතකයි මම ඉස්කෝලෙ යද්දි සමහර ගුරුවරු නම් මා එක්ක හරිම සතුටින් කතා කළා මගේ රඟපෑම් ගැන. එත් සමහර අය නම් ඒ තරම් සතුටු වුණේ නැහැ. ඒත් මම ඒවා ගැන හිතන්න ගියේ නැහැ. මගේ අම්මයි තාත්තයි හැම තිස්සෙම මාව අගය කළා. ඒ චිත්‍රපට දෙකේ රඟපෑවට පස්සේ මට රූපවාහිනි වැඩසටහන්වලටත් යොමු වෙන්න අවස්ථාව ලැබුණා. සිරස රූපවාහිනියේ ශක්ති ටීවී එකේ ළමා වැඩසටහනක් කරන්න අවස්ථාව ලැබුණා. වසන්තම් රූපවාහිනි නාළිකාවෙත් වෛද්‍ය වැඩසටහනක් කරන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව ලැබුණේ මම වෛද්‍යවරියකට ඉගෙන ගන්නා කාලයේ. දැන් නම් මම වසරකින් ඒ දේවල් වලට සම්බන්ධ වුණේ නැහැ. ඉගෙනීම් කටයුතු එක්ක වෙනත් දෙයකට කාලය යොමුකරන්න අපහසු වුණා.“
සරෝජා චිත්‍රපටය හා පුංචි සුරංගනාවි චිත්‍රපට වල රඟපෑම වෙනුවෙන් ඇය දෙස් විදෙස් සම්මාන ගණනාවක් හිමිකර ගත්තාය.
“සරෝජා චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ සෝමරත්න අන්කල් හා රේණුකා ඇන්ටි අපේ ඉස්කෝලෙට ඇවිල්ලා ඒ චරිතයට ළමයි තෝරා ගත්ත දවසෙයි. ඒ වෙනකොට මම මේ කිසිම කෙනෙක් දන්නේ නැහැ. මගේ අම්මා තාත්තා අකමැති වුණේ නැහැ මම රඟපාන්න යනවට. මට කවදාවත් අමතක වෙන්නේ නැහැ සරසවි සම්මාන ලැබුණ දවස. එදා සම්මාන උලෙළට අම්මයි, තාත්තායි මල්ලියි ගියේ. සම්මාන පුදනකොට සුංචි සුරංගනාවි චිත්‍රපටයේ රඟ පෑ තාරක අයියට සම්මාන ලැබුණා. හොඳම නිළියට සම්මාන දෙනවිට සංගීතා වීරරත්න මහත්මියගේ, වසන්ති චතුරානි මහත්මියගේ නම් කියලා අන්තිමට තමයි සරෝජා චිත්‍රපටයේ රඟපෑ මගේ නම කිව්වේ . එතකොට මගේ වයස අවුරුදු දහයයි. ප්‍රවීණ අය හිටිය නිසා කවදාවත් මට සම්මාන ලැබෙයි කියලා හිතුණේ නැහැ. හොඳම නිළිය මම කියලා කියද්දි මට පුදුම සතුටක් දැනුණේ. ඉන්දියාවේ චිත්‍රපට අධ්‍යක්ෂ මණිරත්නම් මහත්මයා අතින් තමයි මට සම්මානය ලැබුණේ. ජීවිතේ කවදාවත් මට ඒ මොහොත අමතක වෙන්නේ නැහැ. ඒ වගේම ඉරානයේ 17 වැනි ටෙහෙරාන් අන්තර් ජාතික චිත්‍රපට උලෙළේදී රංගනය සඳහා ගෝල්ඩන් බටර්ෆ්ලයි සම්මානයත් මට හිමි වුණා. . ඊට කාලෙකට පස්සේ මට සුදු කපුරු පෙති ටෙලි නාට්‍ය යේ රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ නාට්‍යයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. පුංචි කාලේ ඉඳලම වෛද්‍යවරියක් වෙනවා කියන හීනය මට තිබුණේ නැහැ. ඒත් ඉස්කෝලේ අට නවය පන්ති වල ඉගෙන ගන්න කාලේ තමයි වෛද්‍යවරියක් වෙන්න ඕන කියන හීනය හිතේ ඇති වුණේ. මගේ හීනය හැබෑ කරගත්ත නිසා අද මට හරිම සතුටුයි“
පසුකාලීනව රඟපෑමෙන් ඈත් වූ නිත්‍යා සිය අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දුන්නීය. දැන් ඇය ජීවිතයේ හෙට දවස ගැන හරි අපූරු සිහින දකිමින් දවස ගත කරයි. ඒ සිහින මොනවාදැයි ඇසු විට ඇය සොඳුරු ලෙස හිනැහුණාය. ඊළඟ මොහොතේ උත්තර දුන්නාය.
“මම කැමැතියි මේ වෘත්තියේ ඉහළට යන්න. මම කැමැතියි විශේෂඥ වෛද්‍යවරියක් වෙන්න. තව විභාග කරලා ඒ ගමන යන්න උත්සාහ ගන්නවා. මගෙ මහත්තයා නම් කිසිම අකමැත්තක් නැහැ මම රඟපානවට. ඉදිරියේදි බලමු අවස්ථාවක් ලැබුණොත් ආයෙමත් රඟපෑමට සම්බන්ධ වෙනවා. කවදාවත් මට මේ රට දාලා වෙනත් රටක පදිංචියට යන්න ඕන කියලා හිතිලත් නැහැ. තවම නම් එහෙම හිතෙන්නෙත් නැහැ. ඒත් ඉදිරියේදි ඒ අදහස් වෙනස් වෙයිද කියන්න බැහැ. මම විවාහ වුණේ 2018 වසරේ. ඔහු ප්‍රියදර්ශන්. එයා බැංකුවක රස්සාව කරන්නේ. මම ගම්පොළ රෝහලේ සේවයට පැමිණියට පස්සේ එයා හැම සති අන්තයකම මාව බලන්න මෙහෙට එනවා. අපි දැන හඳුනා ගත්තේ මම උසස් පෙළ කරන කාලේ. ඒ දැන හඳුනාගැනීම තමයි මේ තරම් දුරක් ආවේ. එයත් කොළඹ ප්‍රදේශයේමයි. ඊට පස්සේ තමයි විවාහ වුණේ. අපේ ගෙවල් දෙකෙන්ම අකමැති වුණේ නැහැ ප්‍රියදර්ශන්ගෙයි මගෙයි ආදර සම්බන්ධයට. අපි දැන් සතුටින් ඉන්නවා. ටික කාලයක් මට මේ ප්‍රදේශයේ සේවය කරන්න වෙනවා. හැබැයි මම මේ කාලයේ නම් මේ පළාතේ ඉන්න හරිම කැමැතියි. මේ දවස්වල ගම්පොළ ප්‍රදේශයේ සීතල කාලගුණයක් තියෙන්නේ. කොළඹ පැත්තනම් මේ දවස්වල හරිම රස්නෙයිනේ. ඒ නිසා මම කැමැතියි ගම්පොළ පැත්තට.“
එදා සරෝජ, සත්‍යා යන චරිත දෙකට පණදුන් නිත්‍යාට එදා සිනමා ක්ෂේත්‍ර යේදී හමු වූ ගුරුහරුකම් දුන් අය මෙන්ම සමකාලීනයන් වන පමුදි කරුණාරත්නලා සමඟ අද තියෙන්නේ මොනවාගේ සම්බන්ධයක් දැයි ඇසූ විට ඈ දුන්නේ මෙහෙම උත්තරයක්.
“සෝමරත්න දිසානායක අන්කල් , රේණුකා ඇන්ටි තවමත් මා එක්ක කතා කරනවා. මම වෛද්‍යවරියක ලෙස පත්වීම් ලබපු දවසේ එයාලා මට කතා කරලා සුබ පැතුවා. හැමතිස්සේම නොවුණත් ඔවුන් මා එක්ක කතා කරනවා. පමුදිත් ඉඳ හිට දුරකතනයෙන් කතා කරනවා. එදා ඒ ඇති වුණ බැඳිම් අපි අතර තවමත් එහෙමම තියෙනවා.“
නිත්‍යා පවසන්නේ ළෙන්ගතු හඬිනි.
ඉනෝකා සමරවික්‍රම