– පුතා ගැන පළ වුණු හැම පත්තර වාර්තාවක්ම මම එකතු කළා. විවාහ වුණාට පස්සේ ඒ සේරම පුතාගෙ බිරියට දුන්නා
– ක්‍රිකට් ගැහිල්ල හින්දා ගෙදර ජනෙල් වීදුරු බිඳපු වාර ගණන අනන්තයි. මගෙ මල් පෝච්චිත් සෑහෙන්න බිඳලා තියෙනවා
– පුංචි කාලේ බැට් එක අල්ලන විදිහ දැකලා ගොඩක් අය කිවුවා කවදහරි හොඳ ක්‍රීඩකයෙක් වෙයි කියලා
ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවක් වුව ද ඒ අනපේක්ෂිත බව තුළ පවා ක්‍රිකට්ලෝලීහු හාස්කම් බඳු දස්කම් අපේක්ෂා කරති. ඉකුත් 18 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සහ බංග්ලාදේශ පිල අතර පැවති තුන්වැනි එක්දින තරගයේදී ද සුවහසක් ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන් එවැනි හාස්කමක් අපේක්ෂා නොකළා වන්නට බැරිය. එම තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී අංක 6 ස්ථානයෙන් පිටියට පැමිණි ජනිත් ලියනගේ හුදෙකලා සටනක නිරත වෙමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගිය අතර, සිය මංගල එක්දින ශතකය වාර්තා කිරිමට ද සමත් විය. පන්දු 102කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟ නොදැවී ජනිත් එහිදී ලකුණු 101ක් රැස් කළේය. එම තරගයේ ජය බංග්ලාදේශ පිල සතු වුව ද ජනිත් ලියනගේ දැක්වූ ඒ දස්කම කතරට වැටුණු පොද වැස්සක් ලෙස ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ගේ සිත් මත පතිත වූයේ ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ නවමු පැතුම් දල්වමිනි.
මේ වන විට 28 වැනි වියේ පසුවන යොවුන් ක්‍රීඩක ජනිත් ලියනගේ එක්දින තරග වරම් ලැබූවේ 2024 ජනවාරියේදී සිම්බාබ්වේ පිලට එරෙහිව පැවති එක්දින තරගාවලියේදීය. එම තරගාවලියේ දෙවැනි තරගය ශ්‍රී ලංකාව විසින් ජයගත් අතර එම ජයග්‍රහණයට ජනිත් ලියනගේ දායක වූයේ සිය දෙවැනි අන්තර්ජාතික එක්දින තරගයේ මංගල අර්ධ ශතකය වාර්තා කරමිනි.
ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි මහා විද්‍යාලයේ සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි සිසුවකු වන කෝංගල ලියනගේ ජනිත් විමුක්ති උපත ලැබුවේ 1995 ජූලි මස 12 වැනිදාය. ඒ, ජගත් සෝහිත (60) සහ පුෂ්පා රංජනී (57) යුවළගේ ආදරණීය කැදැල්ලේ දෙවැනි දරුවා ලෙසිනි. ජනිත්ගේ වැඩිමහල් සොහොයුරිය නිමංකා සයුරි (31) වෘත්තියෙන් ගුරුවරියකි. එකම නැඟණිය ඉසුරිකා (20)ය. තරු කැකුළු බඳු දියණියන්ට මැදිව උපත ලබා සඳක් සේ ලෝකයටත් තම රටටත් ආලෝකයක් වූ එකම පුතු ජනිත් ගැන ඔහුගේ මව මතකය අවදි කළේ බොහෝ හැඟීම්බරවය.
“පුතා චූටි කාලේ හරිම දඟයි. ඉන්නෙ ගස් උඩමයි. ඒ තරමටම සෙල්ලමට කැමතියි. පුතා චූටි කාලේ ඉඳන් බෝලෙයි පිත්තයි එක්ක සෙල්ලම් කරනවා. පුංචිකමට හෙල්මට් එකකුත් දාගෙන සෙල්ලම් කරපු හැටි මට දැනුත් මතක් වෙනවා. පුතා බැට් එක අල්ලන විදිහ දැකලා ගොඩක් අය ඒ කාලෙම කිවුවා මෙයා කවදහරි හොඳ ක්‍රීඩකයෙක් වෙයි කියලා. අපිට ඒ ගැන ඒ කාලේ එතරම්ම අවබෝධයක් නැති වුණාට ක්‍රිකට් ගැන දන්න අය පුතාගේ බැටින්වල විශේෂත්වයක් දකින්න ඇති. ක්‍රිකට් ගැහිල්ල හින්දා ගෙදර ජනෙල් වීදුරු බිඳපු වාර ගණන අනන්තයි. මගෙ මල් පෝච්චිත් සෑහෙන්න බිඳලා තියෙනවා.”
මවගේ මුව පුරා විසිරී යන සිනහව ඇයගේ සිත තවත් ඈත අතීතයට ගෙන යයි.
“දඟ කළාට පුතා ඉගෙනීමටත් දක්ෂයි. එයා ඉස්කෝලෙ යන්න පටන් ගන්නකොටම දහම් පාසලටත් ඇතුළත් වුණා. පුතා ගියේ ගල්කිස්ස බෞද්ධ ආයතනයට. ඒ දවස්වල ඒ දහම් පාසලේ අලුත් වැඩසටහනක් පටන් ගත්තා උදේ රැස්වීමේදි ළමයි කතාවක් පවත්වන්න. ඒ වැඩසටහන පටන් ගත්තේ මූලික ශ්‍රේණියේ දරුවන්ගෙන්. මුල්ම වැඩසටහනේ කතාව කළේ 1 ශ්‍රේණියේ හිටපු මගෙ ජනිත් පුතා. එයාට පුංචි කාලේ ඉඳලම හොඳ මතක ශක්තියක් තිබුණා. මම ගෙදර වැඩ කරන ගමන් පුතාට කතාවට අවශ්‍ය වෙන අදහස් කියලා දුන්නම එයා ඒවා හොඳට මතක තියාගෙන හරිම ලස්සනට කතාව කළා. ඒක පුතා ගැන මගේ හිතේ තියෙන ලස්සනම මතකයක්.”
ලස්සනම මතකය එය යැයි කීවාට සිය එකම පුතුගේ ජීවිතයේ ගෙවුණු හැම දවසක්ම ඇයට සුන්දර සහ ආදරණීයම මතක සටහන්ය. ඒ මතක අතරින් ජනිත් ක්‍රිකට් ක්‍රීඩාව ඔස්සේ පැමිණි ගමන ගැන අපි ඔහුගේ මවගෙන් විමසුවෙමු.
“ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහලේ වයස 13න් පහළ කණ්ඩායමේ නායකයා විදිහට පුතා තුන් ඉරියව්වෙන්ම දස්කම් පෙන්නුවා. ඒ කාලේ පුතා පාසලට කැපී පෙනෙන ජයග්‍රහණ වගේම වාර්තා කිහිපයකුත් එකතු කළා. ඒ කාලෙත් පුතා ගැන පත්තරවල විස්තර ගියා. පුතා ගැන පළවුණු හැම පත්තර වාර්තාවක්ම මම එකතු කළා. විවාහ වුණාට පස්සේ මම ඒ සේරම පුතා විවාහ වුණු දුවට දුන්නා, පරිස්සම් කරලා තියාගන්න කියලා. මගෙ ළඟ තියා ගත්තෙ කීපයක් විතරයි.”
ඇය එසේ කියමින් පුවත්පත් වාර්තා කිහිපයක් අප අත තැබුවාය. එක් පුවත්පතක ළමා ක්‍රීඩකයකු ලෙස පාසල් තරගාවලියකදී ජනිත් පෑ දස්කමක් ගැන සිරස්තලය ලෙස සටහන් කර තිබුණේ “වයස 12යි තරග 7යි ශතක 4යි ලකුණු 680යි” ලෙසිනි.
“පුතා තෝලංගමුව ඩඩ්ලි සේනානායක විදුහල එක්ක තිබුණු තරගෙකදි ඉනිම දෙකකදීම ශතක ලබා ගත්තා වගේම ලකුණු 22කට කඩුලු 6ක් ලබා ගත්තා. ඒ වගේම පානදුර ශාන්ත අන්තෝනි විදුහල එක්ක තිබුණු තරගයකදී ලකුණු 29කට කඩුලු 6ක් ලබා ගත්තා. පුතාගේ පිති හරඹය ගොඩක් හොඳ මට්ටමක තිබුණා. පුතාගේ ක්‍රිකට් ජීවිතයට ගල්කිස්ස ඇතුලත්මුදලි විද්‍යාලයේ ඒ කාලේ හිටපු විදුහල්පතිතුමා ඇතුළු ක්‍රිකට් භාර ගුරුවරුන්ගෙන්, පුහුණුකරුවන්ගෙන් වගේම පුතා 2010දී ඇතුළත් වුණු කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ක්‍රිකට් භාර ගුරුවරුන්ගෙන් සහ පුහුණුකරුවන්ගෙන් හොඳ සහයෝගයක් ලැබුණා. ඒ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. පුතාගෙන් මම දකින විශේෂත්වය එයා හැමදාම එකම අධිෂ්ඨානයක හිටියා. එයා ඒ කාලේ ඉඳලම කිවුවේ දවසක ලංකාවේ ක්‍රිකට් ටීම් එකට සෙල්ලම් කරනවාමයි කියලා. පුතා ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා. මමත් පුතාගේ තාත්තත් පවුලේ හැමෝමත් අපිට පුළුවන් උපරිම සහයෝගය එයාට දුන්නා. නමුත් මේ හැම ජයග්රහණයක්ම ලැබුණේ පුතාගෙම අධිෂ්ඨානය සහ කැපවීම නිසාමයි.”
සිය පුතුගේ ඒ තිර අධිෂ්ඨානය කුඩා කල සිටම තමා දුටු බව ද ඇය කීවාය.
“පුතා පුංචි කාලේ බෝලෙයි පිත්තයි එක්ක සෙල්ලම් කරනවාට අමතරව තවත් විශේෂ ක්‍රීඩාවක් කළා. ඒ තමයි ඊතලයකින් ඉලක්කයට විදිනවා. නැත්නම් තුවක්කුවකින් ඉලක්කයට වෙඩි තියනවා. ඒවා සෙල්ලම් වුණත් මම දැක්කේ පුංචි කාලේ ඉඳලම ඉලක්කයට වැඩ කරන්න මනස පුරුදු කරගත්තා කියලා. පුතා උසස් පෙළ කරන කාලේ වයස 19න් පහළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වෙලා හිටියා. ක්‍රිකට් පුහුණු වීම් නිසා පුතාට මාස කීපයක්ම ඉස්කෝලෙ යන්න බැරි වුණා. ඒත් අවසානයේදී පුතාට 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය මඟ හැරුණා. ඒ වෙද්දි උසස් පෙළ විභාගයට තිබුණේ මාස තුන හතරයි. නමුත් පුතා ඒ කාලය තුළ තනිවම මහන්සි වෙලා ලොකු කැපකිරීමක් කරලා පාඩම් වැඩ කරලා වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගය සමත් වුණා.”
ජනිත් යනු කොතරම් අධිෂ්ඨානශීලි තරුණයකු දැයි එවදන්වලින් සනාථ වේ. පාසල් වියේදී ජනිත් පෑ ක්‍රිකට් දස්කම් අතර ජය පරාජයෙන් තොරව අවසන් වූ 79 වැනි සාන්තුවරයන්ගේ සටන මහා ක්‍රිකට් තරගයේ 2013 තරගයේ වීරයා ද ඔහු විය. රාගම ක්‍රීඩා සමාජයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එක්වීමට වරම් ලැබූ ජනිත් ක්‍රිකට් වෙනුවෙන් ජීවිතයම කැප කරද්දී ඒ සඳහා පවුලෙන් ලැබුණු සවිය ගැන ද ඔහුගේ මව සිය මතකය අවදි කළාය.
“ස්කූල් ක්‍රිකට් කරන කාලේ ළමයින්ට තියෙන්නෙ සීමිත ඇඳුම් ප්‍රමාණයක්නෙ. සමහර දවස්වලට පුතා මැච්වලට ගිහින් එන්නෙ ගොඩක් රෑ වෙලා. රෑ කීයට ආවත් ඒ ඇඳුම් හෝදලා මැදලා පහුවදා පාන්දර යන්න ලෑස්ති කරලා දෙනවා. තරග තියෙන සමහර දවස්වලට පුතාට හරියට නින්දකුත් නැහැ. එහෙම වෙලාවට අපිත් එයාගෙ හිත හදලා අවශ්‍ය හැමදේම ලෑස්ති කරලා දීලා සතුටින් ගෙදරින් පිටත් කරනවා. අපි බෞද්ධ ආගමේ නිසා අපිට වගේම පුතාටත් බෞද්ධ දර්ශනය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. තරගයකටම යන්න ෙගදරින් පිටත් වෙන්නේ පහන තියලා බුදුන් වැඳලයි. පුතා පිටරටක මැච් එකකට ගියත් මැච් එක පටන් ගන්න කලින් මම බුදුන් වැඳලා පුතා වෙනුවෙන් පිහිට පතනවා. මම, පුතාගේ තාත්තා, අක්කා, නංගි වගේම අපේ පවුලේ හැමදෙනාම නිතරම ප්‍රාර්ථනා කරන්නේ පුතාගේ සාර්ථකත්වය. විශේෂයෙන් මගේ ලොකු අක්කා පුංචි කාලේ ඉඳලම පුතාගෙ පස්සෙන් ඉඳගෙන පුතාගේ ක්‍රිකට් ජීවිතයට ලොකු උදව්වක් දුන්නා.”
ජනිත්ගේ මව එසේ කියද්දී ඔහුගේ ලොකු අම්මා ශාමිනි ද ඒ අතීතය මෙසේ වදන්වලට පෙරළුවාය.
“පොඩි කාලේ පුතා පුහුණුවීම්වලට යද්දි අපි කවුරුහරි කෙනෙක් එයා එක්ක යනවා. ටික ටික ලොකු වෙද්දි පුතා තනියම යන්න පුරුදු වුණා. ඒත් දවල්ට පුතාගේ කෑම එක අරගෙන පුතාගෙ අම්මා හරි මම හරි අනිවාර්යයෙන් ඉස්කෝලෙට යනවා. පුතා ආස උණුවෙන් කෑම කන්නයි. අදටත් ජනිත් පුතා ෆිජ් එකේ තියෙන කෑම රත්කරලා කන්න කැමති කෙනෙක් නෙවෙයි. එයාට ඕනේ ෆ්‍රෙෂ් කෑම බීම. පුතාගේ ප්‍රියතම කෑම පරිප්පුයි හාල්මැස්සො බැදුම එක්ක බත්. ඉස්සර නම් ස්පැගති, පැස්ටා වගේ කෑමවලට ආසයි. ඒත් දැන් පුතා ආහාරපාන ගැන ගොඩක් සැලකිලිමත්. සීනි දාලා තේ එකක්වත් බොන්නෙ නැහැ. හැබැයි බත් කද්දි මැල්ලුම් නම් ගොඩක් ඕනේ. මැල්ලුම් හැඳි කීපයක්ම කනවා.”
මේ වන විට රටම දන්නා ක්‍රිකට් ක්‍රීඩකයකු වන ජනිත් අදට වඩා හෙට දිනයේදී තමා ගැන කතා කරන්නට ලෝකයට පුවත් මවන විශිෂ්ට ක්‍රීඩකයකු බවට පත්වන පෙරමඟ ලකුණු පෙන්වමින් සිටී. ඉකුත් දා සිදු කරන ලද නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනකුම එතෙක් රැඳී සිටි ස්ථානවලින් ඉදිරියට පැමිණි බව වාර්තා විය. ඒ අනුව පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව ජනිත් ලියනගේ 87 වැනි ස්ථානය කරා පැමිණ ඇත.
“පසුගිය කාලය පුරා මම ඉතා මහන්සි වී හොඳින් පුහුණුවීම් කළා. අවස්ථාවක් ලැබුණු විට ඉන් උපරිම ප්‍රයෝජනය ගැනීම මගේ ඉලක්කය බවට පත්කර ගත්තා. ඉදිරියේදිත් අවස්ථාව හිමි වුණොත් මෙම රිද්මය පවත්වා ගැනීම මගේ ඉලක්කයයි. ඒ වගේම ඉදිරියේදී මීට වඩා දස්කම් දැක්වීම මගේ බලාපොරොත්තුවයි.” මංගල ශතකය වාර්තා කිරීමෙන් පසු ජනිත් ලියනගේ මාධ්‍ය හමුවේ එසේ ප්‍රකාශ කළේ නිහතමානීවය. සිය පුතුගේ යහ ගුණ ගැන ඔහුගේ මව කතා කළේ ද එබඳුම නිහතමානී බවකිනි.
“ජනිත් පුතා බොහොම නිහඬ චරිතයක්. එයා කිසිම කෙනෙකුගේ වැරැද්දක් මතු කරලා කතා කරන කෙනෙක් නෙවෙයි. හැම දෙනා එක්කම සුහදශීලිව ඉන්න ඕන කෙනෙකුට උදවු කරන්න කැමැති කෙනෙක්. එයා දැඩි අධිෂ්ඨානයකින් වගේම සැලකිල්ලෙන් එයාගෙ ගමන යයි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා.”
ජනිත් 2022 වසරේ ඔක්තෝබර් 1 වැනිදා විවාහ දිවියට එළැඹුණේ කලක් තිස්සේ සිය පෙම්වතිය වී සිටි ජනනි කාමිනි පෙරේරා නම් යුවතිය සමඟය. ඔවුන්ගේ ආදර කතාව ගැන ද ජනිත්ගේ මව සෙනෙහසින් සිහි කළාය.
“ජනනි දුවයි අපේ පුතයි විවාහ වෙද්දි එයාලගේ ආදර කතාවට අවුරුදු දහයක්. පුතාගේ තෝරා ගැනීමට අපිත් හදවතින්ම ආශීර්වාද කළා. ජනනි දුව එයාගෙ පවුලෙ එකම දරුවා නිසා දුවගෙ අම්මයි තාත්තයි අපේ ජනිත් පුතාට සලකන්නේ එයාලගෙම පුතකුට වගේ. ජනනි දුව වගේම ඒ අම්මා සහ තාත්තත් ජනිත් පුතාගේ වගකීම් හරිම ආදරෙන් ඉටු කරනවා. දුවගෙ අම්මා පුතාට අවශ්‍ය විදිහට එයාට කෑම බීම හදලා දෙනවා. පුතාට ඒ වගේ හොඳ පවුලකින් බිරියක් ලැබුණු එක ගැන අපිටත් සතුටුයි.”
අම්මාවරු හැමදාමත් ජීවත් වන්නේ දරුවන් සිය හදවත ඉහත්තාවේම තබාගෙනය. ඒ හැඟීම ජනිත්ගේ අම්මාට ද පොදුය. ජනිත් එදා සිය මංගල ශතකය වාර්තා කළ අවස්ථාවේ සිය හදවතට දැනුණු සොම්නස ඇය වදන්වලට පෙරළුවේ තුටු කඳුළකින් සිහිලැල් වූ දෙනෙත් පිසදමමිනි.
“ඒක කියාගන්න බැරි තරම් සතුටක්. පුතා ක්‍රිකට් ගහනවට ආස වුණාට මම පුතා සෙල්ලම් කරන මැච් බලන්න නම් ටිකක් බයයි. පුතා අවුට් වෙයි කියලා මට බයයි. ඒ නිසා එක දිගට වාඩි වෙලා මැච් බලන්නෙ නැහැ. අතරින් පතර බලනවා. එදා තරගෙත් එහෙම තමයි බැලුවේ. හැබැයි පුතාගෙ තාත්තා නම් හැම මැච් එකක්ම මඟ නොහැර බලනවා. පුතා සෙල්ලම් කරන්න පටන් ගන්නකොටම තාත්තා කියනවා අද පුතා මෙහෙම ලකුණු ගනියි කියලා. හුඟක් වෙලාවට තාත්තාගෙ අනාවැකි හරියටම හරි යනවා. ඒකටත් හේතුවක් තියෙනවා. පුතාගේ තාත්තත් ක්‍රිකට්වලට ගොඩක් දක්ෂ කෙනෙක්. නමුත් එයා ස්කූල් ක්‍රිකට්වත් කරපු කෙනෙක් නෙවෙයි. මට මතකයි පුතා ශාන්ත පීතර විද්‍යාලයට ගියාම ඒ විදුහලේ සිටි සුනිල් අපෝන්සු කියලා සර් කෙනෙක් පුතාට කිවුවා, ඔයාගේ තාත්තා සෙල්ලම් කරපු විදිහ සෙන්ට් තෝමස් ග්‍රවුන්ඩ් එකේ තණකොළ කියාවි, ඒ හින්දා ඔයත් හොඳට සෙල්ලම් කරන්න කියලා. සුනිල් සර්, පුතාගේ තාත්තා එක්ක ඒ කාලේ ශාන්ත තෝමස් ග්‍රවුන්ඩ් එකේ එකට ක්‍රිකට් සෙල්ලම් කළ කෙනෙක්. පුතාගේ තාත්තා දිගටම ක්‍රිකට් සෙල්ලම් කළේ නැතිවුණාට පුතාට මේ හැකියාව එන්න ඇත්තේ තාත්තගෙ ලේ උරුමයෙන් කියලා මට හිතෙනවා.” ජනිත්ගේ මව හෙළි කළේ අපූරු රහසකි. ඒ, ජනිත් මෙන්ම ජනිත්ගේ පියා ද දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු බවය. රහසකැයි කීවාට ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩා පිටිය අවට ප්‍රදේශවාසීන්ට නම් එය රහසක් නොවේ. ජගත් සෝහිත හෙවත් ජගත් අයියාගේ ක්‍රිකට් ගැහිල්ල එකල එතරම්ම ප්රකටය. ඔහු ශාන්ත තෝමස් ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ක්‍රීඩා කරද්දි ඔහුගේ පන්දු අහුලන්නට කිහිප දෙනෙකුටම ගාලු පාරේ රැක සිටින්නට සිදු වූ බව අපට කීවේ ඔහුගේ අසල්වැසියෙකි.
“ඒ කතාව ඇත්තද?” අප ජනිත්ගේ පියාගෙන් එසේ විමසද්දී ඔහු හිස සලමින් අපූරු සිනාවක් පෑවේය. “කතාව ඇත්ත… ඒ කාලේ අපි ක්‍රිකට් සෙල්ලම් කළේ ඒ ග්‍රවුන්ඩ් එකේනෙ. පොඩි කාලේ ඉඳන්ම මම සොෆ්ට් බෝල් සෙල්ලම් කළා. කොයිතරම් දක්ෂ වුණත් කැමැත්ත තිබුණත් ඒ කාලේ මට ඉදිරියට එන්න අත දෙන්න කවුරුවත් හිටියෙ නැහැ. ඒ නිසා පුතා චූටි කාලේ ඉඳල ටික ටික ක්‍රිකට්වලට යොමු වෙනවා දැක්කම මට ගොඩක් ආස හිතුණා. චූටි කාලේ ඉඳලම මම එයාව සෙන්ට් තෝමස් ග්‍රවුන්ඩ් එකට එක්කගෙන යනවා ක්‍රිකට් සෙල්ලම් කරන්න. එදා ඉඳන්ම මම පුතාගෙ පිටිපස්සෙන් ඉඳගෙන එයාට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දුන්නා. නමුත් පුතා මේ ගමන ආවේ එයාගෙම දක්ෂතාව සහ කැපවීම නිසාමයි. අපි කළේ එයාගේ අරමුණට යන්න අපිට පුළුවන් විදිහට සපෝට් කරපු එකයි. මේ ගමනෙදි පුතාට ලැබුණු වගේම නොලැබුණු දේවලුත් තිබුණා. ඒත් ඒ හැමදේම දරාගෙන පුතා මේ ගමන ආව එක ගැනයි මම ගොඩක්ම සතුටු වෙන්නෙ.”
ඒ, පියකුගේ අභිමානයයි. ජනිත් සිය මංගල ශතකය වාර්තා කළ අවස්ථාවේදී සිය පුතුට සේම ක්‍රිකට් ක්‍රීඩාවටත් අපමණව ඇලුම් කරන පියාගේ සිතට දැනුණු හැඟීම කුමක් විය හැකිද? අපේ පැනයට මුලින්ම පිළිතුරු දුන්නේ ඔහුගේ දෑසයි. සැණින් තුටු කඳුළින් පිරුණු ඒ දෑස ඔහුගේ සිත පුරා දෝර ගලා යන සතුටට නිහඬවම සාක්ෂි දුන්නේය.
“ඒක පුදුමාකාර සතුටක්. එදත් මගෙ ඇස්වලට කඳුළු ආවා. හැබැයි පුතා ඒ දේ කරන බව මම දැනගෙන හිටියා. පුතා සෙල්ලම් කරන එක මැච් එකක්වත් අතාරින්නෙ නැතිව බලන මට පුතාගේ දක්ෂකම ගැන ලොකු විශ්වාසයක් තියෙනවා.”
ඒවා හුදෙක් වචන පමණක්ම නොවේ. සිය එකම පුතු ඇතුළු දරුවන් තිදෙනාගේ හෙට දවස වර්ණවත් කරන්නට සිය ජීවිතයම කැප කළ ධෛර්යවන්ත පියකුගේ විසල් දරු සෙනෙහස අරුත් ගන්වන වදන්ය. තමාගේම ව්‍යාපාරයක් පවත්වා ගෙන යමින් රටට ණයත්, බරත් නැති මිනිසකු ලෙස ජීවත් වන ජගත් සිය පුතුගේ අනාගත සාර්ථකත්වය ගැන සුබ සිහින දකින්නේය.
“ක්‍රීඩකයෙක් විදිහට පුතා කොයිතරම් ඉහළට ගියත් මම අදත් හෙටත් එදා හිටිය ජගත්මයි. හැකිතරම් කාලයක් හොඳින් සාධාරණව මේ ව්‍යාපාරය පවත්වා ගෙන යනවා. පුතාගේ දියුණුව, සාර්ථකත්වය වෙනුවෙන් එදා වගේම අදත් හෙටත් මුළු හදවතින් ආශීර්වාද කරනවා. ලෝකයම දිනුවත් එයා හැමදාම මගෙ පුතානෙ.”
ඒ ආඩම්බරය සහ අභිමානය ඔහු වැනි දිරිය පියවරුන්ට සදා හිමි විය යුතුමය.
ඡායාරූප – වාසිත පටබැඳිගේ
සුරේකා නිල්මිණි ඉලංකෝන්