Home » ඩුබායි සුද්දාගේ කීමට යතුරුපැදි කොල්ලකෑ ගෝලයන් දෙදෙනා අල්ලයි

ඩුබායි සුද්දාගේ කීමට යතුරුපැදි කොල්ලකෑ ගෝලයන් දෙදෙනා අල්ලයි

by thanushika
March 30, 2024 12:30 am 0 comment

ඩුබායි රාජ්‍යයට පැන ගොස් සිටින මෙරට පාතාල කල්ලි නායකයන්, සාමාජිකයන් එරට සිට මෙරට සිටින සිය ගෝලබාලයන් ලවා අපරාධ සිදු කරවන බව නොදන්නා කෙනෙක් නැති තරම්ය.

මෙලෙස ඩුබායි රාජ්‍යයට පලා ගොස් එහි සිට මෙරට සිටින සිය ගෝලබාලයන් ලවා කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ සිදු කරන ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයන්, නායකයන් පනහකගේ පමණ තොරතුරු මේ වන විට ආරක්ෂක අංශ අතට පත්ව ඇති අතර ඉන් 42ක් අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තු ද නිකුත් කර ඇත.

ඩුබායි සිට මෙරට අපරාධ මෙහෙයවන කල්ලි කණ්ඩායම් අතරේ ‘ඩුබායි සුද්දා’ නමැති පාතාල කල්ලි සාමාජිකයා ගැන ද පොලිසිය සිටින්නේ ඇස ගසාගෙනය. ඒ ඔහු එරට සිට මෙරට සිය ගෝලබාලයන් ලවා සිදු කරන ජාවාරම් ගැන තොරතුරු පොලිසිය සහ සෙසු ආරක්ෂක අංශවලට ලැබී ඇති හෙයිනි.

‘ඩුබායි සුද්දාගේ’ ක්‍රියා කලාපය ගැන පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ එසේ විමසිල්ලෙන් පසුවෙද්දී සුද්දා ඩුබායිහි සිට මෙරට සිටින ගෝලබාලයන් ලවා සිදු කරවන ලද මෝටර් බයිසිකල් කොල්ලකෑම් සහ සොරකම්වල තොරතුරු අනාවරණය කර ගැනීමට හෝමාගම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමට හැකි වන්නේ පසුගියදාය.

මීට මාස කීපයකට ඉහතදී හෝමාගම පිටිපන ‘ඉස්කෝල හන්දිය’ ප්‍රදේශයේදී සොරකම් කරන ලද මෝටර් බයිසිකලයක් සොයා ගැනීමට හෝමාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් සිදු කරන ලද විමර්ශනයේදී ‘ඩුබායි සුද්දා’ මෙහෙයවන මෝටර් බයිසිකල් කොල්ලකෑම් සොරකම් පිළිබඳ තොරතුරු හෙළිවීම සුවිශේෂිය.

අදාළ මෝටර් බයිසිකලය සොරකම් කළ පුද්ගලයන් සොයා විමර්ශන ආරම්භ කළ හෝමාගම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම සීසීටීවී දර්ශන උපයෝගී කරගෙන සිදු කරන ලද සියුම් පරීක්ෂණයේදී හඳුනාගන්නා ලද පුද්ගලයන් දෙදෙනෙක් හෝමාගම නගරයේදී සැකපිට අත්අඩංගුවට ගන්නා ලද අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.

සැකකරුවන් දෙදෙනා සතුව හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 2ක් තිබුණු අතර ඔවුන් ඒවා ජාවාරම් කිරීම සඳහා තබාගෙන තිබුණ බවද හෙළිවන්නේ ඒ අනුවය.

පොලිස් නිලධාරීන් මේ සැකකරුවන් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දි අනාවරණය වන්නේ එම පුද්ගලයන් දෙදෙනා පාතාල කල්ලි නායකයන් සමඟ ළඟ සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවය. ඒ අනුව සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබා ගැනිණි.

මේ සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරන පොලිස් නිලධාරීන් සොයා ගන්නේ ඔවුන් මීට ටික කලකට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ කිසියම් පොලිස් බල ප්‍රදේශයකදී හිමිනමකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාරගතව සිටින ‘චීයා’ නමැති පාතාල සාමාජිකයකු බැලීම සඳහා බන්ධනාගාරයට ගොස් ඇති බවය.

ඒ අවස්ථාවේ ඩුබායි සුද්දා බන්ධනාගාරතව සිටින පුද්ගලයාට වට්ස්ඇප් මාර්ගයෙන් ඇමැතුමක් දී ඇති අතර ඔහු මේ පුද්ගලයන් දෙදෙනා ඩුබායි සුද්දාට එහිදී හඳුන්වා දී ඇති බවද හෙළිවී තිබේ. ඉන් අනතුරුව මේ සැකකරුවන් දෙදෙනා ඩුබායි සුද්දා සමඟ සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

ඩුබායි සුද්දා මේ සැකකරුවන් දෙදෙනාට ඉන් අනතුරුව ඩුබායි සිට පවසා ඇත්තේ මෝටර් බයිසිකල් සොරකමට අතගසන ලෙසය. ඩුබායි සුද්දා එලෙස එරට සිට දුන් නියෝගවලට අනුව මේ සැකකරුවන් දෙදෙනා ක්‍රියාත්මක වී ඇත්තේ ඉන් අනතුරුවය.

මෝටර් බයිසිකලයක් සොරකම් කර පෙන්වන්නැයි ඩුබායි සුද්දා මේ සැකකරුවන් දෙදෙනාට පවසා ඇති අතර ඔවුන් ඩුබායි සුද්දාගේ නියෝගවලට අනුව ක්‍රියාත්මක වී මෝටර් බයිසිකලයක් සොරකම් කිරීම සඳහා සැලැසුමක් සකස් කර ඇත. ඒ බව ඔවුන් ඩුබායි සුද්දාට ද දැනුම් දී තිබේ.

හෝමාගම පිටිපන ‘ඉස්කෝලේ හන්දියේ’ නවතා තිබූ මෝටර් බයිසිකලයක් මේ සැකකරුවන් දෙදෙනා විසින් ඉතා සූක්ෂ්මව සොරකම් කරන්නේ ඉන් අනතුරුවය. තමන් මෝටර් බයිසිකලය සොරකම් කළ බව සැකකරුවන් දෙදෙනා ඩුබායි සුද්දාට දැනුම් දී ඇත්තේ මෝටර් බයිසිකලය පිටිපන ප්‍රදේශයේ කිසියම් ස්ථානයකට ගෙන ඒමෙන් අනතුරුවය.

එහි අංක තහඩු ගලවා හබරකඩ ප්‍රදේශයේ කිසියම් ස්ථානයක පිහිටි ඉඩමක නතර කර ආපසු යන ලෙස ඩුබායි සුද්දා මේ සැකකරුවන් දෙදෙනාට නියෝග කර ඇති අතර මෝටර් බයිසිකලය අදාළ ඉඩමේ නතර කර එහි අංක තහඩු කෙසෙල් පඳුරක් යටට විසිකර මේ සැකකරුවන් දෙදෙනා එම ස්ථානයෙන් පිටවී ගොස් ඇත. පසුව මේ මෝටර් බයිසිකල් සොරකම වෙනුවෙන් කිසියම් මුදලක් ඩුබායි සුද්දා විසින් සැකකරුවන්ට බැංකුගත කැර ඇත්තේ ඉන් අනතුරුවය.

මේ සැකකරුවන් දෙදෙනා එලෙස මෝටර් බයිසිකල් කිහිපයක්ම සොරකම් කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ. එම මෝටර් බයිසිකල් කාට අයත් දැයි සැකකරුවෝ මෙතෙක් නොදන්නා බවද පොලිසිය කළ විමර්ශනයේදී හෙළි විය. එසේ සොරකම් කළ මෝටර් බයිසිකල් සොයා ගැනීම සඳහා පොලිසිය දීර්ඝ විමර්ශනයක නිරත වෙයි.

මෙසේ අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 24 – 26 අතර පසුවන්නන් බව හෙළිවී තිබේ. ඔවුන් හෝමාගම, පිටිපන, මායා මාවතේ පදිංචිකරුවෝ වෙති.

හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ආර්. මානවඩුගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ, සැරයන් (43672) සුරංජිත්, කොස්තාපල්වරුන් වන (92504) රොෂාන්, (82147) රණසිංහ, (72936) රසාංග, (92502) ලක්ෂාන්, කාන්තා කොස්තාපල් (11914) මේකලා යන නිලධාරින් නිලධාරිනියන් වැඩිදුර විමර්ශන සිදු කරති.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division