උප්පැන්න සහතිකයේ මොන නමින් සඳහන් වුවද මත්කුඩු ජාලයේ ඔහු කාගේත් හිත දිනා ගත් ‘අයියාය’. අපරාධ ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරම තුළ සැරිසරන කොයි මල්ලිලාත් මේ අයියාගේ වචනයට අවනතය. ඒ ඔහුගේ ප්‍රධානියා එසේ-මෙසේ අයකු නොවන නිසාය. මේ වන විට වැලිකඩ මහඋළු ගෙදරට වී තමන්ගේ පාඩුවේ සිටින එම අයියාගේ ප්‍රධානියා ගැන අපරාධ ලෝකයේ නොදන්නා කෙනෙක් නැති තරම්ය. මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු ද වන ‘වසන්ත කුමාර’ මේ අයියාගේ ප්‍රධානියා බවට පත්වූයේ අද ඊයේ සිට නම් නොවේ. ‘අයියා’ ද ඔහු සමඟ ම ඇතුළේ සිටින විට ගොඩනඟා ගත් මිතුරුකමක ප්‍රතිඵල අද අත්විඳින්නේ ඔහුගේ මුදල් කටයුතු භාර විශ්වාසවන්ත ගෝලයා බවට පත් වෙමිනි.
‘අයියා’ ඇතුළට යන්නේ එසේ-මෙසේ වික්‍රමයක් සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නොවේ. රට රැකියා ලබා දෙන බවට පොරොන්දු දෙමින් රටපුරා විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා මුදල් ලබාගෙන වංචා කිරීමේ සිද්ධි එකසිය අසූ හතක් වෙනුවෙනි. ඒ සඳහා අයියාට වසර හැටක සිර දඬුවම් විඳීමට සිදු වූයේ සිදුකර තිබූ වරදේ බරපතළකම අනුවය. කෙසේ වුවද වසර දහයක පමණ කාලයක් තුළ එම සිර දඬුවම ගෙවා අවසන් කිරීමට ඔහුට හැකි වී තිබුණේ තවදුරටත් අසරණ මිනිසුන් මුළාකර නීති විරෝධී ජාවාරම් මඟින් මුදල් ඉපයීමේ ‘වාසනාව‘ තිබූ නිසා විය යුතුය. වසන්ත කුමාර වැනි දරුණු ගණයේ අපරාධකරුවකුට ඔහු කොටු වූයේ කුණු ගොඩට කුණු එකතු වන්නා සේමය.
යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම පාතාලය ද මුළුමනින්ම විනාශ කර දැමීමට මෙන්ම අහිංසක ජනතාවට බියෙන් සැකයෙන් තොරව ජීවත්වීමට අවශ්‍ය වටපිටාව සකස්කර දීම සඳහාය. පාණදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් පසුගිය 17 වැනිදා හෝමාගම සහ හංවැල්ල ප්‍රදේශවල මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නේ යුක්තිය මෙහෙයුමට සමගාමීවය. එහිදී කෝටි තුනහමාරකට අධික වටිනාකමින් යුත් මත්කුඩු කිලෝ 01යි ග්‍රෑම් 12ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ මේ මත් ජාවාරමේ අහු-මුළු හෙළිදරව් කර ගැනීමට මඟ පාදා දෙමිනි. ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමේදී වසන්ත කුමාරගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානියා මෙන්ම මුදල් භාරකරු ලෙස කටයුතු කරන ‘අයියා’ පිළිබඳව තොරතුරු අනාවරණය කරගැනීමට පාණදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට හැකියාව ලැබිණි.
මේ පිළිබඳ තවදුරටත් විමර්ශන සිදු කිරීමේදී මොහු ගම්පහ, ඉඳිගොල්ල ප්‍රදේශයේ සිටින බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට තොරතුරක් ලැබෙන්නේ විශ්වාසවන්ත ඔත්තුකරුවකු මාර්ගයෙනි.
එහෙත් එය එකවර පිළිගැනීමට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සූදානම් වූයේ නැත. ඔහු සැරයන් 428 ජයලාල් ගම්පහ ප්‍රදේශයට පිටත්කර හරින්නේ ලැබුණ තොරතුර පිළිබඳ විමර්ශනයට ආවේක්ෂණ රාජකාරිය සඳහාය. මෙවැනි කටයුතුවලට කවදත් පෙරමුණේ සිටින එම නිලධාරියා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලැබුණ සියලු තොරතුරු සත්‍ය බවට අනාවරණය කරගෙන නැවත පැමිණෙන්නේ ක්ෂණයෙනි. ඉන්පසු එළඹෙන්නේ වැටලීම සිදු කරන හෝරාවයි.
ඒ සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා යටතේ පොලිස් කණ්ඩායමක් පෙළ ගැසෙන්නේ සීරුවටය. මෙම කණ්ඩායමට උප පොලිස් පරීක්ෂක ජයවීර, සැරයන් 428 ජයලාල්, කොස්තාපල්වරුන් වන (77090) බාලසූරිය, (84889) උදය කුමාර, (91287) සංජීව, (94009) සියන්ත, (104792) අබේකෝන්, (105123) ශ්‍රියන්ත, කාන්තා කොස්තාපල් (13090) රිහානා, පොලිස් රියැදුරු (16227) උදාර ආදිහු ඇතුළත් වූහ.
“සර්… මේ මිනිහා ගම්පහ ඉඳිගොල්ලෙ ගේ අරගෙන තියෙන්නේ මාසෙකට ලක්ෂයක කුලියට. පදිංචියට ඇවිල්ලත් මාස හතක් විතර ඇතිලු. කෝටිපති බිස්නස්කාරයෙක් කියලයි ගමේ මිනිස්සුන්ට අඟවලා තියෙන්නේ…“ සැරයන් ජයලාල් තමන් එකතු කරගත් තොරතුරු ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ හමුවේ පැවසුවේ එලෙසිනි. ගම්පහ ඉඳිගොල්ලේ අති සුඛෝපභෝගී මන්දිරයක මොහු රජ සැප විඳින්නේ රහසිගත මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් ඉහළ ප්‍රතිඵල හේතුවෙනි.
නවීන පන්නයේ ටොයෝටා, ඇක්සියෝ කාර් රථයෙන් ගමන්බිමන් යන සැකකරු පිළිබඳ අවට වැසියන් එසේ සිතුවද බුද්ධිමත් පුද්ගලයන් ඔහු සිදු කරන රැකියාව පිළිබඳව විපරම් කිරීම අත්හැර නොතිබීම මෙම තොරතුරු ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ වෙත ලැබීමට හේතුවක් වී තිබිණි. වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්යක්ෂ පොලිස් අධිකාරී සමන්තිලක වැලිවිටගේ උපදෙස් අනුව පොලිස් කණ්ඩායම සැකකරුගේ ගම්පහ, ඉඳිගොල්ලේ සුවිසල් නිවෙස වැටලීමේදී කරකියා ගත හැකි දෙයක් නොමෑති වූ සැකකරු අත්අඩංගුවට ගත් අතර තවදුරටත් නිවෙස පරික්ෂා කිරීමේදී හෙරොයින් මිලි ග්‍රෑම් 6430 සොයා ගැනීමට පොලිසියට හැකි විය.
මීට අමතරව ටොයෝටා ඇක්සියෝ මෝටර් රථය, මත්ද්‍රව්‍ය සම්බන්ධ පණිවිඩ හුවමාරු කිරීමට යොදා ගත් බවට සැක කරන ජංගම දුරකතන අටක්, ජංගම දුරකතන සිම්පත් දහයක්, බැංකු කාඩ්පත් හතක් මෙන්ම බැංකු පොත් තුනක් පොලිසිය විසින් සිය භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මෙම සැකකරුගේ බැංකු ගිණුම්වලට කෝටි ගණනින් මුදල් ලැබෙන බවට සැක කරන බැවින් ඒ පිළිබඳව නීති විරෝධී වත්කම් විමර්ශන රහස් පොලිස් ඒකකය සමඟ එකතුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පාණදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ සඳහන් කළේය.
45 හැවිරිදි වියේ පසුවන සැකකරු ගම්පහ පොලිසියට භාර දීමට කටයුතු කර වැඩිදුර විමර්ශන සඳහා රඳවා ගැනීමේ නියෝග ලබා ගැනීමට කටයුතු යොදා ඇත.
විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ