යම්කිසි පණිවිඩයක් ඉක්මනින් සහ පහසුවෙන් තවත් කෙනෙකුට ලබා දීමට අන්තර්ජාලය ඉමහත් සේ ප්‍රයෝජනවත් වන බව නොරහසකි. වර්තමානයේ බොහෝ දෙනෙක් වැඩි වශයෙන් අන්තර්ජාලය ප්‍රයෝජනයට ගැනීමට පෙළඹී සිටින්නේ එහි ඇති එම පහසුකම් නිසාය.
අන්තර්ජාලය උපයෝගී කර ගනිමින් තමන් ධනවත් ව්‍යාපාරිකයෙකු බව අඟවමින් ව්‍යාපාරිකයින් අන්දවා දේපොළ වංචා කිරීමේ ව්‍යාපාරයක් කරගෙන යාමට එක්තරා පුද්ගලයෙක් කටයුතු කළේ ඉතා හොඳින් කල්පනා කර බැලීමෙන් පසුවය. ඒ සඳහා ප්‍රධාන මාර්ගය අයිනේ කාමරයක් කුලියට ලබාගෙන ලියාපදිංචි කර එය ගූගල් සිතියමටද ඇතුළත් කළේ එම ස්ථානය ‘කොම්පැනියක්‘ බව ඇඟවීම සඳහාය. මෙරට ප්‍රධාන පෙළේ ආයතනවලින් දේපළ ඇණවුම් කිරීම සඳහා අවශ්‍ය ඉන්වොයිස් ඇතුළු ලිපි ලේඛන සියල්ල ඉතා හොඳින් ඉංග්‍රීසි භාෂාවෙන් ව්‍යාජ ලෙස සකස් කරගැනීමටද ඔහු වගබලා ගත්තේ එසේ වුවහොත් ඕනෑම කෙනෙකු පහසුවෙන් රවටාගත හැකි බැවිනි. ඔහුගේ මේ ව්‍යාපාරයට තවත් කීප දෙනෙකුගේ සහයෝගය ලබා ගැනීමටද කටයුතු කළේ වැඩි හොඳටය. අන්තර්ජාලය උපයෝගී කර ගනිමින් ඔහු මෙරට විවිධ ප්‍රදේශවල ආයතනවලින් නොයෙක් වර්ගයේ දේපළ විශාල වශයෙන් ඇණවුම් කළේ කිසිම බය සැකයකින් තොරවය.
හෝමාගම ප්‍රදේශයේ ආයතනයකින් ‘පොටි කොට්ට’ දාහක් ඇණවුම් කිරීමටද ඔහු පසුබට නොවීය.
“ඕගොල්ලන්ට අපි ගේට් පාස් දාන්න ඕනෑ. බඩු ටික අරගෙන වාහනේ කීදෙනෙක් මෙහාට එනවද කියලා සේරම විස්තර මට එවන්න…“
ඔහු එම ආයතනයට වරින්වර දුරකතනයෙන් අමතමින් විමසා සිටියේ පැමිණෙන පිරිසගේ හැඳුනුම්පත් අංක, දුරකතන අංක පිළිබඳව විස්තර මෙන්ම වාහනයේ අංකය ඇතුළු සියලු තොරතුරු දැනගැනීම සඳහාය. ‘පොටි කොට්ට’ රැගෙන එම ආයතනයේ නියෝජිතයන් පැමිණෙන විටද වරින්වර විමසා සිටියේ ඔවුන් දැන් කොහේද සිටින්නේ කියාය. මෙලෙස විමසමින් මඟට එන විට ඔවුන්ට මෙම පුද්ගලයා පැවසුවේ අපූරු කතාවකි.
“මට හදිසියේ ‘ඕඩරයක්’ ඇවිත් තියෙනවා. ඒ හින්දා මඟදි ‘පොටි කොට්ට’ අටසීයක් බාගන්න වෙනවා. මම ඔතෙන්ට වාහනයක් එවන්නම්. ඒ අයට ඒ ටික දෙන්න…” මෙම නියෝජිතයින්ට එලෙස පවසන ඔහු වාහනයක් යවන්නේ තමාගේ ගෝලයන් දෙදෙනෙකු ද සමඟිනි.
“ඉතුරු කොට්ට දෙසීය ඕගොල්ලෝ මගෙ ඔෆිස් එකට අරන් එන්න. ඒ ආවම මං සේරම සල්ලි බේරන්නම්…“
සීසීටීවී කැමරා නොමැති ගෙයක් දොරක් නැති පාළු ප්‍රදේශයකදී ලොරි රථය නතර කර ‘පොටි කොට්ට’ අටසීය ඔහු එවූ වාහනයකට පටවාගත් අතර ඉතිරි දෙසීය ලබාදීමට ඔහු පැවසූ ස්ථානයට පැමිණියද එවැනි කාර්යාලයක් හෝ කිසිම ආයතනයක් එම ස්ථානයේ නොතිබීමෙන් මෙම නියෝජිතයන්ට සිදුවූයේ හිස් අතින් ආපසු යාමටය. ඔහු ලබාගත් පොටි කොට්ට අටසීයක තොගය මඟදී තවත් වාහනයකට පටවා ගන්නා අතර මුල් ලොරියට මුදල් දී පිටත්කර යවා අනුරාධපුර ප්‍රදේශයට පලා ගියේ කිසිවෙකුටත් අල්ලා ගැනීමට නොහැකි වන ලෙසය.
ඉන්පසු ඔහු හැරුණේ බියගම පිහිටි සපත්තු කර්මාන්ත ශාලාවක් වෙතය. ඔහු මෙම ආයතනයෙන් බූට් සපත්තු, කැන්වස් සපත්තු, ‘සේෆ්ටි ෂූ’ ඇතුළු විවිධ වර්ගයේ සපත්තු වර්ග දහසක් ඇණවුම් කරන අතර පෙර පරිදිම ඉන් පන්සිය පනහක් ගම්පහ ප්‍රදේශයේදී බා ගැනීමට කටයුතු කරන්නේ ඉතිරි සපත්තු තොගය රැගෙන ඔහුගේ කුරුණෑගල කාර්යාලට පැමිණෙන ලෙසට සපත්තු සමාගමේ සේවකයන්ට දැනුම් දෙමිනි. එහිදී සියලු ගනුදෙනු සම්පූර්ණ කිරීමට හැකි බවද ඔහු මෙම නියෝජිතයින්ට පවසා විශ්වාසය දිනා ගැනීමට කටයුතු කරන්නේ උපන් හපන්කම් ප්‍රයෝජනයට ගනිමිනි.
ගම්පහදී පටවාගත් සපත්තු පන්සිය පනහක තොගය නිට්ටඹුවට රැගෙන ගොස් එහිදී වෙනත් ලොරියකට මාරු කරගන්නේ වැඩි ආරක්ෂාව සඳහාය.
මේ ආකාරයටම කඩවත ප්‍රදේශයේ ආයතනයකින් වතුර ෆිල්ටර් හතළිහක් ඇණවුම් කර හෝමාගම ප්‍රදේශයට ගෙන්වාගෙන ඉන් විස්සක් ඔහුගේ වාහනයට පටවා ගන්නේ ඉතිරි විස්ස සහ ඔවුන්ට ගෙවිය යුතු තුන්ලක්ෂ හැත්තෑ දහසක මුදල ලබාදීමට බලන්ගොඩ පිහිටි කාර්යාලයට පැමිණෙන ලෙස දන්වමිනි.
මේ ආකාරයටම පාදුක්ක ප්‍රදේශයේදී රුපියල් තිස්අට ලක්ෂයක් පමණ වටිනා නාන කාමර කට්ටල 40ක තොගයක් ගම්පහ ප්‍රදේශයට ගෙන්වාගෙන වංචා කිරීමක් මෙන්ම හැටලක්ෂ හැත්තෑහතර දහසක් වටිනා ජෙනරේටර් 06ක් ද වංචා කර ඇත්තේ ඒ පිළිබඳ ඔහු මෙතෙක් ලබාගත් ප්‍රායෝගික දැනුමද ප්‍රයෝජනයට ගනිමිනි.
ගෝලබාලයන් ද යොදා ගනිමින් ජයටම සිදු කරගෙන ගිය මෙම අපරාධයට වගකිවයුත්තන් කවුරුන්දැයි දැනගැනීමට මෙම ගැටයට හසු වූ ආයතනවල කවුරුත් බලා සිටියේ නොතිත් ආශාවෙනි. හෝමාගම ප්‍රදේශයේදී කළ වංචාව සම්බන්ධයෙන් හෝමාගම පොලිසියේ වංචා විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක චන්ද්‍රපාල විසින් විමර්ශන ආරම්භ කළ අතර බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ ලලිත් අබේසේකර විසින් මෙහි විමර්ශන කටයුතු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත පවරා තිබිණි.
ඒ අනුව එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක හේමන්ත කුමාරගේ මෙහෙයවීමෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කෙරිණි. මේ අනුව සැරයන් (40248) ප්‍රසන්න අනුගමනය කළේ සැකකරුටම ආවේණික ක්රමයකි. අනුරාධපුර ප්‍රදේශයේ ව්‍යපාරිකයෙකු සතුව සහල් තොගයක් විකිණීමට තිබෙන බවට අන්තර්ජාලයේ දැන්වීමක් පළ කිරීම එම උපක්‍රමයයි.
සතියක දෙකක කාලයක සිට සිදු කළ උගුලට සැකකරු හසු වූයේ තවත් විශාල මුදල් කඩා ගැනීමකට තිබූ කෑදරකම හේතුවෙනි. දුරකතන ඇමතුම් මඟින් සම්බන්ධ වෙමින් සහල් තොගය මිලදී ගැනීමට ඔහු පැමිණියේ අනුරාධපුර ප්‍රදේශයටය. ඒ ‘කඩ විස්ස’ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කළ සැරයන් ‘ප්‍රසන්න’ හමුවීම සඳහාය. ඒ ඔහුගේ සෙල්ලමේ අවසානය මෙය බව නොදැනය.
මොහු විසින් වංචා කළ රුපියල් දොළොස් ලක්ෂයකට අධික වටිනාකමක් ඇති සපත්තු තොගය අනුරාධපුර, වාරියපොළ, නිකවැරටිය, පාදෙනිය, හෝමාගම, මීගොඩ, කොබෙයිගනේ, කඩවත ආදී ප්‍රදේශවලට ටික ටික විකුණා තිබියදී සොයා ගැනීමට පොලිසිය කටයුතු කළේය.
එමෙන්ම අනෙකුත් දේපළවලින් කොටසක්ද සොයා ගැනීමට පොලිසිය සමත් විය. මොහුට විරුද්ධව හෝමාගම සහ ගම්පහ අපරාධ විමර්ශන ඒකකවල පැමිණිලි පහක් ඇති අතර මෙම වංචා කිරීම් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගැනීම සිදු කෙරිණි.
කෙසෙල් ගහට කොට කොට ගිය කොට්ටෝරුවාට සිදුවූ දේ මොහුටද සිදුවූයේ වැඩි තණ්හාවට මුදල් ඉපයීමට කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි.
ගම්පහ සහ අත්තනගල්ල අධිකරණවල ද මොහුට විරුද්ධව නඩු පවතින අතර මෙම වංචාවට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටද කටයුතු කරන බව පොලිසිය පැවසීය.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්යක්ෂ ලලිත් අබේසේකරගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ, පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර යන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් සැරයන්වරුන් වන (40248) ප්‍රසන්න, (69398) අනිල්,(72337) ලලන්ත,(72979) චමින්ද, කොස්තාපල්වරුන් වන (84762) කුමාර,(19363) හේමරත්න,(87699) චානක, (104675) කේසර යන නිලධාරීහු විමර්ශන සිදු කළහ.
විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ