Home » පාණදුරේ හෙල්ලූ අයිස් ජාවාරම්කාරයෝ

පාණදුරේ හෙල්ලූ අයිස් ජාවාරම්කාරයෝ

by thanushika
March 30, 2024 12:30 am 0 comment
දීපාල් සමරසේකර

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරට තරුණ ජීවිතවලට කරන විනාශය අපරාධය වචනවලින් කියා නිම කළ නොහැකිය. පාසල් යන වයසේ ඇතැම් දරුවන් පවා අයිස් මත්ද්‍රව්‍යවලට මේ වන විට ඇබ්බැහි වී සිටීම ඛේදජනකය.

ජාවාරම්කරුවන් අල්ලා ගැනීම සඳහා යුක්තිය මෙහෙයුම යටතේ විමර්ශනවල නිරත පොලිස් විශේෂ කාර්ය බළකාය ද පසුගියදා සිදුකළ දීර්ඝ විමර්ශනයකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ දහයක් පමණ අත්අඩංගුවට ගත්තේ එම නිලධාරින්ගේ විමර්ශන උපාය මාර්ග මොනවට විදහාපාමිනි. එම අයිස් මත්ද්‍රව්‍ය තොගය විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත් නොවුණානම් මේ වනවිටත් ජාවාරම්කරුවන් රැසක් අතට පත්වන්නට ඉඩ තිබිණි. යුක්තිය මෙහෙයුමේ නිරත පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ සෙසු ආරක්ෂක අංශ විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අයිස් මත්ද්‍රව්‍යවල ප්‍රමාණය කිලෝ 230යි ග්‍රෑම් 345ක් පමණ වේ.

ඉන්දියාවේ මදුරෙයි දුම්රියපොළේදී පසුගියදා ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය විශාල තොගය ද ඉන්දීය ජාවාරම්කරුවකු මාර්ගයෙන් මෙරටට එවීමට සූදානම් කර තිබූ ඒවා බව හෙළි වන්නේ ඉන්දීය පොලිසිය සිදුකරන ලද දීර්ඝ විමර්ශනයේදීය. එම අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉන්දීය පොලිසියට හසු නොවන්නට එය මෙරට ජාවාරම්කාරයන් අතට පත්වී පසුව මත්ලෝලීන් දසදහස් ගණනකගේ අතට යන්නට ඉඩ තිබිණි.

පාණදුරේ පොලිස් අධිකාරි කොට්ඨාසයට අයත් ඇතැම් පොලිස්බල ප්‍රදේශවල ද මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක වෙමින් තිබෙන බව රහසක් නොවේ. පොලිස් නිලධාරින් විසිහතර පැය පුරාම මෙහෙයුම්වල නිරත වුවද සූක්ෂමව කටයුතු කරන ඇතැම් ජාවාරම්කරුවන් පොලිසියට ද හසු නොවන අන්දමේ උපක්‍රම භාවිත කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන බව ඇත්තම කතාවයි.

පාණදුරේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සැලැසුම් සකස් කරමින් සිටින අතර වාද්දුව පොලිසිය සිදුකරන ලද මෙහෙයුමක් අතරතුරදී ළාබාල සිසුවියක සහ ඇගේ වයසින් වැඩි පෙම්වතා හසුවන්නේ අයිස් මත්ද්‍රව්‍ය සමඟය. ඒ වාද්දුව පොලිස් බල ප්‍රදේශයට අයත් පොහොද්දරමුල්ල ප්‍රදේශයේ මුහුදු වෙරළේදීය.

පොහොද්දරමුල්ල මුහුදු වෙරළේ සිටින සැක කටයුතු පෙම් යුවළක් ගැන වාද්දුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පොලිස් නිලධාරින් එහි ගොස් සැකකාර යුවළ පරික්ෂා කළ අවස්ථාවේදී පෙම්වතා සතුව තිබුණු අයිස් මත්ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් සහ ඒවා පාවිච්චි කරන උපකරණ සොයා ගන්නා ලදි.

මේ පෙම් යුවලේ පෙම්වතිය 17 හැවිරිදි සිසුවියකි. ඇය අධ්‍යාපනය ලබන්නේ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකය. පෙම්වතාගේ වයස අවුරුදු 30ක් වන අතර ඔහු අයිස් මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහිවී සිටින බව හෙළි වන්නේ පොලිසිය සිදුකරන ලද විමර්ශනයේදීය.

විමර්ශනයේදී වැඩිදුරටත් හෙළි වන්නේ මේ 17 හැවිරිදි සිසුවිය හොරණ ප්‍රදේශයේ පෞද්ගලික පන්තියකට ගොස් නැවත නිවසට පැමි‍ණෙන අතරමඟදී වාද්දුව පොහොද්දරමුල්ල මුහුදු වෙරළේදී පෙම්වතා සමඟ පැමිණ සිටි බවකි.

මේ 17 හැවිරිදි සිසුවිය තම පෙම්වතා අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව දැන සිටි අතර ඇය පෙම්වතාට අයත් අයිස් මත්ද්‍රව්‍ය දීම සඳහා ඇය සන්තකයේ තබාගෙන සිට ඇති බවද විමර්ශනවලදි හෙළි විය.

මේ දෙදෙනාම අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටින්නේදැයි සෙවීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය.

පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් ද පාණදුරේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමුන් අල්ලා ගැනීම සඳහා දැල එලන්නේ මේ අතරතුරදීය.

පාණදුර පොලිස් අධිකාරි කොට්ඨාසයට අයත් පොලිස් බල ප්‍රදේශ 4ක මේ මෙහෙයුම් සිදු කැරිණි.

පාණදුර, වස්කඩුව, පින්වත්ත, පොතුපිටිය, මොල්ලිගොඩ, අළුබෝමුල්ල යන ප්‍රදේශවලට ගිය පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයෝ එම ප්‍රදේශවල සිටින අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අල්ලා ගැනීම සඳහා මෙහෙයුම් සිදු කළේ එම ජාවාරමුන් ගැන මීට පෙර ලැබී තිබුණු තොරතුරුවලට ද අනුවය.

මේ වන විට බන්ධනාගාරගතව සිටින හිරණ ප්‍රදේශයේ ජාවාරම්කරුවකුගේ මෙහෙයවීමෙන් අදාළ ප්‍රදේශවල අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරගෙන යන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු පොලිස් අත්අඩංගුවට ගන්නේ වාද්දුව ‘පස්මං හන්දිය’ ප්‍රදේශයේදීය.

එම සැකකරුගෙන් ප්‍රශ්න කරද්දි අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් 16 දෙනකු අත්අඩංගුවට ගැනුණු අතර සැකකරුවන් සතුව තිබුණු අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ද සොයා ගැනීමට පොලිසියට හැකි විය.

සැකකරුවන් 17 දෙනා වැඩිදුර විමර්ශන සඳහා වාද්දුව, අළුබෝමුල්ල, පින්වත්ත, පාණදුර දකුණ පොලිස් ස්ථානවලට භාර දෙන්නේ ඉන් අනතුරුවය.

පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරිවරුන් වන නිශාන්ත සේනාරත්න, කමල් ජයනෙත්ති යන නිලධරයන්ගේ උපදෙස් මත පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර, සැරයන් (869) රවීන්ද්‍ර කොස්තාපල්වරුන් වන (96919) බණ්ඩාර (82409) පුෂ්පකුමාර, (92687) අකිල, (102492) වාසල, (91842) චානක යන නිලධරයෝ වැටලීම සිදු කළහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division