ඔහු 44 හැවිරිදිය. හෙතෙම ජා ඇළ, කණුවන ප්‍රදේශයේ පදිංචි සුප්‍රකට ව්‍යාපාරිකයෙකි. ජා ඇළ, කණුවන “අඹ සෙවණ” අවන්හලෙහි අයිතිකරු ද වන මේ ව්‍යාපාරිකයා දෙදරු පියෙකි. මොහු සිය බිරිය සහ දූදරුවන් සමඟ පදිංචිව සිටියේ ජා ඇළ ප්‍රදේශයේ සුඛෝපභෝගී මහල් නිවාසයකය.
මොහු මුල් කාලයේ කටුනායක ප්‍රදේශය මුල් කර ගනිමින් ප්‍රවාහන සේවා ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අතර පසුගිය කොරෝනා වසංගත සමය ආරම්භ වීමත් සමඟම කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්තශාලා අසීරු තත්ත්වයකට පත් වීම නිසා ප්‍රවාහන ව්‍යාපාරයට කණකොකා හඬන්නට විය.
එයින් ඔහුගේ ව්‍යාපාරික කටයුතු අඩපණ වෙමින් තිබියදී එයට ‘නව ජීවයක්’ උපදවන්නට නව ව්‍යාපාරික ක්ෂේත්‍රයක් වෙත ඔහු පිවිසීමට සිතුවේය.
මේ සඳහා ඔහුට රට පුරා මත්ද්‍රව්‍ය, මිනීමැරුම්, මංකොල්ලකෑම් පිළිබඳ චෝදනා ලබා සිටින දැනට විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික “සංඛ” නමැත්තාගේ මඟපෙන්වීම සහ පූර්ණ අනුග්‍රහය හිමි වී තිබුණි.
ඒ අනුව සිය ව්‍යාපාරික ක්ෂේත්‍රය වන ප්‍රවාහන ක්ෂේත්‍රය ‘මත්ද්‍රව්‍ය ක්ෂේත්‍රය’ වෙත මාරු කළ හෙතෙම මෙම ‘නව ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන්’ ලාභ පිට ලාභ උපයන්නට විය.
මේ සඳහා මෙතෙක් සමාජයෙන් ඔහුට හිමි වී තිබූ ‘හොඳ නාමයත්’ තම සුඛෝපභෝගී දිවියක් ගෙවමින් සිටි මහල් නිවස සහ ඔහුගේ “අඹ සෙවණ” අවන්හලත් මේ සඳහා ඔහු මැනවින් භාවිත කරමින් සිටියේය.
එහෙත් කටුනායක පොලිසිය මේ අතර “යුක්තිය” මෙහෙයුම යටතේ මත්ලෝලීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටි අතර ඔවුන් කටුනායක ප්‍රදේශයට මත්ද්‍රව්‍ය සපයන ප්‍රධානතම සැපයුම්කරුවා පිළිබඳව ද කරුණු හෙළි කරන්නේ එම ප්‍රශ්න කිරීම්වලදීය.
ඒ අනුව මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ සුවිසල් නිවස කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් වට කරන්නේ පසුගිය දිනෙක රාත්‍රී කාලයේය.
මෙම වැටලීමේදී එම නිවසෙහි කබඩ් එකක් තුළ තිබුණු රුපියල් ලක්ෂ විසිපහක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සහ මත්ද්‍රව්‍ය අලෙවිකර ලබාගත් මුදල් තොගයක් ද පොලිස් කණ්ඩායම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
එසේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය අතර කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 02ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක්, මෙම මත්ද්‍රව්‍ය නූලටම කිරා මැන ගැනීම සඳහා මයික්‍රෝ ඉලෙක්ට්‍රොනික් තරාදියක් සහ මුදලින් රුපියල් දෙලක්ෂ දහඅට දහස් අටසිය පනහක් ද තිබුණි.
මෙසේ අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය සැපයුම්කරුවා කටුනායක පොලිසිය විසින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර එතෙක් ඔහු කටුනායක පොලිසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයේ අවසරය ලබා ගැනිණි.
මීගමුව කොට්ඨාසය භාර පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී ගාමිණී රත්නායකගේ අධීක්ෂණය යටතේ කටුනායක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංක, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දහම් මාරසිංහ, උප පොලිස් පරීක්ෂක මොහොමඩ් නිෂ්මි, සැරයන්වරුන් වන (31371) සුනිල්, (25906) අනුර, කොස්තාපල්වරුන් වන (33249) අනුෂ්ක, (93015) කරුණානායක, (37627) කුමාර, (96820) සඳමාල්, (100255) සෙනෙවිරත්න සහ (102289) මධුසංඛ යන නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටිති.
කටුනායක ටී.කේ.ජී. කපිල