කොළඹින් දුර බැහැර පළාතක සිට කොළඹට ධාවනය වෙමින් තිබූ මගී බසයක් අතරමඟ පොලිස් මාර්ග බාධකයකදී නවත්වන්නේ පොලිසිය බසයේ රියැදුරුට ඈත තියා සිදු කරන ලද සංඥාව නිසාය.
බසය සහ මගීන් පරීක්ෂා කිරීම සඳහා පොලිසිය විසින් නවත්වන ලද බවත් බසයේ සිටින සියලුම මගීන් තම තමන්ගේ බඩු බාහිරාදිය ගමන්මලු ආදීන් රැගෙන පොලිසියේ පරීක්ෂාව සඳහා පෙළගැසෙන ලෙසත් මගීන්ට ශබ්ද නඟා පවසන්නේ බසයේ කොන්දොස්තරය. පොලිස් සංඥාවෙන් නැවතුණු බසයේ කොන්දොස්තර පළමුවෙන්ම බසයෙන් බැස පොලිස් මාර්ග බාධකයේ නිලධරයන් අසලට ගොස් ඔවුන් හමුවී නැවත බසයට පැමිණ පොලිස් නිලධරයන්ගේ පණිවුඩය බසයේ මගීන්ට එලෙස හඬ නඟා දැනුම් දෙද්දී නිදිමතේ සිටින සමහරු කන්කෙඳිරි ගාමීන් බසයෙන් බැස මාර්ග බාධකය දෙසට යන්නේ තමන්ගේ ජාතික හඳුනුම්පතද අතට ගනිමිනි.
මගීන්ගේ පාර්සල, ගමන්මලු, ජාතික හැඳුනුම්පත්, මාර්ග බාධකයේ සිටින පොලිස් නිලධරයන්ගේ ටෝච් එළි පහරින් පරීක්ෂාවට ලක්වන අතරේ තවත් නිලධාරීන් කීප දෙනෙක් බසයට ගොඩ වන්නේ එය පරීක්ෂා කිරීම සඳහාය.
බසයේ ගමන් බඩු රාක්කයේ කිසිවකුට අයත් පාර්සලයක් ‘බැරිවී’ යාම නිසා එලෙසම තිබෙනු නිරීක්ෂණය කරන පොලිස් නිලධරයන් හඬ නඟා මගීන් අමතා විමසන්නේ එම පාර්සලය කාගේ ද යන්නය. කිසිවකුගෙන් පිළිතුරක් නොමැති තැන කොන්දොස්තර ද මගීන් අසලට පැමිණ විමසන්නේ කිසිවකුට අයත් පාර්සලයක් බසයේ බැරිවීමකින් දමා ආවාද යන්නය. මගීන් එකිනෙකා මුහුණට මුහුණ බලා ගනිද්දී අයිතිකරුවකු නැති පාර්සලය මාර්ග බාධකයට ගෙන එන පොලිස් නිලධාරීන් එය විවෘත කරන්නේ මගීන්ද බලා සිටියදීය.
සියලු දෙනා විමතියට පත්කරමින් විවෘත කරන ලද පාර්සලයෙන් මතුවන්නේ වියළි ගංජාය. අඩුම තරමේ එතැන ගංජා කිලෝ දෙකක්වත් තිබුණි. ගංජා පාර්සලයේ අයිතිකරු සොයා ගැනීමට පොලිසිය ගත් උත්සාහය ව්‍යර්ථ වූ අතර එම පාර්සලය ගමන් බඩු රාක්කයේ තැබු පුද්ගලයා කවුරුන්දැයි කිසිවකු දැක තිබුණේ නැත.
මේ චිත්‍රපටයක ජවනිකාවක් ලෙස කිසිවකුට සිතන්නට හැකි වුවද මෙය පසුගිය දිනක සිදු වූ සිද්ධියකි. පොලිසිය සඳහන් කරන අන්දමට ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට ජාවාරම්කරුවන් පොදු මගී ප්‍රවාහන සේවා යොදාගෙන ඇති බවට සැක කළ හැකි බොහෝ තොරතුරු මේ වන විට හෙළි වී තිබේ.
මගියකු වෙසින් මත්ද්‍රව්‍ය පාර්සල් රැගෙන මගී බසයකට ගොඩවන ජාවාරම්කරු එම පාර්සලය කිසිවකුට නොදැනෙන ලෙසට සෙසු මගීන්ගේ ගමන්මලු අතර තබා ඒ අසලටත් නොරැඳී බසයේ ඉස්සරහටම හෝ පිටුපස්සට වන්නට ඇති ආසනයක අසුන් ගන්නා අතර ගමන නිරුපද්‍රිත නම් ගමනාන්තයේදී පාර්සලය රැගෙන බසයෙන් බසින අතර අතරමඟදී පොලිස් පරීක්ෂාවට ලක්වී නම් පාර්සලයට අනන්‍යතාව නොකියා මඟ හරින අතර හැකිනම් එම ස්ථානයෙන් ඉතාම සූක්ෂමව පලා යයි.
විශේෂයෙන් කොළඹින් දුර බැහැර සිට කොළඹට පැමිණෙන රාත්‍රී මගී බස් සහ කොළඹින් පිට පළාත්වලට ධාවනය වන මගී බස්වල ජාවාරම්කරුවන් මෙලෙස තමන්ගේ මත්ද්‍රව්‍ය කුඩා ප්‍රමාණවලින් ප්‍රවාහනය කරන බව විමර්ශනවලදී හෙළි වී ඇත.
යුක්තිය මෙහෙයුමට සමගාමීව දුර පළාත් මගී බස් පරීක්ෂා කිරීමේ මෙහෙයුම් පොලිසිය මේ වන විට ආරම්භ කර ඇත්තේ එබැවිනි. එවැනි බස් රථ පරීක්ෂා කිරීම සඳහා ඇතැම් අවස්ථාවල පොලිස් නිල සුනඛයන්ද යොදා ගනී.
පිට පළාත්වල සිට හයිලෙවල් පාරේ කොළඹට ධාවනය වන මගී බස්රථ ඇතුළු වාහන පරීක්ෂාවක් කොට්ටාව පොලිසියේ නිලධාරීන් එක්ව මෙලෙස සිදු කරන්නේ යුක්තිය මෙහෙයුමට සමගාමීවය. කොට්ටාව නගර මධ්‍යයේදී මේ මෙහෙයුම සිදු කෙරිණි.
මොනරාගල ප්‍රදේශයේ සිට පැමිණි ලංගම බසයක රියැදුරු මත්ද්‍රව්‍ය පානය කර සිටින බවට පොලිස් නිලධාරීන් සොයා ගන්නේ එම බසය නවතා පරීක්ෂා කළ අවස්ථාවේදීය. බසය පොලිස් භාරයට ගැනුණු අතර රියැදුරු සැකපිට අත්අඩංගුවට ගන්නේ ඒ අනුවය. එම බයසේ මගීන් 50ක් පමණ ගමන් කරමින් සිටි අතර මගීන්ට වෙනත් බසයකින් කොළඹ බලා ගමන් පහසුව සැලසීමට පොලිසිය කටයුතු කළේය.
හයිලෙවල් පාරේ ධාවනය වෙමින් තිබුණු දුර ගමන් සේවා බස් 10ක් සුඛෝපභෝගී වාහන 03ක් ත්‍රිරෝද රථ 04ක් මෝටර් බයිසිකල් 12ක් ඇතුළු රථ වාහන 31ක් මේ මෙහෙයුමේදී අහඹු ලෙස පරීක්ෂාවට ලක් වූ අතර මාර්ග නීති උල්ලංඝනය කළ පුද්ගලයින් හයදෙනෙකුට විරුද්ධව නඩු පැවැරිණි.
පුද්ගලයන් තිදෙනෙකු කේරළ ගංජා සමඟ මෙහිදී පොලිසියට කොටුවීම සුවිශේෂිය. භාවිතයට තහනම් හිස් ආවරණයක් (හෙල්මට්) භාවිත කළ මෝටර් බයිසිකල්කරුවකු ද මෙහිදී අත්අඩංගුවට ගැනිණි.
කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගත් මගීන් තිදෙනාගෙන් දෙදෙනෙකු බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණ බසයක ගමන් කරමින් සිටි අතර සෙසු පුද්ගලයා ඇඹිලිපිටියේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණ බසයක ගමන් කරළ අයෙකි. සැකකරු හමුදා සෙබළෙකි.
මේ සැකකරු පොලිස් පරීක්ෂාව පිණිස බසය නවත්වනවාත් සමඟ ඔහු අත තිබු කේරළ ගංජා පාර්සලය බසයේ අසුනක සඟවා ඇති අතර පොලිස් පරීක්ෂාවේදී එම කේරළ ගංජා පාර්සලය සොයා ගැනිණි.
අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමෙන් පිටවී කොළඹ බලා ධාවනය වූ සුඛෝපබෝගී බසයක කොන්දොස්තර සන්තකයේ තිබී ඔහුට අයත් සමාන තොරතුරු සහිත ජාතික හඳුනුම්පත් දෙකක් පොලිස් නිලධරයන් විසින් සොයා ගන්නා ලද අතර ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අදාළ අමතර ජාතික හැඳුනුම්පත්‍රය කොන්දොස්තර පදිංචි ප්‍රදේශයේ වසම භාර ග්‍රාම නිලධරයාට භාර දෙන ලෙසද පොලිසිය දැනුම් දුන්නේය.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.පී.එස්. ජයමහ, සහකාර පොලිස් අධිකාරී වෙදමුල්ල යන නිලධාරීන්ගේ උපදෙස් සහ මඟපෙන්වීම අනුව කොට්ටාව පොලිස් ස්ථානාධිපති සුභාෂණ වන්නිආරච්චි, රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද ප්‍රියශාන්ත සහ නුගේගොඩ කොට්ඨාස රථ වාහන අංශ නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක්ද මේ මෙහෙයුමට එක් වූහ.
ඡායාරූප – කොට්ටාප ප්‍රදීප් කුමාර
දීපාල් සමරසේකර