ලංකාවේ පරිණතම ඉරිදා පුවත්පත වන සිළුමිණට මාර්තු 30 වැනිදාට වසර 94 ක් පූර්ණය වේ. සති අන්ත පුවත්පත් අතර එදා සිට අද දක්වා අවිච්ඡින්නව පැවත එන එක ම ජාතික පුවත්පත වන්නේ සිළුමිණයි. වසර අනූ හතරක් යනු පුද්ගල ජීවිතයක නම් ඇසූ පිරූ තැන් ඇති පරිණතම අවදියයි. පුවත්පතක් විෂයයෙහි එයට තවත් යමක් එකතු වෙයි. එනම් ඇසූ පිරූ තැනින් නොනැවතී පාඨක සමාජය සමඟ ස්වකීය දැනුම් සම්භාරය බෙදා හදා ගැනීමයි. පාඨකයාට කිසිවක් ප්‍රදානය කිරීම සේම යළිත් පාඨකයාගෙන් කිසිවක් ලබා ගැනීම ද ඵලදායී පුවත්පත් කලාවේ සම්ප්‍රදායයි. ඒ පෝෂණ – ප්‍රතිපෝෂණ සම්ප්‍රදානය මැනවින් එදා සිට රැකි පුවත්පතක් වශයෙන් සිළුමිණ සිය ලකුණ සටහන් කරයි.
සිළුමිණ බිහිවෙන 1930 වර්ෂය යනු පුවත්පතකට කළ හැකි විස්මිත හා ප්‍රභාසම්පන්න සමාජ මෙහෙවරෙහි විභවය කෙරෙහි අපමණ විශ්වාසයක් තැබිය හැකි කාලයකි. තොරතුරු සන්නිවේදනය වාණිජ මට්ටමට රැගෙන යෑමේ සමාරම්භකයා ලෙසින් අවිවාදිත ව හඳුන්වා දිය හැකි ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධනයන් සිළුමිණ බිහි කරන අවදිය එතරම් ම ප්‍රබල ය. අමාරුවෙන් ආරම්භ කළ බොහෝ පුවත්පත් වැසෙන, අධිරාජ්‍යවාදයේ කළු සෙවණැලි හොල්මන් කරන පසුබිමක ලේක්හවුස් ආයතනය ආරම්භ කරමින්, වැහෙන්නට ගිය පුවත්පත් මිලට ගනිමින් ඔහු කළ පුවත්පත් විප්ලවය හා සම කළ හැකි විප්ලවයක් ආසියානු කලාපය ඇතුළත සොයාගත නොහැකි තරම් ය. ඒ විප්ලවයේ අසමසම ආලෝක කදම්බය සිළුමිණයි. සිළුමිණ 94 වැනි වියට පාතබද්දී එය බිහි කිරීමේ ලා අපමණ වෙහෙස ගත් නියමුවා අප සිහි කරන්නේ ගෞරවයෙනි. ඩී. ආර්. විජයවර්ධන හා එක් ව සිළුමිණ බිහි කිරීමේ බර කරට ගත් සිළුමිණ ප්‍රථම කර්තෘ පියසේන නිශ්ශංකයන් ද; සිළුමිණ නාමය තැබූ රත්මලානේ ධර්මාරාම හිමියන් ද; ඉරහඳ පවතිනා තාක් කල් පවතින්නට නැකත සෑදූ වළල්ලාවිට කෝරළයේ සංඝරාජ මහනාමිහියන් ද අවසෙස් ව මේ පුණ්‍යානුමෝදනාවේ කොටස්කරුවන් ය.
සිළුමිණ බිහි වූ 19 වැනි ශතවර්ෂයට අයත් වකවානුවේදී ලංකාවේ නිදහස සම්බන්ධ විවිධ කතාබහ හා විචාර ඇතිවෙමින් පැවැතිණි. උගත් ස්වදේශික ජනතාව විවිධ මට්ටමේ සංවිධාන පිහිටුවා ගනිමින් ලේ වැගිරීම්, සන්නද්ධ අරගලවලින් තොර සංස්කෘතික නිදහසක් වෙනුවෙන් පෙළ ගැසෙමින් සිටියහ. ලෝකය පුරා ම එකී වකවානුව වන විට යටත් විජිත වාදයට එරෙහි සංස්කෘතික අරගලයක් පිළිබඳ ගිනිසිළු නැඟෙමින් පැවතිණි. එවන් වකවානුවක පවතින සමාජ, ආර්ථික, සංස්කෘතික කාරණා සැලකිල්ලට ගැනීමේදී සිළුමිණ වන් සතිඅන්ත පුවත්පතක් ආරම්භ කිරීමේ දුෂ්කරත්වය ගැන අටුවා ටීකා අවැසි නැත. මේ යුගයේ දේශීය චින්තනයකින් හෙබි සිංහල පුවත්පතක් ආරම්භ වීම වැදගත් සන්දිස්ථානයකි. 1930 මාර්තු මස 30 වැනිදා සිළුමිණ පුවත්පත ආරම්භ වූ යුගය යටත්විජිත ශ්‍රී ලංකාවේ දේශපාලනික පරිවර්තනීය වෙනසක් ඇති වූ සමයෙකි.
1931 වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රවණතාව කුමක් විය යුතු ද යන්න ගැන ඉංග්‍රීසි ආණ්ඩුව සලකා බලමින් සිටියේය. සිළුමිණ පත්‍රය බිහි වෙන්නේ ලංකාවේ සියලුදෙනා යටත් විජිතය ඇතුළත උපතින් සමානයන් බවට පත් කරන, අවුරුදු 21ට වැඩි සියලු ම පුරවැසියන්ට තමන්ගේ දේශපාලන නියෝජිතයා පත්කර ගැනීමට අවකාශ සලසා දෙන කාල වකවානුවක ය. ලංකාවට සර්වජන ඡන්ද බලය ලබා දීමට ක්‍රියා කළ කම්කරු පක්ෂ නායක ඒ. ඊ. ගුණසිංහ සහ ඔහුගේ ඉල්ලීම් ගැන ලේක්හවුසියේ සිළුමිණ කර්තෘවරයා විශේෂයෙන් අවධානය යොමු කර ඇති බැව් සිළුමිණ ඉතිහාසය පිරික්සීමේදී පෙනේ. සර්වජන ඡන්ද බලය ශ්‍රී ලංකාවට අවශ්‍ය බව පැහැදිලිව පිළිගත් ප්‍රතිපත්තියක් සිළුමිණට තිබුණි. මුල්කාලීන සිළුමිණ ජනප්‍රිය වීමටත් ඒ කාරණය ඉවහල් වූ බව ඉතිහාසඥයන්ගේ මතයයි. 1931 දී සර්වජන ඡන්ද බලය ලැබීමත් සමඟම ඇතිවූ පරිවර්තනය මිනිසුන්ට ක්‍රම ක්‍රමයෙන් අවබෝධ කොට දුන්නේ ද සිළුමිණ පත්‍රය මඟිනි.
අකුරු කියා සංකේත පද්ධතියක් තිබූ පලියට හා ඒවා කඩදාසි මත යකඩින් සැදි මුද්‍රණ යන්ත්‍රයකින් මුද්‍රණය වූ පමණින් එහි සහෘදය ගැටලු හා සංවාද නැත්නම් ජනරංජනීය හා ජනතාකර්ෂණීය පුවත්පතක් බිහි වන්නේ නැත. අධ්‍යාපනය, විනෝදාස්වාදය, තොරතුරු සම්පාදනය හා පෙලඹවීම යන මූලික සන්නිවේදන අවශ්‍යතා සියල්ල පුවත්පතක සංගෘහිත නොවන්නේ නම් එය පාඨකයා වෙතින් ප්‍රතික්ෂේප වේ. රටේ ලොකු – කුඩා, උගත් – නූගත් සෑම තරාතිරමකම කියවන පිරිස අත රැඳෙන, ඔවුන්ට සමීප පුවත්පතක් වන්නට නම් එහි ලියැවෙන අන්තර්ගතය පාඨකයාට සමීප විය යුතුය. කමලා ළමා සමාජයේ සිට නවා පොතක් සේ සකසා ගත හැකි ශාස්ත්‍රීය අතිරේකය දක්වා සිළුමිණ පාඨක විවිධත්වයට ගරු කළේය. ඒ අතින් මෙරට පුවත්පත් අඹර තුළ විශිෂ්ටත්වයේ කීර්තිය ලද පුවත්පත සිළුමිණ බව තහවුරු කරන හොඳ ම ලකුණ වන්නේ එය මෙරට ජනතාව අතරේ සත දහයේ විශ්වවිද්‍යාලය ලෙස ලත් විරුදාවලිය නිසා ය. දේශීය විශ්වවිද්‍යාල බිහි වී නැති වකවානුවක, බලවත් හා ධනවත් එක් පිරිසක් විදෙස් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබද්දී ඒකභාෂික දේශීය පාඨකයන්ට විශ්වවිද්‍යාලයක දැනුම් පරාසය ලබා දුන්නේ සිළුමිණ යි. එකී බුද්ධිමය දානයට ප්‍රතිගෞරව කරනු වස් ජනතාව සිළුමිණට ජනතා සම්මානය දුන්නේ දෙවරක් නොසිතා ය. භින්න රුචිකත්වයට ගරු කරන සිළුමිණ අදත් ඒ සම්ප්‍රදායට ගරු කරන්නේ පාඨක ප්‍රතිපෝෂණයට ගරු කරමිනි.
සිළුමිණ ප්‍රධාන කතු පදවියට මුලින්ම පත් වෙන්නේ ප්‍රකට ලේඛකයකු වන පියසේන නිශ්ශංක සූරීන් ය. භාෂා පරිවර්තකයකු ලෙසින් ලේක්හවුසියට බැඳුණු ඔහු තරම් මේ සඳහා සුදුස්සෙක් නැතැයි ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධනයන් සිතීම සාකල්‍යයෙන්ම නිවැරදි තීරණයකි. පුවත්පත ඇරඹීමට නැකතක් සෙවීම ද එකල බාර වූයේ පියසේන නිශ්ශංකයන්ට ය. ඔහු බෙන්තර වළල්ලාවිට කෝරළයේ සංඝනායක හිමියන් ලවා අතිප්‍රබල නැකතක් සාදවා ගත්තේය. මේ නැකත පිළිබඳ උන්වහන්සේ ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය එකල ජනප්‍රිය වූ බැව් ඉතිහාසයේ සඳහන් ය. ඒ ‘ මේ නැකතින් පටන් ගන්නා පුවත්පතක් ඉර හඳ පවතිනා තාක් කල් පවතිනවා‘ යනුවෙනි. මාර්ටින් වික්‍රමසිංහ වැනි වියතුන් හා එක්ව සිළුමිණ හැකි තරම් ඉහළ මට්ටමකට ගෙන ඒමට පියදාස නිශ්ශංක සූරීන් බෙහෙවින් උත්සාහ ගත්හ.
පුවත්පත් කලාවේදියකු ලෙස හා ලේඛකයකු වශයෙන් මාර්ටින් වික්‍රමසිංහ කතුවරයා නිසා සිළුමිණ කතු ධුරය බැබළුණු බැව් අවිවාදිතය. වික්‍රමසිංහයන් සිළුමිණ කතුධුරයට පත් වෙන්නේ 1934 බැව් සඳහන් ය. ඒ, පියසේන නිශ්ශංකයන්ට දිනමිණ කතුධුරය බාර ගැනීමට සිදුවීම නිසා ය. මාර්ටින් වික්‍රමසිංහ ‘මයුරපාද‘ නම් අන්වර්ථ නාමයෙන් සිළුමිණ පුවත්පතට ලියන්නේ 1934 අගෝස්තු 5 වැනිදා සිට ය. එහි ශීර්ෂය වූයේ ‘උත්සව සන්නිය හා සූදුව‘ යන්නයි. එතැන් සිට 1950 නොවැම්බර් 5 වැනි දින දක්වා මයුරපාද නමින් වික්‍රමසිංහ සිළුමිණට ලියන ලද ලිපි සංඛ්‍යාව 235කි. අවසන් ලිපියේ ශීර්ෂය වූයේ ‘ සිංහල නාටකය දියුණු කිරීම‘ යන්නයි. අභිමානවත් ලේඛන සම්ප්‍රදායක උරුමය සිළුමිණට හිමි වන්නේ එකී පාදම මත පිහිටා ය. ඒ අනුව විශ්වවිද්‍යාලයක් තරමට දැනුම සම්පාදනය කළ තෝතැන්නක් බවට සිළුමිණ පුවත්පත අනවරතයෙන් පත් විණි.
මෙකී සම්ප්‍රදායෙන් පොහොසත් වුණු සිළුමිණ 1934 දී තාගෝර්තුමා ලංකාවට පැමිණීම ගැන සිය පාඨකයන් දැනුම්වත් කළ ආකාරය එහි ගමන්මඟ හා අරමුණු පිළිබඳ ගැඹුරු චිත්‍රයක් මවාපායි. ඔහුගේ කවි පරිවර්තනය කර පුවත්පතේ පළ කරමින්, චිත්‍ර පළ කරමින්, ඔහු පිළිබඳ විශිෂ්ට ලිපි පළ කරමින් ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇතිකිරීමේ ලා මහඟු මෙහෙයක් සිළුමිණ ඉටු කළේය. මේ ලිපි හා තාගෝර්තුමාගේ පැමිණීම සාමාන්‍ය ජනතාව අතරට පවා රැගෙන යෑමට සිළුමිණ ක්‍රියා කළ ආකාරය ඇතුළත කියැවෙන ශාස්ත්‍රීය ප්‍රබෝධය ඒක භාෂික සිංහල පාඨකයන්ට පුවත්පත බෙහෙවින් සමීප වීමේ ලා හේතු කාරණා විය.
භාෂා ශාස්ත්‍ර විශාරදයන්, ඉතිහාසඥයන්, පුරා විද්‍යාඥයන් මෙන්ම විවිධ මාදිලියේ වියත් ලේඛකයන් ද සිළුමිණ පුවත්පතට ඉතා සාරගර්භ ලිපි සැපැයීම ඉතා වැදගත් ය. ලංකාවේ සිය නාමය සටහන් කළ බොහෝ ලේඛකයන්, විද්වතුන් සිය මුල්ම පුවත්පත් ලිපිය ලියන්නේ සිළුමිණ වෙනුවෙනි. පැලෑනේ ශ්‍රී වජිරඥාන නාහිමි, කළුකොඳයාවේ ශ්‍රී පඤ්ඤාශේඛර නාහිමි, එඩ්මන් පීරිස් රදගුරුතුමන්, මහාචාර්ය ගුණපාල මලලසේකර, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මාර්ටින් වික්‍රමසිංහ වැනි වියතුන්ගේ එදා සිළුමිණේ පළවූ ලිපි ලේඛන ඊට උදාහරණ වේ.
සිළුමිණ ඒක භාෂික පාඨකයන්ට විදුබිමකි. පුවත්පත බිහිවූ මුල් කාලයේම අයි.ඇම්.ආර්. ඊරියගොල්ලයන් ඉදිරිපත් කළ ‘නොක්ස්ගේ ලංකා ඉතිහාසය’ පරිවර්තන ලිපි පෙළ ගිනිය නොහැකි තරම් වැදගත් වන්නේ ඒ වැනි පසුබිමක ය. පසුව එය පොතක් ලෙස ඉමහත් ගෞරවයට පාත්‍ර විණි. මෙකල්හි මෙන් නොව එදා තොරතුරු ලබා ගැනීමට සිංහලෙන් පළ වූ පොත්පත් ඉතා හිඟ විය. එබැවින් එංගලන්තයේ විකාශනය වූ ඉංග්‍රීසි ගුවන්විදුලි වැඩසටහන් හා එංගලන්තයේ පළ වූ පොත්පත් විවිධ විද්වතුන් විසින් පරිවර්තනය කරන ලදුව සිළුමිණේ පළ විණි. ශාස්ත්‍රීය පිපාසයෙන් සිටි පිරිසට මෙය පැන් දෝතක් වූ අතරම, සිළුමිණ ඉටු කළ ශාස්ත්‍රීය මෙහෙය අද්විතීය වන්නේ ද එවන් වූ කරුණු හේතුවෙනි.
සිළුමිණ ඇරඹි ශාස්ත්‍රීය හා අනභිභවනීය ඓතිහාසික කාර්ය භාරය තවත් ඔපවත් කිරීමේ ලා බලපෑම් කළ කර්තෘවරු කිහිපදෙනෙක් ම වූහ. කාව්‍ය සම්ප්‍රදාය හා කලාව කෙරෙහි වැඩි අවධානයක් යොමු වන්නේ 1961 සිට 65 දක්වා කතුකම් කළ මීමන ප්‍රේමතිලක සමයේ ය. පියසේන නිශ්ශංකගේ පටන් මාර්ටින් වික්‍රමසිංහ, මීමන ප්‍රේමතිලක, ඩී.එෆ්. කාරියකරවන, කවුඩානේ පියදාස පෙරේරා, තිලකරත්න කුරුවිට බණ්ඩාර, කරුණාදාස සූරියආරච්චි ආදී වශයෙන් කලින් කල පත්වූ බොහෝ කර්තෘවරු නිර්මාණ ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් සැපයූහ. මෙය ලෝක මට්ටමින් ගත් කල ද විශේෂ ප්‍රවණතාවකි. බොහෝ දෙනා අතර ඇති විශ්වාසයක් වන්නේ පුවත්පත් කලාව හා නිර්මාණ කලාව අතර පරස්පරයක් ඇති බව ය. සිළුමිණ ඉතිහාසය ගෙන බැලූ කල මෙය සාවද්‍ය කරුණක් බව ඉහත කරුණු ඔස්සේ සනාථ වේ.
සිළුමිණ මාර්තු 30 දා පා තබන නව වැනි දශකයේ මැද භාගය වූ කලී පුවත්පත් කලාවට පොදුවේ අභියෝග රැසක් එල්ල කරන වකවානුකි. මේ වකවානුවේ සිළුමිණ බිහි වූ 30 දශකය මෙන් තොරතුරු සොයා ගැනීමේ මාධ්‍ය විරල වකවානුවක් නොවේ. තොරතුරු සම්පාදනයේ, බෙදාහදා ගැනීමේ මහා තරඟයක් නිර්මිත වකවානුවකි. එදා මෙන් මාධ්‍ය විරල නැත; ඇත්තේ පළමුවැන්නා වීමේ තරගයකි. පවතින ප්‍රවණතා හමුවේ වෙනස් වෙමින් වුව ද සදාචාර සම්පන්න මාධ්‍ය කලාවක් පවත්වා ගෙන යෑමේ ලා වත්මන් සිළුමිණ ඉදිරියේ දැවැන්ත අභියෝගයක් තිබේ. කවර සමාජාර්ථික හෝ දේශපාලනික වෙනසක් වුව ද සිළුමිණ ජනතාව වෙත සමීප කරවූ එහි ආරම්භක අධිෂ්ඨාන වෙත අනවරත ව කාල තරණයක යෙදෙන්නට පත්තර මහගෙදරින් එළිදකින සිළුමිණ ශක්තිමත් බැව් කිව යුතු ම ය. සිළුමිණ මාධ්‍ය ලොව ඇතුළත සිළුමිණක් ව වැජඹෙන්නේ මෙකී උත්තුංග ශක්තිය නිසා ය. පවතින දහසක් අභියෝග මැද වුව පාඨක විශ්වාසය රැක ගැනීමත් එකී විශ්වාසයට ගරු කිරීමත් අදටත් සිළුමිණ දන මන පොබයන පුවත්පතක් වීමෙහි රහසයි. සිළුමිණ සන්නාමයක් ව එදා මෙදා තුර බිහි වූ සියගණන් පුවත්පත් අතරේ බැබළෙන්නේ එය වටා අද දක්වා රැඳී සිටින සුවහසක් පාඨක සහෘදය ප්‍රජාව නිසා ය. පුවත්පතේ ජීවය රඳවන මේ සමස්ත පාඨක ප්‍රජාවට අපගේ ශීර්ෂ ප්‍රණාමය නිබඳ ව ම හිමි විය යුතු ය.
අනූහතර වසරක් යනු පුවත්පතකට පරිණතම අවදියකි. පාඨක සහෘදය ප්‍රජාව හා අර්ථ සම්පන්න සහසබඳතාවක් දශක නවයක් තිස්සේ අවිච්ඡින්නව පවත්වා ගෙන යෑම පහසු කරුණක් නොවේ. සිළුමිණට 94 සපිරෙද්දී මෙරට ට සර්ව ජන ඡන්ද බලයට ද වසර 93ක් සැපිරේ ( 1931-2024). සිළුමිණ හා ප්‍රජාතන්ත්‍රීය නැඹුරුව කියවා ගැන්මේ ලා එය ශක්තිමත් පදනමකි. 1930 මාර්තු 30 පළමු සිළුමිණ පුවත්පතේ එස්. මහින්ද හිමියන් ගේ පහත කවිපෙළ පළ වී තිබිණි. උන්වහන්සේගේ ඒ කවිය අප කියවා ගන්නේ පෙර නිදහස පිළිබඳ කරුණ පසුබිමේ තබා ය.
නිදහස හිමි වෙන්ටත් –
ජාති ආලේ වැඩෙන්ටත්
නැණ එළිය ලබන්නටත් –
වාසනාවන්ත වෙන්ටත්
රට සමය හදන්ටත් – වාද – බේ බුන් කරන්ටත්
සමගිය ලියලන්ටත් – ඒ මඟින් ලෝ වැඩෙන්ටත්
කැමති අය සිටිත්නම් – සිංහලද්දීපයේ මේ
‘සිළුමිණ‘ කියවත්වා – ආයුබෝවන්! කියත්වා!
මේ වග මෙලෙස දන්වන් – නේ කියන්නේ හිතන්නේ
සිළුමිණෙහි ඉතා ළාබාල –
කවිකාරයා වේ!