ත්‍රිභූවන චූඩා මාණික්‍ය වූ’ යැයි සුගත්හු ගුණ කඳ, උම්මග්ග ජාතකයේ මුලින්ම ප්‍රකාශ වන්නේය. මේ අර්ථය වන්නේ ‘තුන් ලොවට ම සිළුමිණක් බඳු වූ’ යන්නය. සිළුමිණ වනාහි ඔටුනු ශීර්ෂයෙහි බැඳි මාණික්‍ය රත්නය යැයි උමංදා ටිප්පණිය විස්තර කරන්නේය.
සිළුමිණ පුවත්පතට වසර අනූ හතරක් සපිරෙන මොහොතේ, උමංදාව සහ එහි එන ත්‍රි භූවන චූඩා මාණික්‍ය නම් යෙදුම මේ තීරුව සිහිපත් කරනුයේ, අපේ කතාවේ පටුන සඳහා එය වැදගත්භාවයක් උසුලන බැවිනි. මහා බෝසත්හු ප්‍රඥා පාරමිතාව පුරනු වස් ගත කළ එක් ජීවිත කතාවක් ලෙස උම්මග්ග ජාතකය අප හදාරන්නේය. සිළුමිණ මේ රටේ ජනතාව වෙත ප්‍රඥා පුරවන ලද්දේ හෙයින්, ඒ කොටස අපට වැදගත්ය. අනික නම් ‘සිළුමිණ වනාහි කිරුළේ ඇති අග්‍ර මැණික’ යන්නය. එය අප සිළුමිණ උදෙසා ද ගැළපෙන්නේ මේ රටේ මාධ්‍යයේ සිළුමිණ සඳහා ඇති ස්ථානය ද එහා සමැ වන්නේ හෙයිනි.
සිළුමිණ මේ රටේ පත්තර ගොනුවට එක්වන්නේ ජාතිය උස් නිදහස වෙනුවෙන් සටන් කරන්නය. ‘උස්’ යන විශේෂණය එකතු වන්නේ නිදහසට එහා ගිය යමක් සඳහාය. නිදහස සඳහා වූ සටන වෙනුවෙන් පත්තර ගණනාවක් නිකුත් විය. කොහොමින් හෝ මුද්‍රණාලයක් මිලදී ගෙන, නිදහස වෙනුවෙන් හඬ නැඟුවාය කියා එය ජනමාධ්‍ය කාර්යභාර්යක් නොවන්නේය. මාධ්‍ය සහ ජනමාධ්‍ය යනු දෙකකි. ලේක්හවුස් ආයතනය ඉටු කරන ලද්දේ ජනමාධ්‍යයේ කර්යභාර්ය. මේ රටේ එහෙම ආයතනික රටාවක් සහිත මාධ්‍යක්, නිදහස සටන සඳහා ප්‍රවේශ වීම සාධනීය වෙද්දී ‘සිළුමිණ’ නිදහස ඊට එහා ගෙන ගොස් උස් නිදහසක් බවට පත් කර ගත්තේ යැයි අප කියනුයේ, සිළුමිණ ශාස්ත්‍රීය මෙහෙවර මුලටගෙනය.
1930 වසර වන විට, ඩී. ආර්. විජයවර්ධනයන්ට සතිඅන්ත පුවත්පතක් ඇරැඹීමේ අවශ්‍යතාව පැන නැඟිණි. කර්තෘ ලෙස පියසේන නිශ්ශංක මහතා නම් කෙරිණි. ‘ශත 10යි. පිටු 20යි’ ලෙස පත්තරයේ ආකෘතිය සකස් වුව ද ‘පතට නමක්’ නොවූයේය. ගණ බලා හොඳ නමක් සාදා දෙන ලද්දේ රත්මලානේ ධම්මාරාම නාහිමියෝය. උන් වහන්සේ විද්‍යාලංකාරයේ පරිවේණාධිපති නා හිමියෝය. විද්‍යාලංකාරය යනු සටන් බිමකි. ශාස්ත්‍රාලයකි. ඒ මෙහෙවර ජනතාව අතරට ගෙන යෑම සඳහා සතිඅන්තයට සිළුමිණ ප්‍රකාශයට පත්විය.
උස් නිදහස සඳහා ප්‍රවේශය නිර්මාණය වන්නේ එතැනිණි. ශාස්ත්‍රීය අතිරේකයක් එළිදක්වා මේ රටේ ජනයාගේ චින්තනය කුළු ගැන්වීම සිළුමිණේ වුවමනාව විය. නිදහස ලැබුවේ මුත්, ප්‍රඥාව හීන වන්නේ නම් ඒ ජාතිය වඳ වන්නේ යැයි සිළුමිණට හැඟීමක් විය. ‘න්‍යායයෙන් තොර භාවිතය අන්ධය. භාවිතයෙන් තොර න්‍යාය වදය’ යන ප්‍රකාශය අනුව නිදහස ජාතියක් සඳහා වූ න්‍යාය පත්‍රයක් රටට අවශ්‍ය විය. එය සපුරාම දේශයේ චින්තනය හැඩ ගස්වන යමක් විය යුත්තේය. සිය ශාස්ත්‍රීය ප්‍රවේශය ඔස්සේ සිළුමිණ දේශයට නව චින්තන සම්ප්‍රදායක් හඳුන්වා දෙන්නේය.
යටත් විජිත සමය බැවින් මේ රටේ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක දැනුම් සම්භාරය ග්‍රන්ථගත වූයේ ඉංග්‍රීසියෙනි. දැනුම සඳහා වූ භාෂාව ඉංග්‍රීසිය පමණක් වන් කල, සිංහලය කුස්සියේ සහ කඩ පිලේ භාෂාව බවට ලඝු වන්නට විය. පළවෙන පත පොත අතර ශාස්ත්‍රීය සිංහල පොත් හිඟ විය. ඉඳ හිට පළවෙන පොතක් වුව ද ජනතාවට සමීප නැත්තේ හෙයින්, දැනුම දුරස් වීමේ දරිද්‍රතාවෙන් සමාජය පෙළෙන්නට විය.
දැනුම පොදු ජනතාව අතරට රැගෙන යාම සඳහා සිංහල බසට දැනුම පරිවර්තනය කිරීමේ ‘මහා ව්‍යායාමය’ අතට ගත්තේ සිළුමිණය. මේජර් තෝමස් සිකිනර් ගේ ‘ලංකාවේ පනස් වසරක්’, රොබට් නොක්ස්ගේ ‘ලංකා ගමන් විස්තරය’, ආර්. එල්. බ්‍රෝහියර් ගේ ‘ලංකාවේ වාරි මාර්ග’, එච්. ඩ්බ්ලිව්. කේව්ගේ ‘ලංකාවේ නටබුන් නගර’, මහාචාර්ය විමලානන්ද තෙන්නකෝන්ගේ ‘උඩරට මහ කැරැල්ල පිළිබඳ ලියවිලි’ ආදී පතපොත සිංහලෙන් කොටස් වශයෙන් සිළුමිණේ පළ විය. මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ සීගිරි කුරුටු ගී පිළිබඳ පර්යේෂණ ද සිංහල බසින් සමාජයට ලබා දුන්නේ සිළුමිණය.
මේ මෙහෙවර නිදහස සහ උස් නිදහස අතර කතාවය.
දැනුම පොහොසත් වූ වන මිනිසාගේ සමාජ සත්ත්වයා හැඩිදැඩි වන්නේය. එහෙම උත්තුංග වූ සමාජයක් සිතන්නේ පහළ ගතිකයක් ඇතිව නොවේ. නිදහස නම් වූ පදය අර්ථ ශුන්‍ය නොකරගනු පිණිස සිළුමිණ සිය අනූ හතර වසර පුරාම, ඒ ප්‍රඥා පාරමිතාව පිරුවේය.
කුසදා කව ලෙස සර්වඥ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහු රජු සිය ගතට නම් තැබූව ද එය කවියේ අග්‍ර ඵලය බැවින් ‘කව් සිළුමිණ’ යැයි නම් ලද්දේය. සිළුමිණ සිය ශාස්ත්‍රීය මෙහෙවර දියත් කරන හෙයින් මේ රටේ ජනී ජනයා එය වරුවෙන් මිය යන පුවත්පතක් නොව දේශය දැනුමෙන් පුරවන විශ්වවිද්‍යාලයක් ලෙස නම් කළහ. එවන් විරුදාවලියක් එදා මෙදා මේ රටේ කිසිදු මාධ්‍යයක් ලැබුවේ නැත. වසර අනූහතරක සිළුමිණ කතාවේ පියසේන නිශ්ශංක, මාර්ටින් වික්‍රමසිංහ ආදී වියත් පඩිරුවන් ගණනාවක් ප්‍රධාන කතු පදවි ඉසිලූහ. එහි මාධ්‍යවේදී වර්ගයා ලෙස තවත් පඩිවරු ගණනාවක් සේවය කළහ.
සිළුමිණ වනාහි අනූ හතර වසරක කතාවක් නොව මේ රටේ සියවසක සිතීම හුරු කළ ක්‍රියාවලිය ය. 1939 අගෝස්තු 30 දා සිය වැඩිමහල් සොහොයුරාට ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ සිට ලිපියක් එවමින් සුනිල් ශාන්තයන් “ මා බොහොම ආසයි සිළුමිණ පත්‍රය බැලීමට. ශත දහයක පත්‍රයක් ගෙන ශත දෙකක මුද්දර ගසා මට එවන්න, සෑම ඉරිදා ම” යැයි සටහන් කළේය. ඒ අපේ ප්‍රඥා පාරමිතාවය.
මේ සඳහා අත්වැල් වූ පාඨක, අනුග්‍රාහක ආදී සියල්ලෝ සහ මේ ගමන තෙක් ලේක්හවුසිය කළමනාකරණය කරන ලද සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩල ද සිහි කළ යුත්තේය.
අදින් ආරම්භ වන්නේ තවත් වසරක් නොවේ. සිළුමිණේ අලුත් ගමනය.