Home » ජීවන ගමන ඉහළ පහළ යවන රාහු – කේතු ග්‍රහ පිහිටීම

ජීවන ගමන ඉහළ පහළ යවන රාහු – කේතු ග්‍රහ පිහිටීම

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

සමාජයේ වෙසෙන බොහෝ පුද්ගලයන් නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ ඇතැම් අය බොහෝ සේ සාර්ථක වුවද එම සාර්ථකත්වය දිගින් දිගටම පවත්වා ගෙන යා නොහැකි බවය. එනම් මුල් කාලයේදී අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ජය කෙහෙළි නංවන ඇතැම් දෙනා පසුකාලීනව සාමාන්‍ය තත්ත්වයටත් වඩා දුර්වල වන බව මා විසින් අත්දැක ඇත්තෙමි.

මීට අමතර ලෙස ඇතැම් දෙනා කලකදී සුඛෝපභෝගී යානවාහන භාවිතා කළද, තවත් කලදී ඉතා සාමාන්‍ය ජීවිත ගතකරන බව පෙනේ. මෙසේ විවිධ අංශවල ඉහළ පහළ යන පිහිටීම් කිහිපයක් පිළිබඳව උදාහරණ කේන්ද්‍ර අසුරින් සාකච්ඡා කිරීමට අද දිනයේදී බලාපොරොත්තු වෙමි.

මෙහිදී මා බලාපොරොත්තු වන්නේ හොඳින්ම දන්නා පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ජීවිත උදාහරණයට ගෙන මෙම කාරණාව විස්තර කිරීමටය. කෙසේ වෙතත් කේන්ද්‍ර සටහන් දහස් ගණනක් ඇසුරින් මෙම නිගමන තවදුරටත් තහවුරු කරගත යුතුය.

මෙසේ යම් අයෙකුගේ ඉහළ පහළ යන ලක්ෂණ ඇතිවන එක් පිහිටීමක් ලෙස රාහු ග්‍රහයා 2 වන භාවය තුළ හෝ කේතු ග්‍රහයා 2 වන භාවය තුළ පිහිටීම දැක්විය හැකිය. නොඑසේ නම් මෙම පිහිටීම, රාහු – කේතු අක්ෂය 2, 8 භාව ඔස්සේ පිහිටීම ලෙස ද අර්ථ දැක්විය හැකිය. කුඩා කාලයේ ඉතා දක්ෂ ලෙස ඉගෙන ගෙන, උසස් අධ්‍යාපනයේදී අසාර්ථක වූ බොහෝ පුද්ගලයන්ගේ කේන්ද්‍ර සටහන්වල මේ ආකාරයට රාහු, කේතු අක්ෂය 2, 8 ඔස්සේ පිහිටා ඇති බව මා විසින් හඳුනාගෙන ඇත්තෙමි. මා දන්නා එවැනි එක් පුද්ගලයෙකු මගේ හොඳම මිතුරෙකු වන අතර ඔහුගේ උත්පත්ති කේන්ද්‍ර සටහනේ රාහු ග්‍රහයා 2 වන භාවය තුළද, කේතු ග්‍රහයා 8 වන භාවය තුළද පිහිටා ඇත. දිස්ත්‍රික්කයේ කීර්තිමත් විදුහලක අධ්‍යාපනය ලැබූ ඔහුට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් විදුහලේ විශිෂ්ටතම ප්‍රතිඵලය ලබා ගත හැකි විය. නමුත් උසස් අධ්‍යාපනයේදී කිසිවෙකුත් සිහිනෙන්වත් නොසිතූ ලෙස බලාපොරොත්තු වූ ප්‍රතිඵලවලට ආසන්න වන්නටවත් ඔහුට නොහැකි විය.

මේ ආකාරයේම පිහිටීමක් ඇති මගේ තවත් මිතුරෙකු විශ්වවිද්‍යාලයට පිවිසෙද්දී ඔහුගේ විෂය බාහිර දක්ෂතා අප මවිතයට පත්කරවන ලදි. නමුත් ඔහු හදිසියේ ශල්‍යකර්මයකට ලක්වූ අතර, ක්‍රම ක්‍රමයෙන් අප නොසිතූ ලෙස ඔහුගේ දක්ෂතා යටපත් විය. ඔහුට සමහර අවස්ථාවලදී කිසිම නිශ්චිත හේතුවක් නොමැතිව, වසරින් වසර රැකියාවල් කිහිපයකින් ඉවත්වීමට පවා සිදුවිය.

මගේ තවත් ඥාතිවරියකගේ උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුවද රාහු, කේතු අක්ෂය 2 වන සහ 8 වන භාවය ඔස්සේ වැටී ඇත. මුල් කාලයේදී නගරබද පරිසරයක සමාජශීලී ජීවිතයක් ගත කළ ඇය විවාහයෙන් පසු ගම්බද ප්‍රදේශයකට පදිංචියට ආවාය.

ඇය යානවාහන ආදිය සහිතව තම සහකරුවා සමඟ යම් පමණක සුවපහසු ජීවිතයක් ගත කළද, හදිසියේ සහකරුවාගේ මියයාම සිදු වූ නිසා පසුව දුෂ්කරතා රැසකට මුහුණ දෙන ලදි. එනම් රාහු, කේතු අක්ෂය 2 වන සහ 8 වන භාව ඔස්සේ විහිදී ඇති විට විවාහයට පෙර නාගරික ජීවිතයක් ගත කළේ නම් විවාහයෙන් පසු ග්‍රාමීය ජීවිතයක් ගත කිරීමට ද, විවාහයට පෙර ග්‍රාමීය ජීවිතයක් ගත කළේ නම් විවාහයෙන් පසු නාගරික ජීවිතයක් ගත කිරීමට ද විශේෂ ඉඩකඩක් නිර්මාණය වෙයි. කෙසේ වෙතත් මෙම කාරණාවද කේන්ද්‍ර සටහනේ දහස් ගණනක් ඇසුරින් තවදුරටත් තහවුරු විය යුතුය.

රාහු – කේතු අංශය 2 වන සහ 8 වන භාව ඔස්සේ විහිදී ඇති විට ආර්ථික වශයෙන් ද ඉහළ පහළ යාම් සිදුවිය හැකි බැවින් එවැනි පුද්ගලයන් කෝටි ගණන් ණය මුදල් ලබා ගැනීම ආදිය සිදු නොකළ යුතුය.

එනම් එවැනි පුද්ගලයන් සාර්ථක වූ පසු එම සාර්ථකත්වය දිගින් දිගටම පවත්වා ගෙන යාම පිළිබඳව උනන්දු විය යුතුය. කෙසේ වෙතත් මෙවැනි පිහිටීම් තිබියදීත් ඉහළ පහළ නොයන අවස්ථා ද අඩු වශයෙන් හෝ තිබිය හැකි බව ද අප විසින් සිහි තබා ගත යුතුය.

කෙසේ වෙතත් රාහු, කේතු අක්ෂය 2 වන භාවය සහ 8 වන භාවය ඔස්සේ වැටී ඇති දරුවෙකු ඔබට සිටී නම් එම දරුවාගේ ඉගෙනීමේ සාර්ථකත්වය පිළිබඳව දෙමවුපියන් නිරන්තරයෙන් විමසිලිමත් වීම නුවණට හුරුය. එයට හේතුව, මෙවැනි පිහිටීම් ඇති ඇතැම් දරුවන් කුඩා කාලයේ සහ මධ්‍යම අවදියේදී අති දක්ෂ ලෙස ඉගෙනීමේ කටයුතු කළද උසස් අධ්‍යාපන කටයුතුවලදී බොහෝ සේ අසාර්ථක වීමය. කෙසේ වෙතත් කේන්ද්‍ර සටහන් දහස් ගණනක් ඇසුරින් මෙම අදහස තවදුරටත් තහවුරු විය යුතුය.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පාරින්ද්‍ර සුගතදාස

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division