විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ
සර 1981 එක්තරා උදෑසනක ප්‍රථම වසරේ සිංහල දේශනයට සවන් දීම සඳහා මම අනෙක් විද්‍යාර්ථීන් ද සමඟ කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේ අසුන් ගෙන සිටියෙමි. වම් උරෙහි එල්ලෙන හම් බෑගයත්, දකුණතෙහි ලෙළ දෙන කළු කුඩයකුත් සහිතව වේදිකාවට ගොඩ වුණු පුද්ගලයකු ඒ ආම්පන්න පසෙක තබා මයික්‍රෆෝනය අසලට ළඟා විය. විද්‍යාර්ථීන්ගේ කසු-කුසු වහා නැවතිණ. “මං චන්ද්‍රසිරි පල්ලියගුරු. ඔහේලට මං අද උගන්නන්න යන්නෙ සිංහල ප්‍රබන්ධ කතා සාහිත්‍යය…” ඒ එවක ආචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුගේ නම් ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල ඇදුරුතුමාණෝය. අපගේ ගමන් මඟට එළිය දුන් ‘ගුරු තරුව’ මුණ ගැසුණේ ඒ ආකාරයටය.
මගේ පාසල් සංගීත ගුරුතුමා වූ විශාරද ලීලානන්ද රත්නායක ඇදුරුතුමා පෙන්වා දුන් ආකාරයට මා කැලණිය සරසවියට ගියේ හින්දි භාෂාව හැදෑරීම සඳහා ය. එම විෂය හදාරන්නට ගිය විට පල්ලියගුරු ඇදුරුතුමාගේ නම ද එම විෂය හා සම්බන්ධ බව දැනගන්නට ලැබිණි.
1943 අප්‍රේල් මස 05වැනි දින දකුණු ලක මාතර පුරවරයේ උපත ලැබූ එතුමා වර්ෂ 1961 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වූයේ මූලික වශයෙන්ම හින්දී භාෂාව හැදෑරීමේ අභිලාෂයෙනි. ප්‍රථම වර්ෂ පරීක්ෂණය සඳහා හින්දී, පාලි, සිංහල යන භාෂා හැදෑරූ එතුමා හින්දී විෂයයෙන් ගෞරව උපාධිය හදාරන්නට බලාපොරොත්තු වුවත් එය ඉටු නොවුණේ එවක හින්දී ගෞරව උපාධි පාඨමාලාවක් නොපැවැත්වුණු හෙයිනි. එහෙත් උකටලී නොවූ එතුමා සිංහල ප්‍රධාන විෂය ලෙසත්, හින්දී අනුවිෂය ලෙසත් තෝරා ගත්තේය.
එතුමා විසින් පසු කලෙක ලියන ලද ලිපියක (පූජ්‍ය මහාචාර්ය භදන්ත් ආනන්ද් කෝසල්යායන් හිමිපාණෝ: මතක සටහන්) මෙය අපූරුවට සටහන් වී තිබිණි:
‘ටක්! ටක්! ටක්!
දොර හැරිණි. මම කාමරයට ඇතුළු වුණෙමි. මා ඉදිරියේ සිටියේ ප්‍රාංශු දේශධාරී හිමිනමකි. උන්වහන්සේගේ දෑසෙහි වූයේ කරුණාර්ද්ර බැල්මකි:
‘ආඉඒ… ආඉඒ… අන්දර් ආඉඒ. මේරේ ඛයාල් සේ යහ් තෝ ප්‍රථම් වර්ෂ් කා ඡාත්‍ර හෝගා… (එන්න… එන්න… ඇතුළට එන්න. මං හිතන්නෙ මේ ප්‍රථම වර්ෂයේ ශිෂ්‍යයා වෙන්න ඇති.)
“ජී ඟා.” (එහෙමයි.) මම පිළිතුරු දුනිමි.
“චටාඊ බිඡාකර් බෑඨ් ජාඉඒ.” (පැදුර එළාගෙන වාඩි වෙන්න.)
“මං භදන්ත් ආනන්ද් කෝසල්යායන්, හින්දී අංශයේ ප්‍රධානියා වගේම හින්දී මහාචාර්යවරයා.” උන්වහන්සේ කීහ.
හින්දී සාහිත්‍යය පමණක් නොව භාරතීය සංස්කෘතිය පිළිබඳව ද උන්වහන්සේගෙන් දැනුමක් ලබා ගත් එතුමා ‘පද්මාවත්’ මහා කාව්‍යය ආදිය පිළිබඳ සාහිත්‍යයික මෙන්ම ශාස්ත්‍රීය දැනුමක් ලබන්නට ද සමත් විය.
මෙසේ ආරම්භ වූ එතුමාගේ හින්දී අධ්‍යාපනය ‘හින්දී භාෂාව හා සාහිත්‍යය’ (1968) යන මැයෙන් සිංහල භාෂාවෙන් ග්රන්ථයක් ලිවීම දක්වා වැඩී ගියේය. සරසවියේ සිටියදීම භදන්ත් ආනන්ද කෝසල්යායන් හිමිපාණන් සමඟ භාරතයේ සංචාරයක් සඳහා එතුමා ගියේ සිය දෙමාපියන්ට ද දැන්වීමක් නොකරය. 1965 සිට 1967 දක්වා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ හින්දී අංශයේ සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් එතුමා සේවය කළේය. 1967 විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ස්ථිර ආචාර්යවරයකු ලෙස පත්වී තම ශාස්ත්‍රීය ජීවිතය ආරම්භ කළේය. 1980 දශකයේ පාකිස්තානයෙන් පැමිණ සිටි උර්දූ භාෂාව පිළිබඳ මහාචාර්යවරයාගෙන් උර්දූ බස ද ඉගෙන ගත්තේය. 60 දශකයේ සිටම විවිධ සඟරාවලට ලිපි ලිවීම සඳහා ප්‍රේරණය ලබා දුන්නේ පූජ්‍ය ආනන්ද කෝසල්යායන සහ පූජ්‍ය උඩකැන්දවල සරණංකර යන ස්වාමීන් වහන්සේලා බව එතුමා මා සමඟ නොයෙක් වර පැවසුවේය. එවක විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ දර්ශන මහාචාර්යවරයා වශයෙන් කටයුතු කළ විශිෂ්ට භාරතීය පඬිවරයකු වූ මහා පණ්ඩිත් රාහුල් සාංක්රිත්යායන්ගේ ‘භාගෝ නඟී, දුනියා කෝ බද්ලෝ’ (පලා නොයනු, ලෝකය වෙන් කරනු) යන කෘතිය කියැවීමෙන් පසු ලැබුණු ප්‍රේරණය නව විෂය රැසකට ඇතුළත් වීමට එතුමාට බලපෑම් කළ බව ද මා සමඟ පැවසුවේය.
මා උපාධිය ලබා ශ්‍රී ධර්මාලෝක විදුහලේ සංගීතය උගන්වා, ඉන්පසු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත වැඩසටහන් නිෂ්පාදක හා සමස්ත ආසියානු හින්දී සේවයේ ප්රවෘත්ති නිවේදකයකු ලෙස සේවය කොට 1992 වසරේදී නැවත විශ්වවිද්‍යාල සේවයට පැමිණියේ නූතන භාෂා අධ්‍යයනාංශයේ තාවකාලික හින්දී කථිකාචාර්යවරයකු ලෙසය. ඉන්පසු මගේ හින්දී ගුරුතුමිය වූ ආචාර්ය ඉන්ද්‍රා දසනායක මැතිනියගේ ප්රයත්නයක ප්‍රතිඵලයක් ලෙස 1995දී හින්දී අධ්‍යයනාංශය වෙනම අධ්‍යයනාංශයක් බවට පත් විය. එම වකවානුවේදීම චන්ද්‍රසිරි පල්ලියගුරු ඇදුරුතුමා මානව ශාස්ත්‍ර පීඨාධිපතිවරයා ලෙස පත් විය. මේ සියල්ල මට දැනුණේ දෛවෝපගත සිදුවීම් ලෙසය. එවක ආධුනික කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළ මා හට බරපතළ වගකීමක් දරන්නට සිදු වූයේ මගේ ගුරුතුමිය හදිසියේ නිවාඩු ගැනීමට තීරණය කිරීම නිසාය.“අංශයේ කටයුතු පවත්වා ගන්න බැරි නං තාවකාලිකව අංශය වහන්න වෙනවා, ඔහේට පුළුවන් ද මේ කටයුතු කරගෙන යන්න?” පීඨාධිපතිතුමා වශයෙන් මාතර බස් වහරෙන්ම එතුමා මගෙන් විමසා සිටියේ මාද මාතර කෙනෙකු නිසාය. ‘බැහැ’ යන වචනය මගේ ශබ්දකෝෂයේ නොතිබූ නිසාම මම ඒ වගකීම භාර ගත්තෙමි. එතුමා පීඨාධිපති තනතුරට අමතරව හින්දී අංශයේ ‘වැඩ බලන අංශ ප්‍රධාන තනතුර’ හෙබවූ අතර, මම ‘කාර්ය භාර ආචාර්යවරයා’ වශයෙන් සියලු වෙර යොදා අංශය රැක ගැනීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කළෙමි.
ඉන්පසු එතුමා සමඟ බොහෝ ශාස්ත්‍රීය කටයුතුවල යෙදීමේ අවකාශය මට හිමි විය. 1998 වසරේදී ප්‍රථම වරට හින්දී සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීමට අවස්ථාව ලැබිණි; පළමුවන හින්දී සඟරාව මුද්‍රණය කිරීමට ද අවස්ථාව ලැබිණි. අප ඇදුරුතුමා මේ හැම කටයුත්තකටම ඉතා උනන්දුවෙන් සහයෝගය ලබා දුන්නේ හින්දී බසට ඇති නොවක් ඇල්ම නිසාම බව මගේ හැඟීමයි.
‘උත්තර භාරතීය හින්දී ජන නාටක’ මැයෙන් වූ මගේ දර්ශනපති උපාධි පර්යේෂණය අධීක්ෂණය කළේත් එතුමාය. 2000 වසරේදී මා ආචාර්ය උපාධිය සඳහා ඉන්දියාවේ ජවාහර්ලාල් නේහ්රූ විශ්වවිද්‍යාලයට යද්දී පර්යේෂණයේ මාතෘකාව ලබා දෙන්නට කටයුතු කළේ ද එතුමාය, ඒ ‘ජාතක කතා හා හින්දී ජනකතා පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක්’ යන්නය. මේ සඳහා එතුමා අත වූ විශේෂ ලේඛනයක් මා වෙත ලබා දුන්නේය. එය 1960 දශකයේ රාජස්ථාන් ප්‍රාන්තයේ හින්දී සඟරාවක පළ වූ ලිපියකි. එහි වූයේ කිසියම් ලේඛකයකු විසින් සම්පාදනය කරන ලද ‘හින්දී ජනකතා සහ ජාතක කතා’ මැයෙන් වූ සංසන්දනාත්මක අධ්‍යයනයකි. එම මූලාශ්‍රය මට අතිශය වැදගත් විය. ඒ අතර මේ පර්යේෂණය කරගෙන යද්දී මට අවශ්‍ය වූ එතුමාගේ පුස්තකාලයේ තිබුණු සිංහල ‘පන්සිය පනස් ජාතක පොත් වහන්සේ’ වෙළුම් දෙකම මා වෙත එවන්නට ද කාරුණික විය. මගේ පර්යේෂණය ඉහළින්ම අගය කළ එතුමා හැකි ඉක්මනින් එය ප්‍රකාශයට පත් කරන්නැයි මගෙන් ඉල්ලා සිටියේය. (එහෙත් එය නිම කිරීමට මට තවමත් නොහැකි වී ඇති බව කනගාටුවෙන් සිහිපත් කරමි.)
ඉන්පසුව සිදු කෙරුණු එතුමාගේ සියලු ශාස්ත්‍රීය කටයුතුවලට මට සහය වන්නට ලැබීම මගේ ඉමහත් භාග්‍යයක් ලෙස මම සලකමි. පරිගණක අක්ෂර සංයෝජන කර්මාන්තය තරමක් දැන සිටි මම එතුමාගේ කෘති රැසක් ප්රකාශනයෙන් එළි දක්වන්නට සහය වුණෙමි. 2009දී එතුමා වෙනුවෙන් ප්‍රකාශයට පත්කෙරුණු පිටු 654කින් යුත් ‘සංස්තුති’ නම් උපහාර කලාපය එහි සංස්කාරක මණ්ඩල සාමාජිකයෙකු ලෙසත්, පරිගණක අක්ෂර සංයෝජකයා හා පිටු සැලසුම් ශිල්පියා ලෙසත් ඉහළම ප්‍රමිතියකින් නිමා කරන්නට සහය වන්නට ලැබීම එතුමාට කෘතවේදිත්වය පළ කරන්නට ලැබුණු අනර්ඝ අවස්ථාවක් ලෙස මම සලකමි. එතුමා වරක් මා සමඟ “ඔහේ දන්නවයි, මං ආසයි ‘කවි පොතක්’ පළ කරන්න” යැයි පැවසූවේය. එය සැබවින්ම එතුමාගේ හද පතුලෙන්ම පැන නැඟී ආ අදහසක් බවද මට වැටහී ගියේය. “හරි සර් අපි ඒක කරමු” මම එයට දිරි දුන්නෙමි. පසුවදා ලිපිගොනුවක බහා තිබූ එතුමා විසින් ලියන ලද කවි රැසක් මගේ අතට ගෙනැවිත් දුන්නේය. මම ඒ මොහොතේම ඒ සියල්ල පරිගණකයට යොමු කරන්නට පටන් ගත්තෙමි. ‘තොප වුවද සරොසා’ කාව්‍ය ග්‍රන්ථය නිමවිණි; “ඔය තියෙන්නෙ … හුණු ගෑවා වගේ“ සර් සිය සතුට ප්‍රකාශ කළේය. එය කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී එළි දක්වන්නට යෙදිණි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මුඛ්‍ය දෙසුම ඉදිරිපත් කළේය.
භාෂා අධ්‍යයනය, ජනශ්රැතිය, මානව
විදනාව, සමාජ විද්‍යාව, සංස්කෘතික අධ්‍යයනය, සිනමා අධ්‍යයනය, රූපවාහිනී-ගුවන්විදුලි අධ්‍යයනය, නාට්‍ය අධ්‍යයනය, පරිවර්තනය, චාරිකා සටහන්, චිත්‍රපට ගීත රචනය, චිත්‍රපට සහාය අධ්‍යක්ෂණය, නිශ්චල ඡායාරූප ශිල්පී (ධර්මසේන පතිරාජ සමඟ) ආදි වූ විවිධ විෂය පරාස රැසක සිය පෑන සහ හඬ මෙහෙය වූ එතුමා කුසලතා රැසක් විශද කළ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු ලෙස හඳුන්වා දීමෙහි කිසිදු අතිශයෝක්තියක් නැතැයි සිතමි. විවිධ විෂයන් අතර විහිදෙමින් ඒවා අතර මනා සබඳතාවක් ඇති කිරීමෙහි ලා එතුමා දැක්වූ විශිෂ්ටතාව අතිශය අපූරුය. එමෙන්ම රැඟුම් පාලක මණ්ඩලය, සාහිත්‍ය අනුමණ්ඩලය, කලා මණ්ඩලය, ධක්‍ෂක් සිනමා සම්මාන, ජනාධිපති සිනමා සම්මාන, සරසවි සිනමා සම්මාන, ස්වර්ණ සංඛ සිනමා සම්මාන ආදි මණ්ඩලවල සමාජිකයකු හා සභාපතිවරයකු ලෙස බොහෝ කාලයක් එතුමා කටයුතු කළේය. රාජ්‍ය සාහිත්‍ය සම්මානය (1984, 1994), රුහුණු පුත්‍ර සම්මානය (2000), ධක්‍ෂක් සම්මානය (2004), විශිෂ්ට ජනසන්නිවේදකයා සම්මානය (2006), සාහිත්‍ය රත්න සම්මානය (2022) ආදි ජාතික සම්මාන රැසකින් ද එතුමා පුද ලැබීය.
සරල, සැහැල්ලු දිවියකට ඇලුම් කළ එතුමා නිතර අපට කියන්නේ “කිසිම දේකට කලබල වෙන්න එපා” කියාය. එය මා සමඟ හින්දී භාෂාවෙනුත් කියයි “ඝබ්රාඕ මත්”. මෙය ආනන්ද කෝසල්යායන හිමියන්ගේ වදනක් බව ද එතුමා කියයි. විශ්‍රාම ලැබීමෙන් පසුව ද වසරකට එක කෘතිය බැගින් නවකතා රැසක් එතුමා නිර්මාණය කළේය. මෑත කාලයේ දිනෙක එතුමා සිය නිවසේ ඇතුළු දොරක යමක් ලියූ කඩදාසියක් අලවා තැබුවේය, ‘නිහඬතාව තමයි හොඳම සිතිවිල්ල’ එහි සටහන් වී තිබිණි. එතුමා දැන් සිටින්නේ ‘හොඳම සිතිවිල්ලෙහිය, ඒ නිහඬතාවෙහිම ගිලී ගෙනය’.
එතුමාගේ එකම කවි පොතෙහි එන ‘මල්ලියේ ඔබ ගියත්’ කවියෙහි එන පෙළකින් මෙය අවසන් කරමි:
‘ඔබ ගිය බව කියති හැමම
දනිමි මම ද
එහෙත්
ඇදහිය හැකි ද? මට
ඔබ ගිය බව’ ්