මීට වසර 94කට පෙරාතුව එනම් 1930 මාර්තු 30 වැනිදා පෙරවරු 10.47ට යෙදුණු සුබ මොහොතින් කොළඹ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙන් නිකුත් වුණු සිළුමිණ එදා සිිට අද දක්වා පාඨක ප්‍රජාවගෙ සිතීමේ අවකාශය පුළුල් කරමින් දීර්ඝ ගමනක යෙදී සිටින සති අන්ත ප්‍රධාන සිංහල පුවත්පතකි. ශත වර්ෂයකට වසර හයක් පිටුපසින් හිඳිමින් ඉතා දීර්ඝ කාල පරිච්ඡේදයක් මෙරට නිදහස් සටනට උරදෙමින් විධායක ජනාධිපතිවරයකු යටතේ නිදහස් නිවහල් ප්‍රජාතන්ත්‍රවාදි දේශයක් ගොඩනැඟීමට සුවිශාල මෙහෙයක් ඉටු කළ පුවත්පතක් බව අවිවාදිතය. සිළුමිණෙන් සිදු වූ ජාතික සේවාව අනුපමේයය. ගත වූ මෙම වසර 94ක කාලය ඊට දෙස් දෙයි.
සිළුමිණ ආරම්භ වූ කාලයේ තවත් එක් සති අන්ත පුවත්පතක් පමණක් විය. ඒ ස්වදේශ මිත්‍රයා පුවත්පතයි. පසුව තව තවත් සති අන්ත පුවත්පත් පැමිණ මේ හා තරග කිරීමට පටන් ගත්තද වැඩි කලක් නොගොසින්ම ඒවා පල්ලම් බැස්සේය. සති අන්ත පුවත්පත් කලාවේ මහත් ප්‍රතිහාර්යයක් මෙන්ම පෙරළියක් සිදුකළ සිළුමිණ හැඳින්වූයේ ශත දහයේ විශ්වවිද්‍යාලය යන නමිනි. කෘතහස්ත කතුවරුන් 26 දෙනකු හා ප්‍රවීණ මාධ්‍යවේදීන් රැසකගේ නිර්මාණශීලි දායකත්වයෙන් පොහොසත් වූ සිළුමිණ සමාජ මාධ්‍යයේ නැඟීමත් සමඟ සමස්ත පුවත්පත් කලාවටම විශාල අභියෝගයක් එල්ල වූ සමයක නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් එකී අභියෝගයන්ට මුහුණ දෙමින් තවමත් අභිමානවත්ව නැඟී සිටී. ඒ මෙරට සාහිත කෙත අස්වැද්දූ මහා වෘක්ෂයන් සෙවණේ වැඩී පෝෂණය වූ නිසාමය.
එකි වනස්පතියන් අතර විශිෂ්ටයකු වූ එඩ්මන්ඩ් රණසිංහයන් සිළුමිණට එකතු වන්නේ 1980 දී එනම් එහි 50 වැනි සංවත්සරය සමරන මොහොතේදීය. එසේම එය තවත් දෛවෝපගත සිදුවීමක් වන්නේ සිළුමිණේ ආරම්භය හා එඩ්මන්ඩ් රණසිංහයන්ගේ උත්පත්තිය එකම වසරක වීමය. සිළුමිණට වසර 94 ක් පිරෙන මේ මොහොතේ හිටපු සිළුමිණ කතුවර එඩ්මන්ඩ් රණසිංහයන් සම්මුඛ වීම ද දෛවෝපගත සිදුවීමකි.
“මම පත්තරකාරයෙක් වෙන්න හීනෙකින්වත් හිතපු කෙනෙක් නෙවෙයි. ඒත් මට හරි ගියේ පත්තර රස්සාව. නවසිය පනස් දෙක වෙද්දී මම තුම්බෝධිය පාසලේ දරුවන්ට ඉංග්‍රීසි විෂය උගන්වමින් සිටියේ. පස්සේ මට හිතුනා මට ඒ රස්සාව හරියන්නෙ නැහැ වෙන රස්සාවක් හොයා ගන්න ඕන කියලා. මං පුවත්පත් දැන්වීම් බලලා තිබුණු ඇබෑර්තුවලට ඉල්ලුම්පත් යොමු කළා. ඒත් ඒ එකකින්වත් මට කැඳවීමක් ලැබුණෙ නැහැ. දවසක් මං දැක්කා ලේක්හවුස් එකට සබ්එඩිටර් කෙනෙක් ඕන කියලා දැන්වීමක් පළවෙලා තියෙනවා. ඒත් ඒ වන විටත් ඉල්ලුම්පත යොමු කිරීමට තිබූ දිනය අවසන් වී තිබුණා. නමුත් මා ඕන එකක් කියලා නිකමට ඉල්ලුම් පත්‍රයක් යොමු කළා. සම්මුඛ පරීක්ෂණයට කැඳවීමක් කරමින් තමන්ව ඇවිත් හමුවෙන්න කියලා එස්මන්ඩ් වික්‍රමසිංහ මහත්තයා ලියුමක් එවා තිබුණා. මම ලේක්හවුසියට ඇවිත් එතුමව මුණ ගැහුණා. බොහෝම කරුණාවෙන් ඉතාම සුහදව එතුමා මා එක්ක කතා කළා. මගේ තොරතුරු අහලා දිනයක් කියලා මාව පිටත් කරල යැවුවා. පස්සේ ඒ කියපු දවසේ මං ලේක්හවුස් එකට ආවා. වික්‍රමසිංහ මහත්තයත් ඒ දවස්වල ලේක්හවුස් එකේ වැඩ කළ අධ්‍යක්ෂකවරයෙක් වුණ එම්.ඒ.ඩී සිල්වා මහත්තයත් මාව බොහෝම සුහදව පිළිගත්තා. ඔවුන් මා එක්ක බොහෝම විනෝදයෙන් කතාබහ කළා. ඒක සම්මුඛ පරීක්ෂණයක් කියලවත් හිතුණේ නැහැ. ඒ සම්මුඛ සාකච්ඡාව ඉවරවෙලා තවත් පරීක්ෂණයක් තිබුණා. ඒක ලිඛිත පරීක්ෂණයක්. ඒකෙන් මාත් තවත් දෙන්නෙක් සමත් වී තිබුණා. මට පත්වීම් ලිපිය ලැබුණා. ඒ වෙද්දි ඡන්ද කටයුතු එක්ක ලේක්හවුස් මුද්‍රණ කටයුතු බොහෝම කාර්යබහුල වෙලා තිබුණේ. මටත් ඡන්ද කටයුතුවලට වැඩ කරන්න සිදුවුණා. ඩේලිනිවුස් පුවත්පතේ පාර්ලිමේන්තු වාර්තාකරණය සඳහා මාව යොමු කළා. එක් අවස්ථාවක පීටර් කෙනමන් මහත්තයගේ කතාවක් වාර්තා කරලා ඒකට ප්‍රශ්නයක් ඇති වුණා මට මතකයි. ඊට පස්සෙත් ඒ වගේ සිදුවීම් කිහිපයකටම මට මුහුණ දෙන්න සිදු වුණා.
එලෙස ඩේලිනිව්ස් ‘පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ඇරඹූ එඩ්මන්ඩ් රණසිංහයන් දිනමිණ නියෝජ්‍ය කතු පදවිය දරමින් ප්‍රවෘත්ති කතුවරයාව සිටියදී 1973 දී ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමත් සමඟ ඊට එරෙහිව නැඟී සිටියේය. ඒ හේතුවෙන් හෙතෙම සේවයෙන් ඉල්ලා අස්විය. පසුව නැවතත් 1977 දී ලේක්හවුසියෙන් කරන ලද ඇරියුම පිළිගනිමින් ‘දිනමිණ’ කතු පදවියට පත්විය. අනතුරුව සිළුමිණ පුවත්පතට අඩසියවසක් පිරෙන මොහොතේ එනම් 1980 දී සිළුමිණ කර්තෘ ධුරයට පත් වූ හෙතෙම සිළුමිණ පුවත්පත පාඨකයන් අතර ඉතාම ජනප්‍රිය පුවත්පත බවට පත් කළේය. එවක සිළුමිණ පිටපත් ලක්ෂ තුන ඉක්මවා යමින් තැබූ වාර්තාව අද ද නොබිඳී පවතී. හෙතෙම ඒ පිළිබඳ මතකය අප සමඟ බෙදා ගත්තේ මේ අයුරිනි.
“සිළුමිණට අවුරුදු පනහක් වෙද්දී තමයි මට එහි කර්තෘවරයා වෙන්න භාග්‍ය ලැබුණේ. අනෙක් අතට ඒක පත්තරකාරයෙකුට ලැබෙන ඉතාම දෛවෝපගත අවස්ථාවක්. මොකද මායි සිළුමිණයි එකම අවුරුද්දේ ඉපදුණු දෙන්නෙක්. අප දෙන්නා අතර තියෙන්නේ දවස් ගණනක පරතරයක්. මාර්තු 30 වැනිදා ඩී. ආර්. විජයවර්ධන මහතා සිළුමිණ ආරම්භ කළා. ඊට දින කිහිපයකට පසු මා ඉපදුණා.
සිළුමිණට අනූහතරක් වෙද්දී මටත් අවුරුදු අනූහතරයි. සිළුමිණට අවුරුදු පනහක් වෙද්දි තමයි මට ඒකෙ කර්තෘකම හිමිවුණේ. ඒක මනුස්සයකුට මිනිස් ජීවිතයේ ලැබෙන ඉතාම දුර්ලභ අවස්ථාවක්. “ ඔහු එය අපට පෙන්වීය. ඒ මෙසේය.
“අඩසිය වසරකට පෙර අද වැනි සුන්දර ඉරිදා උදෑසනකදී ඔබ හමුවීමට එන ගමන ඇරඹීමු. “ශත දහයේ විශ්වවිද්‍යාලය” යනුවෙන් ඔබ විසින්ම නම් කරනු ලැබ, ලක්ෂ සංඛ්‍යාත පාඨක පිරිසකගේ අනුග්‍රහයත් ආදරයත් දිනා ගතිමු. ඔබේ අනුග්‍රහය ලබා ගැනීමට සමත් වූ, කාලෝචිත තිළිණ රැසක්ම රැගෙන සතිපතාම ඔබ හමු වීමු. අපේ තිළිණයන්ගෙන් ප්‍රබෝධයට පත් වූ පිරිස කොතරම් වීදැයි කිවහොත්, අග්නිදිග ආසියාවේ වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි කරන සතිපතා පුවත්පත වශයෙන් අභිෂේක කරනු ලැබීමු. මේ අතිශයෝක්තියෙන් කරනු ලබන ආත්ම වර්ණනයක් නොවේ. අඩසිය වසක් තුළදී ඔබෙන් ලද අනුග්‍රහයේ විශිෂ්ට ප්‍රතිඵලයයි ඒ. ඔබේ ඒ සුපුරුදු ආශීර්වාදය පතා අදත්, ඒ සුහද පරමාර්ථයන්ද ගෙන පැමිණ සිටිමු. හෙටත් එසේ’ම පැමිණෙමු.
යටත්විජිතවාදී පාලන කාලය තුළදී මෙරට පොදු ජනතා අදහස් සකස් කරමින්, අධිරාජ්‍යවාදි අයෝමය පාලනයට විරුද්ධව පෙරමුණු ගැන්වීමට සමත් වීමු. නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධනයන්ගේ විචාරවත් මඟ පෙන්වීම යටතේ ගමන් ඇරඹු අපි මේ රටේ පොදු ජනතා අවශ්‍යතා සොයමින්, රට පුරා ගියෙමු. පොදු වැසියාගේ සිතුම් පැතුම්, පාලකයින් වෙත යොමු කළෙමු. දේශපාලන පොර පිටියේදීත් රටේ පොදු සමාජ ප්‍රගතියේදීත් අපි ඔබ සමඟ වීමු. ඔබේ ජයග්‍රහණය රටේ ජයග්‍රහණය විය. ඒ අප ලද පරම සුවය වෙයි.
ප්‍රගතිය කරා ගමන් කළ ලෝකයේ, ප්‍රගතිශීලි ගමන ඔබ හමුවේ විදහා දක්වමින්, ඔබේ බුද්ධි වර්ධනයට ඉවහල්වන හරබර දේ ඉදිරිපත් කළෙමු. පවුලේ හැමදෙනාටම, එකම තැන වාඩි වී කියැවීමට සුදුසු වූ පුවත්පතකි, සිළුමිණ. ළාබාලයන් නොමඟට යොමු කරවා, පහත් රුචිකත්වයේ පිහිටෙන්, අමුතු ප්‍රසාදයක් දිනා ගැනීමේ අවශ්‍යතා. අපේ අරමුණට, කිසිවිටෙකත් ලක් නොවීය. දරුණු නොමිනිස්කම් පිළිබඳව වූ විශේෂාංගයකින් පවා අපි යථාර්ථය හෙළි කළෙමු. සදාචාරය ගරු කරන ජනතාවක් දැකීම අපේ පරමාර්ථය විය.
සිළුමිණ මේ රටේ හැමදෙනාටම පොදු වූ අදහස් ප්‍රකාශන මාධ්‍යය බවට පත් විය. ඒ නිසා ම, අසාධාරණයත්, දූෂණයන්, පිටුදැක, සාධාරණ අදහස් ප්‍රකාශ කිරීමට අපි නිතර දිරිදෙමු. ජාතික පුවත්පතකින් ඉටු විය යුතු උදාර මෙහෙය, කෙබඳු දැයි පසුගිය අඩ සියවසක කාලය තුළදී අපි පිළිබිඹු කළෙමු.
අපේ ජයග්‍රහණයට, අතදුන් ලක්ෂ සංඛ්‍යාත පාඨක ජනතාවට, අපේ ස්වර්ණ ජයන්ති ආශීර්වාදය පිරිනමමු.
සිළුමිණ පාඨකයන් අතට පත් කරන සැම විටම අපි උත්සාහ ගත්තේ පාඨක සිතුම් පැතුම් හැකිතාක් දුරට සිළුමිණ මඟින් පිළිබිඹු කිරීමටයි. පාඨකයින් සහභාගි කරවාගෙන ඔවුන්ගේ විශ්වාසය සිළුමිණ කෙරෙහි තහවුරු වන අන්දමින් අපේ කාර්යය ඉටු කිරීමටයි. එම උත්සාහය ඉතා සාර්ථක වුණා. පාඨක ජනතාවගේ අදහස් උදහස්වලට තැනක් දීමෙන් රටට වන සේවය මෙපමණ යැයි තක්සේරු කිරීමට පුළුවන්කමක් නැහැ.
මට මතකයි සිළුමිණ ස්වර්ණ ජයන්තියට පාඨක අදහස් එවන්න කියපු වෙලාවේ ලැබුණු ලියුම් කන්දරාව. අපට සතුට ඉහවහා ගියා. ඒවයින් තමයි අපි ධෛර්යය ඇති කරගත්තේ.
ඒ කාලෙ සිළුමිණ කතු මඬුල්ලේ ආකල්පයක් වුණේ ශාස්ත්‍රීය සංවාදයක් ආරම්භ කිරීම යහපත බවයි. මේ සාහිත්‍ය හමුවෙන් අපි බලාපොරොත්තු වූ සේවය ඉටු වුණත් ඉහළම බුද්ධි මට්ටමේ විද්වතුන්ගෙන් ලද අනුග්‍රහය එතරම් සාර්ථක වුණේ නැහැ. ජාතියක චින්තනයන් ඔප වැටෙන්නේ අදහස් අතර එන ගැටීම්වලින්. ඒ තුළින් ගොඩනඟන චින්තනයක් නොමැතිව ජාතියක් ඉදිරියට ගමන් කරන්නේ නැහැ. ඒ වගකීම ඉටු කරන්න සිළුමිණට හැකි බව එදා ඔප්පු වුණා. අදත් ඒක සිළුමිණට කරන්න පුළුවන්.“ හෙතෙම සිනාසෙමින් පවසයි.
1981 වසරේදී ‘දිවයින’ පුවත්පතේ සමාරම්භක කතුවරයා ලෙස පත්වන එඩ්මන්ඩ් රණසිංහයන් කෙටි කලකින්ම මෙරට පුවත්පත් කලාව නව මඟකට ගෙන එමින් එය ඉහළම ජනප්‍රියත්වය කරා රැගෙන ගිය අතර එහි මුල්ම කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයාද විය. 2016 වසරේදී නැවතත් ‘සිළුමිණ’ කතු පදවියට පත් වූ හෙතෙම සිළුමිණ වෙනුවෙන් කළ මෙහෙය සදා අනුස්මරණීය වේ.
ඡායාරූප – රුක්මාල් ගමගේ
රසික කොටුදුරගේ