වසර 115 ක් පමණ පැරණි වූ පත්තර මහ ගෙදර නම් වු ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන වශයෙන් සිදු වූ සිදුවීම් තුනක් පිළිබඳව ඉතා කෙටියෙන් මෙහිලා සඳහන් කරමි.
පළමුවැන්න – ඩී.ආර්. විජයවර්ධන මහතා 1909 දෙසැම්බර් 17 වෙනි දින ‘දිනමිණ’ නමින් දිනපතා සිංහල පත්‍රයක් ආරම්භ කිරීමය. එය අවුරුදු 115ක් පුරා අදටත් නොකඩවා පවත්වා ගෙන යන ලංකාවේ දීර්ඝතම පත්තර කලාවේ මහඟු ඉතිහාසයට නෑකම් කියන ඉතා වටිනා අගනා පත්‍රයකි. එහි ප්‍රථම කර්තෘ වූයේ එච්. එස්. පෙරේරා මහතාය. පත්තරයේ ප්‍රමාණය අඟල් 19 1/2 x 13, පිටු 4යි. පත්‍රයක මිල ශත 3ක් විය.
දෙවැන්න – බ්‍රිතාන්‍ය පාලකයන් හා සිංහල පාලකයන් අතර ගිවිසුමක් 1815 මාර්තු මස 02 දින අත්සන් කරන ලදි. එය “උඩරට ගිවිසුම” නමින් නම් කෙරිණ. එහි ගිවිසුම අත්සන් කර වර්ෂ සියයක් පිරුණ දා 1915 මාර්තු මස 02 වෙනිදා ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ හා අධිපති වූ ඩී.ආර්. විජයවර්ධන මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ උඩරට ගිවිසුමේ සිංහල අනුවාදය ද සහිතව (රාමු කර තබා ගත හැකිවන අයුරින්) විශේෂ අතිරේකයක් එදින දිනමිණ පත්‍රයත් සමඟ නිකුත් කිරීමය. එකල මෙරට පුවත්පත් පැවති තත්ත්වය අනුව සලකන විට ප්‍රාතිහාර්යයක් බඳු වූ විප්ලවයක් 1915 මාර්තු මස 02 වෙනිදා නිකුත් කරන ලද දිනමිණ පත්‍රයෙන් සිදු වූයේය. සිංහල රට ඉංග්‍රීසි පාලනයට ගිවිසුම් පත්‍රයක් පිට භාර දෙන ලද්දේ 1815 මාර්තු 02 දාය. ඒ සිදුවීමෙන් පසුව එදිනට ශත වර්ෂයක් පිරීමය, මෙම පත්‍රය මෙදිනට නිකුත් කිරීමේ විශේෂ නිමිත්ත වූයේ. ලංකාවේ පුවත්පත් සඟරා ඉතිහාසයෙහි පළමුවරට වර්ණ චිත්‍රයක් පළ කරන ලද්දේ මෙම පත්‍රයෙනි. පත්‍රය පිටු 12 කින් සමන්විත විය. මිල ශත 0.05ක් විය. මෙම පත්‍රයේ විස්තර වෙනම සාකච්ඡා කළ යුතු වන හෙයින් ඒ පිළිබඳ පසු දිනක විමසමු.
තෙවැන්න – 1930 මාර්තු මස 30 වෙනි දින ලංකාවේ පුවත්පත් ඉතිහාසයේ අමරණීය මතක සටහනක් තබමින් තවත් සුවිශේෂී සිදුවීමක් සිදු විය. එනම් ඉරිදා විවේක දිනය වෙනුවෙන් “සිළුමිණ” නමින් පත්‍රයක් පළමුවරට ජනගත වීමය.
“දිනමිණ” “සිළුමිණ” එක් වීම සිංහල පුවත්පත් කලාවේ ඓතිහාසික සිද්ධියක් වන තරමට වැදගත් විය. සිළුමිණට පෙර ලංකාවේ අංගසම්පූර්ණ ඉරිදා පුවත්පතක් නොවීය. ඉරිදා “ඔබ්සවර්” පත්‍රය ඇරඹීමෙන් ලංකාවේ ප්‍රථම ඉරිදා ඉංග්‍රීසි පත්‍රයක් ඇති කළ විජයවර්ධන මහතා ප්‍රථම ඉරිදා සිංහල පුවත්පත හැටියට “සිළුමිණ” ආරම්භ කළේ ඒ මඟින් සිංහල පාඨකයන්ට කළ හැකි සේවය ගැන නියම අවබෝධයක් ඇතිවය. සෑම සති අන්තයකම ඉරිදා නිකුත් වූ මෙම “සිළුමිණ” පත්‍රයේ එදා ආරම්භක මිල වූයේ ශත දහයකි. විජයවර්ධන මහතා “සිළුමිණ” ප්‍රථම කර්තෘවරයා හැටියට පත් කළේ පියසේන නිශ්ශංක මහතාය.
ගොවි, වෙළඳ, ගුරු, ශිෂ්‍ය, කාන්තා, ළමා, ගෘහස්ථ, පූජක යන සෑම දෙනාගේම සිත් ගන්නා ලිපි හා වෙනත් අංශවලින් උපලක්ෂිත වෙන වෙන පිටු ඇතිව හැම ඉරිදා දිනයකම නිකුත් වන්නට වූ මෙම පත්‍රය රට වැසියා පිළිගත්තේ සහ හැඳින්වූයේ “ශත දහයේ විශ්වවිද්‍යාලය” කියායි.
මෙහි ඇතුළත් වූ ශාස්ත්‍රීය හා ඓතිහාසික අතිරේකය එතෙක් මේ රටෙහි නොවූ විරූ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රීය සංග්‍රහයක් විය. කවි පිටුවෙන් අලුත් කවි පරපුරක් ඇති විය. මල් හාමි මාමගේ කතා ඇතුළුව කමලාගේ ළමා ලියුම්වලින් කුඩා ළමයි නැළවුණා සේම ප්‍රබෝධයක් ද ලැබූහ.
මෙම පත්‍රයේ පළ වී ඇති ලිපිවල මාතෘකා ඇතුළත් පටුනක් සම්පූර්ණයෙන්ම වාගේ මෙහි පළ කර ඇත. පැලෑනේ ශ්‍රී වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ලියන ලද “දන් රට විචිත්‍ර විෂය රස පිපාසාවෙන් ආ තුර වු ලංකාව” නම් ලිපියද විශේෂයෙන්ම මෙම මංගල පත්‍රයේ මංගල කර්තෘ වාක්‍යද මෙහි පිටුවේ පළ කර ඇත.
මෙම පළමුවන කර්තෘ වාක්‍යය මෙසේ පළ කරමි.
“සිළුමිණ” නම් වූ මේ අභිනව සප්තාභික පත්‍රය අද දින මහජනයා අතට දෙන්ට ලැබීම අපට මහත් සන්තෝෂයකි. සිංහල ප්‍රවෘත්ති පත්‍ර සම්බන්ධයෙන් පැවති බරපතළ අඩුපාඩුවක් සම්පූර්ණ කිරීම පරමාධ්‍යාශ කොට ආරම්භ කරන ලද පත්‍රය ගැන මෙහි වැඩිපුර විස්තර කිරීම අවශ්‍ය යයි නොසිතමු.
සිංහලයන්ගේ ගෙයක් පාසා පැතිර ගොස් ඒ ගෙවල වසන ස්ත්‍රී පුරුෂ බාලක බාලකාදී සියලු තරාතිරම්වල අයටම වැඩ සිදු කිරීමෙහි පොහොසත් වූ සම්පූර්ණ සතිපතා පත්‍රයක් සිංහල පත්‍රාවලෝකනය කරන්නන් උදෙසා සම්පාදනය කිරීම අපේ අභිප්‍රාය වේ. ශාස්ත්‍රීය හා ඓතිහාසික ලිපි පළ කිරීමෙන් ආධුනිකයන් හා ගෘහස්ථ සුබ්‍රජිත විචජ්ජනයන් සතුටු කරන අතරම ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේම ප්‍රවෘත්ති හකුළුවා සපයනු ලබන ලිපි හා ඡායාරූප ප්‍රසිද්ධ කිරීමෙන් සමස්ත ජනකාය ප්‍රසාදයට පැමිණ වීමද මේ පත්‍රයේ අනවරත පරිශ්‍රමය වන්නේය.
යන්ත්‍ර සුත්‍ර – කාර්ය මණ්ඩල ආදියෙන් මොනවට සැදුම් ලත් “දිනමිණ” පත්‍රය නවීන දෛනික ප්‍රවෘත්ති පත්‍රයකට අයත් සියලුම අංගවලින් සම්පූර්ණව සිංහල පත්‍ර අවලෝකනය කරනා ජනතාවට විපුල ඵලදායකව පවත්නේ යම් සේද එසේම මේ සිළුමිණ පත්‍රයත් ඉරුදින විවේක කාලය සපල කිරීමට සර්වප්‍රකාරයෙන් යෝග්‍ය වූ ප්‍රවෘත්ති පත්‍රය වීමෙන් මේ තාක් මහජනතාවට පැවති අඩුපාඩුව සම්පූර්ණ කරන්නේය. සිකුරාදා සවස නොහොත් සෙනසුරාදා උදෑසන පළවන ඇතැම් ප්‍රවෘත්ති පත්‍ර අපරික්වාකාරී ජනයා විසින් ඉරිදා පත්‍ර මෙන් පිළිගනු ලබන්ට පටන් ගෙන තිබේ. එය ලොකු වරදකි. පරණ ආරංචිවලින් පුරවා දෙතුන් දිනකට කලින් මුද්‍රණය කරණ ලද පත්‍රයකට ඉරිදා පත්‍රයයි නම් කිරීම රට මුළා කිරීමකි.
ඉරුදින අරුණෝද්ගමන වේලාව වන තුරුම ලැබෙන ප්‍රවෘත්ති අන්තර්ගත කොට එදින උදෑසන මුද්‍රණයෙන් ප්‍රකාශයට පමුණුවනු ලබන මේ “සිළුමිණ” වනාහි සැබවින්ම ඉරිදා පත්‍රයකි. සිංහල භාෂාවෙන් ප්‍රසිද්ධ කරනු ලබන එකම ඉරිදා පත්‍රය මෙය බැව් නිර්භයව කිය හැකිය. “දිනමිණ” පත්‍රයේ පමණක් නොව ප්‍රධාන ඉංග්‍රීසි පත්‍ර දෙකේද සම්බන්ධය ඇති මේ සිළුමිණ පත්‍රය කෙරේ ස්ථීර විශ්වාසය හා බලාපොරොත්තුව තැබීමට කිසිම බාධාවක් නොමැතියි. අපේ ප්‍රධානාධ්‍යාශය වන්නේ අවංකව හා නොපසුබට වීර්යයෙන් යුක්තව රටට සේවය කිරීමය. එබැවින් ඊට අදාළ වන අදහස් දැක්වීම් ආදියෙන් යමෙක් අපට සහභාගිවෙත් නම් අපි එය අගය කොට සලකන්නෙමු.
නොබෝ කාලයකින් පැවරෙන අලුත් වගකීම්වලට ලාංකික ජනයා සූදානම් කිරීම වශයෙන් ඒ ජනයාට කරුණු අවබෝධ කරවීමේ යුතුකම අප කෙරෙහිද රඳා තිබේ. ඒ යුතුකම පුළුවන් තරම් හොඳින් සිදු කිරීම අපේ ආශාවයි.
ජාත්‍යුන්නතිය, ශාස්ත්‍රොද්දීන්තිය, සදාචාරය, මහජන සේවය, මහජන සංරක්ෂණය යන ආදියට රුකුල් දීමෙන් ජනතාභිවෘද්ධිය සැලසීම අපේ එක්වන් අධිෂ්ඨානයයි. දිනමිණ පත්‍රය මෙන්ම සිළුමිණ පත්‍රයද කිසියම් දේශපාලන පක්ෂයකට රැඳී, බැඳී නැත්තෙයි. දෘෂ්ටිකෝණ, කුල භේද, පන්ති භේද යනාදියෙන් තුරන්ව සකල ජනතාවගේම ශුභ සිද්ධිය සඳහා ක්‍රියා කිරීම මේ අභිනව ප්‍රවෘත්ති පත්‍රයේ ප්‍රතිපත්තිය වන්නේය. ඒ ප්‍රතිපත්තිය අනුව කර්තව්‍ය සම්පාදනය සඳහා අපි අපේ මුළු ශක්තියත් කාලයත් හැම කල්හි යොදන්නෙමු.
ආරම්භක දිනයේ පටන් මේ දක්වා නොකඩවා ඉරිදා දිනයේදී සතිපතා පළ වන සුප්‍රසිද්ධ “සිළුමිණ” පත්‍රය තව තවත් චිරාත් කාලයක් ඉදිරියට නොකඩවා පවත්වා ගෙන යාමට ලේක්හවුස් ආයතනයේ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ට වාසනාව, ධෛර්යය, ශක්තිය නොඅඩුව ලැබේවා! යි ඉතා සිතින් සුභාසිංසනය කරමි. ප්‍රාර්ථනා කරමි.
තවද මෙම ලිපිය සැකසීමේදී අපවත් වී වදාළ විද්‍යෙදය පරිවේණාධිපති ව වැඩ විසූ උපාධ්‍යාය පණ්ඩිත ගරු කෟකොඳයාවේ ශ්‍රී ප්‍රඥශේඛරාභිදාන මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් රචිත “සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය” නම් ග්‍රන්ථ මාලාවේ විශේෂයෙන් කාණ්ඩ 4 හා 7 යන පොත් දෙක පරිශීලනය කළ බවත්, එසේම කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීන්ගෙන් ලැබුණ ඉතා සුහද සහයෝගය කෘතවේදීව ඉතා අගේ කොට සලකන බවත් මෙහිලා සඳහන් කිරීමට කැමැත්තෙමි.
ටෙනිසන් චන්ද්‍රපාල සිල්වා (කොළඹ විශ්වවිද්‍යාලයේ – ජනමාධ්‍ය ඩිප්ලෝමා උපාධිධාරී)