Home » ලොවක් වසඟ කළ වීඩියෝවේ ආදරවන්තයන් සිළුමිණට කී කතාව

ලොවක් වසඟ කළ වීඩියෝවේ ආදරවන්තයන් සිළුමිණට කී කතාව

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

නෑම කෙනෙකුගේ ‘මංගල සේයා රුවට‘ ඇත්තේ බොහෝ වටිනාකමකි. ඒ මංගල සේයා රුව පමණක් ගැනුණු අතීතයේදීය. එදා මෙදාතුර කාලය දෙස ආපසු හැරි බැලීමේදි දියුණු වූ තාක්ෂණය සමඟ අද මංගල උත්සවයකදී අපට සිහිවටන රැසකි. අද වන විට උසස් තත්ත්වයේ බොහෝ පහසුකම් ඇති ජංගම දුරකතනයක් අත ඇති කෙනෙකු නැති තරම්ය. එනිසාම ඕනෑම මොහොතක ක්ෂණිකව අත ඇති ජංගම දුරකතනයෙන් ගන්නා ඡායාරූප පමණක් නොව පටිගත කරගන්නා ඕනෑම දෙයක් ඒ මොහොතේම සමාජයට මුදා හැරීම ද සිදු වේ. එය එක් අතකින් හොඳය. නමුදු තවත් අතකින් සමාජයට යහපත් දේ මෙන්ම අයහපත්, අසභ්‍ය දේ ද මුදා හැරේ. ඒ කොහොම වුණත් සමාජ මාධ්‍ය හරහා එක මොහොතකින් සමාජයේ කාගෙත් අවධානයට යොවූ වූ මනාල යුවළක් ගැනයි මේ කතාව.

සිය මංගල දිනය දා හරි අපුරු රංගනයක යෙදුණ සුන්දර මනාල යුවළ මේ දිනවල කාගෙත් නෙත් පැහැරගත් දසුනකි. ඉකුත් දිනවල මුහුණු පොත හරහා මෙන්ම අන්තර්ජාලයේ සැරිසැරූ නව යුවළ ගැන නොදන්නා කෙනෙක් නැති තරම්ය.

මිලියන ගණනක් ජනතාව අතරේ බෙහෙවින් ජනප්‍රිය වූ ඒ මනාල යුවළ සොයා ගන්නට අවසානයේ අපට උදව් වූයේ ලේක්හවුස් මාධ්‍යවේදී උඩවලව සමුහ සේන වී. ගමගේය.  

ඇය හෂිණි අබේසිරි. ඔහු අවන්ත ෂාමෙන්. මේ වන විට ඉතාලියේ මිලානෝ නගරයේ වෙසෙන ඔවුන්ගේ ආදර කතාව ගැන අප මුලින්ම ඇසුවේ හෂිගෙන්.

“අපි දෙන්නම ඉගෙන ගත්තේ ඇඹිලිපිටිය ජනාධිපති මහා විද්‍යාලයේ. මම වාණිජ විෂයන්වලින් උසස් පෙළ විභාගයට පෙනී හිටියේ. අපේ පවුලේ අම්මයි තාත්තයි අයියයි නංගිලා දෙන්නයි ඉන්නේ. තාත්තා ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉස්කෝලේ ගිහිල්ලා අවසන් වුණාට පස්සේ මමත් තාත්තාගෙ ව්‍යාපාරය කරගෙන ගියා. මගෙ තාත්තා කිංස්ලි අබේසිරි. අම්මා අයිරාංගනී අබේසිරි. මම තාත්තාගේ ව්‍යාපාරය කරගෙන ගියත් මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා විදේශගත වෙන්න. අපේ ඥාතීන් කිහිප දෙනෙක්ම ඒ වෙනකොටත් ඉතාලියේ හිටියේ. මගේ ගෙදර අයගෙ අකැමැත්තක් තිබුණේ නැහැ මම විදෙස්ගත වෙනවට. මම 2017 අවුරුද්දේ තමයි ඉතාලියට ආවේ. ඉතාලි ඇවිල්ලා රැකියා කිහිපයක්ම කළා. ටික කාලයක් යන විට මම මේ රටට හුරු වුණා. මට කලින් ඒ කියන්නේ 2014 අවුරුද්දේ තමයි අවන්ත කොරියාවට ගියේ. එයාගෙත් ආසාව තිබුණේ කොරියා යන්න. අපි රටවල් දෙකක හිටියට දුරකතනයෙන් කතා කළා. 2021 නොවැම්බර් මාසේ විසි එක් වෙනිදා අපි ලංකාවට ආවා. අවුරුදු හතකට පස්සේ තමයි අපි දෙන්නා එදා ගුවන්තොටුපළේදී හමු වුණේ. එයා මම එන්න පැය කිහිපයකට කලින් එයාර්පෝට් එකට ඇවිත් තිබුණා. එදා අපට හරිම සතුටු දවසක්. නොවැම්බර් 24 අපි දෙන්නා විවාහ ගිවිස ගත්තා. ඊට පස්සේ අපි ආයෙත් විදෙස්ගත වුණා. මෙවර අපි ලංකාවට ආවේ අපේ විවාහ උත්සවය ගන්න. මාර්තු 12 වෙනිදා තමයි වීරවිල හිල්ටන් හෝටලයේ අපේ විවාහ මංගල උත්සවය පැවැත්වුණේ. එදා හැමෝම විනෝද වෙන අවස්ථාවේදි මමයි අවන්තයි කරපු නැටුම තමයි වයිරල් වුණේ. ඒක අපේ හදවත්වලින්ම ආව සතුට. අපි දෙන්නා ප්‍රාර්ථනා කරපු විදිහට, සැලසුම් කරපු විදිහට එදා ඒ හැමදේම සිදු වුණා. ඒ සතුට තමයි ඔය තියෙන්නේ.“

හෂිණි පවසන්නේ එදා දවස ගැනය.

නමුදු එදා දවසේ ඒ සුළු මොහොතේ දී ඔවුන්ගේ සතුටු නැටුම දැන් ලොව පුරාම පැතිර ගොස් තිබේ. ක්ෂණිකව ඔවුන් දෙදෙනාගෙන් ඒ මොහොතේ සිදු වූ ඒ නැටුම ඔහු නැත්නම් මෙතරම් පැතිර යන්නේ නැත. ඔහු අවන්තත් හෂිණිත් සමඟ එකම පන්තියේ ඉගෙන ගත් ඉෂාන් බුද්ධික හේමචන්ද්‍ර මිතුරාය. “අපි ඔක්කොම එකම පන්තියේ ඉගෙන ගත්තේ. ඒ කාලේ විශේෂයෙන්ම මමයි අවන්තයි අහන්න, ගයන්ත කැමැති වික්ටර් රත්නායක, මිල්ටන් පෙරේරා, අමරදේව මාස්ටර් ගයන ගීතවලට. නමුත් දවසක් අවන්ත මට සින්දුවක් දුන්නා ඒක හොයලා දෙන්න කියලා. ඒ හෂිණි හොයන සින්දුවක්. ගීතය ගයන්නේ අජිත් මුතුකුමාරණ ශිල්පියා. ඒ ගීතය හොයා ගන්න අපට ටිකක් වෙහෙස වෙන්න වුණා. ඒ ගීතයට හෂි හරිම කැමැතියි. මට ඕන වුණා අවන්තගෙයි හෂිණිගෙයි මඟුල් ගේ දවසේ ඒ දෙන්නා පුදුම වෙන, එයාලට සතුටක් ගේන සප්‍රයිස් එකක් දෙන්න.

මම තමයි තුණ්ඩු කෑලි පහක් දාලා කුඩා පෙට්ටියක් සකස් කළේ. ඒකෙන් තෝරපු සින්දුවට තමයි එදා ඒ දෙන්නා ගයමින් නැටුවේ. හැබැයි එදා ඒ පෙට්ටියේ තිබුණු හැම තුණ්ඩුවකම මේ ගීතයම තමයි ලියලා තිබුණේ. මට පුදුම සතුටක් දැනෙන්නේ. එදා අපි හැමෝම හරියට සතුටු වුණා. ඒක අපි ලබපු අවංක සතුටක්. ගොඩක් මඟුල් ගෙවල්වල කරන්නේ එක්කෝ මනමාලිට බිත්තර ගහනවා, එක්කෝ පිහිනුම් තටාකයට දානවා. එහෙම නැත්නම් ඇඳගෙන ඉන්න ඇඳුම්වලට වතුර ගහනවා වගේ මොනවාහරිනේ කරන්නේ. මට ඕන වුණේ යාළුවෝ හැටියට අපිට සතුටු වෙන්න දෙයක් කරන්න විතරයි. එදා එයාලගෙ හිතේ තිබුණ සතුට තමයි ඔය විඩියෝ එක හරහා හැමෝම දැක්කේ. ඉස්සෙල්ලම මම ඒක FB දැම්මා. ඊට පස්සේ ජායාරූප ශිල්පි තරු නිමන්කත් ඒක FB දැම්මා. දැන් ඒක තමයි ඔය මිලියන ගණන් බලලා, කමෙන්ට් දාලා ශෙයාර් වෙන්නේ. ඒ ගැන මටත් හරිම සතුටුයි.“

මංගල උත්සවය දා මනාල යුවළගේ ඒ සොඳුරු රූප රාමු සමාජ මාධ්‍ය ඔස්සේ එලෙස පැතිර යද්දි ඔවුන් ලද ජනතා ප්‍රසාදය ඉමහත්ය.

“අපි ජනප්‍රිය වෙන්න කියලා කරපු දෙයක් නම් නෙමෙයි මේක. ඒක ඉබේම වෙච්ච දෙයක්. ඒ ගැන අපට සතුටුයි. මගෙ යාළුවා, ඒ වගේම ඡායාරූප ගත්ත මල්ලි, විඩියෝ කළ මල්ලි, ඒ අය නිසයි මේක ගැන අපේ රටේ අය වගේම ලෝකේ අය දැන ගත්තේ. ඒ ගැන අපට සතුටුයි.

මම සේවය කළේ කොරියාවේ. මගේ තාත්තා දැන් විශ්‍රාමික බැංකු නිලධාරියෙක්. මගෙ අම්මා රැකියාවක් කළේ නෑ. මට ඉන්නවා මල්ලි කෙනෙකුයි නංගිලා දෙන්නෙකුයි. අපි දෙන්නා දැන හඳුනා ගත්තේ පාසලේදී. කවදා හරි විවාහ වෙනවා කියන අරමුණින්ම තමයි අපි ආදරය කළේ. හෂිණිගෙත් මගෙත් ප්‍රථම ප්‍රේමය. අපිට අපි දෙන්නව විශ්වාසයි. අපි රටවල් දෙකක හිටියට දුරකතන නිසා අපිට අපි දුරස් කියලා දැනුණේ නැහැ.

ජීවිතේ ඉදිරි කාලෙත් මේ වගේම සතුටින් ඉන්නයි අපට ඕන.“

අවන්ත එලෙස පවසද්දි මේ කතාබහ අවසන් කරමින් හෂිණි පැවැසුවේ මෙවැනි දෙයකි.

“අපි දන්නවා බොහෝ අය අපිට සුබ පැතුවා, ප්‍රශංසා කළා. ඒ වගේම සමහර අය අපට මොකුත් කිව්වේ නැතත් ඇයි මේ වගේ දේවල් කතා වෙන්නේ වෙන රටේ ප්‍රශ්න නැද්ද කියනවා වගේ කමෙන්ට් දාලා තිබුණා. ඒ කතාව ඇත්ත. මේක සාමාන්‍ය සිද්ධියක්. නමුත් ඒක වයිරල් වුණා. ඒ ගැන අපිට සතුටුයි. ඒත් අපි දෙන්නා කාටවත් මුකුත් කියන්නේ නෑ . අපිව අගය කළ සුබ පැතූ හැමෝටම බොහෝම ස්තුතියි. කෙනෙක් දොස් කිව්වා නම් ඒකටත් ස්තුතියි. ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න, අයිතියක් තියෙනවානේ. එයාලා එහෙම කියන්නේ තමන්ගෙ පැත්තෙන් බලලා. ඒක සාධාරණයි.

අපි දෙන්නාට කා එක්කවත් තරහක් නම් නැහැ. හැමෝටම ස්තුතියි.

ඉනෝකා සමරවික්‍රම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division