පාදුක්ක මාදුළුවාව ගමේහි විසූ දොන් ජන්තිස් වික්‍රමසිංහ හා රූපසිංහ ආරච්චිලාගේ නන්දාවතී රූපසිංහ යන කුලවතුනට දාව හොරණ දී උත්පත්තිය ලද කුමරාට රංජිත් ප්‍රේමලාල් වික්‍රමසිංහ නම ලැබුණි. ඒ 1966ක් වූ නොවැම්බර් මස 10වැනි දිනයි. දරුවන් අට දෙනෙකුගෙන් යුතු පවුලේ හය වෙනි දරුවා ඔහු විය.
කුඩා කාලයේ සිටම ආගම දහමට ලැදියාවක් දැක්වූ මොහු 1983 වසරේ නොවැම්බර් 13 වැනිදා කුඹුගේ ගුණරතන, නිවුන්ගම සුමන හිමියන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් හා සිංහල ශබ්දකෝෂයේ සම්මානිත කර්තෘ ආචාර්ය හොරණ වජිරඤාණ නායක මාහිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි භූමියට ඇතුළත් වූයේ මාදුළුවාවේ ධම්මික නමිනි.
උන්වහන්සේ හඟුරන්කෙත මාදංවල ශ්‍රී ධර්මෝදය පිරිවෙනින් අධ්‍යාපනය ලැබූහ.
1988 වසරේ දී උපසම්පදාව ලැබූ උන් වහන්සේ 1995 වර්ෂයේ දී කුඹුකේ ගුණරතන නාහිමියන්ගේ අපවත් වීමෙන් පසු එම ශාසනික මෙහෙය සියතට ගත්හ.
එදින ඉතාමත් පින්බර දිනයකි. දොන් ජන්තිස් වික්‍රමසිංහ මහතාගේ නිවස මහත් වූ ජනකායකගෙන් පිරී පැවතිණී. ඔහු හයවැනි ප්‍රිය පුත්‍රනේත්‍රය ඇතුපිට නංවා හොරගල ශ්‍රී ගුණතිලකාරාම පුරාණ මහා විහාරයට රැගෙන යන ලදි. එහිදී කුඹුගේ ගුණරතන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සහ උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ වූ නිවුන්ගම සුමන හිමියන් යන වහන්සේලාගේ ආචාර්යත්වයෙන් හා සිංහල ශබ්දකෝෂයේ සම්මානිත කර්තෘ රයිගම්සල්පිටි හේවාගම් යන කෝරලයේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍යපාද හොරණ වජිරඤාණ නායක මාහිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි භූමියට ඇතුළත් කරන ලදහ. එදවස් පටන් උන්වහන්සේ මාදුළුවාවේ ධම්මික නමින් නම් කරන ලදී.
පැවිදි භූමියට පත් වීමෙන් පසු මාදුළුවාවේ ධම්මික සාමණේරයන් වහන්සේ වැඩිදුර අධ්‍යාපනය සඳහා හඟුරන්කෙත මාදංවල ශ්‍රී ධර්මෝදය පිරිවෙනට ඇතුළත් වූහ. ශ්‍රී ධර්මෝදය පිරිවෙනෙහි පිරිවෙන් අධ්‍යාපනය මැන වින් ලබන උන්වහන්සේ පිරිවෙන් අවසාන විභාගය සමත් වූහ. මේ වන විට උන්වහන්සේගේ නිත්‍ය විහාරස්ථානය වූයේ පිටිපන ශ්‍රී උත්තරාරාම විහාරයයි.
වර්ෂ 1988 දී උගතමනා බණ දහම් සම්පූර්ණ කරන ලද හෙයිනුත් නිසි වයසට පැමිණි නිසාවෙනුත් උපසම්පදා පදවියට මල්වතු මහාවිහාරීය රාජපූජිත සිරි මංගල උපෝසථාගාරයේ දී විංශද්වර්ගීය භික්ෂූ මහා සංඝයා හමුවේදී පත් වූහ. එම වර්ෂයේදීම උන්වහන්සේට හදිසියේ ම මාදංවල පිරිවෙනෙන් අස්වීමට සිදුවන්නේ සිය ගුරුදේවෝත්තම කුඹුකේ ගුණරතන ලොකුහාමුදුරුවන් වහන්සේට උපස්ථාන කිරීමට හා එවක පටන් සෑම දිනකම පවත්වනු ලබන සන්ධ්‍යා බුද්ධ පූජාව පැවැත්වීම සඳහා ය. මෙම තත්ත්වය යටතේ දී හොරණ විද්‍යාරතන විශ්වවිද්‍යා පීඨයට ඇතුළත් ව 1989 වර්ෂයේ දී ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ විභාගයට පෙනී සිටියහ.
සිය ගුරු හාමුදුරුවන් වහන්සේගේ රෝගී තත්ත්වය තව තවත්උත්සන්න වීම නිසා උන්වහන්සේට තව තවත් වගකීම් දැරීමට සිදු වූහ. ඉන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි බාහිර උපාධි අධ්‍යයනය සඳහා කටයුතු කළ අතර, එහිදී උන්වහන්සේ ප්‍රථම පරීක්ෂණයෙන් සමත් වූහ.
මේ අතරතුරදී 1995 වර්ෂයේ දී කුඹුකේ ගුණරතන නාහිමියෝ අපවත් වූහ. එදා සිට මේ වන විට උන්වහන්සේ ශාසනික වශයෙන් අතිමහත් සේවාවන් රාශියක් සිදු කර ඇත. පිටිපන ශ්‍රී උත්තරාරාම මහා විහාරය උන්වහන්සේගේ පාලන සමයේදී බොහෝ සෙයින් දියුණුවට පත් විය. පොල් අතු සෙවිලි කළ මැටි බිත්තිවලින් ඉදිකර ආරම්භ කරන ලද ධර්ම ශාලාව අද වන විට 1500කට පමණ ජනකායකට අසුන් ගෙන බණ ඇසීමට තරම් විශාල ධර්මශාලාවක් බවට පත්කර ඇත. විහාරස්ථානයට සම්බන්ධ වන ප්‍රභූ පින්වතුන්ගේ හා දායක දායිකාවන්ගේ ද සහයෝගය ලබා ගනිමින් දර්ශනීය විහාරභූමියක් බවට උත්තරාරාම මහා විහාරස්ථානය අද වන විට පත්කර තිබෙන්නේ උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය හා මහත් ඕනෑකම මත ය. නූතනය වන විට උන්වහන්සේ වෙත හොරගල ශ්‍රී ගුණතිලකාරාම පුරාණ මහ විහාරය,පිටිවිල බෝධිරුක්ඛාරාම විහාරය, බටහිර හොරගල ශ්‍රී සුමනගිරි විහාරය යන විහාරයන්හි විහාරාධිපතිීත්වය පැවරී ඇත. ඒ සියලු විහාරයන් වෙත සුදුසු ශිෂ්‍යවරයන් වහන්සේලා යොමු කරමින් එහි දියුණුව සඳහා නිසි උපදෙස් ලබා දෙමින් කටයුතු කරන්නාහ. මේ වන විට උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ද තුදුස්නමක් වෙති.
මෙලෙස ශාසනයේ උන්නතිය උදෙසාත් ජාතිය විෂයයෙහි කරන ලද ආගමික සේවාවන් උදෙසාත් පැහැදීමෙන් මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වීය අතිගරු මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ සහ සානුනායක සංඝසභාව විසින් විමලකීර්ති ශ්‍රී ගුණරතන යන ගෞරව නාමයත් සහිතව තත්නිකායේ බස්නාහිර පළාතේ කොළඹ මහ දිසාවේ උපප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත.
හෝමාගම මහින්ද රාජපක්ෂ
විද්‍යාලයේ සහකාර විදුහල්පති,
රාජකීය පණ්ඩිත
දොඩම්පේ සද්ධාවිමල හිමි