සිළුමිණ පුවත්පත ආරම්භ කොට 2024 වසරේ මාර්තු 30 වැනිදාට සපිරෙන්නේ 94 වැනි වසරය. වසර අනූහතරක් කියන්නේ ශත වර්ෂයකට තව අඩු වසර 6ක් පමණි.
සිළුමිණ අර්ථය ඇති සිංහල භාෂාවේ වචන කීපයකි. චූඩාමණි, චූළමණි, සිඛමණී, සිරෝමාණී ආදී නාමයෝ ඊට පර්යාය පද ලෙස කළුකොඳයාවේ හිමියන් සඳහන් කොට ඇත.
සිළුමිණ ආරම්භ කෙරෙන යුගයේ ව්‍යාපාරික වශයෙන් මෙරට පළ වූ පුවත්පත් වූයේ ලක්මිණ, සඳරැස, සිංහල ජාතිය, ස්වදේශ මිත්‍රයා, සිංහල බෞද්ධයා වැනි පුවත්පත්ය. එහෙත් මේ පුවත්පත් ව්‍යාපාරික වශයෙන් අමතන ලද්දේ අවම වූ පිරිසක් වෙතය. මේ කිසිදු පුවත්පතක් සමඟ ඩී. ආර්. විජයවර්ධනයන්ට තරගයක් නොවීය.
සරසවි සඳැරැස ආදී සමකාලීන පුවත්පත් වලින් ජාතික සටන මෙහෙයවීමේදී සහෝදරත්වයක් විනා ව්‍යාපාරික තරගයක් ඇති නොවූ හෙයින් ඩී. ආර්. විජයවර්ධන මහතා සමකාලීන පුවත්පත් කතුවරුන් සමඟ කුළුපඟව සිටියේය.
‘සිංහල ජාතිය’ පුවත්පතේ කර්තෘ පියදාස සිරිසේන මහතා රෝගාතුරව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඩී. ආර්. විජයවර්ධන මහතා ඔහු දැකීමට ගිය හැම වාරයක රුපියල් 250ක චෙක්පතක් අරන් යන්නට අමතක නොකළේය.
ඩී. ආර්. විජයවර්ධනයන් ‘සිළුමිණ’ ආරම්භ කිරීමේදී ප්‍රධාන අරමුණක් වූයේ ශ්‍රී ලංකාව යටත් විජිත යුගයෙන් මුදා ගැනීමය. ඉංග්‍රීසි ආණ්ඩුව විදේශ නැව් මඟින් ජනතාවගේ කුසට ආහාර සපයමින් රටේ සාරය විදෙස්ගත කරද්දී ඩී. ආර්. විජයවර්ධන මහතා ජනතාවගේ මොළයට ආහාර සැපයීම ඉතා සාධාරණ මිලකට නොකඩවා කරගෙන ගියේ ජාතික සටන මඟ මුවහත් කරවමිනි.
ඩී. ආර්. විජයවර්ධනයන්ගේ අභාවයෙන් දින 5කට පසු සිළුමිණෙහි මාර්ටින් වික්‍රමසිංහයන් ‘සිළුමිණ’ ආරම්භයේදී විජයවර්ධනයන් පැවසූ වදනක් සඳහන්කොට ඇත්තේ මෙසේය.
ප්‍රවෘත්ති පත්‍ර පැවැත්වීම හැමට වඩා දුෂ්කර ව්‍යාපාරයකි. සාර්ථක වුවහොත් රටක් ජාතියක් ආණ්ඩුවක් සොලවන්නට තරම් ධනයත් බලයත් එයින් ලැබිය හැකිය. ව්‍යර්ථ වුවහොත් ඒ ව්‍යාපාරය “මහා කඳුමුදුනෙන් පෙරළි පෙරළී එන පර්වතයක් සේ ඇරඹූ තැනැත්තා තළා මිරිකා හප කරන්නේය යනුවෙන් එහි සඳහන්ය.
තිහේ දශකයේ සිට 2024 දක්වා ‘සිළුමිණ’ තරගකාරී විධිමත් ප්‍රවෘත්ති පත්‍ර ආයතන 11ක් සමඟ තරග වැදීමට සිළුමිණට සිදු විය. ටයිම්ස්, සංදේශ, දවස, විජය, උපාලි, සුමති, ලිඩර්, ජනයුගය, ලිබර්ටි සහ මොනරා මෙම ආයතනයන්ය. සිළුමිණ ඉතිහාස කතාවට මේ තරගකාරීන් ගැන කියන්නට සිදු වූයේ ආරම්භක යුගයේ මෙන්ම වර්තමානයේ වාණිජ පුවත්පත් කලාව ගැන ඇති ප්‍රතිරූපයක් ගැන මාර්ටින් වික්‍රමසිංහයන් එවකට සඳහන් කොට ඇති නිසාය.
මුදල් ඇත්නම් මේ සියල්ල කළ හැකිය යනු මහා මෝඩ කියුමකි. මේ සියල්ලම මුදල් විනාශ කළ හැකි තැන් යැයි කීම නම් නුවණට හුරුකීමකි. විජයවර්ධන මහතා මහා දුර්ගයක් ජයගත්තකු සේ ‘ලේක්හවුස් මන්දිරය’ ‘එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම’ යන නම්වලින් හැඳින්වෙන ප්‍රවෘත්ති පත්‍ර ව්‍යාපාරය යට කියන ලද සියල්ලෙන් පිරිපුන් කොට දෙදරුම් නොකන දැඩි අඩිතලයක් උඩ පිහිටුවාලීය.
සිළුමිණ ආරම්භක කර්තෘවරයා ‘ඩොක්ටර්’ කෙනෙකු බව කිවහොත් ඔබ පුදුම වනු ඇත. වෛද්‍යවරයකු වීමට කල්කටාවට ගිය තරුණයකු ආපසු ලංකාවට ආවේ තම පියාගේ අභාවය නිසාය. ඒත් තරුණයා එන විට පියාගේ ආදාහන කටයුතුත් සිදුකර හමාරය. මේ තරුණයාගේ ප්‍රධාන මිතුරා වූයේ කලාගුරු ජේ. ඩී. ඒ. පෙරේරාය. ජේ.ඩී. ඒ. ගේ මිතුරු සමාජයේ මේ තරුණයා හැඳින්වූයේ ‘ඩොක්ටර්’ නමිනි. මුස්ලිම් කලබල කාලයේ ලේක්හවුසියෙන් භාෂා පරිවර්තක දැන්වීමක් දැක ජී. ඩී. ඒට මතක් වූයේ තම මිතුරු ‘ඩොක්ටර්’ ය. ඩොක්ටර්ට මේ ගැන දන්වා යැවූ ටැලිග්‍රෑම් එක නොලැබුණ බව සිතූ ජී. ඩී. ඒ. හොර අත්සනක් ගසා ඩොක්ටර්ගේ අයදුම්පත ඩී. ආර්. විජයවර්ධනට යැවීය. සම්මුඛ පරීක්ෂණයට පණිවුඩය ආවේ ජී. ඩී. ඒ. නිවෙසටය. පුදුමය කියන්නේ එදා මේ ‘ඩොක්ටර්’ එම නිවසට පැමිණ සිටියේ දෛවෝපගත ලෙසය.
සම්මුඛ පරීක්ෂණය දින ‘ඩොක්ටර්’ සමඟ පෙනී සිටි අනික් පුද්ගලයා මාටින් වික්‍රමසිංහය. ඩී. ආර්. විජයවර්ධන හිත ගත්තේ ‘ඩොක්ටර්’ ය. මේ ඩොක්ටර් වෙනින් කවුරුවත් නොව පියසේන නිශ්ශංකය.
එතෙක් ප්‍රවෘත්ති වාර්තාවලට කොටුවී සිටි දිනමිණ අතික්‍රමණය කරමින් සතිඅන්ත පත්තරයකින් පාඨක බුද්ධිමය නිම් වළලු පුළුල් කරන්නට විජයවර්ධනයන් කර්තෘවරයා ලෙස තෝරා ගත්තේ පියසේන නිශ්ශංකයන්ය. සිළුමිණ පටන්ගත් පසු ඩොක්ටර් නිශ්ශංක, පත්වූයේ ලොකු සර් බවටය. සිළුමිණ බැබළ වූ නිශ්ශංකයන්ගේ අන්වර්ථ නාමයක් වූයේ බාසුරු, සීයා, දශරථ, පැරකුම්, පැරකුම් හා පිටිසරයා ආදී නාමයන්ය. ලංකා ඉතිහාසයේ වැඩිම කලක් නොහොත් වසර 52ක් අඛණ්ඩව පත්‍රකරණයේ යෙදුන පත්‍රකලාවේදී පියසේන නිශ්ශංක බව අද බොහෝදෙනාට අමතකව තිබේ.
සිළුමිණ නඟා සිටුවන්නට ඩී. ආර්. විජයවර්ධනයන් කැපවූ අයුරු ගැන පියසේන නිශ්ශංක කදිමට සඳහන්කොට ඇත.
කර්තෘන්, උප කර්තෘන් හා වාර්තාකාරයන් සමඟ ද සාකච්ඡා කෙළේය. ඔවුන්ට අමතකව විය හැකි කරුණු මතක් කෙළේය. මහාජන ප්‍රශ්න අරබයා ඔවුන් නොසලකන ඇතැම් කරුණු පෙන්නා දුන්නේ ය. වැදගත් ප්‍රවෘත්තියක් කෙටි කොට ද නිසරු පුවතක් දික්කොට ද පළ කිරීමෙන් වැරදි කළවුන්ට තරවටු කෙළේය. මහජනයා ආශාවෙන් කියවන පුවතක් කලට වේලාවට පළ නොකරන ලද විට ඊට වගකිවයුත්තා සොයා ඔහුට අවවාද කෙළේය. තරවටු කෙළේය. රෑ අටවන තුරු මෙසේ වැඩ කිරීම විජයවර්ධන මහතාගේ දින චර්යාව විය.
සිළුමිණට බැඳෙන්නට ආ බොහෝ තරුණයන් සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත්තේ ද ඩී. ආර්. විජයවර්ධනයන් විසිනි. දිනක් කොළඹ ආනන්ද විදුහලේ ජ්‍යෙෂ්ඨ පන්තියේ උගනමින් සිටි ශිෂ්‍යයෙක් විජයවර්ධනයන් හමු විය. ලියන ලද ලිපි ලේඛන විශේෂයෙන් ‘කවි’ පරීක්ෂා කර බැලූ විජයවර්ධනයන් පාසල් ශිෂ්‍යයාට ඇමතුවේ ඉංගිරිසියෙනි.
“තමා මේ පත්තර රස්සාවට කැමති මොකද?”
“පත්‍රවලට ලිවීම මා ඉතා ආශා කරන දෙයක් හෙයිනි.”
විජයවර්ධනයන් පාසල් ශිෂ්‍යයා දෙස කේශාන්තයේ සිට පාදාන්තය තෙක් බැලුවේය.
“මේ රස්සාව තමාට දෙන්න පුළුවන්. තවම වයස දහඅට පිරිල නැති නිසා මාසයකට රුපියල් තිහකට වඩා දෙන්න බැහැ. හැබැයි හොඳට වැඩ කළොත් හය මසක් ඇතුළත පඩිය වැඩි කරනවා.”
විජයවර්ධනයන් සිළුමිණට බඳවා ගත් ආනන්දයේ පාසල් ශිෂ්‍යයා මීමන කරුණාරත්න ප්‍රේමතිලක නොහොත් මීමන ප්‍රේමතිලකය. පසු කලෙක මීමන සිළුමිණ කර්තෘ ධුරයට පත්වූවා මෙන්ම ‘සරසවිය’ පුවත්පතේ ආරම්භක කතුවරයා වූයේ ද මීමනය.
මීමනගේ මුල්ම කවි පෙළ පළවූයේ ද සිළුමිණේය. එය හොරණ විල්මට් පෙරේරාගේ ශ්‍රීපාලියට මුල්ගල තබන්නට මහා කවි රවින්ද්‍රනාත් තාගොර් ආ දිනයේය.
ඇනුම් – බැණුම් – ගෙරවුම් – මහ උගතුන්ගේ
ගණන් නොගෙන අප ඉදිරියට ය යන්නේ
එයින් සහෝදරයනි කිම සිදු වන්නේ
ඔවුන් මැරෙයි! අපිමය ජීවත් වන්නේ
මෙරට සොබාව සෞන්දර්ය ගැන ඇළ, දොළ, වේලි ගැන සෞන්දර්යාත්මක සටහන් ලිවීම ආරම්භ කොට ඇත්තේ ‘සිළුමිණ’ පුවත්පතේ මීමන ප්‍රේමතිලකයන්ය. ඔහු විල්පත්තු වැනි අභයභූමි ගැන ලියූ ලිපි දැනුදු පාඨක මතකයේ රැඳී පවතී.
ඩොනමෝර් වාර්තාව එංගලන්තයේ පළවූ සැණින් එය සිළුමිණේ පළකිරීමට පියවර ගත් හැටි අපූරු සිදුවීමක් හිටපු සිළුමිණ කර්තෘ හික්කඩුව ශ්‍රීලාල් ලියනගේ සටහන් කොට ඇත.
එංගලන්තයෙහි පළවන වේලාවටම මෙහි ද ඩොනමෝර් වාර්තාව නිකුත් වෙයි. එහෙත් දෙරටෙහි වෙලාවෙහි වෙනස නිසා මෙහි ඒ වාර්තාව පළවෙන්නේ එංගලන්තයෙහි පළවනදාට පසුදාය. එවිට ඒ වාර්තාව මෙහි පළවන්නේ සවස පත්‍රයෙහිය. ඩේලි නිව්ස් පතෙහි පළ වන්නේ ඊටත් පසුදා උදේය. මෙය තම පත්‍රයට පරාජයකි. මදිකමකි. විජයවර්ධන මහතා කළ යුත්ත සැණකින් දුටුවේය. එවලේ ම ක්‍රියා කෙළේය. ඩොනමෝර් වාර්තාව පළවූ වහාම එය පඬුකොට ලංකාවට විදුලි පණිවුඩ මගින් දන්වන ලෙස විජයවර්ධන මහතා එංගලන්තයේ තම කාර්යාලයට දැන්වූයේය. එංගලන්තයෙන් එවෙන ඒ සම්පිණ්ඩ වාර්තා විදුලි මඟින් මෙහි ලැබෙන්නේ රෑ බෝ විය. එහෙයින් එය උප කර්තාන් විසින් සකස් කොට අකුරු අමුනන්නන් විසින් අමුණා, ශුද්ධි පත්‍ර බලා පසුදා උදය පත්‍රයෙන් පළ කළ නොහැකිය. කුමක් කළ යුතුද? විජය වර්ධන මහතා සැණකින් එය විසඳුවේය. මෝටර් රථ පෙළක් තැපැල් කන්තෝරුව අසලට යැවුයේය. එංගලන්තයෙන් එවෙන දිග විදුලි පුවත කොළයෙන් කොළය ගෙන මේ මොටෝ රථ පත්‍ර කාර්යාලය බලා වේගයෙන් දිවීය. ආපසු ගිය ගිය රථය යළිත් එක කොළය බැගින් ගෙනාවේ ය. උප කර්තෘ පෙළක් විසින් වහාම කොළයෙන් කොළය සකස් කොට කොළයෙන් කොලයම අකුරු අමුනන්නන් වෙත යැවූයේය. විජයවර්ධන මහතා එළිවන යාමය තෙක් කාර්යාලයෙන් පිට නොවූයේය. පසුදා උදය වරුවේ ඩොනමෝර් වාර්තාව සහිත සිළුමිණ පුවත්පත පළ විය. එවක ආණ්ඩුවෙන් එය මහජනතාවට නිල වශයෙන් පළ කළේ ඊට පසුදින වීම විශේෂත්වයකි.
සිළුමිණ මෙන්ම සමස්ත ‘එක්සත් ප්‍රවෘත්ති පත්‍ර’ ව්‍යාපාරය ඉතිහාසය පුරා පැවැති අර්බුද අවස්ථා බොහෝය. ඒ ලෝක යුද්ධ දෙකට අමතරවය. ඉන් පළමුවැන්න ‘ලේක්හවුසිය’ රජයට පවරා ගැනීමයි.
ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමේ පනත, එනම් අැසෝසියේටඩ් නිව්ස්පේපර්ස් ඔප් සිලෝන් ලිමිටඩ් (විශේෂ විධිවිධාන) පනත, අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් 1973 මැයි 18 වෙනිදා ජාතික රාජ්‍ය සභාවට ඉදිරිපත් කරන ලදී.
පනත දෙවෙනිවර කියවීම පිළිබඳ විවාදය 1973 ජූලි 17 වෙනිදා ජාතික රාජ්‍ය සභාවේදී ආරම්භ විය. විවාදය ආරම්භ කරමින් බණ්ඩාරනායක මැතිනිය දීර්ඝ කතාවක් කළාය. ලේක්හවුස් ආයතනය රජයට පවරාගෙන එහි “අයිතිය පුළුල් කිරීමට” හේතු වූ කරුණු ඇය විසින් සවිස්තරව විග්‍රහ කරන ලදී.
විපක්ෂය වෙනුවෙන් ප්‍රථමයෙන් කතා කළේ විපක්ෂ නායක ජේ. ආර්. ජයවර්ධන මහතාය. ඔහු බොහෝ දේ ගැන කතා කළ අතර එයින් එක් වාක්‍යයක් නම් “රජයට පවරාගත් ලේක්හවුස් ආයතනය යම් දිනක අපේ පාලනයට පත්වන්නට පුළුවන.” යන්නය. (Possibly, some day we may be in command of the governments sponsored Lake House.)
ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර (විශේෂ විධිවිධාන) නීතිය (The Associated Newspapers of Ceylon (Special Provisions) Law) 1973 ජූලි 20 වෙනිදා සිට ක්‍රියාත්මක වීම ඇරඹුණි.
ඉන්පසු සිළුමිණ ඇතුළු සියලු පුවත්පත් රාජ්‍ය යන්ත්‍රණයට යටත් විය.
ජේ. ආර්. 1973 කිව්වාක් මෙන්ම 1977 මැතිවරණයේදී එජාප රජයට හයෙන් පහක බලය හිමිවීමත් සමඟ සිළුමිණ ඇතුළු සියලු ප්‍රකාශන නව බලයට පත් එජාප රජයට හිමි විය. නව රජයේ ලේක්හවුස් පාලනය භාර ගත්තේ රණපාල බෝධිනාගොඩ විසිනි. ලේක්හවුස් ගොඩනැඟිල්ලේ අලුත් කොටස නොහොත් දැන් DFCC බැංකුව ඇති කොටස විවෘත කරන උත්සවය පවත්වා ඇත්තේ ජේ. ආර්. ජයවර්ධන ජනපතිගේ ප්‍රධානත්වයෙනි. එදා පිළිගැනීමේ කතාව පැවැත්වූ ලේක්හවුස් සභාපති රණපාල බෝධිනාගොඩ 77 ආණ්ඩු පෙරළියෙන් පසු ‘සිළුමිණ’ පුවත්පත පළකළ ආකාරය ගැන තම කතාවේ සඳහන් කළේ මෙසේය.
“1977 ජූලි විසිතුන් වැනි සෙනසුරාදා උදේ සටන් පාඨ පුවරු රැගත් වැඩවර්ජකයන්ගෙන් වටවූ ලේක්හවුස් ආයතනය වෙත මා පැමිණුනා. පැවරී ඇත්තේ බරපතළ කාර්යයක් බව මට ඉක්මනින්ම අවබෝධ වුණා. ප්‍රධාන සේවකයන් හැම දෙනාම වාගේ වැඩවර්ජනයෙහි යෙදී සිටි හෙයින් සතියක පමණ කාලයක් තිස්සේ පුවත්පත් කිසිවක් මුද්‍රණය වී තිබුණේ නැහැ. මගේ ක්ෂණික අරමුණ වූයේ පසුදින 1977 ජූලි 24 වැනිදා සිළුමිණ ඇතුළු ඉරිදා පත්තර මුද්‍රණය කැරැවීමය.
වැඩ වර්ජක නායකයන් සමඟ පැවැති කෙටි සාකච්ඡාවකින් පසුව ඔවුන්ගේ විශ්වාසය දිනා ගනිමින් වර්ජනය නවතා ඔවුන් ආපසු වැඩට යාමට කැමැති කරවා ගන්නට මට පුළුවන් වුණා. මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාත්ම වුණා. “සිළුමිණ” “සන්ඩේ ඔබ්සර්වර්” “වාර මංජරී” යන පුවත්පත් මුද්‍රණය කරන්නට පටන් ගත්තා.
සවස පහට පමණ නිකුත් කිරීම් අධිකාරීවරයාගෙන් පැමිණිල්ලක් ලැබුණා. වෑන් සහ රියැදුරන් ඇති නමුත් ඔවුන් පිටත් කිරීමට මුදල් නැති බව ඔහු කිව්වා. රියැදුරන් හය දෙෙනකුට බටා සඳහාත් ආපසු ඒමට ඩීසල් සඳහාත් රුපියල් හත්සිය පණහක් අවශ්‍ය බව ඔහු කිව්වා. මම ගෙදර ගොස් ඒ මුදල ගෙනත් දුන්නා. ඒ අන්දමින් පත්තර පිටත් කළා. එක පිටපතක්වත් ඉතිරි නොවී සියලුම පත්තර අලෙවි වුණා.”
‘සිළුමිණ’ තම 94 වසරක් පුරා ගෙවී ගිය අතීතය පුරා මුහුණ දුන් අභියෝග බොහෝය. එවැනි අභියෝගවලට මුහුණ දුන් ‘සිංහල සතිපතා’ පුවත්පතක් මෙරට ඉතිහාසයේ දැකගන්නට නැත. අකුරු අමුණා උස්තල මුද්‍රණයෙන් සිළුමිණ මොනෝ කාස්ටින් යුගයට මුලින්ම ආවේය. ඉන්පසු ලෙටර් ප්‍රෙස් රොටරි යුගයට ආගමනය විය. ඊළඟ පියවර වූයේ ගල් අච්චුවේ අකුරු ඇමුණූ කඩදාසි තීරු පේස්ට් අප්කොට ඕෆ්සෙට් රොටි මුද්‍රණය ක්‍රමයයි. ඊටත් පසු ෆොටෝ ටයිප් සෙටින් යුගයට ගිය සිළුමිණ ඊළඟට යාවත්කාලීන වූයේ නෙගටිව් පොසිටිව් යුගය පසෙකලා සී ටී පී (Computer to plate) ක්‍රමයටය. දැන් ඉතින් සිළුමිණ අන්තර්ජාලය – ෆේස් බුක්, වට්ස් ඇප් යුගය පසු කරමින් හෙට අනිද්දා ලොව බිහිවන නවීනතම සන්නිවේදන ක්‍රම වෙත බැල්ම හෙළමින් සිටින්නේ අනූහතරවැනි වියේ පසු වුව ද එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා කියමින් විය යුතුය.
වජිර ලියනගේ