හෙළ සිනමාවේ මහා කලා මංගල්‍ය ලක්ස් සරසවිය සම්මාන උලෙළ 35 වැනි වරටත් අති උත්කර්ෂවත් අන්දමින් ඉකුත් 28 වැනිදා හෙළ සිනමා රාජිණිය මාලනී ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශලාවේදී පැවැත්විණ.
2019 සහ 2020 වසරේ තිරගත කෙරුණු සිනමා පට මෙහිදී සම්මානයට පාත්‍ර වූ අතර, වසර පහක නිහැඬියාවකින් පසුව සරසවිය සම්මාන උලෙළ මෙලෙස අාරම්භවීම සිනමා ක්ෂේත්රයට ලැදි කාගේත් බලාපොරොත්තු දල්වන්නක් විය. තරු පෑයූ සිනමා සම්මාන රාත්‍රිය චාම් සුන්දරත්වයකින් වුව ද ඉතාම ගරුගාම්භීර අයුරින් පැවැත්වීමට ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, නීති හා පාලන අධ්යක්ෂ නීතිඥ ජනක රණතුංග, නීතිඥ මෙහෙයුම් අධ්යක්ෂ මංජුල මාකුඹුර, මූල්‍ය අධ්යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, කර්තෘ මණ්ඩල අධ්යක්ෂ සිසිර පරණතන්ත්‍රී ඇතුළු ලේක්හවුස් පරිපාලනයත්, සරසවිය’ ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර හා සම්මාන උලළෙහි ප්‍රධාන අනුග්‍රාහක ආයතනය වන යුනිලීවර් ආයතනයේ අලෙවි අධ්යක්ෂ ශමාරා සිල්වා ඇතුළු පිරිස කටයුතු කර තිබීම විශේෂය.
සරසවිය සම්මාන උලෙළ ආරම්භක මතකය පිළිබඳව සිහිපත් කරන විට 1964 දී පැවැත් වූ මංගල සරසවිය සම්මාන උලෙළෙහි විශේෂත්වය වූයේ 1960, 1961, 1962, 1963 යන සිව් වසර තුළ ප්‍රදර්ශනය කෙරුණු සියලුම සිනමාපට සම්මානයට පාත්‍ර වීමයි. මෙහිදී සරසවිය සම්මාන උලෙළ අදියර දෙකකින් සමන්විත වූ අතර පළමු අදියර තුළ පාඨක ඡන්දයෙන් තෝරා ගනු ලැබූ හොඳම චිත්‍රපට පහ නැවත ප්‍රදර්ශනය කෙරිණි. මෙහිදී ඒ ඒ චිත්‍රපට නිෂ්පාදනය සඳහා දායකවූවන් සහභාගී වූ අතර, චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට පෙර නිෂ්පාදක, අධ්යක්ෂ, නළු නිළියන්, කැමරා ශිල්පි ආදී සියලුම ශිල්පීන් ප්‍රේක්ෂක ප්‍රීති ඝෝෂා මැද වේදිකාව මත ගෞරවාදරයට පාත්‍ර කරවීම කැපී පෙනිණි.
එවක සිනමා ශාලාව ඉදිරියෙහි සිනමා රසික රසිකාවන් චිත්‍රපට ප්‍රදර්ශනයට පැමිණෙන නළු නිළියන් දැක බලා ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළ ගැසී සිටි බව කියැවේ. මෙලෙස පැමිණ සිටි සිනමා ලෝලීන්ට අවශවී තිබුණේ තම හදවතෙහි ලැඟුම්ගත් ජනප්‍රිය නළු නිළියන්, ශිල්පීන් දැක ගැනීමටත්, වාසනාවක් තිබුණොත් ඔවුන් සමඟ වචනයක් දෙකක් කතා කර සමරු සටහනක් ලබා ගැනීමටය. ඇතැම් අය තම ඇඳුමෙහි හෝ සම මතුපිට එවැනි සටහන් තබා ගත් අවස්ථා පිළිබඳව සිනමා ක්ෂේත්‍රෙය් ප්‍රවීණයන් සම්මුඛ සාකච්ඡාවලදී පවසන අයුරු ලියුම්කරු අසා තිබේ.
සම්මාන උලළේ දෙවන අදියර ලෙස සරසවිය සම්මාන ප්රදානය උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරුණු අතර, සිනමා සම්මාන උලෙළ දින කිහිපයක් තුළදී අවසන් කරනු ලැබූව ද එය සංවිධානය කිරීම තුන් මසකට පමණ පෙර සිට අරඹා තිබුණු බව ඒ පිළිබඳ මතකය අවදි කරන ප්‍රවීණයෝ පවසති.
පුද පූජා පවත්වන ඉරියව් සංකේතවත් වන අන්දමින් කලාත්මක බවින් අාඪ්යව නිමවා ඇති සරසවිය සිනමා සම්මානය ලෝක ප්‍රකට මූර්ති ශිල්පී තිස්ස රණසිංහයන්ගේ නැමැවුමකි.සරසවිය සිනමා සම්මාන උලෙළ හුදු සම්මාන ප්රදානය කිරීමකට එහා ගිය ජාතික කලා මංගල්‍යයක් වන්නේ හෙළ කලා සංස්කෘතිකාංග සියල්ලක්ම උකහා ගනිමින් එහි ඒකමිතියකින් වර්ණ ගැන්වූ ගරු ගාම්භිර උලෙළක් වීම නිසාය.
ස්වාධීන අපක්ෂපාතී විනිශ්චය මණ්ඩලයක් තුළින් අවසන් විනිශ්චය ලබාදෙන අතර විනිසුරු මඬුල්ල ඒ ඒ චිත්‍රපට නරඹමින්, අවසාන විනිශ්ච හා නිගමන පිළිබඳ රහස්‍යභාවය සුරැකීම ද විශේෂ තැනක් ගනී.
සරසවිය සම්මාන උලෙළ උත්සවාකාරයෙන් ආරම්භ වූයේ සම්භාවනීය අමුත්තන් පිරිවරා පැමිණි මඟුල් බෙර වාදනයෙන් හා වෙස් නැටුමින් අලංකෘතවය. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ භක්ත්‍යාදරය දනවන ගේය පද මාලාවත්, පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරවර්ණයෙන් විභූෂිත නාද සිත්තමත් ඔවුන් පිළිබඳ සදා අනුස්මරණිය මතකයත් අවදි කළ බව නොකියාම බැරිය.
අනතුරුව එළඹියේ තරු දිදුලන සම්මාන ප්‍රදානයයි. මෙහිදී සම්මාන 56ක් ප්රදානය කළ අතර, 2019 වසරේ හොඳම නිළිය ලෙස ‘දැකල පුරුදු කෙනෙක්’ සිනමාපටයේ රංගනය වෙනුවෙන් සමාධි ලක්සිරිත්, 2020 වසරේ හොඳම නිළිය ලෙස ‘පාංශු’ සිනමාපටය වෙනුවෙන් නීටා ප්‍රනාන්දුත්, 2019 වසරේ හොඳම නළුවා ලෙස ‘දැකල පුරුදු කෙනෙක්’ සිනමාපටයේ රංගනය වෙනුවෙන් බිමල් ජයකොඩිත්, 2020 වසරේ හොඳම නළුවා ලෙස ‘ද නිවුස් පේපර්’ සිනමාපටයේ රංගනය වෙනුවෙන් කුමාර තිරිමාදුරත්, 2019 ‘හොඳම චිත්‍රපටය ලෙස ‘දැකල පුරුදු කෙනෙක්’ සිනමාපටයේ නිෂ්පාදක මොහොමඩ් ඇඩම්ලි සහ 2020 හොඳම චිත්‍රපටය වෙනුවෙන් ද නිවුස් පේපර්’ සිනමාපටය වෙනුවෙන් එහි නිෂ්පාදක ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනත් සරසවිය සිනමා සම්මානයට පාත්‍ර වීම විශේෂය.
සිංහල සිනමාව අභියෝග රාශියකට මුහුණ දෙමින් සිටින මෙවන් යුගයක එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සරසවිය සම්මාන උලෙළ 35 වැනි වරටත් පැවැත්වීමට කටයුතු කිරීම කලා හිතැති කාගෙත් ගෞරව බහුමානයට හා පිළිගැනීමට ලක්වන සත්කාර්යයක් බව නොකිවමනාය. මෙහිදී නිරන්තරයෙන් අප සමඟ රැඳී සිටින ලක්ස් නිෂ්පාදන ආයතනය වන යුනිලීවර් ආයතනයත්, කොමර්ෂල් බැංකුවත් ස්තුති පූර්වකව සිහිපත් කරමි.
රසික කොටුදුරගේ