මෙරට ස්වාභාවික සම්පත් අතරෙන් ඛනිජ වැලි සම්පත රටේ ආර්ථිකය සවිමත් කිරීමට ප්‍රධාන දායකත්වයක් ලබා දේ. ඉල්මනයිට්, සිලිකා, රූටයිල් සහ සර්කෝන් මෙරටින් හමුවන ප්‍රධාන ඛනිජ වැලි වර්ග වන අතර එම ඛනිජ වැලි වර්ග නිධි රට පුරා විසිර පවතී. ඛනිජ වැලි ගැන කී විටම බොහෝ දෙනකුගේ මතකයට නැඟෙන්නේ මෙරට විශාලතම ඛනිජ වැලි නිධිය පිහිටා ඇති පුල්මුඩේ ප්රදේශයයි. එහි 65%ක් පමණ ඉල්මනයිට් ඛනිජ වැලි ඇති අතර, රූටයිල් සහ සර්කෝන් නම් ඛනිජ වැලි වර්ගවලින් ද සමන්විතය. ලංකා ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය පිහිටා ඇත්තේ පුල්මුඩේ ඛනිජ වැලි නිධිය කැණීම් කර එහි තිබෙන සම්පත් පිරිසැකසුම් කිරීම සහ අපනයනය කිරීම සඳහාය. මුල්ම වරට මෙරටින් ඛනිජ වැලි අපනයනය කර ඇත්තේ 1961 වසරේදී බව පැවසේ.
පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙහි ඇති රූටයිල් සහ සර්කෝන් නම් ඛනිජ වැලි වර්ග දෙක ජල පොම්පාගාරයක් තුළදී වෙන් කරගන්නා අතර ඒ අනුව ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය සිදු කරනු ලබන සර්කෝන් වාර්ෂික නිෂ්පාදන ධාරිතාව ටොන් 5500ක් පමණ වේ. ලංකා පොළොවේ වැඩිපුරම ඇති සර්කෝන් ඛනිජ වැලි අමුද්‍රව්‍යයක් ලෙස අපනයනය කිරීම හැරුණු විට ගඩොල් නිෂ්පාදනයේදී සහ උදුන් දාර සකස් කිරීමට, න්‍යෂ්ටික ඉන්ධන ගබඩා කිරීම සඳහා යොදාගන්නා බහාලුම් නිෂ්පාදනය කිරීමට, ගෙවී නොයන රබර් අත් වැසුම්, ඝන ඔක්සයිඩ ඉන්ධන කෝෂ, කැපුම් උපාංග, ඔක්සිජන් සංවේදක සහ දන්ත වෛද්‍ය ක්ෂේත්රයේ විවිධ නිෂ්පාදන සඳහා භාවිත කෙරේ.
සර්කෝන් පිළිබඳ විශේෂයෙන් කතා කිරීමට හේතුව ඒ සම්බන්ධයෙන් රජරට විශ්වවිද්‍යාලයෙන් වාර්තා වූ අලුත් පුවතකි. ජෙට් සහ ගූවන් යානා එන්ජින් ඇතුළු අධික උෂ්ණත්වයට ඔරොත්තු දිය හැකි භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගන්නා සර්කෝනියම් සම්බන්ධයෙන් වාර්තා වූ එම පුවත සම්බන්ධයෙන් අප එම විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය බී. ආනන්ද කරුණාරත්නගෙන් විමසුවෙමු.
” අප විසින් සිදු කළේ අලුත් මූලද්‍රව්‍යයක් සොයාගැනීමක් නොව සර්කෝනියම් නමැති මූලද්‍රව්‍යයට අගය එකතු කිරීමක් එහෙමත් නැත්නම් පරිවර්තනයක්. බනිජ වැලි සංස්ථාවෙන් ඛනිජ වැලි එකිනෙක වර්ග වෙන් කිරීමක් සිදු කළාට සර්කන් නමැති වැලි වර්ගය අපනයනය කරනවා හැර වෙනත් කිසිදු නිෂ්පාදනයක් සිදු කරන්නේ නැහැ. රත්තරන් පැහැති මේ වැලි වර්ගය අතීත පර්සියානු ජාතිකයන් ආභරණ තැනීමට භාවිත කර තිබෙන බව හෙළි වී තිබෙනවා. ඒ සිලිකේට් සර්කෝනියා බවට පත්කිරීමෙන් නිපද වන ඉතාම ඉහළ තාක්ෂණික වටිනාකමක් සහිත සෙරමික් බොහෝ දේ සඳහා භාවිත කළ හැකියි. එය ඉතා ඉහළ උෂ්ණත්වයට ඔරොත්තු දෙනවා වගේම මල බැඳෙන්නේ නැහැ. සවි ශක්තියෙන් ද ඉතා ඉහළයි. ගුවන් සහ ජෙට් යානාවල පිස්ටන්, එන්ජින්, බල්බ පිලමන්ට් ආදිය නිෂ්පාදනයට, පරිසර හිතකාමී ඉන්දන නිෂ්පාදනය සඳහා සර්කෝනියා භාවිත කරනවා. ඒ වගේම ශරීරයේ කොටස්වලට භාවිත කළත් කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දත්වලට උඩින් දාන මිල අධික ක්‍රවුන් සඳහා මෙය යොදාගත හැකියි. ලොව පුරා සර්කෝනියා භාවිතය වගේම ඒවායේ මිල ඉතා අධිකයි. සර්කෝන්වලින් දියමන්තියක් හැදුවොත් එහි පෙනුම සැබෑ දියමන්තියේ පෙනුමටම සමානයි. එකම වෙනස රසායනික සංයුතිය වෙනස් වීම පමණයි. ඒ වගේම සෙන්සර්ස් විදිහටත් පාවිච්චි කළ හැකියි. සරලව කියනවා නම් සෙරමික් කියන්නේ දැනට ලෝකයේ පවතින ඉතාම ඉහළ ඉල්ලුමක් සහිත ද්‍රව්‍යයකට. නමත් අපේ රටේ ඒ වෙනුවෙන් විශාල කර්මාන්ත බිහිවී නැහැ. පුල්මුඩේ ප්‍රදේශයේ පමණක් සර්කන් වැලි ටොන් මිලියන 2.5ක් පමණ ඇති බව පැවසෙනවා. අපේ රට තුළ සර්කෝනියා ඇසුරින් කර්මාන්ත බිහිකිරීමට නොහැකි නම් ඒවා අපනයනය කිරීමෙන් රටට විදේශ විනිමය ඉපැයීමට හොඳ අවස්ථාවක් ලැබෙනවා. සර්කෝනියා අමුද්‍රව්‍යයක් විදිහට භාවිත කිරීමෙන් බොහෝ නිෂ්පාදන කළ හැකියි. ”
එම පර්යේෂණය පිළිබඳ මහාචාර්යවරයා වැඩිදුරටත් මෙසේ පැහැදිලි කළේය.
“මම රජරට විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කරමින් සිටියදී අවසන් වසර සිසුන් කිහිප දෙනකු ඔවුන්ගේ පර්යේෂණ සඳහා ඉදිරිපත් කිරීමට සුදුසු ව්‍යාපෘතියක් පිළිබඳ විමසුවා. මම ඔවුන්ට කිවුවා, අපේ විශ්වවිද්‍යාලයට ආසන්න පුල්මුඩේ ඛනිජ වැලි නිධියේ සර්කන් වැලි තියෙනවා, එයින් මොනවා හෝ කරන්න උත්සාහ කරමු කියලා. එය කළ යුතු ආකාරයත් ඔවුන්ට කියලා දුන්නා. සිසුන් කණ්ඩාමෙන් අවසානයට ඉතිරි වුණේ එක සිසුවියයි. ඇය විශාල උනන්දුවකින්, කැපවීමකින් එම පර්යේෂණ ව්‍යාපෘතිය අවසානය දක්වා සිදු කළා. අග්‍රා වික්‍රමගෙදර නමැති ඇය මේ වන විට ඇමෙරිකාවේ ආචාර්ය උපාධිය සඳහා ඉගෙන ගන්නවා. මේ දිනවල රජරට විශ්වවිද්‍යාලයේ තවත් සිසුන් පිරිසක් එම පර්යේෂණයේ නියැළී සිටිනවා. සර්කෝනියා සඳහා ලොව පුරා විශාල ඉල්ලුමක් තියෙනවා. ඒකට හේතුව එහි භාවිතය ඉතා ඉහළ වීමයි.”
විශ්වවිද්‍යාලයට කීර්තියක් ගෙන දීමේ අරමුණින් මහාචාර්ය ආනන්ද කරුණාරත්න සර්කෝනියා වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයට ඉල්ලුම් කර ඇත්තේ රජරට විශ්වවිද්‍යාලය නමිනි. ඒ අනුව පේටන්ට් අයිතිය එම විශ්වවිද්‍යාලය සතු වන අතර එය සොයා ගැනීමේ ගෞරවය මහාචාර්ය ආනන්ද කරුණාරත්නට සහ අග්‍රා වික්රමගෙදරට හිමි වේ.
“මම ආචාර්ය උපාධිය වෙනුවෙන් සිදු කළේ අපේ රටේ සිලිකන් නයිට්රයිඩ් නිෂ්පාදනය කිරීම පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතියක්. ඇමෙරිකාව වැනි රටවල විශාල මෝටර්රථ, ජෙට්, ප්ලේන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සිලිකන් නයිට්රයිඩ් නිෂ්පාදන වියදම ඉතා අධිකයි. අපේ පොළොවෙ වැඩිපුරම තියෙන්නේ සිලිකන්. 80%ක් පමණ නයිට්රයිඩ් තියෙනවා. අපට සිලිකන් නයිට්රයිඩ් හදන්න පුළුවන් නම් විදේශ විනිමය උපයන්න පුළුවන්. අපේ රටේ අමුද්‍රව්‍ය ඇතිතරම් තිබුණත් නිෂ්පාදන තාක්ෂණය තරමක් මිල අධිකයි. ”
මහනුවර වේරපිටියේ උපන් මහාචාර්ය ආනන්ද කරුණාරත්න උසස් අධ්‍යාපනය වෙනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ඇත්තේ 1979දීය. අධ්‍යයන කටයුතු නිමවීමෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩල සාමාජිකයකු ලෙස දස වසරකට අධික කාලයක් සේවය කර ඇති හෙතෙම රජරට විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙසත් තාක්ෂණ පීඨයේ පීඨාධිපති ලෙසත් උප කුලපතිවරයා ලෙසත් වසර 25ක් පමණ කාලයක් කටයුතු කර ඇත. මේ වන විට විශ්‍රාමික වුවද සිය සිසුන්ගේ පර්යේෂණ සහ ව්‍යාපෘතිවලට නිබඳව සහයෝගය දක්වන මහාචාර්ය ආනන්ද පවසන්නේ රටේ පවතින ආර්ථික ගැටලුවලට විසඳුමක් ලෙස භාවිත කළ හැකි ස්වාභාවික සම්පත් රාශියක් අප සතුව ඇති බවය.
“අපේ රටේ ගලහ, මාතලේ ප්‍රදේශවල පිරිසිදු කිරමානා ගල් ඉතා සුලබ වුණත් ඒවා කුඩුකර පිටරට යැවීම හැර කිසිදු කර්මාන්තයක් කරන්නෙ නැහැ. එම ගල් රත්කරලා ඉතා හෙමින් සිසිල් කිරීමෙන් ක්‍රිස්ටල් හදන්න පුළුවන්. ඒවා අවශ්‍ය ආකාරයට වර්ණ ගැන්වීමෙන් ඉතා අලංකාර ඕනමන්ට්ස් සැකසිය හැකියි. එවැනි නිර්මාණ සඳහා ලෝකයේ හොඳ වෙළෙඳපොළක් තිබෙනවා. ජර්මනියේ එවැනි ක්‍රිස්ටල් නිෂ්පාදනය කළත් අපේ රටේ තරම් හොඳ කිරමානා පාෂාණ එහි තිබෙනවාද යන්න ප්‍රශ්නයක්. මෙවැනි නිෂ්පාදන ඕනෑම කෙනකුට පහසුවෙන් කළ හැකියි. ඒ වගේම අපේ දහයියාවල ඉතාම පිරිසිදු සිලිකන් තිබෙනවා. ඒවායින් නිෂ්පාදන කරලා අලෙවි කරන්නත් පුළුවන්. ඒ වගේම මෑතකදී ස්වීඩනයේ විශ්වවිද්‍යාල සිසුවකු සිදු කළ ඡේතවනාරාමයේ ගඩොල් පිළිබඳ පර්යේෂණයකට මම සහාය වුණා. එම පර්යේෂණයෙන් බොහෝ දේවල් හෙළි වුණා. දැනට ලෝකයේ තිබෙන ඉපැරණිතම සහ විශාලතම ගඩොල් ගොඩනැඟිල්ල ලෙස සැලකෙන්නේ ඡේතවනාරාමයයි. එම ගඩොල් සාදා තිබෙන්නේ විශේෂිත මැටි වර්ගයකින් ඒ නිසා එක් තැනක ඉරිතැලීමක් වුණත් එය එතැනින් එහාට යන්නෙ නැහැ. ප්‍රමිතියෙන් ඉතා ඉහළ එම ගල් ඉතා සියුම් තාක්ෂණයකින් නිමකර තිබෙනවා. වසර දහස් ගණනක් ගතවෙලත් ඡේතවනාරාමය තවමත් සුන්දරව සහ ශක්තිමත්ව තිබෙන්නේ ඒ නිසයි. අපේ රට සතුව තිබෙන මෙවැනි වටිනා ස්වාභාවික සම්පත්වලින් නිසි ප්‍රයෝජන ගැනීමෙන් රටට විශාල ආර්ථික සවියක් ලබාගත හැකියි. මෙවැනි පර්යේෂණ වැඩි වැඩියෙන් අවශ්‍ය වන්නේ ඒ පිළිබඳ දැනුම ලබා ගැනීමටයි.”
සුරේකා නිල්මිණි ඉලංකෝන්