– මාස තුනක් ගතවීමට පෙර මහ බැංකුව ස්වාධීනත්වය භාවිත කර අවාසනාවන්ත ලෙස වැටුප් වැඩිකර ගත්තා
– සජිත් ප්‍රේමදාස රජයක් යටතේ ජනතාවට බලපාන අංශ සංශෝධනය කරනවා
– ආණ්ඩුවේ ගජ මිතුරන්ට බදු විරාම
විපක්ෂ නායකවරයා නිතරම පවසනවා, තමන්ගේ රජයක් යටතේ IMF ගිවිසුම නැවතත් සමාලෝචනය සිදු කරන බව. මොනවද මෙයින් බලාපොරොත්තු වෙන්නේ?
එතුමා පැහැදිලිවම ප්‍රකාශ කරන්නේ IMF ගිවිසුම අහෝසි නොකරන බවයි. නමුත් IMF ගිවිසුමේ යම් යම් අංශ තියෙනවා, ජනතාවට බෙහෙවින් අහිතකර. IMF එක සමාජ ආරක්ෂක දැලක අවශ්‍යතාව පවසා තියෙනවා. අද ආර්ථික තත්ත්වයෙන් අඩු පිරිස් විශාල පීඩනයකට ලක්වෙලා. ඔවුන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලැබුණේ නැති වුණොත් සමාජ අසහනය උග්‍ර තත්ත්වයකට පත්විය හැකියි. සජිත් ප්‍රේමදාස රජයක් යටතේ එයට බලපාන අංශ පමණයි සංශෝධනය වන්නේ. ජාතික ණය ප්‍රශස්තකරණය යන ගාම්භීර වචන හරහා කරන්නේ ජනතාව මුළා කිරීමක්. මේ රටේ විද්වතුන් විකල්ප යෝජනා ඉදිරිපත් කළා, බදු මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන්. නමුත් දැන් පවතින මේ ක්‍රමය කිසිසේත් සාධාරණ නැහැ. වැඩිපුර බදු අයකරගත යුත්තේ ගෙවිය හැකි අයගෙන්. අද මෙය කණපිට හරවා තියෙනවා. මේ ක්‍රමය අපේ රජයක් යටතේ වෙනස් කරනවා.
විපක්ෂයට හිතුණ පරිදි IMF ගිවිසුම නැවත සමාලෝචන කළ හැකි වෙයිද?
ඇයි බැරි. ආණ්ඩුව වෙනස් වුණා කියන්නේ ජනමතය වෙනස් වීමක්. අලුත් ආණ්ඩුවට වැඩපිළිවෙළක් තියෙනවා. පවතින රජය ප්‍රතික්ෂේප කර විකල්ප ප්‍රතිපත්ති ඉදිරිපත් කරන ආණ්ඩුවක් ආවොත් අනිවාර්යයෙන්ම IMF එක සංවේදී විය යුතුයි. ජනාධිපතිවරණයකින් පසු රටේ ඉහළම ස්ථානය වෙනස් වූ පසුව අලුත් ආණ්ඩුවට යුතුකමක් හා වගකීමක් පවතිනවා, ඔවුන් ප්‍රතික්ෂේප කළ අංශ පිළිබඳව යළි සමාලෝචනයට කරන්න.
ආණ්ඩුවේ බදු එකතු කිරීම විධිමත් සැලැස්මක් නොමැති සිදුවන බව විපක්ෂය පවසනවා. සජබ රජයක් යටතේ බදු එකතු කිරීමේ නිශ්චිත සැලැස්මක් තිබේද?
ඉවක් බවක් නැතිව අද බදු විරාම දෙනවා. වැට් බද්ධ 18% දක්වා වැඩි වුණා. මේ නිසා සෑම දේම ඉහළ ගියා. අපි එසේ කරන්නේ නැහැ. අද රජයට 80% ක් ලැබෙන්නේ වක්‍ර බදුවලින්. එය වැරදියි. උපනය විට බද්ධ 36% ක් වෙලා. සමාගම් බද්ධ 30%යි. අපි බදු විරාම නවත්වනවා. අද විශාල සමාගම්වලට බදු ගෙවීමට සිදුවන්නේ නැහැ. ඒ බදු විරාම ලැබුණ නිසා. සුරාබදු සමාගම් දෙකකින් රුපියල් බිලියන 9 ක් එන්න තියෙනවා. ආණ්ඩුවේ ගජ මිතුරන්ට බදු විරාම. මේ නිසා සාමාන්‍ය ජනතාවට ජිවත් වීමට නොහැකි තත්ත්වයක් ඇති වෙලා. අද දරිද්‍රතාව 7% – 28% දක්වා වැඩි වෙලා. ළමා මන්ද පෝෂණය වැඩි වෙලා. සාමාන්‍ය ජනතාව දරා ගැනීමට නොහැකි පීඩනයකට පත් වෙලා. මේ තත්ත්වය අපි වෙනස් කරනවා.
විපක්ෂය හෝ ජාතික ජන බලවේගය කෙසේ පැවැසුවත් රජයේ ආර්ථික ක්‍රියාදාමය IMF ප්‍රධානීන් විසින් ප්‍රශංසනීයව අගය කර තියෙනවා?
IMF ප්‍රසංසා කරන්නේ ආණ්ඩුව රජයේ ආදායම, බදු අනුපාතය වැඩි කළ නිසයි. ආණ්ඩුව විසින් ඒවා කළ නිසා ලකුණක් වැටුණා. නමුත් එය කොයි ආකාරයෙන් සිදුවූයේ ද යන්න ඔවුන්ගේ විෂය පථයට අයත් දෙයක් නෙමෙයි. අපි දන්නවා රජය මේ වැඩි කළ ක්‍රමය වැරදි බව. නමුත් IMF සැහීමකට පත් වන්නේ අරමුණ ඉෂ්ට වීම නිසයි. ජනතාවගේ පැත්තෙන් දරා ගැනීමට බැරි පීඩනයක් පැටවීම හරහා සිදු වූ මේ දේ අපි විවේචනය කරනවා.
ආණ්ඩුව විසින් පසුගියදා අවම මාසික වැටුප රුපියල් 17, 500ට ඉහළ දැමීමට කටයුතු කළා. නමුත් එවැනි දේ ගැන විපක්ෂයේ නිසි ඇගැයීමක් නැහැ?
මෙයත් එක්තරා ආකාරයක වංචාවක්. එක් අතකින් දීලා අනිත් අතින් ගන්නවා. රුපියල් 17,500 ලබාදීලා වැට් බදු හරහා මෙය නැවත ලබා ගන්නවා. අවසානයේ ජනතාවගේ පසුම්බියේ තිබුණු මුදලුත් නැති වෙනවා. ජනතාව මෙය ප්‍රතික්ෂේප කරනවා. මේ රජය අවුරුදු දෙකක් බලයේ සිටියා. ආණ්ඩුව කරන දේවලින් ජනතාව රැවටෙන්නේ නැහැ. මේවා මැතිවරණ රැවටීම්. අල්ලස්. මේවා කරලා ඡන්ද ගන්න පුළුවන් යුගයක් එදා තිබුණත් අද නැහැ.
ණය ප්‍රතිව්‍යූහගතකරණය මීට වඩා වෙනස් ආකාරයෙන් කිරීමේ සැලැස්මක් විපක්ෂයට තිබේද?
රේගුවේ 40% ක් ලැබිය යුතු මුදල් ලැබෙන්නේ නැහැ. ප්‍රසම්පාදන ක්‍රියාවලිය අති දූෂිතයි. රුපියල් බිලියන ගණනන් හොරකම් කරලා. වංචා දූෂණ නැවැත්වීම හරහා රාජ්‍ය ආදායම වැඩිකර ගත හැකියි. මහ බැංකු සොරකමට අවුරුදු 9ක්. මේ හරහා මහ බැංකුවට අහිමි වූ ආදායම ලබා ගැනීමට කිසිදු උත්සාහයක් කර නැහැ. ප්‍රති දූෂණ පනතේ කිසිදු වගන්තියක් නැහැ, විදේශ රටවල හංගා ඇති මුදල් නැවත ලබා ගැනීමට. මේ දේවල් කළා නම් මේ ආකාරයෙන් බදු ගැසීමට අවශ්‍යය වන්නේ නැහැ.
විපක්ෂය හා ජාතික ජන බලවේගය කෙසේ පැවැසුවත් ආණ්ඩුව පවසන්නේ කවුරු බලයට පත්වුවත් රට ගොඩනැඟීමට මේ හැර වෙන මඟක් නොමැති බවයි?
අපි ඒ කතාව පිළිගන්නේ නැහැ. බදු විරාම දෙන්නේ ඇයි? මේ යට විශාල වංචා පවතිනවා. මේවා කවදත් නොමැති තරමට අද විශාල වශයෙන් කරනවා. කෙටි කාලය තුළ සාක්කු පිරවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා.
හිටපු ජනාධිපතිවරයා පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා, පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් සම්බන්ධයෙන්. මේ පිළිබඳ විපක්ෂයේ අදහස?
මේ ප්‍රකාශය අපි දන්නේ නැහැ. ඒ වගේම මේ සිදුවීම සුළු පටු දෙයක් නෙමෙයි. තමන්ට විශ්වසනීය තොරතුරක් ලැබෙනවා නම් සති තුනක් සිටීමට අවශ්‍යතාවක් නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඕනෑම අයකුට වගකීමක් පවතිනවා, තමන් දන්න දෙයක් ගැන කියන්න. එතුමා හිටපු ජනාධිපති. ඒ නිසා එතුමාට අනිවාර්යෙන්ම යුතුකමක් පවතිනවා, දන්න දේ ගැන කියන්න. නමුත් එතුමා කිව්වේ මොනවද කියලා අපි දන්නේ නැහැ.
ජනාධිපතිවරයකු ධුරය හොබවන කාල පරාසය තුළ නීතිය ඉදිරියට කැඳවිය නොහැකි බවත්, ධුර කාලය අවසන් වූ පසුව ඕනෑම අධිකරණයක් හමුවට කැඳවිය හැකි බවත් ඔබ පවසා තිබුණා. මේ මුක්තිය සම්බන්ධ නීතිමය තත්ත්වය පැහැදිලි කළොත්..?
මේ පිළිබඳ නීතිය පැහැදිලියි. ජනාධිපතිවරයකුට මුක්තිය තියෙන්නේ ධුරය හොබවන තෙක් පමණයි. උසාවි යන්න ගියොත් ජනාධිපතිවරයකුට වෙන දෙයක් කරන්න බැහැනේ. මේ සහනය දුන්නේ ජනාධිපතිගේ ආරක්ෂාවට නොව ජනාධිපතිවරයාට පූර්ණ කාලීනව ජනතාවගේ යහපත සඳහා බලය යෙදවීමටයි. නමුත් ජනාධිපති ධුරයෙන් ඉවත් වූ විගස උසාවියට කැඳවා නඩු ඇසීමට දඬුවම් කිරීමට හැකියි. එදාට තාවකාලික මුක්තිය නැති වෙනවා.
විපක්ෂය බලයට පත්වුණොත් පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් අත් අඩංගුවට ගන්නා බව පවසනවා?
අපි බලයට පත් වුණොත් කිසිවකුත් ආරක්ෂා කරන්නේ නැහැ. විනිවිද බවකින් තොරව වැරදිකරුවන්ට දඬුවම් දෙනවා. අපක්ෂපාති පරීක්ෂණක ප්‍රතිඵලයක් ලෙස තරාතිරම නොබලා දඬුවම් දෙනවා. නීතිය ක්‍රියාත්මක කරනවා.
මහ බැංකුවේ වැටුප් වැඩිවීම පිළිබඳ අධ්‍යයනය කිරීමට කමිටුවක් පත් කිරීමට සූදානම්. මීට විපක්ෂයේ සහයෝගයත් ලැබෙනවා ද? මෙවැනි වැඩි කිරීමක් විපක්ෂය දකින්නේ කෙසේද?
මහ බැංකුවට ස්වාධීනත්වය අවශ්‍ය යැයි කියා පනතක් සම්මත කර ගත්තා. රජයේ පාලනයට මෙය නතු වනවා නම් මුදල් ඇමැතිට පුළුවන් වෙනවා මුදල් අච්චු ගහන්න. එවිට උද්ධමනය අහස උසට යනවා. මේ දේවල් නැවැත්විය යුුතු නිසයි මහ බැංකුව ස්වාධීන කරන්න ඕන කියලා යෝජනාවක් ගෙනාවේ. එදා අපි එයට විරුද්ධ වුණේ නැහැ. ශ්‍රී ලංකා ආණ්ඩුකම ව්‍යවස්ථවේ 148 වගන්තිය යටතේ මුදල් පරිපාලනය පිළිබඳ වගකීම පවතින්නේ පාර්ලිමේන්තුවට වුවත් එයින් කෑල්ලක් ගලවා ස්වාධීන ආයතනයක් මූල්‍ය ක්ෂේත්රය තුළ ස්ථාපිත කිරීමෙන් යම් හානියක් වන බව අපි විශ්වාස කළා. නමුත් පසුව මේ පනත සම්මත කර ගත්තා. මාස තුනක් ගත වීමට පෙර ඒ ස්වාධීනත්වය භාවිත කර අවාසනාවන්ත ලෙස වැටුප් වැඩි කර ගත්තා. නමුත් ජනතාවට පේන්නේ හැන්ද අතේ තියෙන නිසා යහමින් බෙදා ගත් බවයි. මේ ගැන ජනතාව තුළ ඇත්තේ විශාල විරසකයක්. ජනතාවට පටි තද කරගන්න කියන මහ බැංකුවම තමන්ට පමණක් 76 % කින් වැටුප් වැඩිකර ගැනීම ප්‍රශ්නයක්.
සුභාෂිණි ජයරත්න