ආගමික දිනයක් වූ පාස්කු ඉරිදාව දැන් දේශපාලන කතාබහට ඇතුල් වී තිබේ. අද පාස්කු ඉරිදා වුවත් මේ සතිය ආරම්හ වූයේම පාස්කු ගැන කතාවක් හේතුවෙන් දේශපාලන පිටිය උණුසුම් කරමිනි. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහනුවර දී පාස්කු ප්‍රහාරය ගැන සිදුකළ ප්‍රකාශය හේතුවෙන් ඒ ගැන යළි කතා බහක් නිර්මාණය වූ අතර පසුගිය ඉරිදා උදාවුයේ, දේශපාලන උපන් දිනයක් පෙරටු කරගෙනය.
ජනපති උපන් දිනයට සිව් දිගින් සුබ පැතුම්
ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සිය උපන් දිනය සම්න්ධයෙන් ප්‍රසිද්ධියක් ලබා දෙනවාට කැමැත්තක් නොදක්වන අයෙකි. මේ නිසාම ඉකුත් ඉරිදා යෙදී තිබුණ ජනපතිවරයාගේ උපන් දිනය වෙනුවෙන් කිසිදු උත්සවයක් හෝ වෙනත් සැමරුමක් යොදා ගෙන තිබුණේ නැත. දවස පුරාම ඔහු රැඳී සිටියේ කොළඹ පැජට් පාරේ නිල නිවසේ, ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමඟය. හිටපු ජනාධිපතිවරුන්, මැති ඇමැතිවරුන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද ඔහුට සුබ පැතීමට දුරකතන ඇමතුම් දී තිබුණි. සමහරෙක් පැජට් පාර නිවසට පැමිණ සුබ පැතූහ. දුරකතනයෙන් සුබ පැතුම් එකතු කළ සැමටම ස්තූති කිරීම සඳහා යළි ඇමතුමක් ගෙන තමන්ට සම්බන්ධ කරන ලෙස ජනපති දුන් නියමය අනුව ආරක්ෂක අංශ නිලධාරීන් ඉකුත් සතිය පුරාම කොටස් වශයෙන් එම ඇමතුම් ජනපති රනිල්ට සම්බන්ධ කර දී තිබුණි.
ජනපති රනිල්, සඳුදා උදේ සුපුරුදු පරිදි කාර්යාලය වෙත පැමිණෙනවා වෙනුවට, නාරාහේන්පිට සුජාතා ප්‍රාථමිකයට ගියේ දරුවන්ට තෑග්ගක්ද රැගෙනය. ඒ පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන්ට දිවා ආහාරය ලබාදීමේ රජයේ ප්‍රතිපත්තියේ සමාරම්භය සනිටුහන් කිරීම වෙනුවෙනි. කුඩා දරුවන්ට ආහාර දෙමින් ඔවුන් සමඟ සතුටු සාමිචියේ යෙදුණු ජනපතිවරයා, කාර්යාලය වෙත පැමිණියේ ඉර අවරට යන්නට කිට්ටුවය.
ක්ලාන්ත වෙන නිසා ළමයි පාසල් ආවේ නැහැ
සවස් වනවිට ඔහුට පණිවුඩ පිට පණිවුඩ ලැබෙන්නට පටන් ගත්තේ රටේම දරුවන්ට දුන් දිවා ආහාරය ගැන අගය කරමිනි. දුර බැහැර පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන්ම දෙමාපියන් ද තමන් දන්නා දන්නා පුද්ගලයන් හරහා ජනපතිට පණිවුඩ එව්වේ එම ක්‍රියාව අගය කරමිනි.
“සර් අපේ පාසලට එන දරුවන්ගෙන් 90%කගේ පමණ දෙමාපියන් කුලී වැඩ කරන්නේ. ඒ නිසා දරුවෝ පාසලට එන්නේ කුසගින්නේ. ඔවුන් හුඟ දෙනෙක් පාසල් එන්නේ නෑ, ඉස්කෝලේදි කලන්තේ දානවා කියලා. දැන් එහෙම නෑ. 90%ක්ම දරුවෝ පාසල් එනවා. සර්ට ගොඩක් පිං” කල්පිටියේ ඈත එපිට ගමක විදුහල්පතිවරයෙක් එවා තිබූ පණිවුඩයක් ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න ජනපතිට පෙන්වා දුන්නේ, එවැනි සුබවාදී ප්‍රතිචාර රට වටෙන්ම ලැබෙන අතරේය.
ඉදිරියේදි සියලුම පාසල් සිසුන්ට දිවා ආහාරය, දිය හැකි තත්ත්වය දක්වා මෙය වර්ධනය කරන බව ජනපතිවරයා, ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තකට ප්‍රකාශ කරන ලද්දේ මේ ප්‍රතිචාර පිළිබදව කතා කරමින් සිටින අතරේය.
මෙවර ඇමැති මණ්ඩල හමුවට පෙර දේශපාලන කැබිනෙට්ටුව රැස්ව තිබූ අතර මහ මැතිවරණයක් ගැන මතුව තිබෙන කතාබහ එහිදී මතුව ආවේය.
ජූලි වෙනකම් ඡන්ද බෑ
ජනාධිපතිවරයාගේ ස්ථාවරය වූයේ අයි.එම්.එෆ් වැඩසටහන ජූලි අග භාගය තෙක් ඇදී යන බැවින් එතෙක් මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බවය. අතරමඟ මැතිවරණ පවත්වා අයි.එම්.එෆ්. වැඩසටහන කඩාකප්පල් කළ නොහැකි බැවින් අගෝස්තු මාසය වනතෙක් තමන්ට මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ඔහු කියා තිබුණි.
ජූලි මාසයෙන් පසුව ජනාධිපතිවරණයක් කැඳවීමේ බලය මැතිවරණ කොමිසමට ලැබෙන බැවින් පළමුව පැවැත්වීමේ හැකියාව තිබෙන්නේ ජනාධිපතිවරණයක් බව ජනපති රනිල්, ඇමැති මණ්ඩලය දැනුම්වත් කළේය.
එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම්ට, ජනපති පවරා තිබුණේ අධ්‍යාපන ක්ෂේත්රයේ කටයුතු සම්බන්ධීකරණය කිරීමටය. ඒ අනුව ඔහු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක් රැගෙන ජනපති රනිල් මුණ ගැසීමට සඳුදා සවස පැමිණියේය. පැමිණි බොහෝ දෙනෙක්, කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ වූවෝ නොවූහ.
රනිල්ගේ කතාව සමාජ මාධ්‍ය කලඹයි
මෙහිදි ජනපති රනිල් එදා විශ්වවිද්‍යාලවල සිසුන්ට තිබූණු දේශපාලන නිදහස ගැන මෙන්ම අද එය අහිමිවීම ගැන ද කතා කරමින් මේ තත්ත්වය වෙනස් කරන්නට මැදිහත් වන ලෙස ආචාර්ය ප්‍රජාවගෙන් ඉල්ලීමක් ද කළේය.
පෙර සුදානම් නොවී ජනාධිපතිවරයා සිදුකළ කතාව සමාජ මාධ්‍ය මාර්ගයෙන් නොසිතු ලෙස ජනප්‍රිය වූයේය. විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යාපනයේ සිට නූතන පෞද්ගලික විශ්වවිද්‍යාල දක්වා ජනාධිපතිවරයා සිය කතාව විහිදා හළ ආකාරය, පැමිණි සිටි පිරිසගේ පුදුමයට ලක්වූයේය.
අඟහරුවාදා පෙරවරුවේ ජනාධිපතිවරයා ඩිජිටල් පොදු පහසුකම් සමුළුවට එක්වී කෘත්‍රිම බුද්ධිය සඳහා වන මධ්‍යස්ථානයක් ඉදිකිරීම ගැන කතා කෙළේය. රාගම රෝහලේ අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කළ ජනපති රනිල් ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාව විවෘත කිරීමට පැමිණියේය. එහිදී කුඩා සිසුවෙක් තමන්ට ජනපති මුහුණට මුහුණ දැක ගැනීමට ලැබීම අගය කරමින් අධ්‍යාපනයේ තිබෙන ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරයෙන්ම විසදන ලෙස ඉල්ලා සිටියේය.
ඊට අමතරව ජනපති ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ නොපැකිළිව පිළිතුරුදීම ද කවුරුත් අගය කළේය. එහි පැමිණි දරුවන් සැවොම අධ්‍යාපනයට අදාළව ධනාත්මකව කතා කිරීම නිසා රැස්වීම අවසානයේ ජනපති ඔහු අසල සිටි ලේකම් සමන් ඒකනායක ඇතුළු නිලධාරීන් දෙස බලමින් “ මේ Z ජෙනරේෂන් එකේ අනාගතය ගැන නම් බය වෙන්න දෙයක් නෑ.” යි කීවේ සැහැල්ලුවෙනි. “අනෙක මම ඇහුවේ ජවිපෙ අහන ප්‍රශ්න. හැබැයි දරුවන්ගේ පිළිතුර වුනේ ජවිපේ පිළිතුරු නොවෙයි.” රනිල් යළි කීවේ සිනාසෙමිනි. එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු හමුව සිදුවූයේ, ජනාධිපති කාර්යාලයේදීය. ජනපති පැමිණි විගස මහ ලේකම් රංගේ, පක්ෂ වැඩකටයුතු සම්බන්ධ වාර්තාව දුන් අතර ජනපති රංගෙගෙන් විමසා සිටියේ, යාපනය දිස්ත්‍රික්කයට සංවිධායකවරු නිල වශයෙන් පත් කර තිබේද යන්නය.
“එහෙම කවුරුත් පත් කරලා නෑ සර්. දැනට අපි කලාප සංවිධායකවරුන් විතරක් පත් කරගෙන යනවා. ඒකටත් යාපනය ලිසිට් එක තවම ලැබිලා නෑ.” රංගේ කියද්දී නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන හා උපනායක අකිල ද රංගේගේ කතාව අනුමත කරමින් ඔවුන් ද කිසිදු ආසන සංවිධායකවරයෙක් පත් කර නැතැයි කීවෝය. අනෙක් පිරිස ද කීවේ කලාප සංවිධායකවරු හැර කිසිවෙක් පත්කර නැති බවයි.
කලාප සංවිධායකවරු 1000ක් සමඟ එජාප මැයි දිනය
මැයි දින සංවිධාන කටයුතු ගැන කතාබහ අනතුරුව සිදු විය. මහ ලේකම් රංගේ කීවේ කලාප සංවිධායකරු 1000ක් පත් කරන බැවින් ඔවුන්ට මැයි දිනයට ජනතාව රැගෙන ඒමේ වගකීම පවරා ඇති බවය. හරීන් ප්‍රනාන්දු ද ඔහුගේ සැලැස්ම ජනපතිට ඉදිරිත් කර තිබුණි.
වසා දමා ඇති ජතික කලා භවන නිරික්ෂණයට ගිය ජනපති එය මේ වසර තුළදී විවෘත කරන්නැයි බලධාරීන්ට උපදෙස් දුන්නේය. ලංකාවේ විශාලතම මාතෘ රෝහල විවෘත කිරීමට ජනපති ගාල්ලට ගියේ බදාදාය. භූතානය පැරදූ ලංකාවේ ජාතික පාපන්දු කණ්ඩායම ජනපති මුණ ගැසී, ජනාධිපතිවරයාගේ නම සටහන් කරන ලද ජර්සියක් ඔහුට පිළිගැන්වූයේය.
ශ්‍රී ලංකා ජනපති හා ඉන්දීය අගමැති අතර ඉකුත් කාලයේ ඇතිවූ එකඟතා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉන්දියාවට ගොස් සිටින, ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක ඇතුළු පිරිස එරට බලධාරීන් මුණ ගැසී දෙරටේ ඉදිරි මග ගැන කතා කළ අතර ඒ ගැන ජනපතිවරයා ද දැනුම්වත් කිරීමට සාගල පියවර ගත්තේය.
බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපති රනිල්, කාර්යාලයට එද්දී පිරිසක් බලා සිටියේ, ඊට පෙරදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේ තොරතුරු ජනපති කනේ තැබීමටය.
“පොහොට්ටුවේ ජාතික සංවිධායක කමට පත් කරන්න ඉඳලා තියෙන්නේ, රෝහිත අබේගුණවර්ධන කියලා තමයි, දැන ගන්න ලැබුණේ. නමුත් නාමල්ව පත් කිරීම කාන්තා පාර්ශ්වයකගේ මැදිහත්වීමෙන් වුණා කියලා තමයි, අපිට කට්ටිය කිව්වේ.” ඇමැති මනූෂ කතාව ආරම්භ කළේ එලෙසිනි.
“බැසිල් ජාතික සංවිධායක කමින් අයින් වුණාට පස්සේ චමල්, මහින්ද, බැසිල්, ගෝඨාභය මුණ ගැසිලා ජාතික සංවිධායක ධුරය දෙන කෙනා ගැන කතා කරලා තියෙනවා. එතනදි චමල්ගේ අදහස වෙලා තියෙන්නේ රාජපක්ෂවරු ටික කාලයකට තනතුරු අත් හරින්න ඕනෑ කියන එකයි. මොකද රාජපක්ෂවරුන්ට විරුද්ධ මතයක් ජවිපෙ, සජබ සහ පොහොට්ටුවෙන් කැඩී ගිය පිරිස නිර්මාණය කරන නිසා රාජපක්ෂවරුන්ගෙන් පිට කෙනෙකුට මේ තනතුර දීලා, එහෙම එකක් නෑ කියලා රටට පෙන්නමු කියන කාරණය තමයි චමල් කියලා තියෙන්නේ. ඒකට හැමෝම කැමති වෙලා තියෙනවා.” ආශු මාරසිංහ කීවේ තමන්ට ලැබුණ තොරතුරුය.
“ජාතික සංවිධායක වෙනුවෙන් නම් දෙකක් යෝජනා වෙලා තියෙනවා. එකක් ප්‍රසන්න රණතුංගගේ. අනෙක් නම රෝහිත අබේගුණවර්ධනගේ. තමන් ආණ්ඩු පක්ෂ සංවිධායක නිසා මේක භාර ගැනීම අනෙක් පක්ෂ එක්ක ගනුදෙනු කිරීමට බාධාවක් කියලා තනතුර භාර ගන්න ප්‍රසන්න කැමති වෙලා නෑ. හැබැයි රෝහිත මේ තනතුර ගන්න කැමති වෙලා ඉඳිද්දි තමයි වැඩේ අනෙක් පැත්තට හැරුනේ.” මන්ත්‍රී වජිර ද කතාවට හවුල් වූවේ එලෙසිනි.
“ඇමතිවරු විධායක සභාවට ගිහිල්ලා තියෙන්නේ නාමල්ව පත් කරන එක දැනගෙන නොවෙයි. වැඩ රාජකාරි නිසා බොහෝ දෙනෙක් ප්‍රමාද වෙලා ගිහින් තියෙන්නේ. නමුත් මේ පත්කිරීම නිසා එයාලා පුදුම වෙලා තියෙනවා. චමල් ඇමැතිතුමා කළකිරිලා පැත්තකට වෙලා ඉන්නේ කියලා එයාගේ මිතුරෙක් මට කිව්වා.” මනූෂ යළි හඬ අවදි කළේය.
“දැන් මේ කට්ටිය දෙකට බෙදිලා ඉන්නේ. බැසිල් රාජපක්ෂත් කළකිරිලා ඉන්නේ කියලා ආරංචියි. අනෙක නාමල්ගේ පත් කිරීම ගැන මාධ්‍යයට ප්‍රකාශ දුන්නු කිසිවෙක් නාමල්ව උලුප්පලා කතා කළේ නෑ. දියාරු විදියට තමයි ප්‍රකාශ දුන්නේ. මේ බෙදීම ඉදිරි ඡන්දවලටත් බලපාන්න පුළුවන්. මෙතනදි අපිත් පරිස්සම් වෙන්න වෙනවා.” රංගේගේ කතාව එය විය.
“පක්ෂෙත් අවුල් පවුල ඇතුළෙත් අවුල් ඇති වෙලා. ඒ නිසා අපි බැලන්ස් එකේ යන්න වෙනවා. අපිට හැමෝම එක්ක තමයි, ජනාධිපතිවරණයට යන්න වෙන්නේ.” කියමින් ආශු කතාව අවසන් කරද්දී සියල්ල සාවධානව අසා සිටි ජනපති සිනාසුනා මිස කිසිවක් කියන්නට ගියේ නැත.
ගිනි තැබූ දේපළ සඳහා වන්දි
2022 මැයි 9 වැනිදා ඊනියා අරගලකරුවන් විසින් ගිනිතබා විනාශ කළ සහ විවිධාකාරයෙන් හානි සිදුකළ දේපොළ සඳහා වන්දි ලබාදී මේ වනවිට රජය විසින් ආරම්භ කර ඇත. එම අරගලයෙන් වැඩිම හානි සිදුවූයේ ගම්පහ දිස්ත්‍රික්කයටය. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයට වන්දි ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා ඇමැති ප්‍රසන්නගේ ප්‍රධානත්වයෙන් ගම්පහ කච්චේරියේදී පැවැත්විණ. එහිදී අමාත්‍යවරයා තක්සේරු දෙපාර්තමේන්තුවට, හානිපූර්ණ කාර්යාලයට,පොලීසියට,ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ග්‍රාම නිළධාරීන්ට උපදෙස් දුන්නේ වින්දිතයන්ගේ ලියකියවිලිවල යම් යම් අඩුපාඩු ඇත්නම් ඒවා කඩිනමින් නවත සකස්කරන ලෙසය.
“මම සති දෙකකින් නැවත රැස්වීමක් දානව.ඒ වෙනකොට ලියකියවිලිවල ප්රශ්නය නිරාකරණය වෙලා තියෙන්න ඕන” ඇමැතිවරයා දැඩිව අවධාරණය කළේය.
“ඇමැතිතුමා අපේ ගෙවල්වලට ගහපු අයව ආගමික නායකයන් ආරක්ෂා කරනවා. පොලීසියට හරියට රාජකාරි කරන්න දෙන්නේ නෑ” අයෙක් කීහ.
“එහෙම බෑ. පොලීසිය හරියට තමන්ගේ රාජකාරි කරන්න ඕන. එයාල මැයි 9 හරියට රාජකාරි කළේ නෑ. ඒ ගැන මම මානව හිමිකම් කොමිසමේ නඩු දැම්මා. ඔයාලත් නඩු දාන්න. මම උදවු කරන්නම්” ඇමැතිවරයා කීය.
“තවත් කාරණයක්. ගෙවල්වලට ගහපු, ගිනි තියපු සැකකරුවන්ට ආරක්ෂා වෙන්න දෙන්න බෑ. පොලීසිය ආගමික නායකයන්ගේ බලපෑමට යටත්වෙන්න එපා. මම මේව ගැන හොයනවා. අරගලේ හිටියේ ජේ.වී.පීඅය. එයාල 88/89 භීෂණ කාලේ පන්සල් විනාශ කළා. කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවෝ වගේ උගත් හාමුදුරුවෝ මැරුවා. මිනීමරුවෝ ආරක්ෂා කරන්න ආගමික නායකයන්ට අයිතියක් නෑ. එහෙමනම් මේ රටට නීතියක් වැඩක් නෑ” ඇමැති ප්‍රසන්න දැඩිව අවධාරණය කළේය.
නාමල්ට තනතුරක්
පොහොට්ටුවෙ ජාතික සංවිධායකකම දැරුවේ හිටපු ඇමැති බැසිල්ය. මෙවර එය හිමිවුයේ නාමල්ටය. නාමල්ගේ නම යොජනා කළේ පත්කළ මන්ත්‍රි ජයන්ත කැටගොඩය. ඔහු බැසිල් රාජපක්ෂට අතිශයින්ම හිතවත්ය. ඒ අනුව මන්ත්‍රි නාමල් විධායක සභාවේ ඒකමතික ඡන්දයෙන් ජාතික සංවිධායක තනතුරට පත්විය.
“මට තනතුරු නැතිවුණාට පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙලා වැඩ කරනවා. මේ තනතුරු තරුණ අයට ලැබෙන එක හොඳයි.” බැසිල් කීය.
මහින්දගේ අවවාද
“සර්… ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන මොකද කියන්නේ” මෙහිදී මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් විමසීය.
“ඒ ගැ පක්ෂයෙන් නිල ප්‍රකාශයක් සිදුකරනවා. ඒක නිසා ජනාධිපතිවරණ අපේක්ෂකයන් ගැන ඉදිරි මැතිවරණවලට තරඟ කළ යුතු ආකාරය සම්බන්ධයෙන් හිතුමතේ අදහස් දක්වන්න එපා” හිටපු ජනාධිපතිවරයා මන්ත්‍රිවරුන්ට අවවාද කළේය.
අපේක්ෂකයා ගැනත් කියයි
“අපි දැනටමත් පක්ෂයට සුදුසු ජනාධිපතිවරණ අපේක්ෂකයන් හා මැතිවරණවලට තරගකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සමීක්ෂණ සිදුකරනවා. ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ඉදිරිපෙළ නායකයන්, ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන සමඟ අදහස් හුවමාරුකර ගන්නවා. ” හිටපු ජනාධිපති යළි හඬ අවදි කළේය.
මැයි දින සැමරුම ගැනද මෙහිදී සාකච්ඡා විය.
“අපි මේ පාර මැයි රැළිය තියන්නෙ කැම්බල් එකේ. අපි ඒකට කමිටුවක් පත්කරනවා.”බැසිල් කීය.
“මේ පාර මැයි දින සැමරුම සාර්ථක කර ගැනීමට සියලුම දෙනා දැඩි කැපවීමෙන් යුතුව කටයුතු කරන්න ඕන” හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන් වැඩිදුරටත් කීවේය
චීන ජනපති, දිනේෂ්ට කී රහස
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉරිදා (24) එහි ගිය අගමැතිවරයා, චීන ජනාධිපති ෂී ජින්පින්, අග්‍රාමාත්‍ය ලී චියැං සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු රැසක් හමුවූහ. එරට කථානායකවරයාද දිනේෂ්ව හමුවිය.දෙරට අතර ගිවිසුම් 9ක් අත්සන් තැබුවේද ඒ අතරතුරය. චීන කොමියුනිස්ට් පක්ෂයේ, ජාතික මහජන කොංග්‍රසයේ සභාපති Zhao Leiji ද මුණගැසී සාකච්ඡා කළ දිනේෂ්, බිජිං හි ටියන්මෑන් චතුරස්රයට පැමිණ දිවිපිදූ රණවිරුවන්ට, රණවිරු ස්මාරකයේදී පුෂ්පෝපහාර දැක්විය. ඔහු පළමුවෙන් ම කළේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී, ශ්‍රී ලාංකේය වෘත්තිකයන් හමුවීමය.
“වත්මන් ආර්ථික සංවර්ධන ප්රයත්නයන්ට සහභාගි වෙලා මව්බිමට සම්පතක් වෙන්න, මේ වෙලාවේ ඒක අත්‍යවශ්‍යයි” දිනේෂ් ඉල්ලා සිටියේය.
බිජිං අගනුවර සිංහ ධජ සාගරයක් සේ දක්නට ලැබුණේ චීනයේ සියලු ප්‍රධාන නායකයන්, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් වෙනුවෙන් හමුවීම් සංවිධාන කර තිබූ නිසාය. චීන අගමැති ලී චියැං, දිනේෂ්ව මහජන චීනය පිළිගත්තේ විශේෂ උත්සවයක් පවත්වමිනි. ඔවුන්ට දිනේෂ් සමග විශේෂ බැඳියාවක් තිබිණි.
“චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා ඔබ සහ ඔබේ පවුලේ අය අඛණ්ඩව කටයුතු කළා” චීන අග්‍රාමාත්‍ය ලී චියැං, කීවේ රාජ්‍ය තාන්ත්‍රික නිල සාකච්ඡා අතරතුරය.
අගමැතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර සාකච්ඡාව මෙහිදී සිදුවූ විශේෂ සිදුවීමක් විය.
“ශත වර්ෂයකට ආසන්න කාලයක්, පිලිප් ගුණවර්ධන සහෝදරයා සහ පවුලේ උදවිය චීනයේ ඉතා සමීපතම මිතුරන් ලෙස අපි සලකනවා. ඔබේ පැමිණීම දීර්ඝකාලීන මිත්‍රයෙක් හමුවුණා හා සමානයි. ඒ නිසා මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට විශේෂ සහයෝගයක් අපි ලබා දෙනවා” යැයි චීන ජනාධිපතිවරයා කිවේ මහත් ලෙන්ගතුකමකිනි. චීන ජනපති එසේ සිහිපත් කළේ, පිලිප් ගුණවර්ධනයන් සහ කුසුමා ගුණවර්ධන ගැනය. ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ මුල්ම සභාපතිනිය (1950දී) වන්නේ දිනේෂ්ගේ මව, කුසුමා ගුණවර්ධනයි. 1956 පෙරළියට පෙර 1951දී පිලිප් චීනයට ගියේ, චීන විප්ලවයෙන් පසු එරටට ගිය පළමු ශ්‍රී ලංකේය කණ්ඩායම ලෙසය. නොබැඳි පිළිවෙතට අඩිතාලම දැමුණේ එදාය. ජාතික වීරවර පිලිප් ගුණවර්ධනයන්ගේ 52 වන ගුණානුස්මරණය යෙදී තිබුණේද මාර්තු 26 වන දාය. එදින දිනේෂ් සිටියේ චීනයේය. එමනිසා 26 වනදා ඉටු කළ යුතුම යුතුකම දිනේෂ් කලින් ම ඉටු කළේය. ඒ, අවිස්සාවේල්ල බොරළුගොඩ පිලිප් ගුණවර්ධන සමාධියට උපහාර දැක්වීමයි.
පිලිප්ගේ මුණුපුරා වන, දිනේෂ්ගේ පුත් යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයාද මේ අවස්ථාවේ එහි සිටියේය. රාජ්‍ය අමාත්‍යවරු වන ෂෙහාන් සේමසිංහ හා අශෝක ප්‍රියන්තද මෙම සංචාරයට අගමැති සමඟ එක්වූහ.
සජිත්ගෙන් සුහුරු කාන්තා බළකායක්
විපක්ෂ නායකතුමා පසුගියදා තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කළේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැති සමගි වනිතා බලවේගයේ කාන්තා සමුළුවට සහභාගි වෙමින්ය. එහිදී විපක්ෂ නායකවරයා සඳහන් කළේ සමගි ජන බලවේග රජයක් තුළ කාන්තාවන් වෙනුවෙන් ලබා දිය හැකි උපරිම ශක්තිය හා සවිබල ගැන්වීම නියත වශයෙන් ක්‍රියාත්මක කරන බවයි. එමෙන්ම සියයට 52ක් වන කාන්තාවන් සුහුරු කාන්තා පරපුරක් ලෙස නිර්මාණය කරන බවත් ඔවුන් වෙනුවෙන් වෙනමම ජනාධිපති කාර්ය සාධන බලකායක් සහ කොමිසමක් ඇති කරන බවත් කාන්තාවන් වෙනුවෙන් වාර්තාගත සේවාවක් ඉටුකළ ආණ්ඩුව සමගි ජන බලවේගය වන බවත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ගාල්ලේ පැවැති සමගි වනිතා බලවේග සමුළුවේදී කීවේය.
මේ අතර විපක්ෂ නායකතුමා විපක්ෂයේ මන්ත්‍රීවරු හමුවුණ අවස්ථාවක සඳහන් කළේ තාත්තගෙන් පුතාටත් ඉන් පසුව මුනුබුරාටත් පක්ෂවල අයිතිය සීමා වෙන තත්ත්වයක් තිබෙන්නේ. එක එක දේශපාලන පක්ෂවලට එහෙම කරන්න පුළුවන් වුණාට රට අයිති ලක්ෂ 220ක් සිංහල දමිළ මුස්ලිම් බර්ගර් හැම ජාතියකටම ආගමකටම. රටේ අයිතිය කිසිදු පවුලකට අයිති දෙයක් නොවන නිසා ලක්ෂ 220ක ජනතාවගේ ප්රජාතන්ත්රීය අයිතියට මුල්තැන ලබා දෙමින් තාවකාලික බාරකරුවන් ලෙස අපි කටයුතු කරන ඕන.
නලින් බණ්ඩාරගෙන් මාලිමාවට ආයෙත් අභියෝගයක්
මේ අතර පසුගිය සතියේ සමගි ජන බලවේගයේ ආර්ථික දැක්ම එළිදැක්වීමේ බ්ලූප්‍රින්ට් වැඩසටහනට විපක්ෂ නායකතුමා සහභාගි විය.
‘‘බොහෝ දෙනෙක් කියනවා ධනවාදය කියන වචනය භාවිත කරන්න එපා කියලා. මම නම් ඒක ප්‍රතික්ෂේප කරනවා. ධනවාදය තුළින් නිර්මාණය වුණ ව්‍යවසායකයින් තමයි අද රටේ සිටින්නේ. ඒ නිසා ධනාවාදය ගැන කතා කරන්න මැලි වෙන්න හොඳ නෑ. ධනවාදයේ අඩුපාඩුකම් තිබෙනවා. ඒ නිසා අපි අනුගමනය කරන්නේ මානුෂීය ධනවාදය. රට ගොඩනගන්න අනිවාර්යෙන්ම මානුෂීය ධනවාදි ප්‍රතිපත්ති තුළ සමාජ වෙළඳපොළට ඉඩකඩ හදන්න. සමාජවාදය ක්‍රමය හරහා කිසි දවසක ව්‍යවසායකත්වයට ඉඩක් නෑ. සමාජවාදය කියන්නේ ව්‍යවසායකත්ව විරෝධී සංකල්පයක්. ‘‘එහිදි විපක්ෂ නායකතුමා කීවේය.
මෙහිදී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කීවේ ‘‘ජාතික ජන බලවේගයත් ආර්ථික කවුන්සිලයක් නම් කරලා තිබෙනවා. මම ආරාධනා කරනවා සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව සමඟ ප්‍රසිද්ධ විවාදයකට ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවට පැමිණෙන්න කියලා. ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටුවට හත්වෙනි වතාවට තමයි මම මේ අභියෝගය කරන්නේ. අපි අභියෝග කළාම ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවේ පිරිස් බයේ හැංගෙනවා.”