ජීවිතේ අතරමඟ ගොඩක් අයව අපිට මුණ ගැහෙනවා. සම්බන්ධකම් හැදෙනවා. හැබැයි ඒ හැම සම්බන්ධයක්ම, හැම යාළුකමක්ම ගමනාන්තය වෙනකම්ම රැඳෙන්නෙ පවතින්නේ නැහැ.
හේතුවක් ඇතුව, හේතුවක් නැතුව, එහෙමත් නැත්තම් හේතුවක් හදාගෙන හරි කාලයත් එක්ක ගොඩක් යාළු මිත්‍රකම් සම්බන්ධකම් නැති වෙලා යනවා, එහෙම නැත්තම් මඟ ඇරිලා යනවා.
ටිකක් වැඩ අඩු වෙලාවක පොඩ්ඩක් ජීවිතේ ආපස්සට ගිහින් බැලුවම, සමහර සම්බන්ධකම් නැති වෙලා ගිය එකම තමයි හොඳ කියලා හිතෙනවා, තවත් සමහර යාළුකම් කවදා කොහොම මොකක් නිසා නැති වුණාද කියල තාමත් දන්නේ නැහැ. සමහරක් සම්බන්ධකම් හිතා මතාම අපිම මඟ හැරලා. ඒ වගේම තවත් මිනිස්සු අපේ ඇස් අස්සට ආවේ මොකටද කියල හිතෙන වෙලාවලුත් තියනවා.
සම්බන්ධකමක් පටන් ගන්නකොට අපි දැක්කෙ ඒ පුද්ගලයාගේ සැබෑ ස්වරූපය නෙමෙයි කියල අපිට තේරෙන්න ටිකක් කල් යනවා. හැබැයි පිටින් කොහොම පෙනුණත් ඇතුළේ ඉන්න සතාගෙ ස්වරූපය හරියටම පේන්න නම් සම්බන්ධය අවසාන වෙනකම්ම ඉන්න වෙනවා. මොකද හැමෝම එක එක ප්‍රමාණයන්ගෙන් රඟපානවා. හැබැයි තරහ ගිහින් එපා වෙලා සම්බන්ධයට තිත තියනකොට රඟපාපු චරිතේ ස්වභාවය අමතක වෙලා සැබෑ චරිතේ මතුවෙනවා.
ඒ නිසා තමයි කියන්නේ ඕනෑම කෙනෙක්ගෙ සැබෑ ස්වරූපය බලන්න ඕනේ නම් ඒ කෙනාව තරහ ගස්සන්න ඕනේ කියලා.
අතරමඟ බිඳිච්ච, නැවතිච්ච ඕනෑම සම්බන්ධයක් ගැන ආයෙත් සැරයක් හිතලා බලන්න. හමුවුණ දවසට වඩා ළඟ සිටිය දවස්වල වෙනස්. ළඟ සිටිය දවස්වලට සර්ව සම්පූර්ණ වෙනස් කෙනෙක් තමයි වෙන් වුණ දවසේ හිටියෙ, එහෙම නේද ?
අපි තමන්ගේ කියල හිතාගෙන හිටපු සමහරක් මිනිස්සු කරපු කියපු දේවල් මතක් වෙනකොට හොයාගෙන ගිහින් බැණලා එන්න හිතෙන වාර නැතුවා නෙමෙයි. හැබැයි එහෙම හිතෙන්නෙ හරිම ටික කාලෙකට විතරයි .
ජීවිත සංචාරයේ අත්දැකීම් එකතු කරගෙන හිමින් හිමින් ඉස්සරහට යනකොට පරිණත වෙනකොට, ඒ වගේ කාබයිට් ගහලා ඉදවපු මිනිස්සු මතක් වෙනකොට තරහ වෙනුවට අනුකම්පාවක් දැනෙන්න පටන් ගන්නවා.
එහෙම අය එක්ක වචන කියවගෙන රණ්ඩු වුණේ ඇයි කියලා අමුතු ලැජ්ජාවකුත් දැනෙන්න ගන්නවා.
ලෝකෙ මොන තරම් දියුණු වුණත් තාම මිනිස්සුන්ගේ මූණ මිසක් හිත focus කරන්න පුළුවන් කැමරාවක් හදලා නැති නිසා ලස්සනට තියන මුණූ ඇතුළේ තියන කැත හිත අපි කාටවත් පෙන්නේ නැහැ. ඒ නිසා, අනුන්ගේ හිත්වල තමන්ගෙ කම් හොයන්න ගියාම හොම්බ විතරක් නෙමෙයි පස්සත් බිම ඇනිලා තමයි නවතින්නේ.
කවුරු කොහොම, මොන විදිහට ඔයාට සැලකුවත් ඒකෙන් කමක් නැහැ, ඔයා එයාගේ බාල්දියට වැටෙන්නේ නැතුව ඉන්න ට්‍රයි කරන්න. මොකද, අපිට අනිත් අයගේ යථා ස්වරූපය පෙනෙනවා වගේම අනිත් අයට අපේ ස්වරූපය පේන්නෙත් සම්බන්ධකම් අවසානයේදී තමයි.
සම්බන්ධතාව මුල මැද අග වගේම අවසානයෙදීත් අනිත් පාර්ශ්වයට සුන්දර මතකයක් ඉතුරු කරලා එන්න.
ඔබට කොච්චර රිදුණත්, ඔබ කොච්චර රැවටුනත්, ඔබ කොච්චර තරහින් හිටියත්, අමාරුවෙන් හරි, හිතින් බැණ බැණ වුණත් කමක් නැහැ කටින් ස්තුති කරන්න. ඔවුන් නිසා ඔබට ලැබුණු ආදරණීය මතක තව සැරයක් මතක් කරලා, හිනාවෙලා ස්තුති කරන්න.
හැබැයි ඒ සිද්ධිය පහු කරලා ටික දුරක් ගිහින්, ඒ මතකය පරණ වෙලා, අහම්බෙන් ආයෙ මතක් වුණ දවසට සත්තයි ඔබට ඔබ හිතනවට වඩා ලොකු සැනසීමක් දැනෙයි,
කේන්ති ගිහින් ඉන්න වෙලාවක හිතේ තියන හැමදේම කියලා දාලා ඒ මොහොතේ සැහැල්ලු වුණාට, කිව්වේ මොනවද කියලත් අමතක වුණාට, අහගෙන හිටපු මිනිස්සුන්ට ඒවා හැමදාම මතක තියනවා. අනිත් කෙනා උම්මත්තකයෙක් වගේ බණිද්දීත් ඔයා මුකුත්ම කියලා නැත්තම්, වෙන මොන දඬුවමක් නොදුන්නත් කමක් නැහැ, පහුවෙනකොට ඒ සිද්ධිය මතක් වුණහම ඔයාට දැනෙන සැනසිල්ල වගේ දහ ගුණයක පසුතැවීමක් එයාට දැනෙයි.
හමුවුණ මුල් දවසටත් වඩා හොඳින් හම්බෙන අවසාන දවසේ හැසිරෙන්න පුළුවන් මිනිස්සු හරියට කටේ ඉස්සරහ දත් වගේ, ඉන්න කොට අගයක් නැති වුණාට ඒ වගේ වටිනා මිනිස්සු හැලිලා ගියාම ආයෙ කවදාවත් එයාලට පරණ විදිහට හිනා වෙන්න නම් බැහැ.
ඒ නිසා මොනම සම්බන්ධයකදී වුණත්. ඔවුන් ඔබට කොහොම සැලකුවත්, සම්බන්ධය මුල මැද කොහොම වුණත් අවසාන තත්පරේදී ඔවුන්ට ආදරණීය අවසානයක්, සෙනෙහෙබර මතකයක් දීලා නවතින්න.
ඒ මතකය.
හෙට දවසේ ඔවුන්ව හඬවනවා.
ඔබව සනසනවා…. ඇත්තමයි