Home » මේක වැඩිහිටියන්ට පමණයි ද පවුලේ ඔක්කොටම එකට ඉඳන් නරඹන්න පුළුවන්ද කියන එක මට අදාළ නැහැ

මේක වැඩිහිටියන්ට පමණයි ද පවුලේ ඔක්කොටම එකට ඉඳන් නරඹන්න පුළුවන්ද කියන එක මට අදාළ නැහැ

රෙබෙකා දිල්රුක්ෂි

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

– රංගනයට සීමා තියාගත්තොත් මේ රටේ පැවැත්මක් නැහැ
– මං කොහොමත් එකම චරිතවලට සීමා වෙච්ච නැති කෙනෙක්

රෙබෙකා දිල්රුක්ෂි කියන්නේ එකිනෙකට වෙනස් වූ චරිත තුළින් ප්‍රේක්ෂකයින් අතරට ආ චරිතයක්. ඇය සතු රූපණ ශෛලීය ඇයටම ආවේණික වූ හැඩයක් ගෙන තිබෙනවා. ඒ නිසාම ඇය කුඩා චරිතයක් කළ ද එය ප්‍රේක්ෂක අවධානය දිනා ගන්නට සමත් ව තිබෙනවා. මෑත කාලයේ අතිශය ජනප්‍රිය වුණු නිර්මාණ බොහොමයක ඇයගේ රංගනය දැක ගන්නට ලැබුණා. මේ දිනවලත් ඇය පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයින් අතරට ඇවිත් තිබෙනවා. රෙබෙකා දිල්රුක්ෂි සමඟින් කළ කතා බහයි මේ.

මේ දවස්වල නිර්මාණ කටයුතු කොහොමද?

මේ දවස්වල අලුත් වැඩ කීපයකට අත ගහලා තියෙනවා. ඒ එක්කම මම රංගනයෙන් දායක වෙන ‘අලු පාට පාට දේදුනු‘ සහ ‘තත්පරයක් දෙන්න‘නාට්‍ය විකාශනය වෙනවා.

ඒ ඒ චරිතවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ලැබෙන ප්‍රතිචාර හොඳයි. ප්‍රේක්ෂකයෝ නාට්‍ය බලලා දෙන කමෙන්ට් එක හරි වටිනවා.

රෙබෙකා රංගනයට ආ මූලාරම්භය මතක් කළොත්?

හැමෝම කියනවා වගේ මම මගේ රංගනය ආරම්භ කළේ පාසලෙන් වගේම පල්ලියෙන්. මට නාට්‍යය හා රංගකලා උගන්නපු මාලා දමයන්ති ටීචර් මට සෑහෙන උදව් කළා. ඒකෙන් ලබපු පන්නරය නිසා තමයි මම ශ්‍රී පාලි විශ්වවිද්‍යාලයට එන්නේ නාට්‍යා හා රංග කාලාව උපාධිය හදාරන්න.

රෙබෙකා කියන්නෙ චරිත කරන්න බය නැති නිළියක් ද?

මම භාරගන්න හැම චරිතයකටම බයයි, මොකද මම හැමතිස්සෙම හිතනවා මම මගේ උපරිම සාධාරණය කරන්න ඕනේ කොහොමද කියන එක ඒ නිසා මම චරිතවලට බයයි.

ඒ නිසාම එක්තරා චරිතවලට පමණක් සීමා වෙයිද?

මං කොහොමත් එකම චරිත වලට සීමා වෙච්ච නැති කෙනෙක්. මම කැමතියි ලැබෙන හැම චරිතයක්ම කරන්න.

රංගනයට සීමා නැද්ද?

රංගනයට සීමා තියාගත්තොත් මේ රටේ පැවැත්මක් නැහැ. වෙන රටවල්වල සිනමා නිර්මාණ විතරක් කරන නළු නිළියෝ ඉන්නවා. වේදිකා නාට්‍යය විතරක් කරන නළු නිළියෝ ඉන්නවා. ටෙලි නාට්‍ය වලටත් එහෙමයි. ඒත් අපේ රටේ ඇතුළේ එහෙම කරන්න ටිකක් අමාරුයි.

වැඩිහිටියන්ට පමණයි නිර්මාණයක වුණත් චරිතයක් ලැබුණොත් භාර ගන්නවද?

මේක වැඩිහිටියන්ට පමණයි ද මේක පවුලේ ඔක්කොටම එකට ඉඳන් නරඹන්න පුළුවන්ද කියන එක මට අදාළ නැහැ. මට සැටිස් වන චරිතයක් තිබ්බොත් මම ඒකට ආසයි නම් මට ඒකට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් නම් මම අනිවාර්යයෙන් කරනවා.

රෙබෙකාව රංගනය තුළ සලකුණක් කරපු චරිතය මොකක් ද?

මම වැඩ සාමාන්‍යයෙන් කරපු කෙනෙක්. හැබැයි මාව මිනිස්සු අඳුර ගන්නේ there is a body යූටියුබ් සීරිස් එක හරහා.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?

අලුත් වැඩ දෙකක තුනක වැඩ කරලා තියෙනවා. ඒවා ඉදිරියේදී දකින්න ලැබෙයි. මම නිර්මාණයෙන් දායක වෙච්ච චිත්‍රපටියක් ලබන මාසේ තිරගත වීමට නියමිතයි.

සමහර අය කියනව මේ ක්ෂේත්‍රයෙ ගැහැනු කෙනෙක්ට පවතින්න අමාරුයි කියලා, රෙබෙකා ඒ දේ දකින්නෙ කොහොමද?

ගැහැනු අයට විතරක් නෙවෙයි පිරිමි අයටත් හරි අමාරුයි මේ ක්ෂේත්‍රයේ පවතින්න. කලාව කරන මනුස්සයට තමන්ගේ පවුලෙන් හරි තමන් ළඟම ඉන්න මිනිස්සුන්ගෙන් හරි ලැබෙන සහයෝගය මත තමයි ක්ෂේත්‍රයේ පවතිනවද නැද්ද පවතින්න අමාරුද ලේසිද කියන එක තීරණය වෙන්නේ.

ආදරය ,විවාහය ගැන රෙබෙකා ඉන්න මතය මොකක් ද?

මම දකින විදිහට ආදරය, විවාහය කියන්නේ තමන්ගේ ආත්මය හැම තිස්සෙම ප්‍රබෝධවත් කරන්න තමන්ව අවදි කරලා තියාගන්න උදව් වෙන බැඳීමක්.

මෙතෙක් රඟපෑ නිර්මාණ මතක් කළොත්?

වීදුරු මල්, සහෝදරයා, තණමල්විල කොල්ලෙක්, තත්පරයක් දෙන්න, මෙට්‍රෝ හීන, සකර්ම, අලු පාට දේදුනු, ඒ වගේම කෙටි චිත්‍රපට සහ youTube, series වගේම වේදිකා නාට්‍යය කරලා තියෙනවා.

ගෙදර පසුබිම කිව්වොත්?

ගෙදර අම්මයි තාත්තයි ඉන්නවා. මම පවුලේ එකම ළමයා.

ගෙදරින් ලැබුණු සහයෝගය?

මගේ ගම බණ්ඩාර‍ෙවල. මම පවුලේ එකම ළමයා නිසා විශ්වවිද්‍යාලය අධ්‍යාපනයෙන් පස්සේ කොළඹ නතර වෙනවට ඒගොල්ලෝ කැමැත්තක් තිබ්බේ නැහැ. මේ වෙනකොට නම් එයාලා මම කරන්නේ මොකක්ද කියන එක තේරුම් අරන් ඉන්නවා.

අනාගත බලාපොරොත්තු මොනවද?

අනාගත බලාපොරොත්තු මම කැමතියි මගේ ⁣වටේ ඉන්න අයව සතුටෙන් තියන්න සහ මම සතුටින් ඉන්න. ඒ එක්කම රංගනයෙන් ඉදිරියටම යන්න.

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division