ඇගෙ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්
සැලවෙයි ගෙදරට ඇය හමුවුණොතින්
චර පුරුෂයෝ මා වටලා
යන එන හැමතැන මුරදාලා…
යාබද නිවසේ ඇය ඉන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
යාබද නිවසේ ඇය ඉන්නේ…
පෙළපත කුල ගොත වෙනස් වෙලා
නෑදෑ පිරිවර හරස් වෙලා
නෑදෑ පිරිවර හරස් වෙලා
පෙළපත කුල ගොත වෙනස් වෙලා…“
එදා මෙදා තුර පෙම්වතුන්ගේ ගීතයක් බවටම පත් ව ඇති මේ ගීතයේ මිහිරි හඬ හිමි ඒ ශිල්පියා දැන් අප අතර නැත. ඉකුත් අඟහරුවාදා ඔහු සිය දිවි ගමන නිමා කළේ 76 වැනි විය පසුකරමින් සිටියදීය.
මහනුවර ප්‍රදේශයේ උපන් චන්ද්‍රකුමාර සොයුරු සොයුරියන් දහදෙනකුගෙන් යුතු පවුලේ නව වැන්නා විය. මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඔහුගේ මුල්ම රැකියාව වූයේ ගුවන් පියාසර ඉංජීනේරුවකු ලෙස සේවය කිරීමය. චන්ද්‍ර කුමාර ගායකයකු ලෙස කටයුතු කරන්නට පටන් ගන්නේ හිතේ තිබූ ආසාවටය.
ඔහු හැත්තෑව දශකයේ ගැයූ පෙම් බැන්ද සිත් බැන්ද, නෙළුම් විලේ, ඔබෙ සිනහව තහනම්, ගංඟා නදී තීරයේ, ගම මහනුවරයි… ආදී ගී අදටත් එකසේ ජනප්‍රියය. ගීත දෙසීයකට වැඩි සංඛ්‍යාවක් ගයා ඇති චන්ද්‍ර කුමාර වරක් තමන් ගැයූ එක් ගීයක් ගැන මෙසේ පවසා ඇත.
“මම මාලදිවයිනේ සංචාරයක් යන අතරතුර තමයි ‘ඇගෙ සිනහව තහනම්‘ ගීතයට තනුව හැදුණේ. මම ඒ තනුව දීලා කේඩීකේ ගෙන් වචන ඉල්ලුවා. ඔහු ලියලා දුන්නා. නමුත් ඔහුගේ මුල් වචන ගයන්න අමාරුයි. කොළඹ ආවාම මම ඒ බව ඔහුට කිව්වා. ඉන් පස්සේ ඔහු නැවත ඒක හදලා දුන්නා ඇගෙ සිනහව තහනම් කියලා…. මගෙ මවත් පියාත් සංගීතයට බොහෝම ඇලුම් කළ දෙන්නෙක්. අපේ පවුලේ අනෙක් සොයුරන්ටත් ගයන්න පුළුවන්. වික්ටර්, ටියුඩර් සොයුරන් දෙන්නාටම ගයන්න පුළුවන්.“
එක්තරා සාක්ච්ඡාවකදී අතීතයේ දවසක චන්ද්‍රකුමාර කදනාරච්චි එසේ පවසා තිබුණි.
විවිධ රෝගාබාධ නිසා අසනීපයෙන් පෙළුණ ඔහු මීට මාස කිහිපයකට පෙර සිට මහරගම අපේක්ෂා රෝහලෙ ප්‍රතිකාර ලැබී ය. ඔහු පිළිබඳ තොරතුරු සෙවීමේදී ඔහුගේ සොයුරකුගේ දුවක වූ සාගරිකා කඳනාරච්චි අප හා සම්බන්ධ විය.
“මීට ටික කාලයකට පෙර බාප්පාට බයිපාස් සැත්කමකුත් කළා. බාප්පා බොහෝම තැන්පත්, හැමෝටම උදව් කළ කෙනෙක්. එයාට අවශ්‍ය වුණෙත් එයා මිය ගියාට පසු අවසන් කටයුතු ඉතාම සරලව කරන්න. ඒ නිසාම පැය විසිහරක් ඇතුළත ඒ කටයුතු අවසන් කරන්න කියලා ඔහු අන්තිම කැමැති පත්‍රයේ ලියා තියෙනවා. බාප්පාගේ දුවයි පුතයි සිටින්නේ විදෙස් ගතවෙලා.
අපේ බාප්පා මුලින්ම සේවය කරලා තියෙන්නේ එයාර් සිලෝන් ගුවන් සමාගමේ ඉංජිනේරුවෙක් හැටියට. අවුරුදු පහළොවක් පමණ එහි සේවය කර තිබෙනවා. පසුව ගුවන් සමාගමෙන් ඉවත් වී ෆොලෝ ලංකා ෂර්ට් ෆැක්ටරිය ආරම්භ කර තිබෙනවා. මේ ආයතනය කලක් ලංකාවේ හොඳ තැනක් තිබුණ කමිස ව්‍යාපාරක්. මේ සියල්ලම කරන අතරේ තමයි බාප්පා හිතේ සතුටට, විනෝදයට ගීත ගයන්න පටන් අරන් තියෙන්නේ . “පෝය සඳේ සඳ කිරණින්“ ගීතය මගේ තාත්තයි, බාප්පලා දෙන්නත් එකතු වෙලා ගයලා තියෙනවා. මුලින්ම ඒ ගීතය “වෙසක් සඳේ සඳ කිරණින්“ කියලා ගැයුවේ. නමුත් පස්සේ කාලෙක තමයි පෝය සඳේ සඳ කිරණින් කියලා ගයලා තියෙන්නේ. තවමත් හැම පෝයකටම වගේ මේ ගීතය ගුවන් විදුලියෙන් ඇහෙනවා. චන්ද්‍ර කුමාර බාප්පා පවුලේ හැමෝටම බොහෝම හොඳ කෙනෙක්. ඒ වගේ ඔහු බොහෝම විනෝදෙන් සතුටෙන් හිටිය කෙනෙක්. “
සාගරිකා සිය බාප්පා පිළිබඳ පවසන්නේ එලෙසිනි.
චන්ද්‍ර කුමාර කඳනාරච්චිගේ ගී හඬ හැමදා ජීවමානය. කොතරම් ගීත බිහි වුණ ද මේ ගී හඬ තවත් කලක් යනතුරු නොනැසි පවතිනු ඇත.
පසුගිය 26 දා අභාවප්‍රාප්ත වූ චන්ද්‍ර කුමාර කඳනාරච්චි ගායන ශිල්පියාගේ අවසන් කටයුතු අප්‍රේල් 27 දා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකරන ලදී.
ඉනෝකා සමරවික්‍රම