අනුරාධපුර මරදන්කඩවල ප්‍රදේශයේ ගොවි පවුලක උපන් ඔහු සොයුරු සොයුරියන් අටදෙනෙකුගෙන් යුතු පවුලේ නව වැන්නාය. උපන්නේ දුෂ්කර පළාතක වුවද බොහෝ වෙර වීරියෙන් ජීවිතය ජයගත් ඔහු අද රටම නළවන සංගීත ශිල්පියෙකි. ඔහු නමින් කරුණාරත්න විජේවර්ධනය.
කරුණාරත්නයන් විසින් සංගීතවත් කළ ගී අතුරින් අදත් අපේ මතකය අවධි කරවන ගී රැසකි. මිණි පොඳ වැටේවි, වසත් කළ මනරම්, සඟවා ගමි, මහකඳු සිරසින්, මගෙ ආදර පවසට නුඹ ආදි ගී රැසක සංගීත නිර්මාණකරුවා ඔහුය.
කරු විසින් සිය සංගීත ජීවිතයේදී තමා උපන් ප්‍රදේශයේ වෙසෙන නවක නිර්මාණකරුවන් දිරි ගැන්වීමක් ලෙසින් ඇරඹි සද්කාර්යයක් ගැන කියන්නටය මේ සූදානම.
අතීතයේදී මෙන් නොව අද ගායකයකු වීම මෙන්ම ගී පද රචකයකු වීම ද ලෙහෙසි නැත. කොතරම් හැකියාව තිබුණ ද ගී පද රචකයකු වීමට නම් මුදල් ඕනෑමය. කලකට ඉහත ගී පද රචනා කොට ජීවිතය මුලින් සරු කරගත් නිර්මාණ ශිල්පියෝ මෙන්ම තම සිත රැඳී අදහස් පෙළ ගස්වා හරි අපූරු නිර්මාණ කළ පද රචකයෝ ද අප අතර අදත් වෙති. එහෙත් ඒ සියල්ල උඩු යටිකුරු වෙමින් අද වන විට ලියා ගත් පද පෙළට හඬක් සොයා ගැනීමත්, එය ගීතයක් බවට පත්කර ගැනීමටත් බොහෝ වෙහෙස විය යුතුය. සියල්ල මුදල් මත තීරණය වන සමාජයක අපූරු පද පෙළකට සංගීතය, තනු නිර්මාණය කොට ගීතයක් ලෙස එළිදැක්වීමත් හීනයක් වූ යුගයක රජරටින් බිහි වන නව පද රචකයන්ට අවස්ථාවක් දෙන්නට සංගීතවේදී කරුණාරත්න විජේවර්ධනයන් ගන්නා උත්සාහයක පළමු පියවරය මේ.
පහන්යා ගීත යාත්‍රාව ලෙසින් නම් කර ඇති මෙය බොහෝ වෙහෙස වී කරන කාර්යයකි.
“ඇස් ඇරෙන පියෙන තැන
මම හොයන කෙනෙක් ඇත
දැක නොදැක වගේ යන
ඒ එකම කෙනා නුඹ…“
ගී පද ධම්මි අනුරපුරගෙනි
මේ එහිදි චන්දන ලියනාරච්චි විසින් ගැයෙන එක් ගීයකි.
“කාලයක් තිස්සේ සංගීතය සමඟ වෙහෙසෙන මට හිතුණා අපේ පළාතේ ඉන්න දක්ෂ පද රචකයන්ට අවස්ථාවක් දෙන්න ඕන කියලා. දක්ෂ පද රචකයෝ ඉන්නවා නමුත් ඉදිරියට එන්නට අවස්ථාවක් ඔවුන්ට නැහැ. ඒ නිසාමයි මම මෙවැනි දෙයක් කරන්නට හිතුවේ. මගේ නිවසේ තිබෙනවා උසස් තත්ත්වයේ හොඳ ශබ්දාගාරයක්. ඒ මගේ සංගීත කටයුතු සඳහා යොදා ගන්නා. ඒ වගේම මගේ පුතා ජලිත යස්මින් කියන්නේ දක්ෂ තරුණයෙක්. ඔහු මේ වන විට මේ සංගීත ක්ෂේත්‍රයේ කටයුතු කරනවා. ඒ වගේම මට හොඳ බිරිඳක් ඉන්නවා. ඇය දීපා සමරසුන්දර. ඇයත් සංගීත ගුරුවරියක්. ඇයගේ සහාය නිරතුරුවම මට මේ කටයුතුවලදි ලැබෙනවා. මේ හැමෝගෙම එක්වීමෙන් තමයි මේ කටයුතු සාර්ථකව කරගන්න ලැබුණේ.
අපේ ගායන ක්ෂේත්‍රයේ පෙරමුණේ සිටින ශිල්පීන්ගෙන් දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, චන්දන ලියනාරච්චි හා ක්‍රිශාන්ත එරන්දක යන ශිල්පීන් මම කරන මෙම කාර්යයට උදව් කරන්න පොරොන්දු වුණා. මම ඔවුන් සමඟ මෙම සංගීත කාර්යය ගැන කතා කළා. ඒ ශිල්පීන් බොහෝම කැමැත්තෙන් ඉදිරිපත් වුණා මේ ගීත ගායනා කරන්න. දීපිකා සොයුරිය අනුරාධපුරයට ඇවිත් මේ ගී පටිගත කිරීමට සහභාගි වුණා. මේ ශිල්පීන් කිසිදු මුදලක් අය නොකර තමයි ගී පද රචකයන්ගේ ගී ගායනා කරන්නේ. මම හිතනවා මේ ගීත අතර රසිකයන් ආදරයෙන් සිත් බැඳ ගන්න ගීත තියේවී කියලා. පහන්යා ගීත යාත්‍රාව නමින් තමයි මම මේ වැටසටහන නම් කරලා තියෙන්නේ. මෙහිදි නව පරපුරේ ගීත රචකයෝ 23 දෙනෙකුගේ ගීත 30 එළිදක්වනවා. මේ හැම ගීතයකම ගී තනු නිර්මාණය කළේ මම. මේ වැඩේ නිකම්ම කළොත් කිසිම අගයක් නැහැ. ඒ නිසා මම මේ පද රචකයන්ගෙන් ඉතාම සුළු මුදලක් අය කළා. අප්‍රේල් දෙවැනි දා උදෑසන නවයට අනුරාධපුර යොවුන් නිකේතනයේදී මේ ගී ගැයෙනවා. ගී පද රචක බන්දුල නානායක්කාරවසම්, මහාචාර්ය සේන නානායක්කාර යන මහත්වරු මෙහි දෙසුම් පවත්වනවා.“
මෙවන් කාර්යයක් කරන්නට සිතක් පහළ වූයේ ඇයිදැයි ඇසූ විට විජේවර්ධනයන් පැවැසුවේ මෙවන් අදහසකි.
“අපි කවදත් එක දිගට වැඩ කළ මිනිස්සු. හැමදාමත් අපට කරන්නට වැඩ තිබුණා. නමුත් ගෙවුණ කොරෝනා කාලයේ නිවසේ රැඳෙන්නට ලැබුණ කාලය වැඩියි. ඒ කාලයේ තමයි විවේක සුවයෙන් බොහෝ රසවින්දන කටයුවල නියැළෙන්න ලැබුණේ. මම ලස්සනම ගීත කිහිපයක් ලිව්වා ඒ කාලෙදි. ඒ වගේම කවි ලිව්වා. ගීත කිහිපයකටම රසවත් තනු නිර්මාණය කළා. මම ඉදිරියේදී මගේ කවි පොත එළිදක්වන්නත් බලාපොරොත්තු වෙනවා. මේ කොහොම වුණත් එදා මෙදාතුර මගේ කලා ජීවිතය ගැන මම අද බොහෝම තෘප්තිමත්.
ඉනෝකා සමරවික්‍රම