ඉස්සර දවසක ප්‍රසංගය කියන්නේ 70/ 80/ 90 දශක සිසාරා යන ප්‍රේමණීය ගීත ඇහෙන ආදරබර හැන්දෑවක්. මේ ප්‍රසංගයේ ගී ගයන්නේ ගුණදාස කපුගේ පුත් මිත්‍ර කපුගේ, ලක්ෂ්මන් විජේසේකර පුත් විහඟ විජේසේකර, සුනිල් එදිරිසිංහ පුත් සංඛ එදිරිසිංහ. ප්‍රසංගය පැවැත්වෙන්නේ අප්‍රේල් 6 සවස 7.00ට මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී. ඉස්සර දවසක් ප්‍රසංගය ගැන විහඟ, මිත්‍ර සහ සංක රසඳුන සමඟ කළ කෙටි කතා බහයි මේ.
ලක්ෂ්මන් විජේසේකර පුත් විහඟ
“ඉස්සර දවසක්” ප්‍රසංගය මොකක් ද මේ?
ඉස්සර දවසක් ප්‍රසංගය කරන්න හිතුවේ මමයි මිත්‍රයි එකතු වෙලා. මිතුරන් අතරේ ඇති වුණු සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියට. ඇත්තටම අවශ්‍ය වුණේ අපේ තාත්තගේ සහ කපුගේ අන්කල්ගේ සින්දු දැන් පරම්පරාවේ අයට ප්‍රසංගයක් තුළින් ඇහෙන්න තියෙන ඉඩ කඩ අඩු නිසා ඒ ගීත නැවත වතාවක් අලුත් මියුසික් ඇරෙන්ජ්මන්ට් එක්ක අහන්න සැලැස්වීම. මෙතැනදී වෙන්නේ පැරණි සින්දු රීමික්ස් කිරීමක් නෙවෙයි. නව සංගීත සංයෝජ එක්ක රී ඇරෙජ්මන්ට් කරලා අලුත් පරම්පරාවට අහන්න සැලැස්වීම.
“ඉස්සර දවසක්” හි අනෙකුත් පිරිස ගැනත් මතක් කරමු?
මහින්ද බණ්ඩාර ප්රමුඛ වාද්‍ය වෘන්දය. අපි ගයන ගීත සඳහා යුග ගායනයෙන් එකතු වෙනවා සමනලී ෆොන්සේකා, නෙරංජලා මංජරී, නවිෂා සූරියආරච්චි සහ පුන්මිලා චතුලක්ෂි. ඒවගේම මේ ප්‍රසංගයේ පිටපත ලියන්නේ දිලීප අබේසේකර. වේදිකාවේ කථනය සිදු කරන්නේ බිමල් ජයකොඩි සහ බිම්සරා ප්‍රේමරත්න.
තාත්තලාගේ සින්දු විතරයි ද එදාට ඇහෙන්නේ.?
නැහැ. අපේ සින්දු කිහිපයකුත් ගායනා කරනවා. ඔක්කොම ගීත 24ක් හෝ 25ක් මේ ප්රසංගයේදී ගායනා වෙනවා.
“ඉස්සර දවසක්” දිගටම පවත්වන්නද අරමුණ?
ඔව්. ලංකාවේ වගේම ලංකාවෙන් පිටට මේ ප්‍රසංගය ගෙනියන්න හිතාගෙන ඉන්නවා. මේ පළමු ප්‍රසංගයේ සාර්ථකත්වය මත තමයි ඒක තීරණය වෙන්නේ. දිගටම අපි තුන්දෙනාම ඉන්නේ නැති වෙන්නත් පුළුවන්. තව තව අය මේකට ආදේශ හැටියට එකතු වෙන්නත් පුළුවන්. මේ ප්‍රසංගය හැදුවේම අපේ 70,80,90 දශකයේ අහපු ගීත ප්‍රසංගයක් ඔස්සේ ප්‍රේක්ෂකයන්ට අහන්න සැලැස්වීමටයි. අපේ අලුත් පරම්පරාවට ඒ ඔස්සේ මේ ගීත අහන්න සැලැස්වීම තමයි ප්‍රධාන අරමුණ.
විහඟ ඇරයුමක් කළොත් රසිකයින්ට “ඉස්සර දවසක්” ප්‍රසංගයට
මේ ප්‍රසංගය තුළින් අහන්න ලැබෙන්නේ 70,80,90 දශකයේ අහපු ප්‍රේම ගීත. අපි මේ හරහා කරන්නේ පැරණි මතකයන් අලුත් කිරීමක්. ඒනිසා පැරණි මතකයන් අලුත් කර ගන්න එන්න කියන සොඳුරු ඇරයුම තමයි කරන්න තියෙන්නේ.
ගුණදාස කපුගේ පුත් මිත්‍ර
ඉස්සර දවසක් ප්‍රසංගය ගැන මිත්‍රගේ අදහස මොකක් ද?
අපේ තාත්තල ඔක්කොම ගුවන් විදුලියෙන් ආව ගායකයෝ. එයාලා රූපවාහිනීයෙන් බිහිවුණු ගායකයින් නෙවෙයි. එයාලටම ආවේණික වූ සුවිශේෂී හඬවල් නිසා බිහිවුණු ගායකයෝ. විහඟ මේ අදහස මට දෙද්දීම තේරුණු දෙයක් තමයි ගුවන් විදුලියේ ගායකයෝ බිහිවුණේ 60, 70 දශකයේ. ඒ කාලේ ගීත ඇහෙනවා අද අඩුයි. ඒ ශෛලීගත නිර්මාණවලට තියෙන ආසාව වෙනස් වෙලා අද පවතින නිර්මාණ එක්ක එකතු වෙලා තියෙනවා. මේ දේවල් එක්ක අපි කොහොම අපේ තාත්තලාගේ ගීතයක් අලුත් විදියට රසිකයින්ට අහන්න දෙන්නේ කියන කාරණයත් එක්ක තමයි මම මේ අදහසට එකඟ වුණේ. එහෙම නැතුව කරන්නම් වාලේ තාත්තලාගේ සින්දුම කියන එක නෙවෙයි. ප්‍රාසංගික විදියට අද මිනිස්සු විඳින දේවල් එක්ක ගැළපෙන ගීත ටිකක් තමයි මෙතැනදී ප්‍රසංගයට තෝරාගෙන තියෙන්නේ.
මේ ප්‍රසංගය තුළ ඔබේම ගීතත් අහන්න ලැබෙනවා
ඔව්. මෙතැනදී අපි හිතුවා තව දෙයක් තමයි ගොඩක් වෙලාවට අපේ තාත්තලාගේ නිර්මාණවල තියෙන ප්‍රබලත්වය සහ ඒ අයට ඉන්න රසිකත්වය මත අපේම දෙයක් කරන්න තියෙන ඉඩ කඩ අඩුයි. අපෙන් ඉල්ලන්නෙත් තාත්තලාගේ ගීතමනේ. ගායක ගායිකාවන්ගේ සෑම දරුවෙක්ටම වගේ තියෙන ප්‍රශ්නයක් ඕක. එයාලගෙම නිර්මාණ ඉදිරිපත් කරන්න ලැබෙන අවස්ථා අඩුයි. දරුවන් කොයි තරම් දේවල් කළත් බොහෝදෙනා බලාපොරොත්තු වෙන්නේ තාත්තගේ නිර්මාණයක් ඉදිරියට ගෙනියයි කියන එක. ඒක නරක නැහැ. හොඳයි. නමුත් අපි හිතුවා මේ ප්‍රසංගයට අපි තුන්දෙනාගේ නිර්මාණ එක බැගින් හෝ එකතු කරමු කියන එක. එතකොට රසිකයින්ට තේරුම් යනවා මේ අයටත් නිර්මාණ තියෙනවා කියන එක.
මිත්‍රගේ දැක්මට අනුව මෙවැනි ප්‍රසංග කිරීමේ අරමුණ මොකක් ද?
අපි මේ ප්‍රසංගය පටන් ගන්න පෙර සිට තේරුම් ගත්ත දෙයක් තමයි එක ප්‍රසංගයකින් මේක නවත්තන කරන වැඩක් වෙන්න ඕනේ නැහැ කියන එක. අද අපි දකිනවා මේ සංගීත ක්ෂේත්රයට ගොඩක් ගායක ගායිකාවන් බිහිවෙනවා. එයාලා පොඩි කාලයක් ඇතුළත මොකක් හෝ ගීතයක් කරලා FM නාළිකාවල ප්‍රචාරය කරලා යම් ප්‍රසිද්ධියක් අරගෙන නැතුව යනවා. අපිට උවමනාව තියෙන්නේ එහෙම නෙවෙයි. අපේ තාත්තලා ගිය මගේම යමින් අපේ නිර්මාණ කරමින්, අපේ තාත්තලගේ රසික රසිකාවියන්ටත් පුළුවන් තරමේ සාධාරණයක් කරන්න.
සුනිල් එදිරිසිංහ පුත් සංඛ
කොච්චර කාලයකට පස්සෙද ප්‍රසංගයකට ලංකාවට එන්නේ…?
2019 වර්ෂයේ “සුනිලයාමය ප්‍රසංගයට” තමයි අන්තිමට ලංකාවට ආවේ. ඊට පස්සේ කොවිඩ්වලින් පස්සේ මම ප්‍රථම වතාවට ලංකාවට එන්නේ. ලංකාවට මම එන්නේ “සඳකඩ පහණ” ප්‍රසංගය වෙනුවෙන්. මෙවර “සඳකඩ පහණ” ප්‍රසංගය මගේ පියා සහ මම එකතුවෙන් කරන පළමු වතාව. මාර්තු 30 වෙනිදා එහි පළමු ප්‍රසංගය තියෙන්නේ විහාර මහාදේවි එළිමහන් රංග පිඨයේ. අප්‍රේල් 5 වෙනිදා මහනුවර අහස් උයන පරිශ්‍රයේ. ඊට අමතරව කරන තුන්වෙනි ප්‍රසංගය තමයි “ඉස්සර දවසක්” ප්‍රසංගය.
ඉස්සර දවසක් ප්‍රසංගය කොහොමද සංවිධාන වුණේ?
ලක්ෂ්මන් විජේස්කරයන්ගේ පුත් විහඟ විජේසේකර කියන්නේ මම කුඩා කල පටන් හඳුනන මගේ මිත්‍රයා. ඔහු තමයි කතා කරලා කිව්වේ සංක ලංකාවට එන එකේ ප්‍රසංගයක් කරමුද කියලා. ඔහුට තමයි අදහසක් තිබ්බේ ඔහුයි මමයි කපුගේ අන්කල්ගේ පුත්‍රයා මිත්‍ර කපුගේ සම්බන්ධ කරගෙන ප්‍රසංගයක් කරන්න. ඒ විදියට තමයි “ඉස්සර දවසක්” ප්‍රසංගය සංවිධානය වුණේ.
ප්‍රසංගය ගැන ඔයාගේ අදහස
කපුගේ අන්කල් සහ ලක්ෂ්මන් අන්කල් අපි අතරින් ගියාට පස්සේ එම යුග පුරුෂයන් දෙදෙනාගේ ගීත අපිට ඇහෙනවා සෑහෙන්න අඩුයි. මේක හොඳ අවස්ථාවක් වේවි රසික ලෝලීන්ට නැවතත් ඒ ගීත රසවිඳින්න ලැබීම. මම පළවෙනි වතාවටයි විහඟ සහ මිත්‍ර සමඟ ප්‍රසංගයකට සහභාගී වන්නේ. මේක මගේ තාත්තගේ සම්බන්ධයක් නැතුව පළවෙනි වතාවට මම ලංකාවේ කරන ප්‍රසංගයක්. ඒ නිසා පොඩි උද්දාමයක් තියෙනවා. මේ ප්‍රසංගය මටත් හොඳ අත්දැකීමක් වෙයි කියලා විශ්වාස කරනවා.
ඉස්සර දවසක් ප්‍රසංගයට රසිකාගාරයට කරන ඇරයුම?
ඉස්සර දවසක් කියන්නේ සෑහෙන කාලෙකින් නෑසුණු ගීත නැවතත් ඇහීමට සලස්වන ප්‍රසංගයක්. මමත් බොහොම උද්දාමයකින් ඉන්නේ මේ ප්‍රසංගයට සහභාගී වෙන්න ලැබීම ගැන. ඒ නිසා සියලුම රසික රසිකාවියන්ට මම ආරාධනා කරනවා අප්‍රේල් 6 වෙනිදා මියුසියස් විද්‍යාලයේ ශ්රවණාගාරයට එකතු වෙලා අපි සමඟ මේ සන්ධ්‍යාව රස විඳින්න එන්න කියලා. ඉස්සර දවසක් ප්‍රසංගය සම්බන්ධ සියලු විමසීම් සහ ටිකට්පත් සඳහා මුහුණු පොතේ ඉස්සර දවසක් පේජ් එක හරහා දැනගන්න පුළුවන්.
අනුෂා රණසිංහ