“මං වැඩ ඇරිලා යනකොට මෝටර් බයිසිකල්කාරයො දෙන්නෙක් ඇවිත් මගේ කරේ තිබුණ බෑග් එක, එක පාරටම ඇදගෙන පැන්නා. හොස්පිට්ල් එකේ දෙවෙනි ගේට්ටුව ළඟ ඒ වෙලාවේ මං හිටියේ. මගෙ සේරම ඩොකියුමන්ට්ස් ඒකේ.” මහරගම පොලිසියට පැමිණි අපේක්ෂා රෝහලේ සේවය කරන හෙද නිලධාරිනියක් ඇගේ දුක කියාපෑවේ එලෙසිනි.
ප්‍රධාන පොලිස් පරීක්ෂක වේලක රාජපක්ෂ මෙම පැමිණිල්ල පිළිබඳ විමර්ශන සිදු කිරීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන් එදිරිසිංහට භාර කළේ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.පී.එස්. ජයමහ සහ සහකාර පොලිස් අධිකාරී වෙදමුල්ලගේ අවසර මෙන්ම උපදෙස් ලබා ගැනීමෙන් පසුවය.
මහරගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවන්ට මහමඟ ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවට පෙරනිමිති පහළ වෙමින් තිබුණේ එකම දිනක් තුළ අත්බෑග් තුනක් සහ ඊට පසුදින අත්බෑග් දෙකක් ලෙස අත්බෑග් කොල්ලකෑමේ සිද්ධීන් පහක් වාර්තා වී තිබූ බැවිනි. ඉතා ශීඝ්‍රයෙන් රැල්ලක් මෙන් මෙම කොල්ලකෑම් සිදුවන විට ජනතාව පාරට බැසීමට පවා බිය වන තත්ත්වයක් ඇති විය හැකිව තිබිණ.
අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා මේ කල්ලිය කොල්ලකෑ කාන්තාවකගේ බෑගයක තිබූ ‘අයි පෝනයක’ අයි පෑඩ් එක හරහා ‘ලොකේෂන්’ උපයෝගී කර ගනිමින් මෙම කොල්ලකෑම් සිදු කරන පුද්ගලයින් හඳුනා ගැනීමට උත්සාහ කළේය. එම උත්සාහය ඉතාම සාර්ථක කර ගනිමින් කොල්ලකරුවන් බෑගය රැගෙන ගමන් කළ මාර්ගයේ අවසාන නැවතුම සොයා ගැනීමට හැකිවීම විමර්ශනයේ සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගැනීම සනිටුහන් කිරීමක් ලෙස හැඳින්විය හැකිය. එම ගමන් මාර්ගය අවසන් වී තිබුණේ නවගමුව පොලිස් වසමේ දැදිගම, වැලිපිල්ලෑව ප්‍රදේශයෙන් බව හඳුනා ගැනීමට පොලිසියට හැකි විය. එසේනම් කොල්ලකරුවන් එම ස්ථානයේ නතර වී සිටිය යුතුය. එසේ නොමැති නම් එම ස්ථානයේදී දුරකතනයට කුමක් හෝ කළ යුතුය.
ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන් එදිරිසිංහ සැරයන්වරුන් වන (5007) කමල්සිරි, (51921) පුෂ්ෂකුමාර, කාන්තා සැරයන් (5497) දීපානි, කොස්තාපල්වරුන් වන (73917) සමන්, (84742) ලක්ෂාන්, (88199) එරංග, (102924) සමරසිංහ, (92530) මදුසංඛ, (100223) ජයසුන්දර, (102924) කවිඳු යන නිලධාරීන් සමඟ වැටලීමට පිටත් වූයේ මෙම අත්බෑග් කොල්ලයට තිත තබන දැඩි බලාපොරොත්තු ඇතිවය.
වැලිපිල්ලෑව ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසක සැකකරුවන් දෙදෙනා සැඟවී සිටින බවට සැක හැර දැනගත් පොලිස් නිලධාරීන් එම නිවස වටලා මොවුන් අත්අඩංගුවට ගන්නා ලදි.
මෙම සැකකරුවන් දෙදෙනා දැඩි ලෙස පරීක්ෂා කිරීමේදී පොලිසියට හැකි වූයේ ඔවුන්ගේ ගුද මාර්ගයේ සඟවාගෙන තිබූ අයිස් මත්ද්‍රව්‍ය පැකට් දෙකක්ද සොයා ගැනීමටය.
මෙහිදී අනාවරණය වූයේ තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බහි වී ඇති පාසල් මිතුරන් වන අවුරුදු විසිහය හා විසිහතර වයස්වල පසුවන මෙම සැකකරුවන් මත්ද්‍රව්‍යවලට මුදල් සොයා ගැනීම සඳහා මෙලෙස අපරාධ සිදු කරන බවය.
මහරගම අපේක්ෂා රෝහල, පතිරගොඩ පාර, පමුණුව පන්සල පාර, නාවින්න යන ප්‍රදේශවල පසුගිය 26 සහ 27යන දෙදින තුළ පමණක් කාන්තා අත්බෑග් පහක් කොල්ලකා ඇති මොවුන් දෙදෙනාට ඊළඟ දිනයේ විලංගු වැටුණේ නොසිතූ ලෙසය.
මොවුන් එසේ අත්බෑග් කොල්ලකෑමට පැමිණ ඇත්තේ මීගොඩ ප්‍රදේශයෙන් සොරා ගන්නා ලද යතුරුපැදියක් ප්‍රයෝජනයට ගනිමිනි. මීගොඩ ප්‍රදේශයේ ද සොරකම් රැසක් සිදුකර ඇති මේ දෙදෙනා විසින් කොල්ලකන ලද යතුරුපැදිය ඔවුන් රැඳී සිටි නිවස පරීක්ෂා කිරීමේදී සොයා ගැනීමට පොලිසියට අපහසු වූයේ නැත.
පන්නිපිටිය රත්මල්දෙණිය ප්‍රදේශයේ වියපත් යුවළක් විසූ නිවසකට පැන එම යුවළට කඩුවකින් පහරදී ඔවුන් බැඳ දමා මරණ තර්ජනය කර නිවසේ තිබූ රුපියල් පනස්දාහක මුදලක් ද මොවුන් කොල්ලකා පලා ගොස් තිබුණි.
මොවුන් දෙදෙනා සැඟවී සිටි නිවසේ තිබී කඩුවක්, ජංගම දුරකතන පහක් ද සොයාගත් අතර, එම නිවසට යාබද කානුවක බෝක්කුවක් යට සඟවා තිබූ කොල්ලකන ලද කාන්තා අත්බෑග් දෙකක්ද සොයා ගැනීමට හැකි විය.
සැකකාර දෙමිතුරන් මිරිහාන, විජයරාමය, හෝමාගම ආදි ප්‍රදේශවල ද මෙලෙසම කොල්ලකෑම් සිදුකර තිබෙන බව අනාවරණය වී තිබේ. එමෙන්ම සොරකම්, කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත සිටින මේ දෙදෙනා මීගොඩදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ බවද හෙළි විය.
විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ