මත්ද්‍රව්‍ය ජාවාරම්වලට යොමු වූ අයට ඉන් ගැලවීමට ප්‍රධාන ජාවාරම්කරුවන්ගෙන් ඉඩක් නැත. ඒ ඔවුන්ගේ රහස් මෙන්ම මත්ද්‍රව්‍ය ‘බිස්නස්‘ වෙනත් අය අතට පත්විය හැකි බැවිනි. කලක් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යටතේ සිටින ගෝලයන්ට ඇතැම් විට අත්වන ඉරණම වෙඩි පහරයි. එයද ඔවුන් කලක් තිස්සේ තමන් කළ වැරැදි හදා ගැනීමට හෝ මේ කරුමක්කාර රැකියාවට සමු දීම නිසාවෙනි.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ සිදු කරන ප්‍රධානීන්ට යුක්තිය මෙහෙයුමෙන් ගැලවීමක් ඇත්තේම නැත. යුක්තිය මෙහෙයුම යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් ද පසුගියදා මෙරට විවිධ ප්‍රදේශවලට යැවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පියවර ගෙන ඇත්තේ පාතාලය මෙන්ම මත් ජාවාරමුන් හැකි ඉක්මනින් අතුගා දැමීම සඳහාය.
ප්‍රකට මත් ජාවාරම්කරුවකු වන රත්මලාන ‘කුඩු අංජු‘ගේ ගෝලයන් දෙදෙනකු මහනුවර ප්‍රදේශයේ නවාතැන්පොළක සිටිනා බවට බුද්ධි අංශයට තොරතුරක් ලැබෙන්නේ පසුගියදාය. පොලිස් විශේෂ කාර්ය බළකායේ මහනුවර කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිෂේධ ප්‍රනාන්දුගේ උපදෙස් මත එදිනම ඒ ගැන විමර්ශන ඇරඹිණි.
මොවුන් නවාතැන්ගෙන සිටිනා බවට තොරතුරු ලැබුණු ස්ථානයට විශේෂ කාර්ය බළකා මහනුවර කඳවුරේ නිලධාරින් පිටත්ව යන්නේ සිවිල් ඇඳුමිනි. දින කිහිපයක් ඒ අවට රැඳී සිටිමින් ඔවුන් පිළිබඳ තොරතුරු සොයන අතරතුර එස්.ටී.එෆ්. නිලධාරින්ට මේ පුද්ගලයන් ගැන බොහෝ තොරතුරු සොයා ගැනීමට හැකි විය. කෙසේ හෝ ඔවුන් මහනුවරට පැමිණ සිටින්නේ කිසිවකුගෙන් සැඟව සිටීමේ අරමුණින් බව ද එස්.ටී.එෆ්. නිලධාරින්ට අවසානයේ තහවුරු විය.
මහනුවර නවාතැන්පොළක අඛණ්ඩව සති දෙකකට වැඩියෙන් යම් අයකු නවාතැන්ගෙන සිටින්නේ නම් ප්‍රජා පොලිස් නිලධාරින් දැනුම්වත් කළ යුතුය. ඒ අපරාධ සිදුකර සැඟව සිටිනා සැකකරුවන් පිළිබඳව අනාවරණය කරගැනීම සඳහාය. කෙසේ වෙතත් මොවුන් ගැන ප්‍රජා පොලිස් නිලධාරින් ද දැනුම්වත් නැත. එහෙත් ටික කාලයක සිට මොවුන් මෙලෙස නුවර නවාතැන්ගෙන සිටිනා බවට ද තොරතුරු ලැබී තිබිණි.
මොවුන් එක දිගට රැඳී නොසිටින බවට ඇඟවීමට කරනා උප්පරවැට්ටිය වනුයේ සති දෙකකට ආසන්න වීමේදී දින තුනක් හතරක් කොහේ හෝ විනෝද චාරිකාවක යෑමය. එලෙස පිටත්ව යන එම පිරිස නැවතත් පැමිණ සති දෙකකට ආසන්න කාලයක් නවාතැන්ගෙන සිටින්නේ කුමන හෝ කරුණක් නිසා යැයි දැන් එස්.ටී.එෆ්. නිලධාරින්ට හොඳින් පැහැදිලි විය.
පොලිස් නිලධාරින් මේ පිළිබඳ දැනුම්වත් කිරීමෙන් අනතුරුව අණ ලැබෙන්නේ එම කණ්ඩායම අත්අඩංගුවට ගන්නා ලෙසටය. ඔවුන් නවාතැන්ගෙන සිටිනා ස්ථානයට පෙර දින රාත්‍රියේ සිවිල් ඇඳුමින් සැරසුණු එස්.ටී.එෆ්. නිලධාරින් කිහිපදෙනකු යොදවන්නේ ඔත්තු බැලීමටය. පසුදා මෙහෙයුමට සියල්ල සූදානම්ය. උදෑසනම ඔවුන් නවාතැන්ගෙන සිටිනා ස්ථානය වටලන එස්.ටී.එෆ්. නිලධාරින් නවාතැන්පොළේ අයිතිකරුවන් ද දැනුවත් කරන්නේ ඉන් පසුවය. ගොඩනැඟිල්ල වටේටම එස්.ටී.එෆ්. නිලධාරින්ය. කිසිවකුට පැන යෑමට තියා ඒ ගැන හිතා ගන්නටවත් බැරි තරම්ය.
“අපි එස්.ටී.එෆ්. එකෙන්… කරුණාකරල දොර අරින්න… කලබල කරන්න එපා…” ඇතුළෙන් කිසිම සද්දයක් නැත. කිහිප වරක් දොර අරිනා ලෙසට අණ කළ ද ඔවුන් දොර අරිනා බවක් පෙනෙන්නට නැත.
අවසානයේ නවාතැන්පොළේ හිමිකරුගෙන් අනෙක් යතුර ඉල්ලාගෙන දොර විවෘත කිරීමට එස්.ටී.එෆ්. නිලධාරින් පියවර ගන්නේය. දොර අරිනවාත් සමඟ පිරිමි දෙදෙනකු මෙන්ම කාන්තාවක ද බය බිරාන්තව තැන් තැන්වල සිටිය ද ඔවුන් කිසිම කලබලයක් නොකළේ එස්.ටී.එෆ්. නිලධාරින් සමඟ ‘ලෙහෙසි නොවනා‘ බව හොඳින් දැනගෙනය.
මෙලෙස අත්අඩංගුවට ගැනුණේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32, 38 පසුවන පුද්ගලයන් දෙදෙනකු සහ ගෝනපල ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 34ක් වන කාන්තාවකි. සැකකරුවන් සන්තකයේ තිබී කාර් රථයක්, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩිනාර් සහ රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ද අත්අඩංගුවට ගැනිණි. සැකකරුවන් ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්මලානේ කුඩු අංජුගේ ගෝලයන් දෙදෙනකු බවත් කුඩු අංජු සමඟ ඇති වූ විරසකයක් හේතුවෙන් මෙලෙස මහනුවර ප්‍රදේශයට පැමිණ සැඟවී සිටින බවටත් ඔවුන් පාපෝච්චාරණය කෙරිණි. සැකකරුවන් ‘පච්චයන්‘ නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වා ඇති බවට ද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය විය. ඒ ඔවුන්ගේ ශරීරය පුරා පච්ච කොටාගෙන සිටිනා නිසාය. රැඳවුම් නියෝග ලබාගෙන සැකකරුවන්ගෙන් දැනට ප්‍රශ්න කිරීම් සිදු කරයි. ඒ මෙම සැකකරුවන් කලක සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටිනා බැවිනි.
විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත මහනුවර කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිෂේධ ප්‍රනාන්දු, මහනුවර – කුරුණෑගල ප්‍රාදේශීය අණ දෙන නිලධාරි සහකාර පොලිස් අධිකාරී උපුල් අබේරත්නගේ මෙහෙයවීමෙන් මහනුවර කඳවුරු අණ දෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි දිසානායක, මහනුවර දෙවන කඳවරු අණ දෙන නිලධාරි පොලිස් පරීක්ෂක ධම්මික කන්දෙකුඹුර, පොලිස් පරීක්ෂක වෙදගෙදර, සැරයන් (34348) රොහාන්, කොස්තාපල්වරුන් වන (85524) සිල්වා, (27854) ජයවර්ධන, (35200) කුමාරසිංහ සහ කොස්තාපල් රියැදුරු (85524) හසින්ත යන නිලධාරීහු වැටලීමට එක් වූහ.
ගයාන් සංජය