කොළඹ සිට මත්ද්‍රව්‍ය විවිධ ආකාරයෙන් මහනුවර දෙසට ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට අයත් පොලිස් ස්ථාන වන පෑලියගොඩ, කිරිබත්ගොඩ, කඩවත, ගම්පහ, යක්කල, නිට්ටඹුව, දංඕවිට, වරකාපොළ, දැදිගම, කෑගල්ල, මාවනැල්ල, කඩුගන්නාව සහ මහනුවර පොලිස් ස්ථානවල නිලධරයන් මේ දිනවල පසුවන්නේ ඒ ගැන දැඩි සෝදිසියකිනි.
ඉකුත් දිනක දහවල කොළඹ සිට මහනුවර දෙසට රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමකින් යුත් කාර් රථයක් අධික වේගයෙන් ගමන් කරමින් තිබුණි. පසුව නිට්ටඹුව පොලිසියට අනුයුක්තව රාජකාරී කටයුතු කරන පොලිස් කණ්ඩායමක් නිට්ටඹුව නගරයේදී කාර් රථය නතර කර ගැනීමට සංඥා නිකුත් කරන ලදි. පසුව එම කාරය නොනවත්වා ඉදිරියට ධාවනය කර තිබේ. පසුව නිට්ටඹුව පොලිසියේ නිලධාරින් කාර් රථය සම්බන්ධයෙන් දංඕවිට පොලිසිය දැනුම්වත් කර තිබුණි. දංඕවිට පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් ද මාර්ගයේ රැකවල්ලා සිටිය ද ඔවුන් ද කාරය නතර කරන ලෙස සංඥා නිකුත් කළද කාරය අධික වේගයෙන් මහනුවර දෙසට පලා ගියේය.
කෑගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ යතුරුපැදි සංචාරයේ සිටි නිලධාරින් දෙදෙනෙක් විසින් ගලිගමුවේ දී මේ කාරය නැවැත්වීමට උත්සාහ දැරුව ද අවසානයේ කාරය නොනවත්වා කෑගල්ල දෙසට ධාවනය වී තිබිණි. පසුව පොලිස් පණිවුඩ හුවමාරු හරහා කෑගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර මාවඩවිලගේ ඇතුළු නිලධාරින් කණ්ඩායමක් කෑගල්ල නගර මධ්‍යයේ පිහිටි ඔර්ලෝසු කණුව ආසන්නයේදී මාර්ගයේ ගමන් කරමින් තිබුණු වාහන නතර කිරීමට කටයුතු කරන ලදි. පසුව නිට්ටඹුවේ සිට පොලිස් අණ නොතකා මහනුවර දෙසට ධාවනය වෙමින් තිබුණු කාර් රථයට ද කෑගල්ල නගරයේදී නතර කිරීමට සිදු වූයේ මාර්ගයේ වාහන රැසක් ‘හිරවි‘ තිබුණු බැවිනි.
පසුව කෑගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර මාවඩවිලගේ අදාළ කාරය සහ එම රථයේ සිටි 25 හැවිරිදි තරුණ රියැදුරු අත්අඩංගුවට ගෙන කෑගල්ල කොට්ඨාස පොලිස් කාර්යාල පරිස්‍රය වෙත රැගෙන යන ලදි. පසුව කෑගල්ල කොට්ඨාස නිල සුනඛ කොට්ඨාසයේ පුපුරන ද්‍රව්‍ය පරීක්ෂා කරන සැරයන් ධර්මරත්ත (66210) විසින් මෙහෙයවනු ලැබූ කැමිල් නිල සුනඛයා ද මත්ද්‍රව්‍ය පරීක්ෂා කරන පොලිස් කොස්තාපල් අතපත්තු (77745) මෙහෙයවනු ලැබූ නිල සුනඛ සෙකර් ලවා කාරය පරීක්ෂා කෙරිණි.
එහිදී පොලිස් කොස්තාපල් අතපත්තු (77745) මෙහෙයවනු ලැබූ සෙකර් නිල සුනඛයා කාරය දැඩි ලෙස සෝදිසි කළේය. එහිදී එම කාරයේ බොනට්ටුව අස්සේ බෑගයක ඇඳුම් තොගයක් අස්සේ කලිසම් සාක්කුවක සඟවා තිබුණු ‘හෑෂ්‘ නමැති මත්ද්‍රව්‍ය කුඩා පර්සලයක් සොයා ගැනිණි. එහි මිලි ග්‍රෑම් 850ක ප්‍රමාණයක් තිබූ බව පොලිසිය පැවසීය.
පසුව පොලිසිය සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් මත ඔහු කියා ඇත්තේ තමන් මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු බවත් තමන්ට අයත් කාරයෙන් කොළඹට ගොස් දින ගණනාවක් කොළඹ හෝටලයක ගත කළ බවත් ආපසු නිවස බලා ගමන් කරමින් සිටි බවත්ය. කොළඹ සිට මහනුවර බලා ගමන් කරමින් සිටින අවස්ථාවේදී නිට්ටඹුවේදී කාරය නතර කිරීමට පොලිසිය කරන ලද සංඥා නොදුටු බවය. දංඕවිට පොලිසිය මඟින් කරන සංඥා දුටු බවත් වමෙන් කාරය ඉදිරියට රැගෙන ගොස් නතර කළ බව කී ඔහු පොලිසිය නොපැමිණීම හේතුවෙන් තමන් යළි මහනුවර බලා ගමන් කරමින් සිටි බව ද පොලිසියට පැවැසීය.
කෑගල්ල පොලිසියේ නිලධාරින් ගලිගමුව සහ රන්වල ප්‍රදේශවලදී පොලිස් යතුරුපැදිවල සිට කාරය නතර කිරීමට සංඥා නිකුත් කිරීම තමන් නොදුටු බවත් පසුව කෑගල්ල නගරයේ ඔර්ලෝසු කණුව ආසන්නයේදී මාර්ගයේ රථවාහන විශාල ප්‍රමාණයක් නතර කර තිබූ අවස්ථාවේදී තමන්ට ද කාරය නතර කිරීමට සිදු වූ බවත් පවසා තිබේ. පසුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් පැමිණ තමන් හා කාරය අත්අඩංගුවට ගෙන කෑගල්ල මූලස්ථාන පොලිසිය වෙත රැගෙන ගිය බවත් ඔහුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් දක්වා තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු සමඟ හෑෂ් මිලි ග්‍රෑම් 850 කෑගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් රංජිත් සේනාධීර වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරු දින දෙකක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. පසුව කෑගල්ල මහේස්ත්‍රාත් ලුසිකා කුමාරි ධර්මකීර්ති ඉදිරියේදී සැකකාර කෝටිපති තරුණයා වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් 5000 ක දඩ මුදලක් ගෙවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. සැකකරු දඩ මුදල් ගෙවීමෙන් පසුව කාරය රැගෙන යළි මහනුවර පිළිමතලාව දක්වා ගමන් කළ බව පොලිසිය පැවසීය.
කෑගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ, කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි. එල්. ලීලවංශගේ උපදෙස් මත පොලිස් අධිකාරි චන්දන කන්දේවත්තගේ අධීක්ෂණයෙන් කෑගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර මාවඩවිලගේ සැරයන්වරුන් වන අබේරත්න (60469), තිලකරත්න (67719), කොස්තාපල් පුෂ්පකුමාර (1324) යන නිලධාරින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණු අතර දුෂණ මර්දන අංශයේ පොලිස් සැරයන් ජයසූරිය (37298) සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
චමින්ද ජයලත් - කෑගල්ල විශේෂ