Home » අයිස්වලින් රට වනසන කවුද මේ ඩුබායි නන්දේ?

අයිස්වලින් රට වනසන කවුද මේ ඩුබායි නන්දේ?

by thanushika
April 6, 2024 12:30 am 0 comment

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ මත්ද්‍රව්‍ය ජාල පිළිබඳ බොහෝ තොරතුරු පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් හඳුනාගෙන විටින්විට වැටලීම් කරමින් සැකකරුවන් සමඟ මත්ද්‍රව්‍ය තොග පිටින් අත්අඩංගුවට ගැනීම් රැසක්ම පසුගිය කාලයේ සිදු විය. ඒ අතරේ ඇතැම් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ආරක්ෂක අංශවලින් වසන්ව ඉතා සූක්ෂ්ම ලෙස කලක සිටම මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරගෙන යමින් සිටින බව දැන් දැන් හෙළි වන්නේ යුක්තිය මෙහෙයුමත් සමඟ සිදුකරන වැටලීම් නිසාය.

ප්‍රබලම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඉතාම සූක්ෂ්මව සියලුම ආරක්ෂක අංශවලින් වසන්ව සිදුකළ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ ප්‍රධානී, ප්‍රධාන පොලිස් පරීක්ෂක නදික සිල්වා ඇතුළු කණ්ඩායම පසුගියදා අනාවරණය කරගත්තේ කිරිබත්ගොඩ, දළුගම සහ කටුනායක ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදීය. පසුගිය මාර්තු 2 වැනිදා සිදුකළ එම වැටලීම්වලදී රුපියල් කෝටි 10ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9යි ග්‍රෑම් 706ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්තේ මහා පරිමාණ අයිස් ජාවාරමක සුලමුල ද හෙළි කරගනිමිනි.

එහිදී මුලින්ම දළුගමදී අයිස් කිලෝ 5යි ග්‍රෑම් 25ක් සමඟ අත්අඩංගුවට ගත් 60 හැවිරිදි සිදම්බරම් පංචලිංගම්ගේ හෙළිදරව් මත වත්තල සහ ගණේමුල්ලේ පිහිටි අතිසුඛෝපභෝගී නිවෙස් දෙකක් පොලිසිය භාරයට ගත්තේ එම නිවාසවල විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට පවරමිනි. පොලිසිය භාරයට ගත් ගණේමුල්ල නිවස පිහිනුම් තටාකවලින් ද සමන්විත අති සුඛෝපභෝගී නිවසකි. වත්තල, වැලිඅමුණ පාරේ මහල් දෙකකින් යුත් නිවස ද සුපිරි නිවසකි. එම නිවස ජපන් රටෙන් ගෙන්වන ලද පාපැදිවලින් පුරවා තිබිණි.

නන්දසේන හෙවත් ඩුබායි නන්දේ නමැති පුද්ගලයාට අයත් එම නිවාස දෙක බලාකියාගෙන සිටින බව හෙළි කළ කුරුණෑගල පදිංචිකරුවකු වන පංචලිංගම් අයිස් ජාවාරමේ ප්‍රධානියා කහනවිටගේ දොන් නන්දසේන බව එස්ටීඑෆ් නිලධාරින් ඉදිරියේ පැවැසීය. ඒ අතර තමන් නන්දසේනගේ උපදෙස් මත අයිස් ප්‍රවාහනයට ද යොමු වන බවත් ඔහු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට පවසා තිබිණි.

දොන් නන්දසේන හෙවත් ඩුබායි නන්දේ ගැන පොලිස් පොත්වල සටහන් වී තිබුණේ ඔහු මහා පරිමාණ කේරළ ගංජා ජාවාරමේ යෙදෙන ඉන්දියාවේ මෙන්ම ඩුබායි සහ ශ්‍රී ලංකාවේ වාසය කරන කෝටිපති ව්‍යාපාරිකයෙක් සේ පෙනී සිටින පුද්ගලයකු බවටය. ඒ අනුව එදින එස්ටීඑෆ් බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදික සිල්වා අනාවරණය කරගත් එම අයිස් ජාවාරම එතෙක් කිසිම ආරක්ෂක නිලධාරියකුට අනාවරණය නොවෙමින් නන්දසේන කලක සිටම සිදුකළ සූක්ෂ්ම ජාවාරමකි.

එදා ‘පංචලිංගම්‘ අත්අඩංගුවට ගෙන එම නිවෙස් දෙක පරීක්ෂා කරද්දී නන්දසේන ගැන ඒ හැටි තොරතුරක් හෙළි නොවුවද පංචලිංගම්ගේ ජංගම දුරකතනය පරීක්ෂා කරද්දී නන්දසේනගේ බොහෝ තොරතුරු එහි තිබිණි. එම දුරකතනයේ දත්තවලට අනුව නන්දසේනගේ විදෙස් ගමන් බලපත්‍රයේ තොරතුරු මෙන්ම ඡායාරූප ද එහි තිබී එස්ටීඑෆ් බුද්ධි නිලධාරින් සොයා ගැනිණි. එම තොරතුරු ඔස්සේ කහනවිටගේ දොන් නන්දසේන ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් සොයා බලද්දී හෙළි වූයේ ඔහු ඉකුත් පෙබරවාරි 29 දා ගුවන් මඟින් මෙරටට පැමිණ ඇති බවය.

එසැණින් ආරක්ෂක අංශ විසින් ඔහු පිළිබඳ අධිකරණයට කරුණු වාර්තාකොට රටි පලා යාම වළකාලමින් ගුවන් ගමන් තහනම් නියෝගයක් ලබාගන්නා ලදි. ඒ අනුව ලංකාවට පැමිණ සිටි නන්දසේන අයිස් තොගය සමඟ පංචලිංගම් එස්ටීඑෆ් බුද්ධි නිලධාරින්ට කොටු වෙද්දී ගණේමුල්ලේ සුඛෝපභෝගී නිවසේ සිට පලා යන්නට ඇතැයි එස්ටීඑෆ් බුද්ධි නිලධාරින් සැක කරන්නට විය.

අනතුරුව පොලිසිය සහ එස්ටීඑෆ් නිලධාරින් නන්දසේන ගැන දැඩි අවධානයෙන් පසු වූයේ ඔහු සොයා කණ්ඩායම් කීපයක්ම විමර්ශන සඳහා යොදවමිනි. එස්ටීඑෆ් බුද්ධි නිලධාරින්ගේ එම අයිස් වැටලීමෙන් දින තුනක් ගෙවී ගියේය.

ඉකුත් මාර්තු මස 5 වැනිදා නන්දසේන ගැන තොරතුරක් ලැබුණේ පසුගිය කාලයේ බොහෝ අපරාධ සිදුවීම්වල සුලමුල අනාවරණය කරගත් පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරින්ටය.

එම තොරතුරෙන් කියැවුණේ නන්දසේන පොල්ගස්ඕවිට, ජයලියගම නිවසක සිටින බවටය. තොරතුර ලද සැණින් පස්වැනිදා සවස් යාමයේ එම නිවස සොයා ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එස්. පී. ගුණතිලක ඇතුළු කණ්ඩායමක් ගියද නන්දසේන ඊට විනාඩි කීපයකට පෙර එම නිවසින් පලාගොස් සිටියේ ඔහුගේ සූක්ෂ්ම බවද ප්‍රකට කරමිනි.

එහිදී එස්ටීඑෆ් නිලධාරින්ට ද තහවුරු වූයේ නන්දසේන යනු සුළුපටු කෙනෙකු නොවන බවය. ඔහු එසේ පලා ගියද වැඩි කාලයක් ඉන්දියාවේ සිටින නන්දසේන මෙරටට පැමිණ ඇති බව තහවුරු වීමත් සමඟ ඔහු සොයා එස්ටීඑෆ් නිලධාරින් දිගින් දිගටම විමර්ශන සිදු කළේ පෞද්ගලික තොරතුරුකරුවන් ද යොදවමිනි. ඒ අතරේ නන්දසේන බදුල්ල හාලිඇළ ප්‍රදේශයේ සිටින බවට ද ගෝනහේන එස්ටීඑෆ් කඳවුරේ නිලධාරින්ට තොරතුරක් ලැබී තිබිණි. ඒ පිළිබඳව එස්ටීඑෆ් නිලධාරින් සොයා බලමින් සිටියදී පසුගිය 25 වැනිදා එම නිලධාරි කණ්ඩායමට පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් තවත් තොරතුරක් ලැබිණි.

“සර්… නන්දසේන අද නුවරඑළියේ තැනකට ආවා… මං හිතන්නෙ එතැන නවතින්න තමයි ආවේ… පොඩ්ඩක් සර්ච් කළානම් හරියටම මිනිහද කියලා බලාගන්න පුළුවන්…“ යැයි තොරතුරුකරු පැවැසීය.

ඒ අනුව තොරතුරුකරු ලද සැණින් ගෝනහේන කඳවුරේ බුද්ධි නිලධාරියකු වන උපපොලිස් පරීක්ෂක පී.වී.ඩී.ජේ.ඩී. නිශාන්ත සමඟ කණ්ඩායමක් නුවරඑළියට ගියේ ලද තොරතුරේ සත්‍ය අසත්‍ය තහවුරු කරගැනීමටය. තොරතුර හරියටම හරිය.

උපපොලිස් පරීක්ෂක නිශාන්ත පොලිස් පරීක්ෂක ගුණතිලක දැනුම්වත් කළේ නන්දසේන නුවරඑළියේ ස්ථානයක සිටින බවට පවසමිනි. ඒ අනුව පොලිස් පරික්ෂක ගුණතිලක ගෝනහේන කඳවුරේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඒ පිළිබඳ දැනුම්වත් කෙළේය. ඒ සමඟම පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත බස්නාහිර උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.ආර්. සේනාධීරගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරි උපුල් ජයවර්ධනගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක එස්. පී. ගුණතිලක කණ්ඩායමක් සමඟ නුවරඑළියට ගියේය. ඒ පසුගිය 26 වැනිදාය. පොලිස් පරීක්ෂක ගුණතිලක ඇතුළු කණ්ඩායම එදින සවස් යාමයේ නුවරඑළියට ළඟා වෙද්දී ඔහු උපදෙස් දුන්නේ උපපොලිස් පරීක්ෂක නිශාන්තට නන්දසේන අත්අඩංගුවට ගන්නා ලෙසයි. නුවරඑළිය, ග්‍රෙගරි වැව උඩ පාරේ නවාතැන් පොළක නතරව සිටියදී නන්දසේන එලෙස අත්අඩංගුවට ගැනිණි. ඔහු හාලිඇළ සිට අත්අඩංගුවට ගත් දිනට පසු දින නුවරඑළියේ නවාතැන් පොළට පැමිණ රැඳී සිට ඇත්තේ දෙවැනි විවාහයේ පුතු සහ ඔහුගේ බිරිය සහ නන්දසේනගේ තෙවැනි විවාහක බිරිය මෙන්ම වයස අවුරුදු 10ට අඩු දරුවන් දෙදෙනා ද සමඟිනි. නන්දසේන අත්අඩංගුවට ගනිද්දී එම නවාතැන් ස්ථානයේ එම පිරිසද සිටියේය.

මෙලෙස අත්අඩංගුවට ගත් නන්දසේන හෙවත් ඩුබායි නන්දේ කෝටිපතියෙකි. ඔහුට විවාහ තුනකි. වසරේ වැඩි කාලයක් ඉන්දියාවේ ජීවත්වන ඔහු මෙරටට පැමිණෙන්නේ වීසා බලපත්‍රය අලුත් කරගැනීමට පමණි. ඒ අනුව පසුගිය දිනවල ඔහුගේ ‘වීසා‘ බලපත්‍රයේ කාලය අවසන් වී තිබිණි. එම නිසා නන්දසේන වීසා බලපත්‍රය අලුත් කරගැනීම සඳහා පසුගිය පෙබරවාරි 29 දා ලංකාවට පැමිණියේය. එසේ ඔහු ලංකාවේ සිටියදී පසුගිය මාර්තු 2 වැනිදා ඉන්දියාවේ සිටින ඔහුගේ ඉන්දීය ජාතික අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අයිස් තොගයක් රැගෙන මෙරටට පැමිණියේය. එම අයිස් තොගය පිළිබඳ තොරතුරු එස්ටීඑෆ් බුද්ධි නිලධාරින්ට ලැබීමත් සමඟ පංචලිංගම් අත්අඩංගුවට පත්වීමෙන් නන්දසේනගේ ‘පැටිකිරිය‘ එළියට ආවේ එතෙක් කේරළ ගංජා සහ හෙරොයින් ජාවාරමේ නිරතව සිටි නන්දසේන අයිස් ජාවාරමටද අතගසා ඇති බවද හෙළිදරව් වෙමිනි.

එසේ එවන අයිස් නන්දසේනගේ උපදෙස් මත තැනින් තැනට ප්‍රවාහනය කරමින් මෙරට ජාවාරම සිදු කර ඇත්තේ නන්දසේනගේ ගෙවල් බලාකියාගෙන ජීවත්වන ඔහුගේ හොඳම ගෝලයා වන පංචලිංගම් විසිනි. පංචලිංගම් ගැන කිසිවෙක් සැක සිතන්නේ නැත්තේ ඔහුගේ අහිංසකකම නිසාය.

පෙබරවාරි 29 වැනිදා ලංකාවට පැමිණි නන්දසේනගේ අරමුණ වී තිබුණේ වීසා බලපත්‍රය අලුත් කරගෙන ඉක්මනින්ම ඉන්දියාවට යාමය. එහෙත් එයට බාධාව වූයේ පංචලිංගම් එස්ටීඑෆ් බුද්ධි නිලධාරින්ට කොටු වීමය.

පංචලිංගම් අත්අඩංගුවට පත්වන විට ගණේමුල්ලේ නිවසේ සිටි බවට සැක කරන නන්දසේන අනතුරුව පොල්ගස්ඕවිට, ජයලියගම නිවසේ සිට වීසා බලපත්‍රය අලුත් කරගෙන ඉක්මනින්ම ඉන්දියාවට යාමට තැත්කර ඇත. එහෙත් එය ව්‍යර්ථ වූයේ ගෝනහේන එස්ටීඑෆ් කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරය.

තොටළඟ පදිංචිකරුවකු වන නන්දසේන මීට කලකට පෙර පාතාල වෙඩික්කරුවකු අතින් මරණයට පත් තොටළඟ බන්දුගේ සහෝදරයාය. පොලිසියටද අභියෝග කළ බන්දු මරණයට පත්වීමත් සමඟ බන්දුගේ ගෝලබාලයන් හා එක්ව නන්දසේන ඉන්දියාවට යමින් එමින් කේරළ ගංජා සහ හෙරොයින් ජාවාරමට එක් විය. 2001 වසරේදී නන්දසේනට අයත් හෙරොයින් කිලෝග්‍රෑම් 6ක් සමඟ ඉන්දීය ආරක්ෂක අංශවලට හසුවීමෙන් පසු ඔහු වසර 12ක කාලයක් ඉන්දිය බන්ධනාගාරයේ ගත කර තිබිණි. මෑතකදී ආරක්ෂක අංශ විසින් මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයද නන්දසේන විසින් ලංකාවට එවන ලද කේරළ ගංජා තොගයක් බවට ද සැක කෙරේ.

60 හැවිරිදි වියේ පසුවන දොන් නන්දසේනට විවාහ තුනකි. එම විවාහවලින් දරුවන් පස්දෙනෙකි. පළමු විවාහයේ දරුවෙක් පසුගිය කාලයේ හෑෂ් තොගයක් සමඟ පොලිසියට කොටු වී තිබිණි. ඔහුගේ දෙවැනි විවාහයේ දියණිය මීට කලකට පෙර හෘදයාබාධයකින් මියගොස් තිබුණාය. ඒ වන විට කෝටිපති මත් ජාවාරම්කාරයකු වූ නන්දසේනගේ එම දියණියගේ තොටළඟ පැවැති අවමංගල්‍යයට මෙරට සිටින සියලුම හිතමිතුරු සහ විරුද්ධ පාතාල මෙන්ම මත්ද්‍රව්‍ය කල්ලිවල නායකයන් ඇතුළු සාමාජිකයන් එක්ව තිබුණේ නන්දසේන ඒ සියලු දෙනාටම ඉහළින් සිටින ජාවාරම්කරුවකු වූ හෙයිනි.

එලෙස ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු වූ නන්දසේනට මෙවර ලංකාවට පැමිණි මොහොතේ නැවත ඉන්දියාවට පලා යාමට ඉඩක් නොලැබුණේ යුක්තිය මෙහෙයුම සමඟ සක්‍රිය වී සිටින නිලධාරින්ගේ කැපවීම නිසාවෙනි.

අත්අඩංගුවට ගත් නන්දසේන වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින්ට භාර කෙරිණි.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division