Home » වලානෙන් ගිහින් සුනු විසුනු කළ ‘ඔතේ කැලේ මනාගේ’ කසිප්පු රජදහන

වලානෙන් ගිහින් සුනු විසුනු කළ ‘ඔතේ කැලේ මනාගේ’ කසිප්පු රජදහන

by thanushika
April 6, 2024 12:30 am 0 comment

“අනේ මහත්තයෝ මගේ බඩු විතරක් අල්ලන්න එපා. එහෙම කරන එක හරි නෑනේ. ඒක මට දරාගන්නත් හරි අමාරුයි. අනේ එහෙම කරන්න එපා. තව පොඩ්ඩක් සාධාරණව හිතල බලන්නකෝ.” කිසිවකුටත් නොනැමෙන පුද්ගලයෙකු වුවද ‘ඔතේ කැලේ මනා’ හඬා වැටෙමින් පවසන්නට වූයේ ඔහුගේ හොර කසිප්පු තිප්පොළ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් දිගින් දිගටම වටලනු ලැබීම හේතුවෙනි.

එහෙත් ඔහුට අනුකම්පා කරන හෝ අවනත වන නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසියේ නොමැති බව මානාට අවබෝධ වන්නට ඇත්තේ ඔහුගේ රාජධානිය වැටලීමෙන් පසුව විය යුතුය.

ජාඇළ නගරයේ ඒකල දෙසට වන්නට ඇති ශාන්ත මැතිව් මාවතේ කෙළවර පිහිටා ඇති ‘ඔතේ කැලේ’ ප්‍රදේශය ලංකාවේ කවුරුත් දැන හඳුනාගත් භූමියක් බවට පත් වී ඇත්තේ ‘ඔතේ කැලේ මනා’ගේ කසිප්පු තිප්පොළ නිසාම බව නොරහසකි.

කටු පඳුරුවලින් ගහන වගුරු බිමක් වන මෙම ප්‍රදේශය ‘ඔතේ කැලේ මනා’ සිය බල පරාක්‍රමය විහිදුවාගෙන සිටින රාජධානිය බවට පත් කරගෙන ඇත්තේ කිසිවකුටත් ඒ ප්‍රදේශයට ළඟා විය නොහැකි වන සේ ආරක්ෂාව තර කරමිනි.

මේ නිසරු බිම්කඩ හරහා ජාඇළ, දඩුගම් ඔය වෙතට දිව යන ‘ඔතේ කැලේ’ ඇළ මාර්ගය දඬුගම් ඔයේ වාන් දොරටු වසා දැමීමේදී පිටාර ගලන තත්ත්වයට පත්වී ඇත්තේ නිරන්තරයෙනි.

එහි වාසිය ඇත්තේ ඔතේ කැලේ මනාටය. මානාගේ සිය ගණනක් වන කසිප්පු බැරල් තොගය පෙළ ගැසී ඇත්තේ මේ ඇළ ඉවුර දිගේ වීම විශේෂත්වයකි. ජලයෙන් තරමක් උඩට සිටින ලෙස වළ දමා ඇති මෙම කසිප්පු බැරල් තොගය ජලය පිටාර ගලන අවස්ථාවේදී වැසී යන්නේ කිසිවකුටත් සොයා ගැනීමට නොහැකි වන ලෙසය.

සාමාන්‍යයෙන් තඹ දඟර, ගෑස් ළිප් ආධාරයෙන් බොහෝ හොර මත්පැන් වඩි නිෂ්පාදනය කළත් මානා මේ සඳහා යොදාගෙන ඇත්තේ කජු ලෙලි වීම විශේෂය. හතර වටේටම සීසීටීවී කැමරා අටවාගෙන ගෝලබාලයන් ද පිරිවරාගෙන ආරක්ෂක වළලු තර කරගෙන ඔහු මෙසේ තම ව්‍යාපාරය ඉතා හොඳින් කරගෙන යන්නේ ඔතේ කැලේ ඔහුටම කියා වෙන්කර ගත් ප්‍රදේශයක් බව සිතාගෙනය. මෙම ප්‍රදේශයට මැස්සකුටවත් ළඟා වීමට මොහුගෙන් අවසරයක් නොමැත. ඒ තරමටම එහි ආරක්ෂාව තර කර ඇත. ගෝලබාලයන්ගේ උකුසු ඇස්වලට නොදැනෙන්නට කවුරුන් හෝ ඒ ප්‍රදේශයට ළඟා වෙනවා බොරුය. ඔහුගේ අණට කීකරු නොවන කිසිවෙක් ඒ ප්‍රදේශයේ නොමැත. මේ නිසා මනා පත්වූයේ ‘අඩි කිහිපයක්’ ඉහළිනි. අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ මානා සියලු දෙනාම ඔහුගේ මුදල්වලට යටත් කරගැනීමට හැකිවේයැයි සිතා සිටියද එය එසේ වූයේ නැත.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට මෙම මත්පැන් ඉස්කාගාරය පිළිබඳ ඉව වැටී තිබුණේ අද ඊයේ සිට නොවේ. ඔහු එයට දැල එළුවේ ඉතා සූක්ෂම අයුරිනි.

මනාට හෝ මනාගේ කිසිම හෙංචයියකුට නොදැනෙන ලෙස මෙම ස්ථානයට නිලධාරි කණ්ඩායම සමඟ ළඟා වීමට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කළේ ඔහුගේ සියලු ආරක්ෂක වැටවල් සුනු විසුනු කර දමමින් වීම විශේෂය. එහෙත් මනාගේ බළඇණිය නිකම්ම සිටියේ ද නැත. වැටලීම සිදුකළ නිලධාරීන්ගේ දුරකතන අංක පවා ඔවුන් සොයා ගැනීමට තරම් සූක්ෂ්මව කටයුතු කර තිබිණ. ඉන්පසු මානා පොලිස් නිලධාරීන් හමුවේ දුරකතනයෙන් අමතමින් හඬා වැටුණේ මෙම වැටලීම නතර කරන ලෙසට ආයාචනය කරමිනි. එහෙත් ඔහුගේ කිඹුල් කඳුළු පිසලන්නට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කළේ නැත.

“මං දැන් හොඳින් කිව්ව නේද මේ වැඩේ නවත්වන්න කියලා. ඒක තේරෙන්නේ නැත්නම් මං දන්නවා ඔහේලව ගෙදර යවන හැටි. මීට කලින් මාව කොටු කරගන්න ආව හුඟ දෙනෙකුට ඒ දේ වෙලා තියෙනවා. ඒ බව නොදන්නවා වගේ දිගින් දිගටම මාව අමාරුවෙ දාන්න ලෑස්ති වුණොත් මං නරක මිනිහයි කියන්න එපා. මට ඉහළින් යන්න ඉඩ දෙන්නේ නෑ මම.”

සොටු හූරමින් හඬා වැටුණු මානා ඊළඟ මොහොතේ ගුගුරන්නට වූයේ යක්‍ෂාවේශ වූවෙකු පරිද්දෙනි. ඔහුගේ කඳුළුවලටවත් තර්ජන ගර්ජනවලටවත් මේ මෙහෙයුම කිසිම අයුරකින් පළුදුවීමට නිලධාරීන් ඉඩ තැබුවේ නැත.

මීට සතියකට පෙර ගෝඩා බැරල් අසූවක් වලානෙන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව මානා සිටියේ දත්මිටි කමිනි.

එහෙත් මෙදා පොටේ ඔහුට හොඳටම වැඩ වැරදී ගියේ ගෝඩා බැරල් 130ක්ම ඇළ ඉවුරේ සඟවා තිබී හසු වීම නිසාය. එහි ගෝඩා මිලි ලීටර් 23 කෝටි 40 ලක්ෂයක් සකස් කර තිබුණේ ලංකාවේ හතර දිග්භාගයටම බෙදා හැරීමට සූදානම් කරගෙනය. මෙතරම් විශාල ගෝඩා තොගයක් මීට පෙර කිසිම ප්‍රදේශයකින් හමුවී නොමැති බව විශ්වාසය. වතුරේ කිමිදෙමින් වලානේ පොලිස් නිලධාරීන් පිරිස ගෝඩා බැරල් තොගය ගොඩ ගත්තේ සැකකරුවන් දෙදෙනෙකුද කුදලාගෙනය.

කිසිම රැකියාවක් නොකරන මනා අද ප්‍රකෝටිපතියකු වී සිටින්නේ මෙම කසිප්පු ස්කාගාරය නිසා බව නොදන්නා පොඩි එකෙකු පවා නොමැත. දුර ඈත ප්‍රදේශවලින් පවා ගෝලබාලයන් ගෙන්වාගෙන ඔහු මෙම ස්කාගාරය පවත්වාගෙන යන්නේ පවුලම කසිප්පුවලින් ස්වයංපෝෂිත කිරීමට විය යුතුය.

මෙම දේපළ පිළිබඳව නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට දැනුම් දී ඔවුන් සමඟ මෙහි ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් ඉදිරියේදී කටයුතු කරන්නේ රටට අහිතකර මෙවැනි කූට ව්‍යාපාර මුලිනුපුටා දැමීමට ක්‍රියාත්මක කර ඇති යුක්තියේ මෙහෙයුමට සමගාමීවය.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි සමන්තිලක වැලිවිටගේ අධීක්ෂණයෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක සම්පත්, උප පරීක්ෂක රත්නායක, සැරයන් (34950) සම්පත්, (1445) බටුවත්ත, කොස්තාපල්වරුන් වන (65921) චමින්ද, (84889) උදයකුමාර, 91305 රශ්මික, (35039) මදුෂංක, (93728) ජයසිංහ, (97342) දිසානායක, (104547) කුලකුලසූරිය, (104555) ලතීෂ, (104891) හිරුෂාන්, (105123) ශ්‍රිමන්ත, පොලිස් සැරයන් රියැදුරු 6462 බණ්ඩාර, කොස්තාපල් රියදුරු (16227) උදාර, (105577) රත්නායක යන නිලධාරීහු මෙම වැටලීමට සහභාගි වූහ.

විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division