Home » ජන කවි­යෙන් ආභා­සය ලත් මහ­ගම සේකර

ජන කවි­යෙන් ආභා­සය ලත් මහ­ගම සේකර

by Mahesh Lakehouse
April 6, 2024 12:30 am 0 comment

ඩ­සිය වසක් ගෙවෙ­න්නත් පෙරා­තුව අකා­ලයේ සිය ජීවි­ත­යෙන් සමු­ගෙන යන විට මහ­ගම සේකර (1929 අප්‍රේල් 7- 1976 ජන­වාරි 14) කවි­යෙකු, ගීත රච­ක­යෙකු, චිත්‍ර ශිල්පි­යෙකු, චිත්‍ර­පට අධ්‍ය­ක්‍ෂ­ව­ර­යෙකු මෙන් ම සෞන්ද­ර්ය අධ්‍යා­ප­න­ඥ­යෙකු ලෙස ද ඒ ඒ ක්‍ෂේත්‍ර­වල කීර්ති­ය­ක්‌ ­දිනා සිටියේ ය. සේකර දේශීය සංස්කෘ­ති­යත් කලා සම්ප්‍ර­දා­යත් සම­කා­ලීන ජන විඥා­න­යත් වට­හා­ගෙන කලා නිර්මාණ බිහි­කළ කලා­ක­රු­වෙකු යැයි ‘මහ­ගම සේකර සහ කලා නිර්මාණ’ ග්‍රන්ථයේ සඳ­හන් වේ. ව්‍යංගා (කේ. ජය­ති­ලක සමඟ), සක්වා­ලි­හිණි, හෙට ඉරක් පායයි, මක් නිසාද යත්, රාජ­ති­ලක ලය­නල් සහ ප්‍රියන්ත, බෝඩිම, නොමි­යෙමි සහ ප්‍රබුද්ධ ඔහුගේ කාව්‍ය නිර්මා­ණයෝ ය.

සේකර ම පව­සන ආකා­ර­යට ‘කවිය වූ කලී කවි­යාගේ අධ්‍යා­ත්මය මිස අනෙ­කක් නොවේ. එබැ­වින් කවියා දේශීය වන තර­මට කවිය දේශීය ගුණ­යෙන් යුක්ත වෙයි. කවියා සංය­ම­යෙන් යුක්ත වන තර­මට කවි­යෙහි සංය­මය ඇති වෙයි. කවියා නිර්ව්‍යාජ වන තර­මට කවිය නිර්ව්‍යාජ වෙයි’ (රාජ­ති­ලක ලය­නල් සහ ප්‍රියන්ත – පෙර­ව­දන) සිංහල කවිය පෝෂ­ණය කිරී­මට සම්භාව්‍ය කාව්‍ය සම්ප්‍ර­දාය මෙන් ම ගැමි කවි, ජන කවි යනු­වෙන් හඳු­න්වන චූල කාව්‍ය සම්ප්‍ර­දාය ද ඉව­හල් වේ. සේකර ජන කවි­යට උරුම වූ රුව ගුණ හඳුනා ගනි­මින් ජන හද­වත් ආම­න්ත්‍ර­ණ­යට සීමා නොවී උග­තුන්ට පවා රස විඳිය හැකි ආකා­රයේ නිර්මාණ බිහි කිරී­මට සමත් විය. කවි­යෙකු මෙන් ම ගීත රච­ක­යෙකු ද වූ සේකර කවි­යට මෙන් ම ගීත­යට ද මෙම නිර්මාණ ලක්ෂණ මුසු කළේ ය.

දේශීය ගුණ­යත් ගැමි සුව­ඳත් තැව­රුණු සේක­රගේ නිර්මාණ බොහෝ සහෘ­දයෝ අද­ටත් ස්පර්ශ කරති. ව්‍යාංගා පද්‍ය සංග්‍ර­හයේ සිට ම ඔහු ජන කවි සම්ප්‍ර­දාය සුභා­විත කළ ආකා­රය ගම්‍ය­මාන ය. මෙම පද්‍ය සංග්‍ර­හයේ හමු­වන නිර්මාණ අතර ‘මර­ණය’ පද්‍ය පන්තිය, සෑම ජීවි­යෙ­කුට ම පොදු වූ එමෙන් ම පෞද්ග­ලික සංසි­ද්ධි­යක් වූ ‘මර­ණය’ තේමා කර ගනි­මින් ඔහු නිර්මා­ණය කරන්නේ ජන කවි රිද්මය මුසු කර­මිනි.

මන්ද ඔතන හැංගී උඹ කරන්නේ
අන්ධ­කාර සළු පොරවා වැනෙන්නේ
නින්ද නැතිව මම පැදුරේ දපන්නේ
නින්ද සදා­කා­ලික කොට දියන්නේ
(මර­ණය)

භාව­පූර්ණ සහ ධ්වනි­පූර්ණ රච­නා­වක් වශ­යෙන් මෙම පද්‍ය පන්තිය රචනා කිරීමේ දී සේකර හද බස යොදා ගන්නේ තණ්හා­ධික මිනිසා උප­හා­ස­යට ලක් කර­මිනි.

ව්‍යංගා මෙන් ම සක්වා­ලි­හිණි පද්‍ය සංග්‍ර­හයේ ද ගැමි කාව්‍ය රීතිය සහ බස් වහර යොදා ගනි­මින් රචනා කළ පද්‍ය නිර්මාණ හමු­වෙයි. නිර්මා­ණ­යට තෝරා­ගන්නා අත්දැ­කීම හෝ අත්වි­ඳීම වඩා හොඳින් සහෘද මනසේ නින්නාද දීමට ඒ නිර්මා­ණ­ක­රුවා උප­යුක්ත කර­ගන්නා බස් වහර අත්‍ය­න්ත­යෙන් ම ඉව­හල් වන බව අමු­තු­වෙන් කිව යුතු නොවේ. ජන කවි­යෙන් ජීවය ලැබූ බස් වහර යොදා ගනි­මින් සජීවි චිත්‍ර­යක් සහෘ­දයා හමු­වට ගෙන එන සේකර ඉතා මැන­වින් ගැමි වහර සහ ජන කවි බස සුසං­යෝග කරයි.

ජන කවි ආර පද­නම් කොට ගනි­මින් මහ­ගම සේකර, ‘රන් එත­නාට කියන කවි’ පද්‍ය පන්තියේ දී ඡන්දස් ආකෘ­තිය භාවිත කරයි. ජන සාහි­ත්‍යයේ ඇසුර ලබා සහ­ජ­යෙන්ම ලද කවි­කම, ඔහුගේ පරි­ක­ල්ප­න­යෙන් ඔප වැටී නිර්මාණ බවට පත් විය. රදා­වාන පාස­ලෙන් මුල­කුරු කිය වූ සේකර බොහෝ නිර්මාණ අතර ඒ ගැමි සුවඳ අපූ­රු­වට තවරා තැබී­මට අම­තක නොකළේ ය. ඔහු ගැමි ජන ජීවි­තය තුළ ලද අත්දැ­කීම්, ප්‍රේමය වැනි මනෝ­භාව නිරූ­ප­ණ­යට ද ඉව­හල් කර­ගත් සේ ය.

රන් එළි­යට හැන්දෑවේ මුදු කෙහෙ දිලි­සෙන්නේ
රන් ගෝමර පෙති ඉහිලා ළමැද බබු­ළු­වන්නේ
රන්වන් වී කර­ලක් මෙන් බිමට නැමී එන්නේ
රන් එතනා ඉප­නැල්ලේ මොන­වද අහු­ලන්නේ
(රන් එත­නාට කියන කවි)

පවුලේ එක ම දරුවා නිසා ම ගැමි­යන්ගේ ආද­ර­යට ලක් වූ සේක­රට රදා­වාන ගමේ නිසං­සල පරි­ස­ර­යෙන් ලැබුණ ආත්මීය ගුණය දෘශ්‍ය කලා­ක­රු­වෙකු බිහි­වීම සඳහා අවශ්‍ය නිර්මාණ අව­කා­ශය සකසා දුන් බව සිය නිර්මාණ මඟින් ඔහු මැන­වින් ප්‍රකට කර­වයි. සංය­මය ජන කවියේ ලක්ෂ­ණ­යකි. මහ­ගම සේකර ද ජන­ක­වියේ හර­වත් ආභා­ස­යට අව­නත විය. භාව පූර්ණ ගුණ­යෙන් පොහො­සත්ව අර්ථ රසය මෙන් ම ශබ්ද රසය ද මනාව සංක­ල­නය කළ මෙම පැදි පෙළ සහෘද අධ්‍යා­ත්මය පෝෂ­ණය කරයි.

ව්‍යව­හාර භාෂාව, කාව්‍යෝ­චිත මාධ්‍ය­යක් බවට පත් කර ගැනීම ජන කවි­යාගේ සිරි­තකි. වර්ත­මාන මිනිස් ජීවි­තයේ ගැබි වී ඇති ඒකා­කාරි බව සහ නිස්සා­ර­ත්වය ගම්‍ය කරන ගැමි ජීවි­තය හා සම්බන්ධ ‘අස්වැන්න පෑගීම’ නම් වූ නිර්මා­ණය නිද­සුන් වශ­යෙන් පෙන්වා දිය හැකි ය.

අම්බ­රුවෝ අපි කමතේ – කැරකි කැරකි යනවා
කවුද කෙනෙක් කෙවිට අරන් – අපි පස්සෙන් එනවා
රන්වන් බැත පෑගි පෑගි – නොපෙනී යට යනවා
රන්වන් බැත යට කර­ගෙන – මඩු­වන් මතු වෙනවා

කාව්‍යෝ­චිත ගැමි ව්‍යව­හාර භාෂාව සේකර ද අපූ­ර්වා­කා­ර­යෙන් පද්‍ය­යට සංඝ­ට­නය කරන්නේ මේ ආකා­ර­යෙනි.
ඉර බැහැ­ගෙන යන සැන්දෑ­වක පිලේ පැදුර අර­ගෙන සිත පැලේ තබා හේන වෙත පිය මනින ගැමි­යාගේ මුවින් ගිලි­හෙන සුසුම්, පැල් කවි­යෙහි රිද්ම­යට අමුණා තබ­න්නට ඔහු සමත් විය. සක්වා­ලි­හිණි පද්‍ය සංග්‍ර­හයේ හමු­වන ‘දුකට කියන කවි සීපද’ පද්‍ය පංති­යෙන් සේකර හේන් පිළි­බඳ අත්දැ­කීම නූතන සහෘ­ද­යා­ගෙන් දුරස් වුවද මේ කථ­ක­යාගේ ආත්මීය දුක් වේදනා සහෘද හද­ව­තට සමීප කර­ව­න්නට සමත් වෙයි.

පිලේ පැදුර හේනට අර­ගෙන එනවා
එළා පැදුර මැස්සේ එහි සැත­පෙ­නවා
රටා වියපු අත් දෙක මට සිහි­වෙ­නවා
හිතේ දුකට එත­කොට කවි කිය­වෙ­නවා

ජන කවියේ ආභා­සය ලැබුව ද ව්‍යංග්‍යා­ර්ථ­වත් ව ‘රටා වියපු අත් දෙක මට සිහි වෙනවා’ වැනි යෙදුම් භාවිත කරයි. කවියා ‘පැදුර’ ප්‍රේමයේ සංකේ­ත­යක් කර­මින් එහි නිදා සිටින කථ­ක­යාගේ නෙත ගැටෙන රටා සැර­සිලි ගෙතුව ප්‍රේම­ව­න්තිය සිහි කර­වයි. ජන කවිය කාගේ වුව ද සිත් පැහැර ගැනී­මට හේතු වන්නේ එහි අව්‍යා­ජ­ත්වය යි. සේක­ර­යාණෝ ගැමි පරි­ස­ර­යක ජීවත් වූ ජන සාහි­ත්‍යය සහ ජන­ශ්‍රැති ඇසුරු කළ අපූරු නිර්මා­ණ­ක­රු­වෙකි.

රදා­වාන ගම්මා­නය මහ­ගම සේකර නම් අපූර්ව මිනිසා නිර්මා­ණය කිරී­මට පති­රූ­ප­දේශ වාස­යක් ම විය. සංවේදී සහ­ක­ම්ප­න­යෙන් යුතු නිර්මා­ණ­ක­රුවා ඇළ දොළ, සතා සිව්පාවා ඇසු­රෙන් තමා ලැබූ උත්තේ­ජ­නය ‘තුංමං හන්දිය’ නව­ක­තාවේ මෙසේ සට­හන් කරයි.

නාගෙන නියර දිගේ එන විට පාට පාට කුරුලු පිහාටු නියර උඩ වැටී තිබේ. මම නැවති ඒවා අහු­ලමි. මඩ තියාපු නියර ඉරි තැලී ගිය තැනින් ගොටු­කොළ පඳුරු පඳුරු මතු වෙයි. අග්ගිස් මහත් වෙවී තණ පලා දඬු එහෙන් මෙහෙන් දුව යයි. තණ කොළත් එක්ක හරි හරි­යට බේත් මුගු­ණු­වැන්න වැවේ. අම්මා කළය බිම තබා පලා කඩයි. තාත්තා වක්කඩ ළග ඇණ තියා ඉඳ­ගෙන ලිය­ද්දට වතුර හර­ව­මින් සිටී. මම තණ පතක් කඩා­ගෙන එතන දිය සුළි­යට දමමි. තණ පත දිය සුළි­යට අසු ව වට දෙක තුනක් කැරකී යට යයි. වක්ක­ඩින් වතුර වැටෙන තැන මාළු පැටවු උඩ පැන පැන නටති (තුංමං හන්දිය-12 පිටුව)

ඔහුගේ කවි­යක ගම්මා­නයේ වක්කඩ ළග දිය වැටෙනා රිද්මය, ජන හද­වත්හි නිතැ­තින් කුළු ගන්වන්නේ, සේක­ර­යන් පිළි­බ­දව වූ සොඳුරු මත­කය යි. ගැමි ජන­තාව අත­රින් ම මතු වුණ කවියා දේශජ කවි ශක්තිය විශද කරන්නේ එහෙ­යිනි. සහෘ­ද­යාගේ රස වින්ද­නය තීව්‍ර කිරීම පිණිස කාව්‍ය­මය සංකල්ප ඉදි­රි­පත් කිරීමේ දී ජන කවියේ ආකෘ­තිය සාර්ථක ව උප­යෝගී කර­ගත් කලා­ක­රු­වකු ලෙසින් ද ඔහු බුහු­ම­නට බඳුන් වේ. ‘ගම අම­ත­කයි’, ‘ඉරට මුවා­වෙන්’, ‘කන්ද උඩින් එන’, ‘පිලේ පැදුර හේනට අර­ගෙන එනවා…’, ‘කොන්ත නෝනා’, ‘දුකට කියන කවි සී පද’, ‘කෙක­ටිය මල්’ වැනි නිර්මාණ ඊට උදා­හ­රණ ලෙසින් ගෙන­හැර දැක්විය හැකි ය. තම පරි­ක­ල්ප­නය විශද කර­මින් ප්‍රති­භා­වෙන් උප­ල­ක්ෂිත නිර්මාණ බොහො­ම­යක් සහෘ­ද­යන්ට දායාද කළ සේකර සිය ළමා කාලය ගෙවා දැමූ රදා­වාන සුන්දර ගැමි පියසේ සුවඳ බොහෝ නිර්මාණ පුරා දිග හැරෙයි. නිර්ලෝ­භීව ජන­කවි ආභා­සය හා ගැමි වහර සිය කවි­ව­ලට මුසු කළ සේකර එයින් අරුත් ජන­නය කිරී­මට නව පණක් ගෙන තිබේ. ඔහු සතු භව්‍යතා වික­සිත කර­න්නට මේ ඇසුර තෝතැ­න්නක් ම වන්නට ඇත.
මෙම අස­හාය මහා වෘක්ෂය අදින් වසර 48කට පෙර ජන­වාරි 14 වන දිනක නිසො­ල්මනේ බිම හුණු ආකා­රය මෙසේ සඳ­හන් කර තිබේ.

ලිය­න්නට පට­න්ගත් පිටු­වෙහි රිද්මය පිළි­බද සට­හ­නක් ද අස­ම්පූර්ණ ව තිබූ අතර පෑන පසෙක වැටී තිබුණා.
ඔහු නික්ම ගොස් තිබුණා.

හිම­ගිරි කුළු ඉහළ නැඟී වලා සිඹින
අහස පො‍ෙළාව දෙක මුසු­වන
නිල් මිටි­යා­වත මැද්දෙන්
සුදු මීදුම් පීරා­ගෙන
සුදු පියා­පත් සල­මින්
නැඟ බැස පාවී යන
සිහින මුවා අසු පිට නැඟ
සතර කතර ගිම් සන­හන
‘මරණී’ නම් කෙම්බිම වෙත
ඔහු නික්ම ගොස් තිබිණි

උපුටා ගැනීම – මහ­ගම සේකර සහ සමාජ යථා­ර්ථය – 91-92 පිටු
සුච­රිත ගම්ලත් සහ රත්න ශ්‍රී විජේ­සිංහ

ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය ඩබ්. එම්. කල්‍යාණි විජේ­සු­න්දර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division