දාර්ශනිකයෝ ශතවර්ෂ ගණනාවක් තිස්සේ, දේපළවල සම්භවය තීරණය කිරීමට උත්සාහ කළහ. මේ සියලු දාර්ශනිකයන් දේපළ සමාන කර ඇත්තේ ඊඩන් උද්‍යානයේ ඇපල් ආහාරයට ගැනීමටය. පවිත්‍රව සිටි මිනිසා සර්පයාගේ කීම අසා තහනම් ගහේ ගෙඩි කා සිය ඇඟට විෂඝෝර සර්පයෙක් දමා ගත්තා වැනි තත්ත්වයක් ඇති කර ගත්තේය. දේපළ විෂය ද මනුෂ්‍ය සංහතිය සඳහා උද්ගත කරන ලද්දේ එයාකාර ඉරණමකි.
1884 දී ෆ්‍රෙඩ්රික් එංගල්ස් ‘පවුල, පෞද්ගලික දේපළ සහ රාජ්‍යය ඇතිවූ හැටි’ යැයි නමින් පොතක් ලියුවේය. එංගල්ස් දේපළවල මූලාරම්භය දඩයම් කිරීම සහ එකතු කිරීමේ යුගයෙන් පසුව පැමිණි බව සොයා ගත්තේය. ඉන්පසු ඇතිවන්නේ කෘෂිකර්ම යුගයය. ගොවිතැන් කිරීම සඳහා ගෝත්‍රිකයන් නිශ්චිත ඉඩමක පදිංචි වූ පසු, ඉඩම සහ භූමියේ ප්‍රයෝජන ලබා ගැනීමේ ආශාව වැඩි විය. දේපළ ගෝත්‍රික වීම නතර වී කාලයත් සමඟ තනි පුද්ගල බවට පත් වූයේය. එතැන් සිට දේපළ යනු මනුෂ්‍යයා බෙදා වෙන් කරන දෙයක් බවට පත්විය. ධනය සහ බලය යන දෙකම ඉඩම් මඟින් තීරණය කරන තැනට මිනිසා පත් වීම, ගොවි යුගයේ සිට අද දක්වාම දිව එයි.
ඉඩම් පිළිබඳව මෙතෙක් කතාව සැකෙවින් එසේය. අද “එතැන් සිට“ කියා අලුත් කතාවක් ආරම්භ කරන්නේය. මේ සඳහා නිමිත්ත ගනු ලබන්නේ අමාත්‍ය හරින් ප්‍රනාන්දු පසුගිය දෑ ඉදිරිපත් කළ යෝජනාවකිනි.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ද සහාය ලබා ගනිමින් මෙරට රජයේ ඉඩම් සම්බන්ධ සියලු දත්ත ඇතුළත් කර ඉඩම් බැංකුවක් නිර්මාණය කරන බව ඇමැති හරීන් ප්‍රනාන්දු ඒ යෝජනාවේදී සඳහන් කළේය. මෙතෙක් කිසිදු ප්‍රයෝජනයකට නොගත් ඉඩම් හා ඒවා තිබෙන ප්‍රදේශ, ඒ අතුරින් ආයෝජකයන්ට නිදහස් කිරීමට හැකි සහ නොහැකි ඉඩම් මොනවා ද යන්න ඇතුළු ඉඩම් සම්බන්ධ සියලු තොරතුරු මේ ඔස්සේ එක් ස්ථානයකට කේන්ද්‍රගත කර ගැනීම රජයේ අපේක්ෂාවය.
මේ ආණ්ඩුව ඉඩම් සම්බන්ධයෙන් එක් විප්ලවයක් දැනට ආරම්භ කර පවත්වා ගෙන යමින් තිබේ. පොළොවේ දෙපා තබා ගැනීම පිණිස තමන්ගේම ඉඩමක අයිතියක් නොමැත්තේ නම්, හේ වහලෙකි. මක් නිසාද යත්, ඒ පුද්ගලයා අනුන් මත සිය ජීවනය පවත්වා ගෙන යන්නේ බැවිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට එන තෙක්ම මේ රටේ ආණ්ඩුව ඉඩම් ඔප්පු බෙදා දුන්නේය. ඒ සියල්ලම ‘කොට කර බඳින ලද කඹය’ මඳක් දික් කළා පමණය. ජයභූමි, ස්වර්ණ භූමි නම්වලින් ලංකා භූමිය විටින් විටේ ඡන්දය බලාගෙන බෙදා දුන්නත් ඒ ඉඩමේ හිමිකරු සහ කුලියට හෝ බද්දට සිටිනා මිනිසා අතර වෙනස කෙස් ගසකට සම විය.
මට මගේ නොවන මගේම ඉඩමක් තිබේ යැයි මිස, මේ මගේ ඉඩම යැයි කියන්නට, ආණ්ඩුවෙන් ඔප්පු ගත් කිසිවෙක් වෙත සමත් කමක් නොවීය.
ලක්ෂ විස්සක් ජනතාව වගා කරගෙන, ගේ දොර හදාගෙන සිටියේ, එහෙම ඉඩම් කැබැලිවලය. උරුමය නම් ඉඩම් සින්නක්කරම තමන් වෙත ලැබීම විය යුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉගෙන ගන්නට ඇත්තේ සිය සීයාගෙනි. පළමු සිංහල මහදිසාපතිවරයා වුව ද සී. එල්. වික්‍රමසිංහ වැඩිය බර වූයේ පරිපාලනයට නොව ඉඩම් සඳහාය. රජරට අස්වද්දන ඩී. එස්. සේනානායකගේ ගොවි ජනපද ව්‍යාපාරය සඳහා ඉඩම් බෙදාදීමේ සැලසුම අඳින ලද්දේ සී. එල්. ය. මහදිසාපති, ඉඩම් කොමසාරිස් ලෙස පත් වන්නේ මේ නිසාය. ඩි. එස්. සේනානායකයන් දිනක්, වික්‍රමසිංහ මහගෙදර වන ලක්මහල් වෙත පැමිණියේය. රට නමැති ඉඩම නිදහස් කර ගැනීමේ සටනේදී සෝල්බරි කොමිසම සඳහා දිය යුතු යෝජනා කවරේදැයි සී.එල්. ගෙන් විමසීම සේනානායකයන්ගේ අරමුණ විය.
තරමක් අසනීපව ඇඳට වී සිටි, සී. එල්. වික්‍රමසිංහගේ ඇඳ අසලට පුටුවක් ඇදගත් ඩී. එස්. ‘නිදහස් ලංකාවේ ඉඩම් ප්‍රතිපත්තිය’ ප්‍රමුඛව පාර්ලිමේන්තු ක්‍රමය කෙසේ සකස් විය යුතු ද යන්න සී.එල්.ගේ යෝජනාව අසා ගත්තේය.
ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ උරුමය නම් ඉඩම් ජනතා සන්තක කිරීමේ වැඩසටහන ආරම්භ කරන ලද්දේ සී. එල්. සීයාගේ පාරේ යමිනි.
අර්බුද ගහන කාලයක, ජනතාවට පටිය තද කරගැනීම සඳහා සූත්‍ර කියනවා විනා, ආණ්ඩුව බෙදාදීම් කරන්නේ නැත. බංකොලොත් ආර්ථිකයක් ඇති රටක ජනතාව බංකොලොත් නොවන තැනට පත් කළ හැකි සැලසුමක් මේ ආණ්ඩුව සතුය. ඉඩම් ඔප්පු අයිතිය නැති විසි ලක්ෂයක් වෙත සින්නක්කර ඔප්පු ලැබුණා කියන්නේ රටේ ජනගහණයෙන් ලක්ෂ විස්සක් එක්වරම ලක්ෂපතියන් වීමය.
ස්වර්ණ භූමි, රන් භූමි සහ ජය භූමි බලපත්‍ර හිමි ලක්ෂ 20ක පමණ පිරිස අතරින් ලක්ෂ 10කට මෙම වසර අවසානයට පෙර සින්නක්කර ඔප්පු ලබා දීමට උරුමය වැඩසටහන සියලු වැඩසටහන් දියත් කර තිබේ. ලබන වසරේ ඉතිරි ලක්ෂ දහය ද ‘උරුම ලද්දෝ’ වන්නාහ.
ඇමති හරින්ගේ යෝජනාව, නායකයාගේ සිහිනයේ ‘ඉතිරි හරිය’ කරදීමය. රජයේ ඉඩම් සම්බන්ධ සියලු දත්ත ඇතුළත් ‘ඉඩම් බැංකුව’ රටේ ඉඩම් සඳහා වන ඵලදායි යන්ත්‍රණය ලෙස ඉදිරියට එනවා ඇත. උරුමය ගිලිහී ගිය බිමක් යනු වහල් සමාජයට තවත් නමකි.
ඒ කතාව ආණ්ඩුව මුලින්ම වෙනස් කළේ උරුමය නම් සින්නක්කර ඔප්පු ප්‍රදානය හරහාය. දැන් ඒ මාවතේ තවත් මල් පිපෙමින් තිබේ. මේ රටේ අවුරුදු 15ත් – 29ත් අතර වයසේ පසුවන ලක්ෂ 50ක් පමණ පිරිසක් සිටිති. ජනගහණ පිරමිඩයේ එම වයස් කාණ්ඩය පුබුදුවා ගනු වස් ඇමැති හරින්ගේ යෝජනාව ඵලදායීය. ඉඩම් බැංකුව යනු ආයෝජනයේ උල්පතය. තරුණ ව්‍යවසායකයන් මිලියනයක් මේ කාණ්ඩයෙන් බිහි කරගැනීමේ අපේක්ෂාවෙන් යුක්තව ඉඩම් බැංකුව තව ටික දිනකින් එළි දකිනවා ඇත්තේය. උරුමයේ ඊළඟ පියවර එයය. තහනම් ගහේ ගෙඩි මෙන් යැයි දාර්ශනිකයෝ කියූ දේපළ අයිතිය දැන් හෙට දවසේ රටේ මල් පූදින ක්ෂේම භුමිය ලෙස ගොඩනැඟෙමින් තිබේ.