Home » ඉතාලියේ ක්‍රිකට් ලොක්කා ලංකාවේ ‘ප්‍රොෆෙසර්’ 

ඉතාලියේ ක්‍රිකට් ලොක්කා ලංකාවේ ‘ප්‍රොෆෙසර්’ 

by Mahesh Lakehouse
April 6, 2024 12:30 am 0 comment

– ඔලිම්පික් කමිටුවෙත් සාමාජිකයෙක්
– තවම වයස අවුරුදු 40යි

එතෙර රටකදී විවිධ ක්ෂේත්‍රවලින් කීර්තිය හා ගෞරවය දිනා සිටින ශ්‍රී ලාංකිකයන් අතරින් ඉතාලියේ කැලුම් අසංක පෙරේරා කැපී පෙනෙන්නේ විදෙස් රටක ප්‍රධානතම ක්‍රීඩා කමිටු දෙකකම උසස් තනතුරු දරන එකම ශ්‍රී ලාංකිකයා ඔහු බැවිනි. 40 හැවිරිදි මේ අපූරු පුද්ගලයා අද වන විට ඉතාලි ඔලිම්පික් කමිටුවේ සාමාජිකයකු වන අතර, එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියා ද වේ. හෙතෙම දශකයකට වැඩි කාලයක් පුරා මේ තනතුරු ද්විත්වයෙහිම රැඳී සිටිමින් එරට ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් ලබා දෙමිනි. එපමණක් නොව ඉතාලියේ ක්‍රීඩා පරිපාලකයන්ගේ සහ ජනතාවගේ විශ්වාසය ඉහළින්ම රඳවා තබා ගනිමිනි.

2005 වසරේ සිට අඛණ්ඩව ඉතාලියේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ විවිධ තනතුරු දැරූ කැලුම් පෙරේරා ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් වූයේ 2019 වසරේදීය. අඛණ්ඩව සිව්වැනි වතාවටත් ඡන්දයෙන් පත්වී එරට ඔලිම්පික් කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කරමින් සිටින්නේ 2009 වසරේ සිටය. ඉතාලි ඔලිම්පික් කමිටුවේ අදටත් සිටින එකම කළු ජාතිකයා වන කැලුම් පෙරේරාගේ පරිපාලන හැකියාව තවත් ඉසව් රැසකින් වර්ණවත් වූවකි. ඔහු ඉතාලියේ ජාතික කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකි. ජාතික කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකි. එංගලන්ත හා වේල්සයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ (ECB Level 3) තුන්වැනි මට්ටමේ පුහුණු පාඨමාලාව සම්පූර්ණ කළ ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් පුහුණුකරුවෙකි. ඔලිම්පික් කමිටුවේ සිව්වැනි තලයේ පාඨමාලාව සම්පූර්ණ කළ ක්‍රීඩා කළමනාකරණ නිලධාරියෙකි. ඔහු ඉතාලියේ සිට පසුගියදා සූම් තාක්ෂණය ඔස්සේ ‘සිළුමිණ‘ සමඟ කතාබහට එක්වූයේ මෙසේය.

‘අවුරුදු හතරෙන් හතරට ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සමාගාමීව රටරටවල ඔලිම්පික් කමිටුවේ ධුරකාලයත් වෙනස් වෙනවා. මම ඉතාලි ඔලිම්පික් කමිටුවේ ජාතික සාමාජිකයකු විදිහට ඡන්දයෙන් පත්වුණේ හතරවෙනි වතාවටයි. පසුගිය වාරයේදී මම මලල ක්‍රීඩකයන්ගේ කොමිසමේ නියෝජ්‍ය සභාපති විදිහටයි කටයුතු කළේ. මේ වාරයේදී මම ඔලිම්පික් කමිටුවේ පුහුණුකරුවන්ගේ කොමිසමේ සාමාජිකයෙක්. ඊට අමතරව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ එඩියුකේටර් කෙනෙක්.‘ ඔහු කතාබහට එක් වූයේ එලෙසිනි.

කැලුම් පෙරේරා මේ සිටින්නේ ශ්‍රී ලාංකිකයකුට ජාත්‍යන්තර ක්‍රීඩා පරිපාලනයේ යා හැකි ඉහළම තැනක ය. ඔහු ඉතාලි ඔලිම්පික් කමිටුවේ මලල ක්‍රීඩකයන් වෙනුවෙන් සිටින ජාත්‍යන්තර තලයේ එකම අධ්‍යාපනවේදියා ය. එවැනි අධ්‍යාපනවේදීන්ගේ කාර්ය භාරය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගතයට අතිශය තීරණාත්මක බලපෑමකි. ඉතාලියේ ක්‍රීඩාවට යොමු වූ පිරිස මිලියන 14කට වැඩිය. එක් එක් ක්‍රීඩාවෙන් රට නියෝජනය කරන සෑම ක්‍රීඩකයකුම ක්‍රීඩිකාවකම ඒ සඳහා සහභාගි වන්නේ ඔලිම්පික් කමිටුව හරහා බැවින් කැලුම් පෙරේරාට ද පැවැරී ඇත්තේ වගකීම් රැසකි. එරට ඔලිම්පික් කමිටුවේ තනතුරු දැරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන්නේ එය මෑතක් වන තුරු ක්‍රීඩා අමාත්‍යාංශයක් නොතිබූ ඉතාලියේ සමස්ත ක්‍රීඩාවම පාලනය කළ අධිකාරිය වීම නිසාය. ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ඇතුළුව විධායක කමිටුව ගන්නා ඕනෑම තීරණයක් අනුමත කරගත යුතුවන්නේ කැලුම් පෙරේරා සිටින ජාතික කමිටුවෙනි.

‘මම ඉතාලි ඔලිම්පික් කමිටුවේ සභාපතිවරු දෙන්නෙක් එක්ක වැඩ කරලා තියෙනවා. දැන් ඉන්න සභාපතිවරයාගේ මේ අන්තිම ධුරකාලයයි. එයා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජිකයෙක්. ඒ වගේම ඉතාලියේ ගොඩාක් ප්‍රසිද්ධ පුද්ගලයෙක්. රජයේ බලවත් චරිතයක්. එයා මට ගොඩක් සමීපයි. හැබැයි වැඩ කරද්දී අපි දෙන්නා අතර විවිධ තීන්දු තීරණ ගැන වාද විවාද අනන්තවත් සිද්ධ වෙලා තියෙනවා. මොකද මම නිතරම දුර දිග බලලා නිවැරදිම තීරණය තමයි ගන්නේ. මම නිතරම හරි දේ වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්.‘ කැලුම්ගේ ගතිපැවැතුම් අවබෝධ කරගැනීමට එය කදිම නිදසුනකි. ඔහුගේ මේ දුරදක්නා නුවණ හේතුවෙන්ම ඔලිම්පික් සභාපතිවරයා කැලුම් ආමන්ත්‍රණය කරන්නේ ‘ප්‍රොෆෙසර්‘ කියා ය.

ඉතාලි ඔලිම්පික් කමිටුවේ ‘ප්‍රොෆෙසර්‘ එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට එක්වූයේ ඊට වසර 4කට පෙරය.

‘මම ඉතාලි ක්‍රිකට් බෝඩ් එකත් එක්ක වැඩ කරන්න පටන් ගත්තේ 2005 ඉඳලා. ක්‍රිකට් බෝඩ් එකේ මම සභාපති තනතුර හැර අනිත් සියලු තනතුර දැරුවා. ඒ එක්කම මම මගේ එංගලන්ත හා වේල්සයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ පුහුණුකරුවෙක් විදිහට පාඨමාලා හැදෑරීමත් කරගෙන ගියා. ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස පත්වුණේ ඉන්පසුවයි.‘ ඔහු කීවේය.

අද වන විට ඉතාලියේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ සියයකට වැඩිය. එක් එක් ක්‍රීඩා සමාජවල කණ්ඩායම් දෙකක් පමණ ඇති බැවින් සමස්ත රටේම ක්‍රිකට් කණ්ඩායම් සංඛ්‍යාව 250ට වැඩිය. එබැවින්ම වාර්ෂිකව ඉතාලියේ පැවැත්වෙන ක්‍රිකට් තරග සංඛ්‍යාව ද 750කට අධික බව කැලුම් කීවේය.

ඉතාලියේ උපන් කැලුම්ගේ ක්‍රීඩා ජීවිතය ගොඩනැඟෙන්නේ ඔහුගේ පියා කුමාරදාස පෙරේරාගේ අභාසයෙනි. පාපන්දු ක්‍රීඩාවට හිමිකම් කියන ඉතාලිය වැනි රටක ක්‍රිකට් ක්‍රීඩාවට ඇති අවධානය හා උනන්දුව අඩු බැවින් කැලුම් ද කුඩා වියේදී දස්කම් පෑවේ පාපන්දු ක්‍රීඩාවෙනි.

‘තාත්තා තමයි නිතරම මට බල කළේ ක්‍රිකට් ගහන්න කියලා. අන්තිමේදි අවුරුදු 14 වෙනකල් පාපන්දු සෙල්ලම් කරපු මම අවුරුදු 16දී පාපන්දු හා ක්‍රිකට් දෙකම සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඉතාලියේ අපි පදිංචි වෙලා හිටපු පළාතේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළ තැනකට යන්න අන්තිමේදී මම සමත් වුණා. ඉතාලියේ ජූනියර් ටීම්වලට තෝරාගත්තේ ඒ නිසයි. හැම වයස් කාණ්ඩයකම කණ්ඩායම්වල නායකයා විදිහට කටයුතු කරන්නත් මට අවස්ථාව ලැබුණා. ඊට පස්සේ තමයි සීනියර් ටීම් එකට සෙල්ලම් කළේ.‘ ඔහු කීවේය.

කැලුම්ගේ පියා කුමාරදාස පෙරේරා කොළඹ ආනන්ද විදුහලෙන් බිහිවූ ක්‍රීඩකයෙකි. ඔහු ආනන්දයේ පාපන්දු කණ්ඩායම නියෝජනය කර ඇති අතර, ක්‍රිකට් කණ්ඩායමට එක්වීමේ අවස්ථාව මග හැරුණු බව කැලුම් කීවේය. 70 දශකයේ මුල් භාගයේදී එවකට ලංකා සම් භාණ්ඩ සංයුක්ත මණ්ඩලයේ සේවයට බැඳීමෙන් පසු ජනසතු සේවා ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ බවත්, පසුව 1975දී ලේක් හවුස් ආයතනයේ මුදල් අයකැමිවරයා ලෙස සේවයට බැඳී වසර දෙකක කාලයක් ලේක් හවුස් ආයතනයේ ක්‍රිකට් පිලට ක්‍රීඩා කළ බවත් ඔහු කීවේය.

‘තාත්තා 1978දී තමයි ඉතාලියට ඇවිත් තියෙන්නේ. පස්සේ ආපහු ලංකාවට ගිහින් විවාහයෙන් පස්සේ අම්මවත් (අශෝකා පෙරේරා) එක්කගෙන ඇවිත් ඉතාලියේ පදිංචි වුණා. එයාලා ඒ කාලේ ඉතාලියට එද්දි උදව් කරන්න මෙහේ ශ්‍රී ලාංකිකයෝ වැඩිපුර හිටියේ නෑ. මම ඉස්කෝලේ යද්දී මගේ පළාතේ කළු ළමයකුට හිටියේ මම විතරයි.‘ අතීතය සිහිපත් කරමින් කැලුම් එසේ කීවේය.

කැලුම් පෙරේරා ඉතාලියේ ක්‍රීඩා පරිපාලනයට එක්වූයේ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස තවදුරටත් ක්‍රීඩා කිරීමේ හැකියාව තිබූ තරුණ වියේදීමය.

‘මම ආපු ගමන දිහා බලද්දී මම කොච්චර දුරක් ඇවිල්ල තියෙනවද කියලා මට හිතෙනවා. ගොඩාක් තරුණ කාලයේදීම මගේ ජීවිතේ වෙනස් වුණා. අවුරුදු 18 දී එංගලන්තයේ මෙරිලිබෝන් ක්‍රීඩා සමාජයේ අවුරුදු 23න් පහළ තරුණ කණ්ඩායමටත් මම කාලයක් ක්‍රීඩා කරලා තියෙනවා. මම ක්‍රිකට් ක්‍රීඩාව අත්හරින කොට යුරෝපා මට්ටමේ කනිෂ්ඨ ක්‍රීඩකයෙක් විදිහට කැපී පෙනෙන දස්කම් දක්වමිනුයි හිටියේ. 2009 දී ඉතාලියේ ඔලිම්පික් කමිටුවට ඡන්දයෙන් පත්වුණාට පස්සේ ක්‍රිකට් පුහුණුකරුවෙක් විදිහටත්, ක්‍රීඩා පරිපාලකයෙක් විදිහටත් මම ජීවිතය අලුතින් පටන් ගත්තා කිව්වොත් හරි. ‘ ඔහු සඳහන් කළේය.

‘මම දැන් ඉන්න තත්ත්වය ගැන ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් සතුටු වෙනවා ඇති. ඒක ගැන එයාලා ලොකුවට කතා කරනවා ඇති. ඒත් මගේ සතුට තියෙන්නේ මම මේ දරන තනතුරුවල නෙවෙයි මගෙන් ඉතාලියට ලැබෙන සේවය ගැන ඉතාලියේ ක්‍රීඩාවේ රැඳිලා ඉන්න අය සතුටුවීමයි වැදගත් වෙන්නේ. මගේ සතුට ඉතාලියේ ක්‍රීඩාවේ දියුණුවයි. ඒ වගේම මම අද වෙද්දී ඉතාලියේ අත්කරගෙන තියෙන කීර්තිය හා ගෞරවය මට පෞද්ගලික සතුටකට වඩා ඒ ගැන මගේ අම්මා තාත්තා සතුටු වීම තමයි මගේ සතුට වෙන්නේ‘ කැලුම් එසේ කීවේය.

ක්‍රීඩාවේ පරිපාලනයට එක්වීමත් සමඟ කැලුම්ගේ ජීවිතයේ බොහෝ දේවල් වෙනස් වී ඇත්තේ මහා පුදුමාකාර අයුරිනි. ඔහුටම ආවේණික ගතිපැවතුම් බොහෝ ය. අදහස් සහ ආකල්ප පරිපාලන ක්ෂේත්‍රය තුළ අප දකින බොහෝ චරිතවලට වඩා වෙනස් ය.

‘විශ්වාසය කියන දේ හදාගන්න ගොඩක් කල් යනවා. හැබැයි ඒ විශ්වාසය නැතිවෙන්න එක තත්පරයක් ඇති. මෙහේ පිළිගැනීම තියෙන්නේ ඒ වගේ විශ්වාසයක් ගොඩනඟා ගත්තු අයට විතරයි.‘

ඉතාලියේ ක්‍රිකට් ක්‍රීඩාව තවමත් ඉහළ තලයකට පැමිණ නැත. කැලුම්ගේ අදහස වී ඇත්තේ ඉතාලිය වැනි ක්‍රිකට් ක්‍රීඩාවෙන් පහළ මට්ටමක සිටින රටකට එවැනි තත්ත්වයකට පැමිණීමට ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම ප්‍රබල සාධකයක් වනු ඇති බවය. වසර 1900 ඔලිම්පික් උලෙළෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාව යළි ඔලිම්පික් උලෙළට එක්වන්නේ 2028 ලොස් ඇන්ජලිස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උලෙළෙනි.

‘2032 බ්‍රිස්බේන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ඉතාලිය සුදුසුකම් ලබයි කියලා මට විශ්වාසයක් තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩා කරන ලොකු රටවල් කවදාවත් අපි වගේ පොඩි රටවල් ගැන හිතුවේ නෑ. එගොල්ලෝ අතර විතරයි ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන ගියේ. එයාලා අත තමයි මුදල් තියෙන්නේ. ඒත් ක්‍රිකට් කියන්නේ ගෝලීය ක්‍රීඩාවක්. ඔලිම්පික්වලට ක්‍රිකට් ඇතුළත් වීමෙන් වුණේ අනිත් පොඩි රටවලටත් ඒ දොරටු හෙමින් හෙමින් විවෘත වෙන එකයි.‘ කැලුම් එසේ සඳහන් කළේය.

ඉතාලියේ විස්සයි20 ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කැලුම්ගේ ලොකු ආශාවක් තිබේ. එවැනි අවස්ථා සඳහා ඉතාලියට විවිධ සමාගම්වලින් ඇරියුම් ලැබුණු බවත් ඔහු කීවේය.

‘මගේ අදහසක් තියෙනවා. අපිට එවැනි ආරාධනා ලැබිලත් තියෙනවා. ඒත් ඇත්තම කියනවා නම් මට සියයට සියයක් විශ්වාස නෑ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් කියන්නේ පිරිසුදු සල්ලි කියලා. මොකද ලෝකයේ ක්‍රීඩා ප්‍රචණ්ඩත්වය කියලා එකක් වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ ක්‍රීඩාව හරහා කළු සල්ලි සුදු කරන ව්‍යාපාරයක්. ඒ විතරක් නෙවෙයි මුදල් විශුද්ධිකරණය, නීතිවිරෝධී ඔට්ටු තැබීම, මුදලට තරග පාවාදීම මේවා ෆ්‍රැන්චයිස් ක්‍රිකට්වල වෙන්න පුළුවනි. මම කියන්නේ සල්ලි ගොඩාක් එකතු වෙන තැන්වලදී අපි හරියටම සහතික කරගන්න ඕනා ඒ සල්ලි එන්නේ කොහෙන්ද කියලා. අපි දේශපාලනය නෙවෙයිනේ කරන්නේ. අපි කරන්නේ ක්‍රිඩා පරිපාලනය. අපිට අපේ ක්‍රීඩාව විකුණලා සල්ලි හම්බ කරන්න නෙවෙයි ඕනා. අපේ මෙහෙයුම වෙන්න ඕන ක්‍රීඩාව දියුණු කරන එකයි. අද සමහර රටවල ෆ්‍රැන්චයිස් ගහන ක්‍රීඩකයන්ට ගෙවීම් කරලා නෑ. මැච් ෆික්සින් වෙලා තියෙනවා. මුදල් විශුද්ධිකරණය වෙලා තියෙනවා. නීති විරෝධී ඔට්ටු තැබීම් වෙලා තියෙනවා. මම කැමැති නෑ ඉතාලියේ ක්‍රිකට් ක්‍රීඩාව දූෂණය වෙනවට. හැබැයි මම කියන්නේ නෑ ඉතාලිය පිරිසුදු රටක් ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය වගේ රටවල නම් එහෙම දේවල් වෙනවා කියලා. මම කියන්නේ අපි ක්‍රිකට්වලින් ලොකු ගමනක් යන්න බලාගෙන ඉන්න රටක්.

අද මේ ලෝකයේ ආර්ථිකය බැලුවම කවුරුවත් නිකං ඇවිත් බිලියන ගණනාවක සල්ලි ආයෝජනය කරන්නේ නෑ ලාභයක් නැතිව. 10ක් දුන්නොත් අවුරුද්දකින් ද, දෙකකින් ද, පහකින් ද එයා බලාපොරොත්තු වෙනවා ඒ 10 වැඩි කරගන්න 15 දක්වා. ඒකයි ආයෝජනය කියන්නේ. හැබැයි වැරදි ක්‍රමයට උපයා ගත්තු සල්ලි දුන්නොත් ලැබෙන මුදල 10 නෙවෙයි 9ක් වුණත් කමක් නෑ කියන තත්ත්වයක් තියෙනවා. ඒ නිසයි අපි විශේෂයෙන් පොඩි ක්‍රිකට් රටක් විදිහට ගොඩාක් පරිස්සම් වෙන්නේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කිරීම ගැන. ‘කැලුම් පෙරේරා එසේ පැහැදිලි කළේය.

සැබැවින්ම ඔහු දශකයකට වැඩි කාලයක් ලොව පුරා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික රටවල් සමඟ කටයුතු කර ඇති පරිපාලකයකු බැවින් ඔහුට ඇත්තේ අත්දැකීම් සම්භාරයකි. ඔහු නොකියා කියන කරුණු ගණනාවක් ඔහුගේ ප්‍රකාශය තුළ සැඟවී තිබේ.

‘මොකද ක්‍රීඩාවේ නීති විරෝධී ඔට්ටු තැබීම් කියන්නේ මම විශ්වාස කරන විදිහට ජීවිතේට නවතින දෙයක් නෙවෙයි. ඒක නවත්තන්න බැරි දෙයක්. ක්‍රීඩාවේ නීතිවිරෝධී ඔට්ටු තැබීම් නවත්තනවා කියන්නේ හරියට මේ ලෝකේ හොරකම් කරන එක නවත්තනවා වගේ වැඩක්. ඔයා හිතනවද මේ ලෝකේ හොරකම් කරන එක නවත්තන්න පුළුවන් දෙයක් කියලා.‘ ඔහු එසේ විමසයි.

‘මගේ තාත්තා මට මේ තනතුර ලැබුණු වෙලාවේ කිව්වේ අපි දන්නේ නෑ කොච්චර කාලයකට මේ තනතුරු තියේවි ද කියලා. ඒ නිසා නිතරම අත්දෙක පිරිසුදුව තියාගන්න කියලා‘ කැලුම් සිය පියා දුන් අවවාදය එසේ සිහිපත් කළේය.

‘මට සාමාන්‍යයෙන් අදහසක් තියෙනවා රටවල්වල ක්‍රිකට් පාලක මණ්ඩල ගැන. ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක ගැන විතරක් නෙවෙයි මම කියන්නේ. මම අද ඉන්න තනතුර අනුව ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක හරි වෙන රටක ක්‍රිකට් බෝඩ් එකක් හරි හෝ වැරදි හෝ කියන එක මට අදාළ නෑ. අපි දන්නේ මාධ්‍යවල යන දේවල් විතරයිනේ. මට කියන්න පුළුවන් එකම දේ මම ඉතාලියේ ඉපදුණාට මම ඉතාලියේ ඉස්කෝලේ ගියාට මම බුද්ධාගමේ හැටියට මිනිහෙක් වැරැද්දක් කළොත් ඒ වැරැද්ද කොහෙන් හරි කැරකිලා එනවාමයි. මොන ක්‍රමයකින් හරි ඒක රිටන් එනවා. ඒ කර්මය මම තදින් විශ්වාස කරනවා.‘ ඔහු කීවේය.

එක්තරා කාලයකදී මීට වසර 15කට පෙර ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දක්වා යෑමේ සිහිනයක් තිබුණු බව කැලුම් කීවේය. එහෙත් මේ වන විට එම සිහිනය සිතින් මැකී ඇතැයි ද ඔහු සඳහන් කළේය. එහෙත් ශ්‍රී ලාංකිකයකු වුවද ඔහු සතු පරිපාලනය දැනුම සහ හැකියාව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් ලබාදීමේ අදහසක් ද ඔහුට තවම නැත. ඔහු කියන්නේ ඇරියුමක් ලැබුණ ද ඒ පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතු බවකි.

‘මම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ගැන ගොඩාක් දේවල් දන්නවා. මට අයිසීසී රැස්වීම්වලදී රටරටවල ගොඩාක් ක්‍රිකට් පරිපාලකයන් මුණ ගැහිලත් තියෙනවා. මම ඉන්දියාවේ ජේ ෂා ගැනත් දන්නවා. මට එයා මුණ ගැහිලත් තියෙනවා. හැබැයි නීටා අම්බානි එක්ක නම් මම සමීපව කටයුතු කරලා තියෙනවා. එයා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජිකාවක් නිසා. ඒ හැර රටවල්වල ක්‍රිකට් පරිපාලකයන් එක්ක මගේ සමීපත්වයක් නෑ. මට අදාළත් නෑ. එයාලගේ අත් පිරිසුදු ද නැද්ද කියන එක මට බලපාන්නේ නැතිනම් එයාලා ගැන මට කතා කරන්න දෙයකුත් නෑ. මට මොන රටින් ආරාධනා ලැබුණත් ඇවිත් එකතු වෙලා වැඩ කරන්න කියලා දෙවතාවක් කල්පනා කරන්න ඕන කාරණාවක්. මට ඒ ගැන පූර්ණ අවබෝධයක් තියෙන්න ඕනා.‘ ඔහු නොකියා කියන කතා බොහෝය.

‘මගේ පසුබිම මගේ සංස්කෘතිය ශ්‍රී ලාංකික වුණාට මම ඉතාලි ජාතිකයෙක්. හැබැයි මගේ අම්මා තාත්තා මට වඩා ශ්‍රී ලාංකිකයි. එයාලා වෙනුවෙන් මම මේ ඉගෙනගත්තු දේවල්වලින් ලංකාවේ ක්‍රිකට් හෝ වෙනත් ක්‍රීඩාවකට පරිපාලනයෙන් යමක් කරන්න පුළුවන් නම් ඒ දේ මම කරනවා. හැබැයි මාව අවබෝධ කරගෙන මගේ හැකියාව අවබෝධ කරගෙන ඇරියුමක් ලැබෙනවා නම් විතරක්. ගොඩාක් වෙලාවට ඒක නොවෙන්න පුළුවනි.‘ කැලුම් අවසන් වශයෙන් එසේ කීවේය. ඔහුගේ ජීවිතයේ සාර්ථකත්වයට උරදුන් ආදරණීය මාපියන්, එකම නැඟණිය කළනි පෙරේරා සහ සිය දියණිය ගැනත් ඔහු සිහිපත් කළේ ආදරයෙනි.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division