මේ දිනවල සමාජයේ වඩාත් කතාබහට ලක්වූ චරිතයක් වූයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ය. ඒ, උන්වහන්සේට දෙවන වරටත් බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ලැබීම නිසාය. දැන් උන්වහන්සේ බරපතළ වැඩ සහිතව සිරදඩුවමක් විඳිමින් සිටිති.
“භික්ෂුවක වශයෙන් ජාතික ආගමික සහජීවනයට හානිවන ආකාරයෙන් හැසිරීමක් නොකළ යුතු අතර, එවැනි ආකාරයේ ප්‍රකාශ ද සිදු නොකළ යුතුයි. එවන් ප්‍රකාශවලින් රටේ ජාතික ආගමික භේද ඇතිවීම වැළැක්විය නොහැකියි” ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාවට වරදකරු වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 04ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කරමින් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් එසේ ප්‍රකාශ කළේ එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට ප්‍රථමයෙන්ය. ඒ ඉකුත් මාර්තු මස 28 වැනිදාය. එම සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් ද ගෙවන ලෙසට ඥානසාර හිමියන්ට අධිකරණයෙන් නියම විණි.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බරපතළ වැඩ සහිත සිරදඬුවමකට මෙවර යටත් වන්නේ දෙවන වතාවටය. ප්‍රථමයෙන්ම උන්වහන්සේට බරපතළ වැඩ සහිත සිරදඩුවමක් ලැබුණේ 2018 වසරේදීය. වසරක බරපතළ වැඩ සහිතව මහඋළුගෙයි වැඩසිටි උන්වහන්සේ ජනාධිපති සමාවකින් නිදහස් වූයේ 2019 වසරේ මැයි මාසයේදීය.
නැවතත් වසර පහකින් පසු ඥානසාර හිමියන් වැලිකඩ සිපිරි ගෙට යෑමට සිදුවන්නේ 2006 වසරේ නොවැම්බර් මස හෝ ඊට ආසන්න දිනයකදී කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් ජාතීන් අතර ආගමික සංහිඳියාව හානි කළ බවට නීතිපතිවරයා මහාධිකරණයේ නඟා තිබූ අධිචෝදනාවන්ට වරදකරු වීමෙන් පසුවය. මෙම නඩු විභාගය කොළඹ මහාධිකරණය හමුවේ දීර්ඝ කාලයක් විභාග වීමෙන් අනතුරුව විත්තිකාර හිමියන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි සඳහන් කරමින් මහාධිකරණ විනිසුරුවරයා උන්වහන්සේට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබූ අධිචෝදනා දෙකටම විත්තිකාර හිමියන් වරදකරු කළේය.
මෙහිදී අධිකරණය විත්තිකාර හිමියන් වරදකරු කිරීමෙන් පසු පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥ ලක්මාලි දිසානායක මහත්මිය සඳහන් කර සිටියේ, “ජාතිවාදී ගැටුමක් හේතුවෙන් වසර තිහකට අධික කාලයක් යුද්ධයකින් බැට කෑ ශ්‍රී ලාංකික ජනතාවකට තවත් ආගමික ගැටුමක් කිසිසේත් අවශ්‍ය වන්නේ නැත.” යනුවෙනි.
“ආගමික නායකයකු වගේම සංවිධානයක නායකයකු වන විත්තිකාර හිමියන්ගේ වාග්මාලාව හේතුවෙන් ලංකාවේ යළි ආගමික ගැටුමක් ඇතිවීමේ හැකියාව තියෙනවා. එවැනි තත්ත්වයක් වැළැක්විම අනිවාර්යයි. ඒ හේතුවෙන්ම විත්තිකාර හිමියන්ට දැඩි දඬුවම් ලබාදෙන ලෙසට මේ ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.” යැයි ද රජයේ නීතිඥවරිය සිය දේශනයේදී සඳහන් කළාය.
මෙහිදී විත්තිකාර හිමියන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ තම සේවාදායක හිමිනම අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කර අභියාචනාධිකරණය විසින් ලබා දුන් සිරදඬුවම විඳි බවත් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘ජනපති සමාව’ ලබා දුන් බවත්ය.
“මගේ සේවාදායක හිමියන් මෙම ප්‍රකාශය තුළින් බරපතළ වරදක් කළා කියලා ගම්‍ය වෙන්නේ නැහැ. ඒ පිළිබඳව මින් ඉහතදී උන්වහන්සේ අධිකරණයේදී කනගාටුව ප්‍රකශ කළා. කෙසේ වෙතත් උන්වහන්සේට ලිහිල් සිරදඬුවමක් නියම කරන ලෙසට ඉල්ලා සිටිනවා.”යැයි ද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී විත්ති පාර්ශ්වයේ නිතීඥවරයාට පිළිතුරු දුන් රජයේ නීතිඥවරිය, “පිහියෙන් අනිනවාට වඩා වචනවලින් පවසන දේ ඉතාමත් බරපතළයි.
කවුරු හරි පිහියෙන් ඇනලා සමාව ඉල්ලූ පමණින් වරදේ බරපතළකම අඩු වෙනවාද? ඒ වගේම විත්තිකරු කියූ වචනවලින් උද්ගතවූ දේවලට සමාව ඉල්ලූ පමණින් වරදේ බරපතළකම අඩු වෙයිද?”
නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් පසු විනිසුරුවරයා සඳහන් කර සිටියේ, “විත්තිකාර හිමිනම මීට පෙර නඩු දිනයකදී විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ තමාගේ ප්‍රකාශය හේතුවෙන් මුස්ලිම් ප්‍රජාවට යම් හිත් රිදවීමක් සිදුවූයේ නම් ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන බවයි. ඒ කෙසේ වෙතත්, විත්තිකාර භික්ෂුව මාධ්‍ය සාකච්ඡාවේදී භාවිත කර ඇති වචන අතපසුවීමකින් හෝ වැරදීමකින් නොව හිතාමතාම ද්වේෂසහගත ලෙස වෙනත් ආගමක් සම්බන්ධව සිදු කළ වෛරී ප්‍රකාශයක් බවට පෙනී යයි. භික්ෂුවක් ජාතික ආගමික සංහිඳියාවට මෙන්ම සහජීවනයට හානිවන අයුරින් නොහැසිරිය යුතුයි. මෙවැනි ප්‍රකාශ හේතුවෙන් රට තුළ ජාති ආගම් භේද වුවද ඇතිවිය හැකියි” යනුවෙනි.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු චුදිත හිමියන් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යෑමට බන්ධනාගාර නිලධාරීහු කටයුතු කළහ.
පසුව ඉකුත් 03 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් යොමු කළ ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා ඉල්ලා සිටියේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හරින ලෙසය. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත්ව නැතැයි සඳහන් කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
මෙම ඇප ඉල්ලීම සම්බන්ධ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විශාල භික්ෂූන් වහන්සේ පිරිසක් කොළඹ මහාධිකරණයට පැමිණ සිටියහ.
නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිමිනම වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කර සිටියේ, තම සේවාදායකයාට එරෙහිව සිරදඬුවම් නියම කරමින් ප්‍රකාශයට පත් කළ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ අතර, එම පෙත්සම විභාගයට ගෙන තීන්දුවක් ලබා දෙනතුරු උන්වහන්සේ ඇප මත මුදාහරින ලෙසය. “මගේ සේවාදායකයාට නියම කර ඇති වසර හතරක සිරදඬුවම බන්ධනාගාර රෙගුලාසිවලට අනුව වසර දෙකකුත් මාස හතරකින් අවසන් වෙනවා. මෙවැනි අවස්ථාවකදී උන්වහන්සේට ඇප ප්‍රදානය කිරීමට හැකියාවක් අධිකරණයට තිබෙනවා. අභියාචන පෙත්සමක් විභාග කර තීන්දුවක් දීමට සාමාන්‍යයෙන් වසර තුනක් හෝ හතරක ගත වීමට හැකියාවක් තිබෙනවා. එවැනි කාලයක් විත්තිකරුවකු රක්ෂිත භාරයේ තැබීම යුක්තිසහගත නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඇප පනතට අනුව පුද්ගල නිදහස උතුම් කොට සැලකිය යුතු වෙයි. ඒ අනුව අධිකරණයට පැවරී ඇති අභිමත බලය භාවිත කරමින් තම සේවාදායකයාට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වන විට රෝගී තත්ත්වයෙන් පීඩාවිදින ඥානසාර හිමියන්ගේ එම රෝගය පිළිබඳව සැලකිල්ල ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.” යැයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කළ රජයේ නීතිඥ ලක්මාලි දිසානායක මහත්මිය සඳහන් කර සිටියේ, “මෙම හිමියන්ට අසනීප තත්ත්වයක් තිබෙනවා කියලා කියනවා.
නමුත් උන්වහන්සේට ඇත්තේ බන්ධනාගාර රෝහලෙන් ප්‍රතිකාර ගන්න බැරි තරම් බරපතළ රෝගයක් ද කියලා පැහැදිලි කරලා නැහැ. මේ හේතුවෙන් උන්වහන්සේ ඇප ඉල්ලන්න මේ රෝගී තත්ත්වය සුවිශේෂී කරුණක් කියලා පිළිගැනීමේ හැකියාවක් නැහැ” යන්නය.
මෙහිදී අධිකරණය ඇමැතූ මහාධිකරණ විනිසුරුවරයා, “වරදකරුවන්ට ඇප ප්‍රදානය කිරීමට ඇප පනත යටතේ අධිකරණයට හැකියාවක් ඇති බවට කරුණු ඉදිරිපත් කළත්, ඇප පනතේ ප්‍රතිපාදන අදාළ වන්නේ සැකකරුවන්ට හෝ විත්තිකරුවන්ට මිස වරදකරුවන්ට නොවෙයි.
අධිකරණයෙන් වරදකරුවකු වූවකුට ඇප පනතේ ප්‍රතිපාදන අදාළ නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු ගණනාවකම සඳහන් කර තිබෙනවා.
ඇප ප්‍රදානය සඳහා අවශ්‍ය වන්නේ සුවිශේෂී කරුණුයි. මේ පෙත්සමෙන් ඇප ඉල්ලීමේදී සුවිශේෂී කරුණු ඉදිරිපත් කරලා නැහැ.” යනුවෙන් සඳහන් කරමින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
දැන්, තමන්ට ඇපයක් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කිරීම සඳහා ඥානසාර හිමියන් යොමුවිය යුත්තේ අභියාචනාධිකරණය වෙතයි. ඒ අනුව උන්වහන්සේගේ නිතීඥවරුන් මේ වනවිට අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවට ආරංචි මාර්ගවලින් පැවසෙයි.
ඥානසාර හිමියන් පළමුවර බරපතළ වැඩ සහිත සිරදඬුවමකට නතු වූයේ ඉකුත් 2018 වසරේදීය. ඒ, 2016 ජනවාරි මස 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි පැවැත්වෙමින් තිබූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ නඩු කටයුත්ත නඩු කටයුතු විභාග වෙමින් තිබියදී එම අධිකරණ ශාලාව තුළ ශබ්ද නඟා කතා කර කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාසයක් කළ බවට සඳහන් කරමින් එවකට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයට යොමු කළ පෙත්සමකට අනුවය. එහිදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර හයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරිණි. ඒ ඉකුත් 2018 වසරේ අගෝස්තු මස 08 වැනිදාය.
එම නඩුව අභියාචනාධිකරණය හමුවේ වසරකට ආසන්න කාලයක් විභාග වීමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණේ අභියාචනාධිකරණ විනිසුරුවන් වන ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් විසිනි. එහිදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කර ඇති බවට තීන්දු කළ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විත්තිකාර හිමියන්ට වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඬුවම වසර 06කින් ගෙවී යන ලෙසින් නියම කර තිබිණ.
එහිදී විත්තිකාර හිමියන්ට එරෙහිව නඟා තිබූ චෝදනාව වූයේ නිසි අවසරයකින් තොරව අධිකරණයේ කටයුතුවලට බාධා වන අයුරින් අධිකරණයේ ආධිපත්‍යයට, ගරුත්වයට, අභියෝග කිරීමෙන්, අගෞරව කිරීමෙන්, අවමන් කිරීමෙන් යන යුක්තිය පසිඳලීමට අධිකරණයට ඇති බලය අනර්ථකාරී ලෙස හැසිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකිරීමය. එවැනි චෝදනා හතරක් උන්වහන්සේට එරෙහිව නඟා තිබුණි.
මෙලෙස බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූ ඥානසාර හිමියන් ඉකුත් 2019 වසරේ මැයි මස 23 වැනිදා එවකට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනපති සමාව ලබාදී නිදහස් කළේය.
කෙසේ වෙතත්, උපරිමාධිකරණ ඉතිහාසයේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට දඬුවම් නියම වූ ප්‍රථම භික්ෂූන් වහන්සේ ලෙස එදා ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඉතිහාසගත වූහ. ජනපති සමාවෙන් නිදහස්ව පැමිණිය ද නැවත වරක් වසර පහකට පසු බරපතළ වැඩ සහිත සිරදඬුවමකට යටත් වීමට උන්වහන්සේට සිදු විය.
නිමන්ති රණසිංහ