Home » මුහුදු මඟ ගැන ඉන්දියාවේ අදහස ලබන සතියේ

මුහුදු මඟ ගැන ඉන්දියාවේ අදහස ලබන සතියේ

by Mahesh Lakehouse
April 6, 2024 12:33 am 0 comment

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් මුහුද හරහා ඉදි කෙරෙන මාර්ගයේ අධ්‍යයනයන් සම්බන්ධ ඉන්දියාවේ මූලික අදහස ලබන සතියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමට නියමිතය. මාර්ගය ඉදිකිරීමේ මූලික අදහස් ඉන්දීය නියෝජිතයන් ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දුන් පසුව එය අධ්‍යයනය කොට ශ්‍රී ලංකා රජයේ මූලික අදහස් ඉන්දීය රජය වෙත යොමු කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙමින් ගොඩබිම් මාර්ගය ඉදි කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජාතික ආරක්ෂක ප්‍රධානී සාගල රත්නායක මහතා ඉකුත් සතියේ ඉන්දියාවේ නිල සංචාරයක නිරතවූ අතර එහිදි ඉන්දීය විදේශ ලේකම් විනායි ක්වත්‍රා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් හා සාකච්ඡාවක නිරත විය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදි කෙරුණු පසු ආනයන – අපනයන කටයුතු මෙන්ම සෙසු කටයුතු වලින් වැඩි වාසියක් ලැබෙන්නේ ශ්‍රී ලංකාවට බව එහිදි ඉන්දීය රජයේ නිලධාරීන් පෙන්වා දී තිබේ.

ලංකාව සහ දකුණු ඉන්දියාව යා කරමින් ගොඩබිම් මාර්ගය ඉදිවූ පසුව දෙරට ආනයන අපනයන සඳහා වැඩි ඉඩක් ලැබෙන්නේ යැයිද ඉන්දියාවේ වෙ‍ෙළඳපොළ විශාල හෙයින් ශ්‍රී ලංකාවට එහි වාසිය අසීමාන්තිකව භුක්ති විඳීමට හැකියාව ඇතැයි රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයෙක් කීය. නැව් මාර්ගයෙන් බඩු භාණ්ඩ ප්‍රවාහනය කරනවාට වඩා මහා මාර්ගය ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනයෙන් ප්‍රවාහන ගාස්තු අඩුවන හෙයින් ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවනු ඇතැයිද රජයේ ප්‍රකාශකයා පැවසීය.

එමෙන්ම සංචාරකයන්ට මෙරටට අඩු වියදමකින් පැමිණීමට හැකියාව ලැබීම, ඉන්දියාව විසින් ඉකුත්දා අත්සන් කෙරුණු මැද පෙරදිග ආර්ථික කොයිඩෝවට ලංකාවටද සම්බන්ධ වීමට හැකියාව ලැබීම, දෙරට අතර විදුලි බල හුවමාරුවට පහසුකම් ලැබීම මෙන්ම පුනර්ජනනීය බල ශක්තිය ආදියෙන් ලංකාවට වැඩිපුර විදුලි බලයක් උත්පාදනය කරන්නට හැකි වුවහොත් එම විදුලි බලය ඉන්දියාවට අලෙවි කිරීමට අවස්ථාව ලැබීම වාසි අතුරින් කිහිපයක් බව රජය පවසයි.

එල්.පී. සුරංග

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division