දේශපාලන ක්ෂේත්රය තුළ පසුගිය සතියේ වැඩිපුරම සිදුවීම් සිදුවූයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මුල් කරගෙනය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දේශපාලන අර්බුදය තවත් උග්‍ර අතට පත්වී ඇත්තේ වර්තමාන සභාපති මෛත්‍රීට එරෙහිව හිටපු සභාපතිනි චන්ද්‍රිකා අධිකරණයට යෑම නිසාය.
ඩාලි පාර උණුසුම් වූ හැටි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හදිස්සියේම පක්ෂයේ රැස්වීමක් පවත්වන ලද්දේ පසුගිය ඉරිදාය. දේශපාලන පිටියේ මේ දිනවල මෛත්‍රීපාල සිරිසේනගේ නම නිතර කියැවෙන හෙයින් මෙවර අල්ලන්නට යන ජල්ලිය කුමක්දැයි සියල්ලෝ උත්සුක වූහ.
විජයදාසත් ඩාලි පාරට
ඩාලි පාරේ ශ්‍රීලනිපයේ මුලස්ථානයේ පැවති විශේෂ රැස්වීම සඳහා ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ සහභාගි වීම හේතුවෙන් පැමිණි සිටි පිරිස වික්ෂිප්ත විය. හිටපු ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ රටේ පවතින දේශපාලන තත්ත්වය හා පක්ෂය පිළිබඳවත් තොරතුරු දැන ගැනීමට විජේදාස ඇමැතිවරයාට ආරාධානා කළ බවය. ආරම්භයේදීම, මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල තම පක්ෂය ජනාධිපතිවරණයට සූදානම් වුවත් පක්ෂයේ අභ්‍යන්තරයේ සිටින දෙපිටකාට්ටු නිලධාරීන් නිසා ප්‍රශ්න ඇති වී තිබෙන බව පවසන්නට පටන් ගත්තේය. මහ ලේකම්වරයාගේ පිළිගැනීමේ කතාව එසේ සිදුකරන විට, පිරිස අතර කසු කුසුවක් ඇති වුයේ “අද කාටද ෂොට් එක දෙන්න හදන්නේ…?’ යැයි කතිකා කර ගනිමිනි.
රනිල්ට උදව් කළ බවට මෛත්‍රී චෝදනා කළේ කාටද?
ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ පක්ෂයේ ප්‍රතිපත්ති පාවා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් දිනවීමට සහාය දෙන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ඇමැති මහින්ද අමරවීර, රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහත්වරු පක්ෂයේ දැනට දරන තනතුරුවලින් ඉවත් කළ යුතු බවය. හිටපු ජනාධිපතිවරයා එය යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ විට ඒ සඳහා සභාව එකඟතාව පළ කර ඇති අතර, ඇමැති නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න මහත්වරු ඊට එරෙහිව අත ඔසවා තිබේ.
ඇමැති මහින්ද අමරවීර, රාජ්‍ය ඇමැති ලසන්න අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඔවුන් දැරූ ජ්‍යෙෂ්ඨ උපසභාපති, භාණ්ඩාගාරික හා ජාතික සංවිධායක යන ධුරවලින් ඉවත් කිරීමට යෝජනාවක් ගෙනැවිත් ඔවුන් තනතුරුවලින් ඉවත් කළ පසු,උප සභාපති ධුරයට මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන ඇමැති, සරත් ඒකනායක, භාණ්ඩාගාරික ධුරයට හිටපු පළාත් සභා මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ සහ ජාතික සංවිධායක ධුරයට මහියංගණය ආසන සංවිධායක කේ.පී. ගුණවර්ධන පත් කර තිබිණි.
ඒ අනුව එම තනතුරුවලින් ඉවත් කිරීමේදී හා අලුත් අය පත් කිරීමේ දී සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් මතු ව ඇති අතර හිටපු ජනාධිපතිවරයා සහ ඇමැති විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා එම තත්ත්වය තුළ රැස්වීම් පරිශ්‍රයෙන් පිටව ගියහ. රට ගොඩ ගැනීමේ බලවේගය ඇත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළ බැවින් ඒ පක්ෂයට රටේ බලය ගැනීමට හැකි ආකාරය ගැන දේශනයක් කළ බව විජේදාස ඇමතිවරයා විශේෂ රැස්වීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.
මෛත්‍රී විජයදාසව ගෙන්වා ගත්තේ ඇයි?
විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා සමඟ මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සම්බන්ධකර ඇත්තේ, හිටපු ජනාදිපතිවරයාගේ හිතවතෙක් සහ ඇමැති විජයදාස රාජපක්ෂගේ මාධ්‍ය ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැනට සේවය කරන නිලධාරියෙකි.
එම රැස්වීමේදී තමන් තනතුරුවලින් ඉවත් කළ පසුව අදාළ මහින්ද අමරවීර ඇමැතිවරයා සහ රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනා මෛත්‍රීට එරෙහිව මාධ්‍ය හමුවක් පවත්වා තමන් මේ ගැටලුව අධිකරණයෙන් බේරා ගන්නා බවට පැවසුහ.
පක්ෂය විසින් ගත් තීන්දුවට එරෙහිව, තනතුරුවලින් ඉවත් කළ පිරිස අධිකරණයට ගියහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරන තනතුරුවලින් ඇමැති මහින්ද අමරවීර රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානයක යන අය ඉවත් කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණය වළක්වන අතුරු තහනම් නියෝගයක්, කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන නිකුත් කළේ එම පැමිණිල්ලට අනුවය.
වැඩේ බකල් වන ලකුණු අතුරු තහනම් නියෝගය සමඟ මෛත්‍රි පිලට දැනී තිබිණි. පක්ෂ අභ්‍යන්තරය යළිත් දෙදරා යන හෙයින් මේ සදහා පිළියම කුමක්දැයි ශ්‍රී ලනිපයේ ජ්යෝෂ්ඨයෝ පිරිසක් වෙනම කතිකා කරමින් උන්හ.
චන්ද්‍රිකා ඩාලි පාර අතට ගනී
මෛත්‍රීපාල සිරිසේනට සභාපති තනතුර අහිමිවීමත් සමඟ කලින් ඔහු විසින් පක්ෂයෙන් ඉවත් කළ පිරිස, එදින සන්ධ්‍යාවේ පක්ෂ මුලස්ථානයට පැමිණ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා මෛත්‍රීට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නට පටන් ගත්තේය. මෙම තත්ත්වය පොහොට්ටුව පිළිබදව කළකිරී සිටින සජබය වටා ඒකරාශි වනු ඇතැයි සදහන් බොහෝ පිරිසක් යළි ශ්‍රීලනිපයට එක්වනු ඇතැයි ආරංචි මාර්ග සදහන් කළේය. ඒ අනුව අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා වැනි ජ්යෝෂ්ඨයන් ද පක්ෂයට නැවත එක්වනු ඇතැයි, ශ්‍රීලනිපයේ බොහෝ දෙනාගේ අපේක්ෂාවය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග තමන්ට වාරණ නියෝගයක් ගනු ඇතැයි කල් තියා දැන සිටි හෙයින්, ඒ සඳහා ඇමැති විජේදාස රාජපක්ෂ ද පටලවා ගැනීමේ අරමුණින් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ඔහුට භාරදීමට කටයුතු කළේ ද යන්නද දේශපාලන කේෂ්ත්‍රයේ කතාබහට ලක්ව තිබුණි.
පාර්ලිමේන්තු විකාශයට හොඳම ටෙලි නාට්‍ය සම්මානය ?
ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් රැයක් දවාලක් නොමැතිව වෙහෙසෙන ජනපති රනිල් කලා ශිල්පීන්ට සම්මාන ප්රදානය කරන උත්සවයන්ට ද යාමට අමතක කරන්නේ නැත. ඉකුත් සතියේ ඔහු කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවැති රයිගම් ටෙලි සම්මාන උලෙළට ද සහභාගී වූයේ එබැවිනි.
සම්මාන උලළේ කළ කතාවේදි හොදම ටෙලි නාට්‍යයට හිමි සම්මානය දිය යුත්තේ පාර්ලිමේන්තු විකාශනයට බව කියද්දී කාටත් සිනහව නතර කර ගැනීමට නොහැකි වූහ.
සජබ මන්ත්‍රී කාවින්දගේ නිවසට ජනපති රනිල් යයි
ඉරුදින සවස ජනපති සජබ මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ නිවසට ගියේ පාස්කු ඉරිදා රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වීමටය. සජබ කෑගල්ල මන්ත්‍රීවරයෙකු හා කුරුණෑගල මන්ත්‍රීවරයෙකු ඊට එක්ව සිටි අතර දේශපාලන, ආර්ථික සමාජ තත්ත්වයන් පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරීණි.
ගාසා ළමා අරමුදලට ජනපතිගෙන් ඩොලර් මිලියනයක්
ගාසා ළමා අරමුදලට ඩොලර් මිලියනයක ප්‍රදානයක් ජනපති විසින් කළ අතර පෞද්ගලික අංශයේ දායකත්වයෙන් මෙම මුදල සොයා ගෙන තිබුණි.
පක්ෂයේ මැයි දින රැළිය ගැන ජනතාව දැනුම්වත් කිරීම වෙනුවෙන් පක්ෂ යොවුන් පෙරමුණේ පැරණි සාමාජිකයන් පිරිසක් යතුරු පැදි පෙළපාලියක් රට පුරා යාමට සංවිධානය කර තිබෙන බව කීවේ මහලේකම්ය. “රනිල්ට ඉඩ දෙන්න” යන තේමාව යටතේ නගරයෙන් නගරයට අනුරාධපුරය දක්වා ගමන් කිරීමටත් එහි සිට මැයි 01 දා දහවල් වන විට මරදාන රැළිය පැවැත්වෙන ස්ථානයට පැමිණිමටත් සංවිධානය කර තිබෙන බව කියැවිණි.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ට සිදුවූ දේශපාලන පළිගැනීම් ගැන සොයා බැලීමට පත් කළ කමිටුවේ කාලය දීර්ඝ කළ බව මහලේකම්ට කීවේ ජනපති රනිල්ය. “අන්න ඔයා කියපු කැබිනට් පේපර් එක දැම්මා. දැන් ඒ කට්ටියට කියන්න ඇවිල්ලා මේකට තොරතුරු දෙන්න කියලා.” ජනපති කීවේ එසේය.
යාලට යන රනිල්ගේ හොඳම යාළුවා
“සර් ගේ යාළුවා තමයි වැඩිපුරම යාල යන්නේ. හැබැයි එතුමා මේ ගැන කතා කරනවා නම් දැකලා නෑ.” එහි සිටි සංචාරක ක්ෂේත්රයේ අයෙක් කීවේ එවැන්නකි.
“ආ ඔව් ඔව් එයාට අපි ලබන අවුරුද්දේ දිගටම එහි ඉන්න විදියක් සලස්වලා දෙනවා. ඊට පස්සේ කතා කරයි.” ජනපති කියද්දී සැවොම කොක් හඬලන්නට වූහ.
බදාදා පෙරවරුවේ ජනපති අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාව වෙත ගියේ බස්නාහිර පළාත් පාසල් වෙනුවෙන් බදවා ගත් ගුරුවරුන්ට පත්වීම් ලිපි ප්රදානය කිරීමටය. මෙලෙස පත්වීම් ගන්නා ගුරුවරුන්ගෙන් පිරිසක් ජනපතිව අපහසුතාවයට පත් කිරීම වෙනුවෙන් වට්ස්ඇප් සමූහයන් හරහා උත්සාහයක නිරතව සිටින බවට තොරතුරු ලැබුණේ ජනපති ලේකම් සමන් ඒකනායකටය.
ඔහු මේ ගැන කිසිවෙකුටත් නොකියා සාවධානව ඇස් යොමු කර සිටියේ වන්නේ කුමක්දැයි දැන ගැනීමටය. ජනපති සභාවට එන විට කිසිවෙකු නොනැඟිට සිටිය යුතු බවට පණිවුඩ දී තිබුණත් එය ඉටු නොවුණි. විපක්ෂ කණ්ඩායමකගේ මෙම උත්සාහය අසාර්ථකවූයේ ඔවුන්ගේ උපදෙස් කිසිවෙකු පිළි නොපැදීම නිසාය.
බදාදා සවස ජනපති මුණ ගැසීමට පැමිණි මැති ඇමැතිවරුන් පිරිසක් ජාතික ජන බලවේගයේ නායකයා හා විපක්ෂ නායක සජිත් අතර ඇති වන්නට යන විවාදය ගැන කතා කළෝය.
“සජබේ කතා කෙළේ ජා. ජ බලවේගයේ ආර්ථික කමිටුවයි එයාලගේ ආර්ථික කමිටුවයි දෙගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරමු කියලායි. හැබැයි දැන් ජා. ජ බලවේගය කියනවා මේ විවාදය කරන්න ඕනේ අනුර හා සජිත් කියලා.” ඇමැති ප්‍රසන්න රණතුංග කීවේ සිනහ මැදය.
සජිත් – අනුර විවාදය ගැන රනිල් කියන්නේ මොනවාද?
“හැබැයි ඉස්සෙල්ලා පක්ෂ දෙකේ ආර්ථික කමිටු කතා කරලා ඉවර වෙලා නායකයෝ කතා කරමු කියලා තමයි සජබ කියන්නේ. ජා.ජ. නම් ඒකට කැමති නෑ.” ඇමැති ශෙහාන් කීවේ එවැන්නකි.
“හැබැයි මේක අනුර හා සජිත් කළොත් ඓතිහාසික විවාදයක් වෙන්න පුළුවන්. මොකද දෙන්නගෙම බර වචන ජනතාවට තේරෙයිද දන්නේ නෑනේ.” මන්ත්‍රී මධුර කී විට සැමට සිනහව නතර කර ගත නොහැකි විය.
“හැබැයි අපේ ජනාධිපතිතුමාගේ කතාව නෑ. වැඩ විතරයි.” ඇමැති මනූෂ කීවේ බර කරමිනි.
ජනපති රනිල් බ්‍රහස්පතින්දා පෙරවරුවේ රත්නපුරය බලා ගියේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ඉදිකළ මැණික් කුලුන විවෘත කිරීමටය. එහිදි චාමර සම්පත් ඇමැතිවරයා ජනපති ලඟට පැමිණ කීවේ සජිත් එක්ක විවාදයට නම් යන්න එපා කියාය.
“මට නෙවෙයි ආරාධනා කරලා තියෙන්නේ අනුරට. මේක විපක්ෂයේ ප්‍රශ්නයක්.” ජනපති කීවේ සිනාසෙමිනි
ජනපතිට හදිසි ඇමතුමක්
රත්නපුරයෙන් පිටත්වීමට සුදානම් වෙද්දී ජනපතිට හදිසි පණිවුඩයක් ආවේය. පණිවුඩය ආවේ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තකගෙනි. එයින් කියැවුණේ ශ්‍රීලනීප සභාපති මෛත්‍රීපාල සිරිසේනට එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලැබුණු බවකි.
ජනපති ඉන් පසුව මහින්ද අමරවීර ඇතුළු ශ්‍රීලනිප ප්‍රබලයන් කිහිප දෙනෙකුම අමතා සිදුව ඇති දේ හා අනාගතයේ වන දේ ගැන විමසා සිටියේය. රත්නපුරයේ සිට ජනපති කාර්යාලයට පැමිණි විගස එහි ගිය දිනිත් ජනපතිට කීවේ ශ්‍රීලනිප සභාපතිත්වයට නම් 3ක් යෝජනා වී ඇති බවය. ඉන් එකක් චන්ද්‍රිකා කුමාරණතුංග වන අතර අනෙක් දෙදෙනා ලෙස නිමල් සිරිපාල හා මහින්ද අමරවීර යෝජනා වී ඇතැයි ඔහු කීවේය.
කෝකිලාට අලි ප්‍රශ්නයක්
විදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරනු ලබන “ජයගමු ශ්‍රී ලංකා” වැඩසටහන පසුගියදා ගම්පහ නගරසභ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
“අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන්න අපි දන්නෙත් නෑ” මන්ත්‍රීනි කෝකිලා කීය. “බය වෙන්න එපා අපේක්ෂකයා කවුද කියල වෙලාවට කියයි.එතකොට හිතේ බය ඇරිල යාවි” ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ආශු හඬ අවදිකළේය.
“හැබැයි ජනාධිපතිතුමා අලියගෙන් ඉල්ලුවොත් තමයි ප්‍රශ්නේ” ඒ කෝකිලාය. “ඔව්.. ඉතිං එහෙම වුණොත් ඔයාලගෙ ලොක්ක අපිට සපෝර්ට් කරන්නෙ නෑ කියල ප්‍රසිද්ධියේ කිව්වනේ. “ආශු කීවේ සිනාසෙමිනි.
නාමල් ගැන ආශු කතා කරයි
“දැන් නාමල් රාජපක්ෂත් ගේමට එනව නේද? එයාට තාත්තගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා.” ආශු කතාව වෙනතකට හැරවීය.
“ඒක තමයි ඔය අපේ සර් කියන්නෙත්. දේශපාලනය කරන කොට වටේ ඉන්න ඇන්ඳිලිකාරයන්ගෙන් බේරෙන්න දැන ගන්න ඕන. එහෙම නොවුණොත් අනාථයි.” ලක්ෂ්මන් ගුණවර්ධනද හඬ අවදි කළේය.
දුම් කෝච්චියෙන් බන්දුල බදුල්ලට
බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් බදුල්ලට දුම්රියක් ධාවනය කිරීමේ ශත සංවත්සරය එළඹියේ අප්‍රේල් පස්වෙනිදාය. මේ නිමිත්තෙන් ප්‍රවාහන අමාත්‍යාංශය සහ දුම්රිය දෙපාර්තමේන්තුව සැමරුම් රැසක් සුදානම් කළේය. වැඩසටහන ආරම්භ වුයේ පස් වෙනිදා උදැසන කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙනි.
කොටුවේ සිට නානු ඔය බලා දුම්රියක් ගමන් කරමින් බ්‍රිතාන්‍යයන්ගේ බදුලු දුම්රිය ගමන යළි සිහිපත් කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් ගංගානත් රූබසිංහ මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
1924 වසරේ බදුලු බලා ගිය මුල්ම දුම්රිය ගමන සිහිපත් කරමින් වයිස්රෝයි දුම් කෝච්චිය නානු ඔය සිට බදුල්ල බලා උදැසන එකොළහට පිටත් වුයේ, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙනි. කිලෝමීටර අසූ හතරක ගමන් මඟක් ගෙවා යන එම ගමන සදහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට, අතිරේක ලේකම් කැලුම් විජේනායක, දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ ඩබ්.බණ්ඩාර, තැපැල්පති රුවන් සත්කුමාර, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති ප්‍රසාද් සමරසිංහ, නියෝජ්‍ය තැපැල්පතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු විශාල පිරිසක් එක්ව සිටියෝය. නානුඔය දුම්රිය ස්ථානයේදී වසර සියයක මතකය සිහිපත් කරමින් ඇමති ආචාර්ය බන්දුල, සිහිවටන ඵලකයක් නිරාවරණය කරන ලද්දේ විශාල ජනකායක් මධ්‍යයේය. වසර සියයේ සංවත්සරය සඳහා පැමිණෙන දුම්රිය නැරඹීම පිණිස පාසල් දරු දැරියෝ විශාල පිරිසක් ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට පැමිණ සිටීම මෙහි විශේෂත්වයක් විය.
නාමල් වහෙන් ඔරෝ කීවේ මොකක්ද?
පසුගිය සතියේදී නාමල් රාජපක්ෂට පොහොට්ටුවේ ලොකු පුටුවක් ලැබිණි. එ් පොහොට්ටුවේ ජාතික සංවිධායක ධුරයයි.
කෙසේ වෙතත් නාමල් ඉස්සෙල්ලාම තංගල්ලෙන් වැඩ ආරම්භ කළේ හම්බන්තොට දිස්ත්‍රික් සම්මේලනය පවත්වමිනි. මීට විසිදහසකට අධික පිරිසක් සහභාගී වී සිටියහ. මෙම හම්බන්තොට දිස්ත්‍රික් පක්ෂ සම්මේලනය සංවිධානය කිරීමේ නායකත්වය දුන්නේ රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක වූ අතර පොහොට්ටුවේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ආසන සංවිධායකවරු බැහැලම සංවිධාන කටයුතු සිදු කළහ. අවසානයේදී නාමල් පොහොට්ටුවේ ප්‍රධාන සංවිධායක වී කළ පළමු රැස්වීමම හිට් එකක් වී ඇති බව දේශපාලන කරළියේ කතා බහකට ලක්වීමද කැපී පෙනිණ. තංගල්ල රැස්වීමේ නාමල් සියලු දෙනාටම වහෙන් ඔරෝ පොඩි මතක් කිරීමක් කළේය. එය දේශපාලන පොඩි ශොට් එකකි. “ අපේ තාත්ති ඒ කියන්නෙ මහින්ද රාජපක්ෂගෙ තමයි ඔය ලක්ෂ හැට නවය ඡන්දය. මහින්ද මහත්තයා නැත්තම් ගොඩක් අයට පාර්ලිමේන්තු එන්න බැරිවෙනවා. “ ලෙස නාමල් මෙහිදී පැවසීය.
මහින්දට ඉහළ පිළිගැනීමක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රැස්වීම් භූමියට පැමිණෙන විට ජනතාව ඔහුව පිළිගන්නට පොරකන්නට විය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සියලුම දෙනා හා කතා කිරීමට අමතක නොකළේය. අතිවිශාල ජනකායක් සහභාගී වූ මෙම ජනරැලිය නාමල්ගේ ජනාධිපතිවරණ කැම්පේන් එක යැයි බොහෝ දෙනා පැවසූහ. නාමල් ඊට කෙළින් පිලිතුරක් ලබාදුන්නේ නැත.
සජිත්ගේ වැඩි අවධානය
විපක්ෂ නායකතුමා පසුගියදා තමන්ගේ දේශපාලන වැඩ කටයුතු ආරම්භ කළේ සමගි වනිතා බලවේගයේ බදුලු දිස්ත්‍රික් සමුළුවට සහභාගි වෙමින්ය.
එහිදී විපක්ෂ නායකතුමා සඳහන් කළේ , කාන්තාවන්ගේ සහභාගීත්වය ලබා ගැනීමට සහ අයිතීන් සුරක්ෂිත කිරිමට ස්ථාවර කාන්තා ජනාධිපති කොමිසමක් ඇති කරන බවයි.
සමගි ජන බලවේගය කාන්තා පරපුරට මුල්තැන ලබා දුන්නේ අද ඊයේ නෙවෙයි 2019 ජනාධිපතිවරණයේ දී කාන්තාවන් වෙනුවෙන් වෙනමම ප්රඥප්තියක් ඉදිරිපත් කළ බව කී විපක්ෂ නායකතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් කීවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් තුළට කාන්තාවන්ගේ සහ ළමුන්ගේ අයිතිවාසිකම් ඇතුළත් කරන ව්‍යවස්ථා සංශෝධනයක් සමගි ජනබලවේග රජයක් තුළින් ගෙන එන බවයි.
වජිර දිස්ත්‍රික්ක හතරක බරටම වැඩ
එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනට පසුගිය සතිය තරමක් කාර්යබහුල සතියක් විය. මක් නිසාද යත් මැයි පළමු වෙනි දිනට එක්සත් ජාතික පක්ෂය විසින් පැවැත්වීමට සූදානම් කර තිබෙන මැයි දින රැලියේ සංවිධාන කටයුතු වෙනුවෙන් වජිරට තමන්ට බාරදී තිබෙන රත්නපුර, හම්බන්තොට, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් මුණ ගැසී ඔවුන් සමඟ මැයි දිනය පිළිබඳ සාකච්ඡා කිරීමට තිබුණු නිසාවෙනි.
“ දැන් බලන්නකෝ බංකොලොත් වුණු රට. මම ඒ කාලේ බැණුම් අහගෙන ඒකයි අර කිව්වේ පාර්ලිමේන්තුව වහලා දාන්න කියලා. තනි රනිල්ට රට භාර දෙන්න කිව්වේ. එතුමාට කවුරුවත් උපදේශකවරු ඕන නෑ. එතුමාට මුදල් ගැන කියලා දෙන්න බෑ කාටවත්, එතුමට ලෝකයේ ආර්ථිකය ගැන කාටවත් කියලා දෙන්න බෑ, එතුමාට කිසි දෙයක් කාටවත් කියලා දෙන්න බෑ. එතුමා ඒ සියල්ල නියමාකාරයෙන් අධ්‍යයනය කරලයි තිබෙන්නේ “යනුවෙන් වජිර අබේවර්ධන පැමිණි පිරිසට පැවසීය.
අජිත් රාජපක්ෂට PPL ප්‍රසාදය
රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙවර පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයේ වාර්ෂික ක්‍රිකට් තරඟාවලිය සඳහා අනුග්‍රාහකයෙකු සොයා ගැනීමට දුෂ්කර වූ අතර මෙම ආරංචිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂට ද සැලවීය.
පාර්ලිමේන්තු ක්‍රීඩා සංගමයේ නිලධාරීන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා හමු වී අනුග්‍රාහකයෙකු ක්‍රිකට් තරඟාවලියට සොයා ගැනීමට අපහසු බව දැනුම් දෙමින් ඉල්ලා සිටියේ කෙසේ හෝ ක්‍රිකට් තරඟාවලිය සඳහා පූර්ණ අනුග්‍රාහකයෙකු සොයා දෙන ලෙසයි.
පාර්ලිමේන්තු ක්‍රීඩා සංගමය විසින් සංවිධාන කරනු ලබන ක්‍රිකට් තරඟාවලියට අනුග්‍රාහකයෙකු ගැන කල්පනා කරන විට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂට මුලින්ම මතකයට පැමිණියේ ‘සණස’ බැංකුව හා ‘සණස’ රක්ෂණ සමාගමයි.
ඊට හේතුව වූයේ සණස නිර්මාතෘ පී. ඒ. කිරිවන්දෙනියයි. නියෝජ්‍ය කථානායකවරයා මෙම අවශ්‍යතාවය පිළිබඳව ‘සණස’ නිර්මාතෘ පී. ඒ. කිරිවන්දෙනියව දැනුම්වත් කිරීමට පියවර ගත්තේය.
ඒ ගැන දෙසැරයක් නොසිතූ පී. ඒ. කිරිවන්දෙනිය විසින් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයාට දැනුම් දෙන ලද්දේ මෙම ක්‍රිකට් තරඟාවලියේ පූර්ණ අනුග්‍රහය ‘සණස’ රක්ෂණ සමාගම විසින් භාරගනු ලබන බවයි.