– 71 කැරැල්ලෙදි මැතිනිය බේරෙන්නෙ ඔහු නිසා
– මම විශ්වාසෙට ඔක්කොම කිව්වෙ ජේ. ආර්. ජයවර්ධනට. එතුමා තමයි කිව්වෙ පොලිසියට ඔක්කොම කියන්න කියලා
– 88-89 භීෂණ සමයෙදි පොලිසිය වගේම මිනිස්සුත් එඩිසන්ට කිව්වෙ ගඩාෆි කියලා
ජනතා විමුක්ති පෙරමුණ රටේ බලය අල්ලන්නට කැරලි දෙකක් ගැසුවේය. ඒ අතරින් කුලුඳුල් කැරැල්ල ඔවුන් දියත් කරනු ලබන්නේ 1971 වසරේ අප්‍රේල් 05 වෙනිදාය. එම කුලුඳුල් කැරැල්ල දියත් කර වසර 53ක් මේ වන විට ගෙවී හමාරය. ජවිපෙ රාජ්‍යයක් ගොඩනැඟීමට එදා ජවිපෙ කැරැල්ල සැලසුම් කරනු ලබන්නේ පොලිස් ස්ථාන 92කට එකවර පහර දී පොලිස් බලය අත්පත් කර ගනිමින් එවකට රාජ්‍ය නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියව ඇය පදිංචි ව සිටි රොස්මිඩ් පෙදෙසේ පිහිටි රොස්මිඩ් බංගලාවෙන් පැහැර ගෙන සිය ග්‍රහණයට ගෙන රටේ බලය අල්ලන්නටය. ඒ අය විශ්වාස කරනු ලැබුවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පැහැර ගැනීමත් සමඟ රටේ බලය ඔවුන්ට ලැබෙනු ඇතැයි කියාය. ජවිපෙ නායකයන් වැඩි ශක්තියක් යොදවා තිබුණේ ඒ සඳහාය. මැතිනිය පැහැර ගැනීමේ කණ්ඩායමේ සිරී අයියා යැයි එකල හඳුන්වනු ලැබූ පසුකාලයේ ජවිපෙ නායකත්වය දැරූ සෝමවංශ අමරසිංහ ද සිටියේය. ඔහුට පැවරී තිබුණේ රොස්මිඩ් බංගලාවෙන් පැහැර ගන්නා මැතිනියව පැහැරගෙන යන වාහනය පදවන රියැදුරා වන්නටය.
මැතිනිය පැහැරගෙන ගොස් රටේ බලය අල්ලන්නට හැදූ ජවිපෙ 71 කැරැල්ල එදා මුළුමනින්ම අසාර්ථක වන්නේ මැතිනිය අල්ලන්නට සිටි කණ්ඩායමේ සාමාජිකයෙක් වූ පාසල් ශිෂ්‍යයෙක් නිසාය. ඔහු නොවන්නට එදා ජවිපෙ රට අල්ලා හමාරය. ඇතැම් විට අදටත් පවතින්නට ඉඩ තිබුණේ ජවිපෙ ආණ්ඩුවකි.
ජනතා විමුක්ති පෙරමුණට අනුව එම සිසුවා මහා පාවා දෙන්නෙකි. 71 කැරැල්ල පාවා දුන් මහා නරුමයා ලෙස ජවිපෙ අදටත් හඳුන්වන්නේ ඔහුවය. 71 කැරැල්ල පමණක් නොව, පසු කාලයේ ජවිපෙ දියත් කළ දෙවැනි කැරැල්ල පවා මැඬපවත්වන්නට මේ කියන පාසල් ශිෂ්‍යයා දැවැන්ත වැඩ කොටසක් කර ඇති අයෙකි. එසේම නැඟෙනහිරින් අවි එසවූ අන්තවාදී සන්නද්ධ කල්ලි පවා මැඬලීමට ඔහු ලොකු වැඩ කොටසක් දියත් කළේය. පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් ගැන පවා ඔහු බලධාරීන් දැනුවත් කරමින් වැඩි කල් යන්නට මත්තෙන් ඒ අය ලොකු විනාශයක් රටට කරන බව පවා 2009 වසරේදී කියන්නේ මේ කියන සිසුවාය.
ඒ වෙන කිසිවෙක් නොව, එඩිසන් ගුණතිලකය. එහෙත් මේ නමින් අදටත් ඔහුව දන්නෝ සිටී නම් අතළොස්සක් පමණි. ඔහුව රටම ගඩාෆි යැයි කී විටය. ඒ නමින් ඔහු ගැන රටේ නොදන්නෙක් නැති තරම්ය. 71 කැරැල්ලෙන් පසු පොලිස් සේවයට උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස එක්වන ඔහු දේශපාලන වේදිකාවේ පවා නිරන්තරයෙන් කතාබහට ලක්වුණු චරිතයකි. එමෙන්ම ඔහු රටේ මහත් ආන්දෝලනාත්මක චරිතයකි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස පොලිස් සේවයෙන් 2011 වසරේ මාර්තු මස 01 වැනිදා විශ්‍රාම යන එඩිසන් ගුණතිලක මේ වන විට සිටින්නේ ජීවිතයේ සැඳෑ සමය ගත කරමිනි.
“ඔය කාලේ මම මරදානේ තියෙන ශ්‍රී ලංකා විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. ඕඩේ පන්සල කියන්නේ ශ්‍රී ලංකා විද්‍යාලය තිබ්බ පන්සලටයි. ඒ වෙනකොට මම එච්. එස්. සී. කරලයි හිටියේ. හැබැයි ප්‍රතිඵල ඇවිල්ලා තිබුණේ නැහැ. ඒ නිසා ප්‍රතිඵල එනකන් පාසල් ගියා. දවසක් අපිට උගන්නන්ට එන හාමුදුරු නමක් මගේ ගාවට ඇවිල්ලා කිව්වා ඔයාලා වගේ දඟ කොල්ලෝ ඉන්න ඕනේ ජවිපෙ වගේ තැන්වලයි, අපි සටන්කාමීත්වය අරගෙන රටට වැඩක් කරමු කියලා. ඒ කාලේ මම ටිකක් රණ්ඩු සරුවල්වලට බරයි. සටන්කාමීත්වය කිව්වම ඒකට පොඩි ආශාවක් ඇති වුණා. අනික හාමුදුරුවොනේ කියන්නේ ජවිපෙට එකතු වෙන්න කියලා, ඒ් නිසා මම කැමති වුණා ජවිපෙට එකතු වෙන්න. හැබැයි ජවිපෙ කියන්නෙ මොකක්ද කියලාවත් හරිහැටි අවබෝධයක් මට තිබුණේ නැහැ”
අදින් වසර 53කට පෙර රට අල්ලන්න ගිය ජවිපෙ කැරැල්ල අසාර්ථක වීමට මුල්වූ සැබෑ හේතුව ඒ පිටුපස සිටි සැඟවුණු චරිතයක් වන එඩිසන් ගුණතික සිළුමිණ හරහා රටට කියන්නට මුලපුරන්නට වූයේ එසේය.
එකල පාසල් ශිෂ්‍යෙයක්ව සිටියදී එඩිසන් ගුණතිලක මහා දඩබ්බරයෙකි. ඔහුගේ දඩබ්බරකම් කොතරම් දැයි කිවහොත් පාසල්වලින් පවා ඔහුව නෙරපා තිබුණේය. ශ්‍රී ලංකා විද්‍යාලයට ඔහු ඇතුළත් වන්නේ ඔහු අධ්‍යාපනය ලද 7 වැනි පාසල ලෙසින්ය.
“මගේ ගම කඩවත ගෝනහේනයි. තාත්ත එච්. ඩී. ඩැනියෙල්. තාත්තා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ඕවර්සියර් කෙනෙක් ලෙසයි වැඩ කළේ. පවුලේ ඔක්කොම සහෝදර සහෝදරියන් එකළොස් දෙනෙක් සිටියා. සහෝදරයෝ විතරක් 7 දෙනෙක්. මම පවුලේ හත්වෙනියා. 1950 වසරේ ඔක්තෝබර් 25 තමයි මම ඉපදිලා තියෙන්නේ. මුලින්ම මාවත් ඇතුළත් කරලා තිබුණේ කිරිල්ලවල මහා විද්‍යාලයට. එක පාසලක වැඩි කාලයක් මට අධ්‍යාපනය ලබන්න බැරි වුණා. කොල්ලෝ එක්ක රණ්ඩු සරුවල් කරන නිසා ඉස්කෝලවලින් මාව අස් කරනවා. ඒ නිසාම ගෙදර අයට සිද්ධ වුණා මාව අස්කරන හැම වාරයකදීම වෙනත් පාසලකට ඇතුළත් කරන්න. බියන්විල මහා විද්‍යාලය, ගෝනහේන මහා විද්‍යාලය, හේනෙගම මධ්‍ය මහා විද්‍යාලය, දෙල්ගොඩ පිරිවෙන, මරදාන මධ්‍ය මහා විද්‍යාලය (සංඝරාජ විද්‍යාලය) කියන ඔය ඔක්කොම තැන්වලින් අධ්‍යාපනය ලබලා අන්තිමට තමයි මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයට එස්. එස්. සී. කරන්න ඇතුළු වුණේ. පස්සේ එච්. එස්. සී. ත් කළේ ඒ විද්‍යාලයේ. ශ්‍රී ලංකා විද්‍යාලයට ඇතුළත් කරන්න ඉස්සරින් මාව ගෙදරින් එක්කර ගෙන ගියේ ආනන්ද විද්‍යාලයට ඇතුළත් කරන්නයි. එහිදී ප්‍රශ්නයක් ඇති වුණා පාසල් ගොඩකින් මාව අස් කරන්න හේතුව ගැන. පාසල් කිහිපයකින්ම මට එතරම් හොඳ අස්වීම් සහතිකයක් ලබා දීලා තිබුණේ නැති නිසා ආනන්ද විද්‍යාලයට මාව ඇතුළත් කර ගත්තේ නැහැ” ඒ අතීතය එඩිසන් ගුණතිලක මතකයට නඟන්නේ එසේය. එකල එඩිසන් ගුණතිලක ගෝනහේනේ සිට පාසල් එන්නේ බස් රථයෙනි. කොළඹට ඒමට බස් ගාස්තුව සත 15 කි. උදේ හවා කොළඹ ආවේ ගියේ තනිවමය. නිවැසියන්ට ද මහා වදකාරයෙක් වූ එඩිසන් ගුණතිලක ගැන පවුලේ අය පවා එකල වැඩි සොයා බැලිල්ලක් කරන්නට පවා නොගියහ. ජවිපෙට එකතු වීම සඳහා ඔහුට පිරිවෙනේ තරුණ ආචාර්ය හිමිනමකගෙන් ඇරයුම් ලැබෙන්නේ ද එකලය.
“හාමුදුරුවන්ගේ කීමටයි මම ජවිපෙට එකතු වුණේ. ඒත් මට ජවිපෙ පූර්ණ කාලීන සාමාජිකයෙක් වෙන්න අවස්ථාවක් තබා පන්තිවලට සහභාගි වෙන්නත් අවස්ථාවක් ලැබුණේ නැහැ. දවසක් හාමුදුරුවෝ මාව එක්කරගෙන ගියා කැලණියේ පැත්තේ පන්සලකට. එතැන ජේ.වී.පි.යේ තැනක්. හත් අට දෙනෙක්ම හිටියා. මම විතරයි ශ්‍රී ලංකා විද්‍යාලයෙන් එතනට ගිහින් හිටියේ. හිටපු හැමෝම තරුණයෝ. ඒ අයට හාමුදුරුවෝ මාව හඳුන්වලා දුන්නා. දින දෙක තුනකට පස්සේ කැලණියේ පන්සලේදී හඳුන ගත්තු අයෙක් මාව සොයාගෙන ශ්‍රී ලංකා විද්‍යාලයට ආවා. එයා කීවා දැන් පන්ති පවත්ව පවත්ව ඉන්න කාලයක් නැහැ. එකපාරටම තීරණය කරල ගහන්න කියලා. මට එයා කිව්වා තියෙනව නම් මුදල් එහෙම අරගෙන පහු වෙනිදා උදේ අට වෙනකොට එන්න කියලා.”
මේ සිදුවීම් පෙළට අදාළ දින වකවානු එඩිසන් ගුණතිලකගේ මතකයේ හරිහැටි නැතත් යාන්තමට ඔහුගේ මතකයේ ඇති ආකාරයට ඒ හැත්තෑ එක වසරේ අප්‍රේල් මාසයේ දෙවැනිදා හෝ තුන්වෙනිදා යන දිනවලින් එක් දිනයකි.
විද්‍යෝදය සරසවියේ සංඝාරාමයට රැස් වූ ජවිපෙ දේශපාලන මණ්ඩලයේ නම දෙනා එදා කැරැල්ල දියත් කරමින් පහර දෙන්නට තීරණය කරන්නේ අප්‍රේල් 04 වෙනිදාටය. පියතිලක, ලයනල් බෝපගේ, ජයදේව උයන්ගොඩ, රංජිත් කුරුකුලසූරිය, සුනන්ද මහේන්ද්‍ර, සුසිල් වික්‍රම යන හය දෙනා පහර දීමට පක්ෂවත් සනත්, කරුණාරත්න සහ ලොකු අතුල පහර දීමකට විරුද්ධවත් සිය මත ප්‍රකාශ කළත් අවසානයේදී බහුතර මතයට අනුව තීරණය කරන්නේ පහරදී ජවිපෙ ආණ්ඩුවක් කැරැල්ලකින් බිහි කරන්නටය.
එඩිසන් ගුණතිලකට ජවිපෙ පන්තිවලට සහභාගි වීමට තිබුණු අවස්ථාව අහිමි වන්නේ ඒත් එක්කමය.
” එදා මට ඒ ගැන සැකයක් ඇති වුණා. දන්න කාටහරි මේ ගැන කියන්න ඕනේ කියලා හිතුණා. මතකයට එක්වරම ආවේ ජේ. ආර්. ජයවර්ධන මහත්තයාව, ඒ කාලේ ජේ. ආර්. ජයවර්ධන මහත්තයා විපක්ෂ නායකයා. මම එතුමාව හොඳට දන්නවා. ඡන්ද කාලෙට එතුමා අපේ ගෙදර එනවා. අපේ තාත්තත් එක්කයි දේශපාලනය කළේ. අපිවත් හොඳට දන්නවා. මාස හයකට, අවුරුද්දකට වරක් ජේ. ආර්. ජයවර්ධන මහත්තයා බලන්න ගෙදර පවා අපි යනවා. අනික ඔය කාලෙ මහරයි කැලණියෙයි එජාප තරුණ සංවිධායක වෙලා හිටියෙත් මමනේ. ඒ නිසා මාව නමින්ම ජේ.ආර්. ජයවර්ධන මහත්තයා දන්නවා. ඒ ගැන හාමුදුරුවොත් දැනගෙනයි හිටියේ.”
එදා පාසල් විවේක සීනුව නාද වෙනවාත් සමඟ පාසලෙන් පනින එඩිසන් ගුණතිලක කෙළින්ම දිවයන්නේ බොරැල්ල වෝඩ් පෙදෙසේ පිහිටි ජේ. ආර්. ජයවර්ධනයන්ගේ නිවෙසටය. එකල ජේ. ආර්. ජයවර්ධනයන්ගේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත්තේ පසු කාලයේ ලුණු සංස්ථාවේ සභාපති ධුරය පවා දරා ඇති එදිරිසිංහ නම් වූ නිලධාරියෙකි.
“මම ජේ. ආර්. ජයවර්ධන මහත්තයාගේ බංගලාවට ගිහින් එදිරිසිංහට කිව්වා මහත්තයාව හම්බ වෙන්න ඕනේ කියලා. එයත් මාව දන්න නිසා මම ඇවිල්ල ඉන්නවා කියලා ජේ. ආර්. ජයවර්ධන මහත්තයට කිව්වා. ඒ එක්කම ගේ ඇතුළෙ ඉඳන් එතුමා එළියට ආවා. මම සියලු විස්තරේම එතුමාට කිව්වා. ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙච්ච රජයක් බලහත්කාරයෙන් ගන්න කිසිවකුට ඉඩ දෙන්න බැහැ කියලා ඒත් එක්කම එතුමා කිව්වා. දරුවෝ බය නැතුව යන්න, පොලිසියට හැමදෙයක්ම කියන්න කියලා කියලත් කිව්වා.
එතුමත් මේ ගැන පොලිසියට දන්වනවා කියලත් මට කිව්වා. ඒත් එක්කම එතුමා මට කිව්වා දරුවෝ ඔයා තව තොරතුරු සොයාගන්න, වෙන්නේ මොනවද කියල මටත් කියන්න කියල කිව්වා. ඒත් එක්කම මගේ හිතට අමුතු ශක්තියක් ආව මේ වෙන්න මොනවද කියලා හොයන්න”
විවේකය අවසන් වීමට මත්තෙන් නැවතත් පාසලට පැමිණෙන එඩිසන් ගුණතිලක කල්පනා කරන්නේ දැන් තමන්ට කරන්නට ඇත්තේ කුමක්දැයි කියාය.
“පහුවෙනිදා උදේ එන්න කිව්වේ වික්ටෝරියා පාක් එකට. ගෙනියන්න තරම් සල්ලි මා ගාව තිබුණේ නැහැ. මම කල්පනා කළා මොනවද දැන් කරන්නේ කියලා. මට හිතුණා මේ ගැන පොලිසි ගිහින් කියන්න. ඉස්කෝලෙ ඇරිලා මම ගියා මරදාන පොලිසියට. රිසව් එකේ හිටපු රාලහාමි අමුතු ලෙවල් එකකයි හිටියේ. මට ඕ.අයි.සී ගාවට යන්න දුන්නේ නැහැ. ඔය වෙලාවේ පොලිසියේ හිටපු අයි.පී. කෙනෙක් මගෙත් එක්ක හිනා වුණා. ඒ මහත්තයා දෙමළ කෙනෙක්, සෙල්වදොරේ කියලා. මම එයාට හැම දෙයක්ම කිව්වා. කතාව ඇහුවම ඒකෙ බරපතළකම එයා දැනගත්තා. එයා මාව කෙළින්ම එක් කරගෙන ගියා ඇච්ලන්ඩ් ටෙරස්වල තියෙන පොලිස් කාර්යාලයට. ඒ. එස්. පී කොන්වන් වීරසිංහට මාව මුණගැස්සුවා. විස්තරය අහල ඒ. එස්. පී. කොන්වන් වීරසිංහ මට කිව්වා කිසි දේකට බය වෙන්න එපා. අපි ඔයාට සල්ලි දෙන්නම්, සල්ලිත් අරගෙන ඔයා හෙට වික්ටෝරියා පාක් එකට ගිහින් හැමදෙයක්ම දැනගෙන කියන්න කියලා.”
පාසල නිමවී නිවෙසට යනවා වෙනුවට පොලිසියට ගිය එඩිසන් ගුණතිලක පොලිසියේ සිට කෙලින්ම යන්නේ වෝර්ඩ් ප්ලේස් හි පිහිටි ජේ. ආර්. ජයවර්ධනගේ නිවෙසටය. ඒ පොලිසියේදී සිදු වූයේ කුමක්දැයි කියන්නටය.
” තියෙන තොරතුරු සේරම පොලිසියට කියන්න, කිසි දේකට බය වෙන්න එපා” ජේ.ආර්. ජයවර්ධනයන්ගෙන් එහිදී ඔහුට ලැබෙන්නේ එවන් ප්‍රතිචාරයක්ය.
“පහුවෙනිදා උදේ මම මරදාන පොලිසියට යනකොට සී.අයි.ඩී. කට්ටියකුත් ඇවිල්ලයි හිටියේ. සරමයි කෝට් එකකුයි ඇඳගත් එක් නිලධාරියෙක් හිටියා. එයා දිසානායක කියලා සාජන් කෙනෙක්. වික්ටෝරියා පාක් එකට මම යන්න උනේ එයත් එක්කයි. මගේ අතට රුපියල් දහකුත් ලැබුණා. මම ඒකත් සාක්කුවේ දාගෙන සාජන් දිසානායකත් එක්ක වික්ටෝරියා පාක් එකට ගියා. ජේවීපී එකේ විස්සක් තිහක් විතර එතනට ඇවිල්ලා හිටියා. රැස්වීම පටන් ගන්න කලින් කලබලයක් ඇතිවුණා. පොලිසිය අපිව වට කරලා කියලා කෙනෙක් කෑ ගැහුවා. හැමෝම දුවන්න ගත්තා. මාත් එක්කෙනෙක්ගෙ පස්සෙන් දුවන්න ගත්තා. කැම්බල් පාක් එක මැදින් ඇවිත් වනාතමුල්ලටයි එයා ආවේ. මම එයාගේ පස්සෙන්ම හිටියා. මට හිතෙන්නේ එදා අප්‍රේල් 3වැනිදා කියලයි. එයා මාවත් අරගෙන ගියේ වනාතමුල්ලේ ගෙදරකටයි. ඒ ගෙදර කවුරුත් හිටියේ නැහැ. පස්සේ රේල් පාර දිගේ එයාගේ පස්සෙන්ම මම ගියා. මම එයාව අතඇරියේ නැහැ. බොරැල්ල ටවුමට ආවා. එයා කිව්වා බඩු වගයක් ගන්න ඕනේ කියලා. ඒ වෙලාවේ මගේ අතේ තිබ්බ දාහෙන් පන්සියයක් එයාට දුන්නා. පෙට්‍රල් ඩීසල් ඇතුළු බඩු වගයක් ඒකෙන් එයා අරගත්තා. මට කිව්වා හවස පහයි තිහට මරදාන පොලිසිය ඉස්සරහ තියෙන මුස්ලිම් හෝටලේ ගාවදි හම්බ වෙන්න කියල. අද ගෙදර යන්න එපා කියලත් කිව්වා.
මම කෙළින්ම මරදාන පොලිසියට ඇවිත් ඒ ගැන සෙල්වදොරේ මහත්තයට කිව්වා. පස්සෙ එයාට කියලා ජයවර්ධන මහත්තයටත් කෝල් එකක් අරගෙන සියලු දේවල් ගැන දැනුවත් කළා. මට ගෙදර නොයා ඉන්න විදිහක් නෑ, ගෙදර අය බය වෙන්න පුළුවන්. ඒ නිසා මම ඒ ගැනත් ජේ. ආර්. ජයවර්ධන මහත්තයාට කිව්වා. එතුමාගේ උපදෙස් මත පොලිසියෙන් කෙනෙක් එදා අපේ ගෙදරට ගිහින් ලොකු අයියට කියලා තිබ්බා මම එදා ගෙදර එන්නේ නැති බව. ඒ වෙනකොට මගේ තාත්තා ජීවතුන් අතර හිටියේ නැහැ. ලොකු අයිය තමයි අපි ගැන සොයා බැලුවේ. පස්සෙ කොන්වන්ට් වීරසිංහ මාව පොලිස්පතිතුමා ගාවට එක් කරගෙන ගියා. ඒත් එතුමා ඒ වෙලාවෙ ඔෆිස් එකේ හිටියේ නැහැ. ඒ කාලේ පොලිස්පති ලෙස සිටියේ රෝසි සේනානායක මහත්මියගේ මාමණ්ඩි ස්ටැන්ලි සේනානායක මහත්මයයි. විස්තරේ එයාට කෝල් කරලා කොන්වන්ට් වීරසිංහ කිව්වා”
ඒ වන විටත් මේ සිදුවන්නේ කුමක්දැයි පැහැදිලි අවබෝධයක් එඩිසන් ගුණතිලකට නොවීය. අඩුම තරමේ පහර දෙන්නේ කාටදැයිවත් ඔහු දැන සිටියේ නැත. පොලිසියට පවා අවශ්‍ය වන්නේ ඒ ගැන එඩිසන් ගුණතිලක මඟින් දැනගන්නටය.මරදාන පොලිසිය ඉදිරිපිට ඇති මුස්ලිම් හෝටලය අසලදී මුණගැසෙන්නැයි කියන්නේ කොළඹ නායකයා වන පියතිලක බව පවා ඔහු දැන සිටියේ නැත. ජවිපෙ දේශපාලන මණ්ඩලයේ ද ඒ වන විටත් පියතිලක සිටි ප්‍රබලයෙකි. පහරදීමකින් රට අල්ලන්නට පක්ෂව සිටි හයදෙනා අතර ද පියතිලක සිටියේය.
” එදා හරියටම සවස පහයි තිහට පොලිසිය ඉස්සරහ හෝටලේ ගාවට පියතිලක ආවා. එයා මාවත් එක්කරගෙන ගියේ කොටහේනේ තට්ටු දෙකේ ගෙදරකට. ඒ ගේ ඇතුළට ගිහින් බිත්තියට හේතු කරලා තිබ්බ ලීයක් අරගෙන ඒකෙන් සොල්දරේට තට්ටුවක් දැම්මා. ඒත් එක්කම සොල්දරේ තිබ්බ දොරක් ඇරල පල්ලෙහාට ඉණිමගක් දැම්මා. අපි දෙන්න දෙන්න ඒකෙන් උඩ තට්ටුවට නැග්ගා. ඒක පොඩි කාමරයක්. ඇඳන් තුනක් තිබුණා. ඇඳන් පිරෙන්න තිබ්බේ බෝම්බ අතුරලා. ඒව කොරියන් බෝම්බ. පත්තු කරලා විසි කරන ජාතියේ ඒවා. ඒ වෙලාවේ මම ඒ කිසිවක් දැනන් හිටියේ නැහැ. පස්සේ තමයි දැනගත්තේ ඒවා බෝම්බ කියලා. ඒ වෙනකොට එතන සෝමවංශ අමරසිංහත් ඉඳලා තියෙනවා. ඒ කාලේ එයාට කියලා තියෙන්නේ සිරි අයියා කියලා. එතැන හය හත් දෙනෙක් හිටියා. පියතිලකගෙන් එක් කෙනෙක් ඇහුව මම කවුද කියලා? එතකොට පියතිලක කිව්වා බය වෙන්න දෙයක් නැහැ, අපේ අයෙක් කියලා. ලොකු අතුල මගේ අම්මගේ පැත්තෙන් ඉතා ළඟ ඥාතියෙක්. ඒ නිසා ඒ අයට මා ගැන දැඩි විශ්වාසයක් තියෙන්නත් ඇති කියලා හිතෙනවා. ඒ වෙලාවෙ එයාලා කතා වුණා රෑ එකොළහට රොස්මිඩ් ප්ලේස් එකට පහර දීලා සිරිමාවෝ මැතිනිය පැහැරගන්න එක ගැන. එතුමියගේ ආරක්ෂාවට ඉන්න පොලිසියයි හමුදාවේ අයගෙන් බය වෙන්න දෙයක් නැහැ, ඒ අය අපිට සහයෝගය දෙනවා කියලත් කිව්වා. ඔයාලා ගහගෙන ඇතුළට යනකොට පොලිසියයි හමුදාවයි එතනින් ඉවත් වෙන බවත් කිව්වා. අපේ සහයට බොරැල්ල ලිඩෝ එක ගාවින් තවත් කට්ටියක් එකතු වෙන බවකුත් කිව්වා. මම මේ ඔක්කොම අහගෙන හිටියා. මට ඒ වෙලාවේ ලොකු බයක් ඇති වුණා. මේ සූදානම් වෙන්නේ රටේ නායිකාව අල්ලන්න නේද කියලා? හැබැයි මම බය පෙන්නුවේ නැහැ”
මේ සියලු කතාබහ සිදුවන්නේ ගමන් මලු කිහිපයකට ඇඳන් මත තිබූ බෝම්බ අසුරමිනි. එම බෝම්බ පත්තු කරන්නට ඒ වන විටත් ඔවුහු කොරියන් ලයිටර් තොගයක්ද එහි ගෙනැවිත් තිබුණාය. එම ලයිටර් බෝම්බ සමඟ බෑග්වල ඇතුරුවේය. ඒ එක් ලයිටරයක් හොර රහසේ සිය කලිසම් සාක්කුවට එඩිසන් ගුණතිලක දමා ගත්තේ පොලිසියට එය සාක්ෂියක් ලෙස පෙන්වීමටය. ඊට අමතරව එහි කුඩා තරු තොගයකි. එම තරු සූදානම් කර තිබුණේ විප්ලවයේ සාමාජිකයන් හඳුනා ගැනීමේ සලකුණක් ලෙස බෙදා දීමටය. එම තරු කිහිපයක් ද එඩිසන් එතනින් සොරාගත්තේය.
“බෝම්බ පුරවපු, සූට් කේස් එකක් පියතිලක මගේ අතට දුන්නා එයා බෝම්බයක් අතර අරගෙන කිව්වා, හදිසියේවත් පොලිසියට අපිව අහුවුණොත් මම පොලිසියට බෝම්බය ගහනවා, ඔයා පැනගන්න කියලා. මම ඒ වෙලාවේ එයාට කිව්වා ඒක හරියන්නෙ නෑ, මට බෝම්බය දෙන්න මම පොලිසියට බෝම්බේ ගහන්නම් ඔයා පැනලා යන්න, ඔයා පොලිසියට අහු වුණොත් විප්ලවයට ලොකු පාඩුවක් වෙන්නේ කියලා. ඒ කතාවත් එක්ක මා ගැන එයාට තවත් පැහැදුණා. අපි දෙන්න කොටහේනේ ගෙදරින් එළියට එනවාත් එක්කම පොලිස් බයික් එකක් පාරේ එනවා. මම බයිසිකලයට පැන්නා. මට ඕන වුණේ එතනින් පැනලා පොලිසියට හැමදෙයක්ම කියන්න. ඒත් බයිසිකලේ නැවැත්තුවේ නැහැ. කඩාගෙන ගියා. අපි කොටහේනෙන් ටැක්සියක නැඟලා මරදානෙට ආවා. මරදාන සෙන්ට්‍රල් (මධ්‍ය මහා විද්‍යාලය) එකේ කට්ටියක් ඉන්නව කියල පියතිලක කිව්වා. හැබැයි ඇතුළට ගියොත් ආයෙමත් එළියට එන්න දෙන්නෙ නැති බවත් ඔහු කිව්වා. මට තේරුණා ඇතුළට ගියොත් වැඩේ එහෙම පිටින්ම අවුල් වෙනවා කියලා. මම පියතිලකට කිව්වා මගේ බඩු වගේකුයි සල්ලි ටිකකුයි මරදානේ තැනක තියෙනවා, මම ඒකත් අරගෙනම එන්නම් කියලා. පියතිලකට මා ගැන සැකයක් තිබුණේ නැහැ. එයා කිව්වා ඉක්මනට ගිහින් එන්න කියලා”.
එසේ උපක්‍රමශීලිව පියතිලකගෙන් පැනගත් එඩිසන් ගුණතිලක කෙළින්ම යන්නේ මරදාන පොලිසිය ඉදිරිපිට ඇති හෝටලයටය. එම හෝටලයේ තිබුණු දුරකතනයෙන් ඔහු ඇමතුමක් ගත්තේ ජේ. ආර්. ජයවර්ධනයන්ටය.
“එතුමා විස්තරේ අහගෙන ඉඳල කිව්වා අදාළ තැන්වලට මේ ගැන දැනුවත් කරන්නම්. ඔයා මරදාන පොලිසියට යන්න කියලා. මම මරදාන පොලිසියට යනවාත් එක්කම සි.අයි.ඩී. එකේ ඒ. එස්. පී. කේ. එච්. ද සිල්වා කණ්ඩායමක් එක්ක ඇවිල්ලා හිටියා. එයා මාව කාරෙකේ දාගෙන පොලිස් මූලස්ථානයට එක් කරගෙන ගියා පොලිස්පතිවරයාට කතා කරන්න ඕනේ කියලා. එතකොට වේලාව රෑ අටට විතර ඇති. දැන් මාව ගැහෙනවා, මේ විස්තරේ කියනකම් ඉස්පාසුවක් නැහැ. කාරෙක මූලස්ථානයෙන් නවත්තල ඒ.එස්.පී. සිල්වා මාව උඩ තට්ටුවකට එක්කරගෙන යනකොට මම පඩි පෙළේ දුවගෙන උඩට ගියා. ඒ වෙලාවේ පොලිස්පති ස්ටැන්ලි සේනානායක හිටියේ රැස්වීමක. මම කඩාගෙන ඇතුළට ගියා. එතන හිටපු අය මාව උස්සල අරගෙන බිම පෙරළ ගත්තා. ඒ වෙලාවේ ඒ. එස්. පී. සිල්වා පොලිස්පතිතුමාට කිව්වා මේ අහවලා කියලා. එතකොට පොලිස්පතිවරයා මගෙන් විස්තර ඇහුවා. මම හැමදෙයක්ම කියලා ලයිටරෙයි, තරුයි පෙන්නුවා. ඒත් එක්කම එයා මාව එයාගේ කාර් එකට දාගෙන කෙළින්ම ගියේ අරලියගහ මන්දිරයට. ඒ යනකොට මැතිනිය එතන නැහැ. රොස්මිඩ් ප්ලේස් එකේ හිටියේ. පොලිස්පතිවරයා මැතිනියට කෝල් එකක් දුන්න. වැඩි වෙලාවක් යන්න ඉස්සරින් එතුමිය අරලියගහ මන්දිරයට ආවා. ඒත් එක්කම විලියම් ගොපල්ලව ජනාධිපතිතුමත් ආවා. මගෙන් විස්තර ඇහුවා. සියලුම විස්තර මම ඒ අයට කිව්වා.
අද රෑ එකොළහට රොස්මිඩ් ප්ලේස් එකට පහර දෙන බව මම කිව්වා. ඒත් එක්කම හමුදාවයි පොලිසියයි කොටහේනේ ගෙදරටයි මරදානේ සෙන්ට්‍රල් එකටයි ගිහින් ඇවිත් කිව්වා ඒ තැන්වල මුකුත් නැහැ කියලා. මට තේරුණා මොකක් හෝ වැරැද්දක් වෙලා තියෙනවා කියලා. ඒ නිසා මම ඒ අයට කිව්වා මමත් එන්නම් යමු කියලා. ඒ වෙලාවේ මට පොලිස් යුනිෆෝම් එකක් අන්දලා මාව ඒ තැන්වලට එක් කරගෙන ගියා. මරදානේ සෙන්ට්‍රල් එකේ නැහැ කියපු බෝම්බ අන්තිමේදී හම්බ වුණා. බොරැල්ලෙ ලිඩෝ එක ගාවදි පිරිසක් ඇල්ලුවා. පාන්දර පහ වෙනකොට ඔක්කොම ඉවරයි, ගොඩක් අය අල්ල ගත්තා. ආයුධ පවා සොයාගත්තා. ඒ අයව හඳුනා ගන්න ගියේ මම. පොලිස් ඇඳුමෙනුයි ඒ තැන්වලට මාව අරගෙන ගියේ. එදා ඒ අය අතර පියතිලකත් හිටියා. සෝමවංශත් හිටියා කියලා පස්සේ කාලෙක දැනගත්තා.”
එඩිසන් ගුණතිලකිගේ ක්‍රියාකලාපය හමුවේ එදා ජනතා විමුක්ති පෙරමුණේ කුලුඳුල් කැරැල්ල අසාර්ථක වන විට මැතිනිය ඔහුගේ ආරක්ෂාව ගැන කොතරම් විමසිලිමත් වූයේ දැයි කිවහොත් අරලියගහ මන්දිරයේ කාමරයක් පවා නවාතැන් ගෙන සිටීමට ඔහුට වෙන් කර දී තිබුණාය.
“මැතිනිය මගේ ආරක්ෂාව ගැන එදා දැඩි උනන්දුවකිනුයි හිටියේ. මගෙන් එතුමිය ඇහුවා එයාගෙන් මොනවද කෙරෙන්න ඕනේ කියලා. ආරක්ෂාවට රට යවන්නද කියලත් ඇහුවා. ඒත් මගේ කැමැත්ත තිබුණෙ නැහැ රට යන්න. ඒ නිසා මම එතුමියට කිව්වා ලංකාවෙම ඉන්න ඕනේ කියලා. පස්සේ මාව නාරාහේන්පිට පොලිස් බැරැක්කේ මාස හතරක් තියාගෙන හිටියා.
ඒ කාලේ සී.අයි.ඩි.යෙන් මට තෑග්ගක් ලෙස රුපියල් ලක්ෂයක් දෙන්න හැදුවා. මම ඒක ප්‍රතික්ෂේප කළා. මම කිව්වා මම වැඩ කළේ සල්ලි බලාගෙන නෙමෙයි රට ජාතිය බේරා ගන්නයි කියලා. ඔය කාලෙ පොලිස්පති ස්ටැලි සේනානායකගේ සහෝදරයෙක් හිටියා බුද්ධි අංශයේ. එතුමාට කිව්වෙ බෝධිසත්ව කියලා.එයා මට කිව්වා ඔයාගේ ආරක්ෂාවටත් එක්ක පොලිසියට බැඳෙන්න කියලා. පොලිසියට බැඳෙන්න මට පොඩි ආසාවක් තිබුණා. ඒ නිසා එස්. අයි. කෙනෙක් විදිහට බැඳෙන්න ඉන්ටෙව් ගියා. මාව උඩින්ම තේරුණත් දේශපාලනය හරස් වෙලා මාව කැපුවා මම යූ. එන්. පී. කාරයෙක් කියලා. මගේ නම කැපුවේ එස්. ඒ. කේ. සූරියාරච්චි මන්ත්‍රීවරයා. මම ජේ. ආර්. ජයවර්ධන මහත්තයාට මේ ගැන කිව්වා. එතුමා මට කිව්වා ඒ ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් ගේනවා කියලා. ඒත් එක්කම එතුමා මැතිනියට මේ ගැන කියලා තිබුණා. “සූරියාරච්චිට ඕනෙ දේවල් මේ ආණ්ඩුවේ කරන්නේ නැහැ. ඒ ළමයව මම පොලිසියට ගන්නවා“ කියලා මැතිනිය ඒ වෙලාවේ කියලා තිබුණා.“
එඩිසන් ගුණතිලක උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිසියට එක්වන්නේ ඒ අනුවය.1972 වසරේ නොවැම්බර් 02 දාය. එදා ඔහුව එක්කර ගත්තත් පොලිස් පුහුණුව ලබන්නට ඔහුට ඉඩක් ලැබෙන්නේ වසරකට පසුවය. එතෙක් ඔහුට සිදුවන්නේ නාරාහේන්පිට පිහිටි පොලිස් ගරාජයේ රැඳී සිටින්නටය. හිටපු ඇමතිවරයෙක් වන එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන, අල්ලස් කොමසාරිස්වරයෙක් වූ නෙවිල් ගුරුගේ, පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයෙක් වන ගාමිණී සිල්වා එදා ඔහු සමඟ පොලිස් පුහුණුව ලැබූවන් අතර සිටි අයයි.
එඩිසන් ගුණතිලකට මුල්ම පත්වීම ලැබෙන්නේ රඹුක්කනටය. දඩබ්බර මේ තරුණ පොලිස් නිලධාරියා වැඩිකල් නොගොස් පොලිස් දෙපාර්තමේන්තුවේ කැපීපෙනෙන චරිතයක් බවට පත් වූවේය.
ගඩාෆි යැයි ඔහුට කියන්නට මිනිසුන් පටන් ගත්තේ ඒත් එක්කමය. එම නම ඔහුට පටබැඳෙන්නේ 1976 වසරේ නොවැම්බර් 16 වෙනිදා මෙරට පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගි වීමට ලිබියාවේ ජනාධිපති ගඩාෆිගේ පැමිණීමත් සමඟිනි. වඩාත් ඒ නම ජනතාව අතර කියැවෙන්නට ගත්තේ 88-89 භීෂණ සමයේදීය.
“කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ“ ජවිපෙ වත්මන් දේශපාලනය ගැන එඩිසන් ගුණතිලක අදටත් දරන්නේ එවැනි මතයකි.
ගයාන් කුමාර වීරසිංහ