– මගේ ෆැමිලි එක ඉන්න තැනක ඉන්නයි මං කැමැති
– තාත්තා අලුත් සංගීත භාණ්ඩයක් ගත්තම එයාගෙ පරණ එක මට තියාගන්නම දෙනවා මගේ සංගීත අත්තිවාරම වැටුණෙ තාත්ත නිසා
– මගේ ගමන පටන් ගනිද්දිම මේ වගේ සම්මානයක් ලැබුණු එක ආශීර්වාදයක්
– බොහෝ අය හිතුවේ අපි ලංකාව දාලා ගිහින් කියලා නමුත් ලංකාව දාලා යන්න අදහසක් නෑ
සංගීතය විශ්ව භාෂාවකි. කුමන භාෂාවකින් නිර්මාණය කළ ද එය ඕනෑම රටක, ඕනෑම ජන වර්ගයකට රසවිඳීමට හැකි අපූරු හැකියාව එ්බව වඩාත් සනාථ කරයි. පසුගිය දා ශ්‍රී ලාංකේය නාමය ලෝකය ඉදිරියේ නැවතත් දිලෙන්නට වූවේ සංගීතය දේවත්වයෙන් පිදෙන අසල්වැසි ඉන්දියාවෙන් තිළිණ වූ ජාත්‍යන්තර සම්මානයක් නිසාය. ඒ මසක් තිස්සේ ලාංකේය ගීත දර්ශකයේ අංක එකේ පැවැති වින්ඩි ගුණතිලකගේ හඬින් ගැයෙන ‘අයියෝ සාමි’ දමිළ ගීතය වෙනුවෙනි. පොතුවිල් අස්මින්ගේ පද පෙළට සණුක වික්‍රමසිංහගේ මියුරු ස්වර රටාවෙන් නිමවුණු ‘අයියෝ සාමි‘ ගීතය දකුණු ඉන්දියාවේ පැවැති එඩිසන් සම්මාන උලෙළේ Best Sensational Song Of The Year – 2023 ලෙස සම්මානිත විය. එහි උණුසුම වියැකෙන්නටත් මත්තෙන් සණුක වික්‍රමසිංහ 35 වැනි ලක්ස් සරසවිය සම්මාන උලෙළේ 2019 වසරේ තිරගත වූ විජයබා කොල්ලය සිනමාපටයේ ‘සිංගලි නෝනේ’ ගීතය ගායනය වෙනුවෙන් කුසලතා සම්මානයක් හිමිකර ගැනීම ද විශේෂත්වයකි. අද අපේ කතාබහ සංගීත ලෝකයේ පෙරළියක් කිරීමට අනාගත පෙරමඟ ලකුණු පෙන්වන සණුක වික්‍රමසිංහ සහ වින්ඩි ගුණතිලක සමඟයි.
ඔවුන් ලද ජාත්‍යන්තර සම්මානය ගැන අප දැනුම්වත් කරමින්ම සණුක අප හා කතාබහට එක්වීය.
“වින්ඩි ගායනා කළ ‘අයියෝ සාමි’ ගීතයට මෙවර දකුණු ඉන්දියාවේ පැවැති එඩිසන් සම්මාන උලෙළේ Best Sensational Song Of The Year – 2023 විදිහට ජූරියේ සම්මානය හිමි වුණා. මේක දමිළ ගීතයක් නිසා ඉන්දියාවෙ දමිළ ජනතාව අතරේ ගොඩක් ජනප්‍රිය වුණා. ඔවුන්ගේ විශේෂ අවස්ථා සඳහාත් මේ ගීතය යොදාගෙන තිබුණා. ලංකාවේ මාසයක්ම මේ ගීතය ට්‍රෙන්ඩින් වුණා. ඒ වගේම ඩුබායි, කටාර්, අබුඩාබි වගේ රටවලත් ට්‍රෙන්ඩින් ලිස්ට්වල තිබුණා. සංගීතය දේවත්වයෙන් සලකන ඉන්දියාව වගේ රටකින් අපේ ගීතයක් අගය කරල මේ වගේ සම්මානයක් ලැබීම ගොඩක් සතුටුයි. මේ ගීතය රිලීස් කළේ 2022 වසරේ. 2023 මාර්තුවල ලංකාවෙදි ස්ලිම් කන්ටාර් පීපල්ස් අවෝඩ් එකත් ලැබුණා. ඊට පස්සෙ තමයි මේ සම්මානය ලැබුණේ.
මේ වගේ දමිළ ගීතයක් නිර්මාණය කරන්න සිතුවිල්ලක් එන්නෙ කොහොමද?
ඒ වෙලාවෙ මං වින්ඩිට වෙන සිංහල සින්දුවක් හදමින් හිටියේ. කීබෝඩ් එකේ එක එක ටෝන් හොය හොය යද්දි වැටුණ එක ටෝන් එකක් නිසා මං හද හද හිටිය සින්දුව නවත්තල ඒක හදන්න පටන් ගත්තා. මුලින්ම ඒ මෙලඩි එකට කළේ සිංහල සින්දුවක්. පස්සෙ මට හිතුණා මේකට වෙනත් භාෂාවකින් එකක් කළොත් හොඳයි කියලා. ඊට පස්සෙ තමයි පොතුවිල් අස්මින් සහෝදරයට කතා කරල අයියෝ සාමි දමිළ ගීතයේ පද වැල් ලියවගත්තෙ. වින්ඩි හැම ආරකම ගීත ඇහුවට දමිළ භාෂාව ගැන අවබෝධයක් තිබුණෙ නෑ. මටත් පොඩි දැනුමක් තිබුණට කතාකරන්න බෑ. ඒ වෙලාවෙ අස්මින් හිටියෙත් ඉන්දියාවෙ. වට්ස්ඇප් හරහා ඔහු සම්බන්ධ කරගෙන වචන උච්චාරණය කරන විදිහ වින්ඩි හරියටම අහගෙන තමයි ගීතය කළේ.
මුලින්ම සිංහල සින්දුව හැදුවට එළියට දැම්මෙ දමිළ ගීතය. ඒකට හේතුවක් තිබුණද ?
ඔව්. අපි හදපු ගීත දෙකම ඉස්සෙල්ල අපේ ළඟම හිතවතුන්ට අහන්න දුන්නා. එතැනදි හැමෝම වැඩිපුර කැමති වුණේ දමිළ ගීතයට. ඒ නිසා අපි තීරණය කළා සිංහල ගීතය තියාගෙන මුලින්ම දමිළ ගීතය රිලීස් කරන්න. ඒක සාර්ථක වුණා. ලංකාවෙ මාසයක් විතරම ට්‍රෙන්ඩින් වුණා. අයියෝ සාමී කියන එක නිතර කියවෙන වචනයක් බවටත් පත්වුණා. ඩුබායි, කටාර්, අබුඩාබි වගේ රටවලත් ට්‍රෙන්ඩින් ලිස්ට්වල තිබුණා. ඉන්දියාවෙ සාමාන්‍ය ජනතාව අතරේ ගොඩක් ජනප්‍රිය වුණා. ඒ උණුසුමේම අපි සිංහල ගීතයත් රිලීස් කළා.
අයියෝ සාමි ගීතයේ විෂුවල් එක ගැන කතා නොකළොත් ඒක අඩුවක් වේවි?
අනිවාර්යයෙන්ම. ගීතයේ විෂුවල් එකත් ගීතයේ ජනප්‍රියත්වයට හේතුවක් වුණා. ඒක විහායස් ප්‍රොඩක්ෂන් එකක්. අවීරා හෙයාර් ඇන්ඩ් බියුටි, ටුඩෝස් කොනිෆර් ඩිජිටල් සහාය වුණා. විෂුවල් එක විහායස් වෙනුවෙන් ප්‍රසාද් අලුත්වත්තගේ කන්සෙෆ්ට් එකක්. කලින් මගේ වැඩ කිහිපයක්ම කරල තියෙන ඔහු දක්ෂ නිර්මාණකරුවෙක්. විශේෂයෙන්ම කියන්න ඕන අපි මේ ගීතය කළේ කොවිඩ් ඉවර වෙලා රට ලොකු ආර්ථික අර්බුදයක තිබුණු කාලෙක. යන්න එන්න පෙට්‍රල් නෑ. එතනදි අපේ ටීම් එකම ලොකු කැපවීමක් කළා. හැමෝටම ගොඩක් ස්තුතියි. අපේ මවුපියො හතර දෙනාත් හෙවණැල්ල වගේ හැමදේටම අපේ ළඟින් හිටියා.
එඩිසන් අවෝර්ඩ් එකේ උණුසුම යන්නත් කලින් 35 වෙනි සරසවිය සම්මාන උලෙළෙත් ඔබ සම්මානයකින් පිදුම් ලැබුවා. ඒ ගැනත් කියමු?
ඔව්. 2016 මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිර්මාණය කළ විජයබා කොල්ලය සිනමා පටයේ සිංගලි නෝනේ ගීතය ගායනය වෙනුවෙන් කුසලතා සම්මානයක් හිමි වුණා. ඒක මහාචාර්යතුමා රචනා කළ ගීතයක්. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ. මාව විශ්වාස කරල ඒ වගේ අවස්ථාවක් ලබා දීම ගැන ඔවුන්ට ස්තුතිවන්ත වෙන්නත් මං මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම ඒ ගීතයේ රැප් කොටස ගායනා කළේ මගේ තාත්තා සංගීත් වික්‍රමසිංහ. ඒ ගැනත් මතක් කරන්න ඕන.
ඔබේ මෝහිණී ගීතයත් ජනප්‍රිය වුණා. විෂුවල් එකත් ඒකට හේතුවක් වෙන්න ඇති. ගීතයක විෂුවල් එක නිසා ගායකයාට අසාධාරණයක් වෙනව කියල හිතිල නැද්ද ?
මෝහිණී ගීතය තුළ පොඩි ෆැන්ටසි ගතියක් තියෙනවා. මට ඕන කළේ වෙනසක් කරන්න. ඒ වෙනසටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. දැනට අවුරුදු 10-20 අතර කාලෙ තමයි මියුසික් වීඩියෝ කලාව ලංකාවෙ ප්‍රසිද්ධ වුණේ. සෝෂල් මීඩියා ආවට පස්සෙ ගොඩක් දෙනෙක් විෂුවල් පැත්තට යොමු වුණා. මුලින්ම මට ටීවි චැනල්වල අවස්ථාව ලැබුණෙත් මගේ යූටියුබ් නාළිකාවෙ දාපු මගේ සින්දු දැකලා. මගේ පරම්පරාවෙ අයට නිදහස ලැබුණා තමන්ට කැමැති විදිහට ගීත නිර්මාණය කරගන්න.
සින්දුවක් කියන්නෙ අහන දෙයක්නෙ. විෂුවල් එක කියන්නෙ සාමාන්‍යයෙන් ගීතයක හතර වැනි අංගය. පද රචනය, තනුව එහෙම නැත්නම් සංගීතය සහ කටහඬ යන අංග තුන එකතුවෙලා තමයි ගීතයක් බිහිවෙන්නෙ. ඊට අමතර අංගයක් විදිහට තමයි විෂුවල් එක ගැනෙන්නේ. විෂුවල් එක පළවෙනි තැනට එනව කියන්නෙ ගායකයාට පොඩි අසාධාරණයක් වෙනව තමයි. තවත් පැත්තකින් බැලුවොත් ගීතයක් අහද්දි අපේ හිතේ කතාවක් මැවෙනවා. ඒක එකිනෙකාට විශේෂ වෙන්න පුළුවන්. වීඩියෝ එකකින් සාමාන්‍ය කතාව හැඟීම්බර සංවේදී කතාවක් බවට පත්කරල දෙන්නත් පුළුවන්. සින්දුව අහන්නෙ වීඩියෝ එක බලන ගමන් නම් ඒ හැඟීම වෙනස් වෙන්න පුළුවන්. මං හිතන්නෑ ඒක අවාසියක් කියලා. තමන්ගෙ ජීවිත අත්දැකීම් අර වීඩියෝ එකේ ගීතයේ වචන සහ හැඟීම් එක්ක නිකන්ම ගැළපෙන්නත් පුළුවන්. එතකොට ඒක අහන කෙනාගෙ අත්දැකීමක් බවට පත්වෙනවා.
දෙන්නගෙ ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්?
අයියෝ සාමි ගීතයේ විෂුවල් එකේ විතරයි මං පෙනී ඉන්නෙ. වින්ඩියි මායි කරපු ගීත කිහිපයක්ම එන්න තියෙනවා. ඒ වගේම අපි දෙන්න තනියම කරපු ඒවත් තියෙනවා. සමහර ඒවගේ වීඩියෝ එක කරලත් තියෙනවා. ඉක්මනින් රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා.
සණුක- වින්ඩි විවාහය සිදුවෙලත් දැන් ටික කාලයක් වෙනවනෙ.කොහොමද වින්ඩි එක්ක ගෙවන ජීවිතේ?
විවාහ වුණ අලුතම අපි දෙන්නට විදෙස් සංචාර කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒ නිසා බොහෝ අය හිතුවේ අපි ලංකාව දාල ගිහින් කියලා. නමුත් ලංකාව දාල යන්න අදහසක් නෑ. අපි සතුටින් ජීවිතේ ගෙවනවා. හැමදේටම වින්ඩිගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
වින්ඩි ලංකාවෙ හිටිය කෙනෙක් නෙවෙයි. සණුක – වින්ඩි ආදරයට අඩිතාලම වැටුණෙ කොහොමද ?
රූ සඳ රෑ ප්‍රසංගයට මටත් ආරාධනා ලැබුණා. එතැනදි තමයි මුලින්ම අඳුනගන්න ලැබුණෙ. කතාබහ කරද්දි ගැළපෙනව කියල හිතුණා. ටික කාලයක් ගිහින් විවාහය දක්වා යන්න තීරණය කළා.
වින්ඩි කියන්නෙ උපන් දා ඉඳලා විදේශයක හැදුණු වැඩුණු කෙනෙක්. එහෙම කෙනෙක් බිරිය කරගනිද්දි ලංකාවෙ විදිහට ජීවත් වෙන්න හැකිවෙයි ද කියන ගැටලුව මතුවුණේ නැද්ද?
මම වින්ඩිට කැමැති වුණේ එයාට කලාකරුවෙක්ගෙ ජීවිතේ ගැන හොඳ අවබෝධයක් තිබුණ නිසයි. ඒ එයාගෙ අම්ම තාත්තත් කලාකරුවන් වුණ නිසා වෙන්න ඇති. ගොඩක් දුරට ප්‍රසංගවලට සහභාගිවෙලා අපි එන්නෙ එළිවෙලා. රෙකෝඩින්වලට ගියත් නියමිත වෙලාවක් කියන්න බෑ. මට ඒක එයාට අමුතුවෙන් තේරුම්කරල දෙන්න ඕන වුණේ නෑ. ඒ නිදහස තිබුණොත් තමයි හොඳ නිර්මාණ බිහිවෙන්නෙ. අපේ අම්ම අපේ තාත්තට ඒ නිදහස දීල තියෙනව මං දැක්කා. ඒ වගේම වින්ඩිගෙ අම්මත් වින්ඩිගෙ තාත්තට ඒ නිදහස දීල තිබුණා. ලයිෆ් පාර්ට්නර් කෙනෙක් වුණහම ඒ සහයෝගය තියෙන්න ඕන. ඒ වගේම වින්ඩි කියන්නෙ හොඳ ගතිගුණ තියෙන ගෑනු ළමයෙක්. ඒ නිසා ගැටලුවක් නැති වෙයි කියල හිතුණා.
පිය උරුමයෙන් ලැබුණු දායාදය තමයි ඔබ ඔපමට්ටම් කරගෙන ඉදිරියට ගෙනාවෙ?
ඔව්. තාත්ත නිසා තමයි මම සංගීතය දකින්නෙ. ඒ වගේම මම තනිකරම සංගීතයට සම්බන්ධ දේවල්වලට යොමු වුණේ ඔහු නිසා. තාත්තා ගෙදර සින්දු කියන හැටි, හදන හැටි සංගීත භාණ්ඩ එක්ක ගැටෙන හැටි පොඩි කාලෙ ඉඳන්ම මං දැක්කා. තාත්තා අලුත් සංගීත භාණ්ඩයක් ගත්තම එයාගෙ පරණ එක මට තියාගන්නම දෙනවා. මගේ සංගීත අත්තිවාරම වැටුණෙ තාත්ත නිසා. ඔහු මාව ක්ලැසිකල් ගිටාර් ඉගෙන ගන්න අමරනාත් රණතුංග සර් ළඟට යොමු කළා. මට ඉන්නෙ මල්ලි කෙනෙක්. ඔහුටත් ගීත ගායන හැකියාව තියෙනවා. ඒත් ඔහු ඔටෝ මොබයිල් ඉංජිනියර් කෙනෙක් විදිහට ඔස්ට්‍රේලියාවේ රැකියාවක නිරත වෙනවා. 2011 ඉඳන්ම මං වෘත්තිය විදිහට තෝරගත්තෙ සංගීතය. මුලින්ම යාළුවො කීපදෙනෙක් එක්ක ග්ලෝරි සංගීත කණ්ඩායමේ ගයන්න පටන් ගත්තා. ඊට පස්සෙ මගේම නිර්මාණ කරන්න පටන් ගත්තා. අද මං යම් තැනක ඉන්නව නම් ඒ මගේ අම්මයි තාත්තයි නිසා.
රූකාන්ත- චන්ද්‍රලේඛා කියන්නෙත් සංගීතයේ ප්‍රවීණයෝ. ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු?
ඒක නම් වචනයෙන් විස්තර කරන්න බෑ. මුල ඉඳන්ම ලොකු සහයෝගයක් ලබාදෙනවා. අපේ මවුපියො හතරදෙනා හින්ද තමයි අපි අද මේ තත්ත්වෙ ඉන්නෙ. මේ සම්මානෙ ඒ හතර දෙනාටම පිළිගන්වන්න කැමැතියි. ගිය අවුරුද්දෙ අබුඩාබිවල තිබුණු රූ සඳ රෑ ප්‍රසංගයට වින්ඩිගෙ පවුලෙ හැමෝම වගේම මමත් ගායනයෙන් සම්බන්ධ වෙද්දි මගේ පියාත් බේස් ගිටාර් වාදනයෙන් සම්බන්ධ වුණා. කොහොමත් අපි හමුවෙන්න කලින් ඉඳලම රූකාන්ත අංකලුයි අපේ තාත්තයි රෙකෝඩින්වලදි එකට වැඩ කරල තිබුණා.
සණුක කතාවට දක්ෂ වුණාට වින්ඩි කියන්නෙ හරිම නිහඬ චරිතයක්. අද ඇයවත් අපේ කතාවට සම්බන්ධ කරගන්න අවස්ථාව ලැබුණා. ජාත්‍යන්තර සම්මානයක් ලැබීමේ සතුට භුක්ති විඳින ගමන්ම ඇය අප හා කතාවට එක්වූවාය.
ලැබුණු සම්මානය ගැන මොකද හිතෙන්නෙ?
හරිම සතුටුයි. මේක ජාත්‍යන්තර සම්මානයක් නිසා ගොඩක් සතුටුයි. මගේ ගමන පටන් ගනිද්දිම මේ වගේ සම්මානයක් ලැබුණු එක මට ආශීර්වාදයක් කියල හිතෙනවා. හොඳ නිර්මාණ කරමින් සණුකත් එක්ක තව දුර ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් අය අපිට සුබ පතනවා. ඒ හැමෝටම ස්තුතියි.
වින්ඩි ගුණතිලක කියන චරිතය අපට හමුවන්නේ මෑත කාලෙදි. දක්ෂතාව තියාගෙනත් ඇයි හැංගිලා හිටියේ?
පොඩි කාලෙ මං මීටත් වඩා ලැජ්ජයි. මං හැදුණෙ අමෙරිකාවෙ. පාසල් ගියෙත් එහේ. පාසලේදි ගීත ගායනා කරල තියෙනවා. ඒත් ප්‍රසිද්ධ වේදිකාවෙ සින්දු කියලම නෑ. අම්මිල වුණත් වැඩිය දැකල නැහැ මං ගීත ගයනවා.
අමෙරිකාවේ ඉපදුණු, හැදුණු වැඩුණු ඔබට ලංකාවෙදි සණුක හමුවන්නේ කොහොමද?
2015 රූ සඳ රෑ ෂෝ එකේදි තමයි සණුකව මුලින්ම හමුවුණේ. එයත් එදා ගීත ගායනා කළා. එතැනදි තමයි කතා කරල හඳුනගත්තෙ. ඒත් හිත ගිය විදිහ නම් ඇත්තටම මාත් දන්නෙ නෑ. තාත්ති වගේ සින්දු කියන, සින්දු හදන, සංගීතය කරන කෙනෙකුට කැමැතියි කියන එකක් මං ඔළුවෙන් හදාගෙන හිටියා. ඒක නිසා වෙන්න ඇති මං සණුකට කැමැති වෙන්න ඇත්තෙ. එයා මට ලොකු සපෝට් එකක් දෙනවා. අපි දෙන්න වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. මං ඒකට ගරු කරනවා.
කවුරුත් හිතුවෙ වින්ඩි මැරි කරලා ආයෙම අමෙරිකාවට යාවි කියලා. වින්ඩි වැඩිපුර කැමැති ලංකාවෙ ඉන්න ද අමෙරිකාවට යන්න ද?
අපේ අම්මා, තාත්තා වගේම සණුකගෙ අම්මා තාත්තත් අපිට ගොඩක් උදවු කරනවා. පොඩි කාලෙ වගේම තාමත් අපිව කොහේවත් තනියම යවන්නෙ නෑ. එයාල කවුරුම හරි එනවා. සින්දුවක් හදද්දි වුණත් එයාල උපදෙස් දෙනවා. ඒක අපිට ගොඩක් වටිනවා. මගේ ෆැමිලි එක ඉන්න ඕන තැනක ඉන්න මං කැමැතියි. ලංකාව ගොඩක් නිදහස්. ඒ නිසා ලංකාවෙ ඉන්න තමයි වැඩිපුර කැමැති.