– අභී කියන්නේ මම දාපු නමක් නෙමෙයි අවුරුදු 35කට කලින් මගේ තාත්තා මට දාපු නම
– මට ඉන්නේ මාව අහගෙන ඉන්න කැමති යාළුවෝ ටිකක්
– අපි ගයන ලියන වචනවලින් මරණය වෙනුවට මිනිස්සුන්ට ජීවිතය දෙන්න පුළුවන්
– මගේ ඇතුළේ ඉන්න කිවිදිය කතා කරන කෙනා මිය ගිහිං නැහැ ඒ චරිත දෙකම තවම ඉන්නවා
නිස්සාර බැඳීම් ගැන හරි රසට කියන ඈ ආදරේ නීතිය ගැනත් දන්නවද අහනවා. ඇය මතක ලන්තෑරුම් මැද ජීවිතේ ගෙවන හැටි කියා දී භූමියට පණ තියෙන බවත් කියා හැමෝගෙම හිත හීනියට රිද්දා හදවත් ගීතයෙන් සනසනවා. රසට ගයන්නත් රසට ලියන්නත් දන්න ඈ හැමෝගෙම හිත් නොරිද්දා ලස්සනට කතා කරන්නත් දන්නවා. මේ ඒ දඩබ්බර පෙම්වතී අභිෂේකා විමලවීර ගැන කියන කතාවයි.
අභිෂේකා ‘අභී‘ එක්ක ලංකාවේ වටේ යනවා. කොහොමද ලැබෙන ප්‍රතිචාර ?
මේ වගේ කාලෙක තනි පුද්ගලයෙක් විදියට පළාත් නමයකට කොන්සර්ට් එක ගෙනියනවා කියන්නෙ මාර අභියෝගයක්. ඒක පුද්ගල ප්‍රසංගයක් දිනක් දෙකක් ඇතුළත sold out කරනව කියන්නෙ ඊටත් වඩා අභියෝගයක්.
අභී ප්‍රසංගය ඇතුළේ තමයි මම තේරුම් ගත්තේ අපි අපිව කොයිතරම් පරිස්සම් කර ගන්න ඕන ද කියලා. කොළඹ, නුවර, අනුරාධපුර හා ගාල්ල මම අභී ප්‍රසංගය ගෙන යද්දී ලැබුණු ප්‍රතිචාර එක්ක තේරුණා අපි ගයන, ලියන වචනවලින් මරණය වෙනුවට මිනිස්සුන්ට ජීවිතය දෙන්න පුළුවන් කියලා. ඒ වගේ කතා එකක් නෙමෙයි සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ප්‍රසංගයේදි ගයන්නෙත් ඉදිරිපත් කරන්නෙත් මමම නිසා එක දිගට පැය 3ක් හතරක් කතා කරන්න වෙනවා. මිස්ටේක් එකක් වෙන්න බැහැ. කිසිම break එකක් නෑ. ඒත් හරි පුදුමයි කිසිම මහන්සියක් නම්නෑ. කොන්සට් එක ඉවර වෙලා පැය දෙක තුන එළියට යන්න බැරුව ඉන්නවා. ආදරණීය යාළුවන්ගෙ ගේ වචන වලට ඇහුම්කන් දෙන්න ඕන නිසා. එයාලා මට තේරුම් කරනවා අපි අපිව පරිස්සම් කර ගන්න ඕන කියලා. කොන්සට් එක වෙලාවට ඔවුන් කිසිම දේකට ප්‍රතිචාර දක්වන්නෙ නැහැ, අත්පුඩි ගහන්නෙත් නැහැ, මාත් එක්ක සින්දු කියන්නෙ නැහැ. අහගෙන ඉන්නවා. නිසොල්මනේ බලන් ඉන්නවා. මේ ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න පස්සේ මම අභීට කියන්න කියලා පොඩි බොක්ස් එකක් තිබ්බා. එතැනදි තේරුම් ගත්තා මට ඉන්නේ මාව අහගෙන ඉන්න කැමති යාළුවෝ ටිකක් කියලා. මං හරි ආදරෙයි ඔවුන්ගේ ඒ ආදරේට.
ළමා නිවේදිකාවක් විදිහට ජනප්‍රිය වෙලා හිටපු අභී ගායිකාවක් විදිහට නිල අල්ලන්නේ පස්සේ. අල්ලපු නිල හරියට වැඩ කරා කියලා හිතන්නේ නැද්ද …?
මම ළමා නිවේදිකාවක් විදිහට හිටියා. ඒ වගේම අභී කොන්සට් එකේදි මගේ ඇතුළේ ඉන්න කිවිදිය, කතා කරන කෙනා මිය ගිහිං නැහැ, ඒ චරිත දෙකම තවම ඉන්නවා. නිවේදිකාවක් විදිහට මයික් එකක් අරගෙන ගිහිං තව කෙනෙකුගෙන් ප්‍රශ්න අහනවට වඩා වෙන නිවේදක නිවේදිකාවන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න තමයි මට මේ දවස්වල සිදු වෙලා තියෙන්නේ. ඉතිං ඒ ඇතුළේ පොඩි කාලේ හිටපු නිවේදිකාව ඉන්නවා කියලා හැඟෙනවා.
කලාකරුවෙකුට තමන්ගේ අනන්‍යතාවයක් හදා ගන්න ලොකු වෙහෙසක් ගන්න වෙනවා, අභිෂේකා විමලවීර ඒ අනන්‍යතාවය හදාගත් කෙනෙක්. අභිෂේකා අභී කියන නම දැම්මේ ඔබේ දක්ෂතා මාකට් කරන්න පහසු නිසා වෙන්න ඇති..?
අනන්‍යතාවක් හදා ගන්න එක පහසු දෙයක් නෙමෙයි. ඒක නමකට විතරක් කරන්න පුළුවන් දේකුත් නෙමෙයි.
අභී කියන නම මාකට් කරන්න පුළුවන් නමක් වෙලා තියෙනවා නම් ඒකට සෑහෙන මහන්සි වුණා. අභී කියන්නේ මම දාපු නමක් නෙමෙයි. අවුරුදු 35කට කලින් මගේ තාත්තා මට දාපු නම. තාත්තා ඒ නම දාන්න ඇත්තේ මම හරි විදිහට ඒ නම භාවිත කරයි කියලා වෙන්න ඇති. සුහාසිනී අභිෂේකා විමලවීර තමයි මට තාත්තා දාපු නම. හැමෝම ආදරේ, හැමෝම අභී කියල කතා කරන නිසා මගේ බබාගෙ නමෙත් අභී කියල කොටසක් තියෙන නිසා මට හිතුණා ඒක ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියලා.
ලියන්නෝ අත්දැකීම් එකතු කරගෙන ලියන්නේ, අභී එක්ක බොහෝ රසිකයින් අත්දැකීම් බෙදාගන්නවා ඇති, ඒ අත්දැකීම් ඔබේ පද තුළට එකතු කරගෙන තියෙනවා ද?
අත්දැකීම් වගේම අත්විඳීම් භාවිත කරලා නිර්මාණ කරලා තියෙනවා. භූමියට තාම පණ තියෙනවා. දන්නවද ආදරේ නීතිය. නිස්සාර. මතක වගේ ගීත අත්විඳීම්. චන්ද්‍රමණ්ඩලේ, සබදිනී, වැහි කවිය වගේ ගීත මගේම අත්දැකීම්.
ඊළඟට එන ගීතයත් සම්පූර්ණයෙන් මගේම අත්දැකීමක්. ඒත් ඒ ගීතය ලිව්වේ මම නෙමෙයි. මගේ ගීත ඇතුළේ මම නොලියූ ගීත තියෙන්නේ හරි අඩුවෙන්. මේ ගීතයත් ඒ වගේ ගීතයක්. සම්පූර්ණයෙන්ම ඒ මගේ ජීවිත කතාව. ඒ ගීය ලිව්වෙ සුහර්ශනී අක්කා. හැම කොන්සර්ට් එකකටම මම සින්දුවක් රිලීස් කරනවනේ. මේ ගීය ඊළඟ කොන්සර්ට් එකේදි අහන්න ලැබේවි.
කොහොමද මෙච්චර ලස්සනට ලියන්නේ. ඒ සිතුවිලි, අලුත් වචන ඔබේ හැම ගීතයක්ම නැවුම් කරනවා?
මට හරිම සතුටුයි මිනිස්සු හිත නිවා ගන්න මගේ ගීත අහනවා කියලා කිව්වම. ඇත්තටම ලස්සනට ලියනවා නෙමෙයි ලියැවෙනවා කිව්වොත් හරි. ජීවිතේ සමහර කාල තියෙනවා එක වචනයක්වත් ලියැවෙන්නේ නැති. මේ කාලේ මට කවියක්වත් ලියැවෙන්නේ නැහැ. ඒ මම ටිකක් ව්‍යාපාර කටයුතුවලට යොමු වෙලා ඉන්න නිසා. සමහර දවස්වලට රෑට වාඩි වුණාම එක දිගට ලියැවුණු දවස් තියෙනවා. ඒත් මේ දවස්වල ලියැවෙන්නේ නැහැ කිව්වොත් හරි. ඒ වගේ වෙලාවට කලින් ලියූ කවියක් අරන් ෆේස්බුක් දානවා. මම එහෙම කරන්නේ මගේ යාළුවෝ ටික මම ලියනකල් බලාගෙන ඉන්න නිසා. නොලියුවොත් ඔවුන් බණිනවා. යාළුවෝ කිව්වේ මම මගේ රසිකයින්ට.
ලස්සනට ලියන්න පුළුවන් බොහෝ දෙනෙක් පොත් කියවන්න ඇබ්බැහි වූ අය කියලා කතාවක් තියෙනවා. අභිත් එහෙම ද?
පොත් කියවන කතාව හරියට හරි. ලියන අය හැමෝම කියවනවද කියලා මම දන්නෙ නැහැ. හැබැයි මම නම් ඔව්. සම්භාව්‍ය ගණයේ ඒවා විතරක් කියවනවා නෙමෙයි. අතට අහුවෙන ඕනෑම දෙයක් කියවන පුරුද්දක් තියෙන්නේ. බොළඳ නවකතාවක් හරි කියවනවා. ඒවායින් ඕනෑ තරම් දේවල් එකතු කර ගන්න පුළුවන්.
ඔබේ ගීත ඔබමයි ලියන්නේ, ගයන්නේ, තනු නිර්මාණය කරන්නේ. ඔබේ සාර්ථකත්වයට ඒකත් හේතුවක් ද..?
මගේ ගීතවල බහුතරයක් පද මගේ. ගීත කිහිපයක තනුත් මමම නිර්මාණය කරල තියෙනවා. ඊළඟට එන ගීත තුනේ ගීත දෙකක් ලිව්වේ මම නෙමෙයි. මම ම ලියන්න ඕන කියලා රීතියක් නැහැ. ලස්සනට ලියන ලස්සන තනු, පදවැල් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම ගයනවා. ආයුර්වේද වෛද්‍යවරියක් විදිහටත් ගායිකාවක් විදිහටත්, ව්‍යාපාරිකාවක් විදිහටත් කාර්‍යබහුල වෙද්දී මගෙ පවුලට මූලිකත්වය දෙන්න වෙහෙස ගන්නවා.
කාර්‍යබහුල ජීවිතයෙන් ටිකක් ඈත් වෙලා නිදහසේ ජීවත් වුණා නම් කියලා දැනිලා තියෙනවා ද ..?
බබාගේ වයස දැන් අවුරුදු 10ක් වෙනවා. මට පුළුවන් උපරිමයෙන් එයාව හොඳින් බලා ගන්නවා. එයා වෙනුවෙන් ජීවිතේ තව ගොඩක් දේවල් රැස් කරන්න තියෙනවා. මේ ගෙවෙන්නේ එහෙම කාලයක්. ඒ නිසා මේ ජීවිතෙන් ඈත් වෙලා නිදහසේ කාලය ගත කරන්න මට හිතට ඉඩක් දෙන්නෙ නැහැ .
පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී..
කන්න දේ රැස් කරයි කූඹියෝ….
ඔබේ විවාහ ජීවිතයට අවුරුදු 12ක් වෙනවා. ඔබ කලාකාරිනියක් හැටියට සාර්ථක වෙන්න ආදරණීය සැමියත් හේතුවක් නේද?
කලකාරිනියක් හැටියට සාර්ථක වෙන්න විවාහයත් හේතුවක් වුණා. තාත්තා නැතිවීමත් එක්ක මම විවාහ ජීවිතයේ නොහිටියා නම් මගේ ගමන මේ තරම් පරිස්සම් නොවෙන්න තිබුණා.
ආදරේට ඔහු යෝජනා කරද්දී ඔහු දැනගෙන හිටියද ඔබ කලාවට සම්බන්ධ කෙනෙක් කියලා ..?
ඔව්, එතකොටත් මම නිවේදිකාවක් විදිහට වැඩ කරනවා. ඔහු රූපවාහිනීයෙන් මාව දැකලා තිබුණා.
ජනප්‍රිය බිරින්දෑවරුන්ට මුවා වෙලා සමාජගත වෙන්න උත්සාහ දරන ඇතැම් පිරිස අතරේ ඔබේ සැමියා මාධ්‍ය ප්‍රතික්ෂේප කරන කෙනෙක්. ඒ නිසා ඔබේ විවාහය දෙකඩ වෙලා කියලා හිතන අයත් ඉන්නවා?
මගේ සැමියා කලාකරුවෙක් නෙමෙයි. ඔහු ඉංජිනේරුවරයෙක්. කලාකරුවෝ දෙන්නෙක් විවාහ වෙද්දී මාධ්‍යයේ එකට ඉන්න වැඩි ඉඩක් තියෙනවා. ඒකෙ මම කිසිම වරදක් දකින්නෙ නැහැ. එහෙම ඉන්න ඕනේ.
මගේ සැමියා මාධ්‍ය තුළ පෙනී ඉන්න අකැමති කෙනෙක් නෙමෙයි. අපි දෙන්නටම ආරාධනා කරන තැන්වලට ඔහු එනවා. කොහොමත් මම හරිම අඩුවෙන් තෝරා බේරා ගෙන තමයි වැඩවලට යන්නේ. ඒ අතින් මමත් ඔහු වගෙයි. මගේ ප්‍රසංග හැම එකකටම ඔහු එනවා. ඈතට වෙලා බලන් ඉන්නවා. වැඩවලට අනවශ්‍ය විදියට ඇඟිලි ගහන්න එන්නෙ නෑ. අපි සතුටින් ජීවත් වෙනවා. මට ආදරේ කරන පිරිස් මගේ හඬට හා මම ලියන දේටයි ආදරේ කරන්නේ. පුංචි පුංචි ප්‍රශ්න අපි අතරෙත් තියෙනවා. ඒත් අපි ඒවා අනික් පවුල් වගේම විසඳගෙන ජීවත් වෙනවා. පවුල් ජීවිතේ දෙකඩ වෙලා කියල හිතන්න, පතුරවන්න, කතා හදන්න කැමති අපිට ආදරේ නැති අය. අපේ සතුටට අකමැති අය. මගේ යාළුවො නම් එහෙම නෑ. ඔවුන්ගෙන් අපට ලැබෙන්නෙ ආශිර්වාදයම විතරයි. ඉතින් එහෙම හිතන අයට එහෙම හිතාගන්න දීල අපි නම් සතුටින් ජීවත් වෙනවා.
අභී කියන්නේ ලස්සන දුවක් ඉන්න අම්මා කෙනෙක් , ඇයටත් ඔබ වගේ රසට ගයන්න පුළුවන් ඇති?
එයාට සින්දු කියන්න පුළුවන්. මමත් පොඩි කාලේ සින්දු කියන්න ස්ටේජ් එකට නඟින්න බයයි, ලැජ්ජයි. එයත් එහෙමයි. මට හිතෙනවා එයා කැමති නම් ඒ දේට යොමු වෙයි කියලා
සමාජයෙන් ලැබෙන පිළිගැනීම් එක්ක අද අභිෂේකාගේ පියා හිටියා නම් ආඩම්බර වෙයි නේද …?
මොන දේ තිබ්බත් ආපස්සට හැරිලා බලද්දී අපරාදේ කියලා හිතන එකම දේ තමයි තාත්තා නැතිව ජීවත් වීම. නමුත් ඒක තමයි යථාර්ථය. තාත්තා හිටියා නම් මම ගැන ගොඩක් ආඩම්බර වෙයි.
අභිෂේකා විලාසිතා ගැන ප්‍රවේසම් වෙන කෙනෙක් , සමාජයේ පිළිගැනීමට ඔබේ විලාසිතාත් හේතුවක් වෙලා කිව්වොත්,..?
ප්‍රවේසම් වෙනවට වඩා මම හිතන්නේ මගේ ශරීරයට ගැළපෙන විදිහට විලාසිතා කරනවා කියලයි.
මට තියෙන්නේ කෙට්ටු ශරීරයක්. කොටට විලාසිතා කළොත් එය මට කැතයි කියල හිතෙනවා. සාරිය ඇන්දා කියලා සුදු ඇන්දා කියලා ඇඳුමෙන් මිනිස්සු මනින්න බැහැ, ශරීරයේ හැඩය එක්ක මට සාරිය ගැළපෙනවා කියල හිතෙනවා. හැබැයි මහත්තයා නම් කැමති නෑ මම සාරි අඳිනවට. එයා කියනවා සාරියට මම ලොකු පාටයිලු. වයස පාටයිලු. හැබැයි මම ආසයි සාරියට.
සාරිය ඇන්දාම මට මම වගේ හැඟෙනවා…
හර්ෂණී වීරරත්න