සුපිරි නළු ෂාරුක් ඛාන් සහ ඔහුගේ දියණිය සුහානා ඛාන් පළමු වරට එකම චිත්‍රපටයකින් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණීමට සූදානම් වෙනවා. මෙම චිත්‍රපටය දැනට නම් කර තිබෙන්නේ King යන නමින්. නමුත් සමහර විට ඉදිරියේ දී මේ නම වෙනස් වෙන්න පුුළුවන්.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට King චිත්‍රපටයේ රූපගත කිරීම් ලබන මැයි මාසයේ ආරම්භ වීමට නියමිතයි. එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන සුහානා මේ දිනවල තම චරිතය සඳහා සූදානම් වෙමින් සිටින බවත් මාධ්‍ය වාර්තාවල සඳහන්.
මෙම සිනමාපටය වේගවත් ක්‍රියාදාම (Action) ජවනිකාවලින් සමන්විත සිනමාපටයක් බවට ආරංචි පළ වී තිබුණා. එහි ක්‍රියාදාම ජවනිකා තරමක් වෙනස් ස්වරූපයක් ගනු ඇති බවත් පැවසෙනවා. මේ නිසා එම ජවනිකා සඳහා සුහානා පුහුණු කිරීමට ජාත්‍යන්තර පුහුණුකරුවන් පැමිණ සිටින බව පැවසෙන අතර මෙම පුහුණු කිරීම්වලට ෂාරුක් ද සහභාගි වෙනවාලු.
King චිත්‍රපටයේ කතා පුවත ගැන තවමත් වැඩි තොරතුරක් අනාවරණය වී නැහැ. නමුත් එය අධ්‍යක්ෂණය කරන සුජෝයි ගෝෂ් ඉතා දක්ෂ අධ්‍යක්ෂවරයෙකු වන නිසා මෙම සිනමාපටය ඉහළම ආස්වාදයක් ගෙන එන සිනමාපටයක් වනු ඇති බවට බොහෝ දෙනා විශ්වාසය පළ කරනවා.
මෙය සුහානා රඟපාන දෙවැනි සිනමාපටය වනු ඇති. ඇය රඟ පෑ පළමු සිනමාපටය වූයේ පසුගිය වසරේ තිරගත වූ The Archies චිත්‍රපටයයි. අෙමරිකානු චිත්‍රකතා පෙළක් ඇසුරෙන් නිර්මාණය වූ එය තරුණ තරුණියන් පිරිසකගේ සංගීත කණ්ඩායමක් පසුබිම් කරගත් නිර්මාණයක්. මෙහි දී සුහානා ගීත ගායනයටත් එක්ව තිබුණා.
කෙසේ වෙතත් මෙම සිනමාපටයේ සුහානාගේ රඟපෑම් ගැන ඇතැම් විචාරකයන් විවේචනාත්මකව අදහස් දක්වා තිබෙනුත් දැකිය හැකි වුණා. සමහර විට එම විවේචනවලින් පාඩමක් ඉගෙන ගෙන ඇය King චිත්‍රපටයේ වඩාත් සාර්ථක රංගනයක් ඉදිරිපත් කිරීමට ඉඩ තිබෙනවා.
සුහානාට අමතරව තවත් ජනප්‍රිය සිනමා පවුල් දෙකක සාමාජිකයන් ද The Archies හි රඟ පෑවා. ශ්‍රී දේවිගේ බාල දියණිය කුෂි සහ අමිතාභ් බච්චන්ගේ මුහුපුරා අගස්ත්‍ය යන දෙදෙනායි ඒ. මෙම සිනමාපටයේ රඟපාමින් සිටි කාලයේ සුහානා සහ අගස්ත්‍ය අතර ආදර සම්බන්ධයක් ඇති වූ බවටත් පසුගිය කාලයේ කතන්දර පැතිරුණා. අමිතාභ් ගේ දියණිය වන ශ්වේතා තමයි අගස්ත්‍යගේ මව.
සුහානා මුල පටන්ම සිය පියාගේ අඩි පාරේ යාමට කැමැත්තෙන් සිටි කෙනෙකු බව පෙනුණා. ඇය මේ අරමුණෙන් යුතුව කලක් අෙමරිකාවේ විශ්වවිද්‍යාලයක රංග කලාව හැදෑරුවා.
ෂාරුක් මේ දිනවල සිය දියණිය සමඟ රඟපාන්නට සූදානම් වන අතර තම වැඩිමල් පුතුගේ නිර්මාණයකටත් උදව් කරන බව වාර්තා වෙනවා. ෂාරුක්ගේ පුත් ආර්යන් මේ වෙද්දී රූපවාහිනි මාලා නාටකයක් අධ්‍යක්ෂණය කරමින් සිටිනවා. බොලිවුඩ් සිනමාව පසුබිම් කරගත් මෙම මාලා නාටකයේ නම Stardom.
ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධිය නිසා නළු නිළියන් මුහුණ දෙන ප්‍රශ්න වැනි කාරණා මෙම මාලා නාටකය තුළ නිරූපණය වන බව පැවසෙනවා. ෂාරුක්, රන්වීර් සිං වැනි අයත් මෙහි කෙටි චරිත රඟපාන බව සඳහන්. මෙහි කටයුතුවලට ෂාරුක්ගෙන් සිය පුතණුවන්ට ලොකු සහයක් ලැබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ආර්යන්ගේ මාලා නාටකය බොහෝ දුරට මේ වසරේ ප්‍රේක්ෂකයන් හමුවට ඒවි.
මේ අතර ෂාරුක්ගේ තවත් අලුත් චිත්‍රපටයක් ගැනත් මේ දිනවල විවිධ කතන්දර පැතිරෙමින් තිබෙනවා. එනම් පතාන් හි දෙවැනි කොටස ගැන යි. පතාන් පළමු කොටස පසුගිය වසරේ ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වූ චිත්‍රපටයක්. එහි සාර්ථකත්වය නිසාම මෙම සිනමාපටයේ දෙවැනි කොටසක් දකින්නට ප්‍රේක්ෂකයන් තුළ ලොකු ආසාවක් තිබෙන බව දකින්න ලැබුණා.
පතාන් නිෂ්පාදනය කළ ආදිත්‍ය චොප්රාගේ යාශ් රාජ් චිත්‍රපට සමාගම මේ වන විට පතාන් දෙවැනි කොටස සඳහා තිර නාටකයක් සූදානම් කරගෙන සිටින බව පැවසෙනවා. සමහර මාධ්‍ය වාර්තාවලින් පැවසෙන්නේ මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වසරේ අවසන් භාගයේ ආරම්භ වීමට ඉඩ ඇති බවයි.
කසුන් අරවින්ද