‘ස්පා’ හෙවත් සම්බාහන මධ්‍යස්ථාන ගැන කාලයක සිට ජන සමාජයේ යම් කතාබහක් තිබුණද එය කරළියට එන්නේ පොලිසිය මීගමුව ප්‍රදේශයේදී පසුගියදා සිදු කරන ලද ‘ස්පා’ මෙහෙයුම සමඟය. මේ මෙහෙයුම සිදු වන්නේ යුක්තිය මෙහෙයුමට සමගාමීවය.
මීගමුව කොට්ඨාස භාර නව පොලිස් අධිකාරි එරික් පෙරේරාගේ උපදෙස් මත මීගමුව පොලිස් කොට්ඨාසයට අයත් මීගමුව, කොච්චිකඩේ, සීදූව ප්‍රදේශවල පොලිසිය සිදු කරන ලද මේ ස්පා හෙවත් සම්බාහන ආයතන සෝදිසි මෙහෙයුම්වලදී සැකපිට අත්අඩංගුවට ගන්නා ලද කතුන්ගේ සංඛ්‍යාව 137කි. ස්පා 53ක් සෝදිසි කිරීමෙන් අනතුරුව ඒවා නීති විරෝධීව පවත්වාගෙන යන ආයතන බවට හෙළි වූ නිසා වසා දමන ලෙස ඒවායේ අයිතිකරුවන්ට නියෝග කෙරිණි.
මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරි එරික් පෙරේරා, සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස හලාවත පොලිස් කොට්ඨාසයට අයත් වෙන්නප්පුව ප්‍රදේශයේ සේවයේ නිරත වන කාලයේ ද වෙන්නප්පුවේ හතු පිපෙන්නාක් මෙන් බිහිව තිබූ ස්පා හෙවත් සම්බාහන ආයතන 20කට වැඩි සංඛ්‍යාවක් වසා දමා ඒවායේ සේවයේ නිරතව සිටි කතුන් අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ අදාළ සම්බාහන මධ්‍යස්ථාන හෙවත් ‘ස්පා’ නීති විරෝධීව පවත්වාගෙන යමින් තිබූ ඒවා නිසාය.
මීගමුව පොලිස් කොට්ඨාසයට අයත් මීගමුව, සීදූව, කොච්චිකඩේ පොලිස් බලප්‍රදේශවල නීති විරෝධීව පවත්වාගෙන යමින් තිබුණු ස්පා 53ක තෙරපිවරියන් ලෙසින් සේවය කළ ඇතැම් කතුන් මුදලට විකිණෙන හෙවත් ගණිකා ජාවාරමේ නිරත වන බවට පොලිස් බුද්ධි අංශවලට ලැබුණු තොරතුරුවලට අනුව මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරි එරික් පෙරේරාගේ උපදෙස් මත අදාළ පොලිස් ස්ථාන මඟින් මේ ස්පා මෙහෙයුම සිදු කෙරිණි.
පොලිසිය සිදු කරන ලද මේ මෙහෙයුමට මූලික වන්නේ පුනරුත්ථාපනය සඳහා යොමු කෙරුණු මත්ලෝලියකු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ අවස්ථාවේදී ඔහුට එච්අයිවී හෙවත් ඒඩ්ස් රෝගය වැලඳී ඇති බව හෙළි වීමයි. එහිදී ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී හෙළි වන්නේ එම පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන හෙවත් ස්පා ගණනාවක සිටින කාන්තාවන්ගෙන් ලිංගික ඇසුර ලබා ගෙන ඇති බවය.
මේ අනුව අදාළ සම්බාහන මධ්‍යස්ථාන 53ක සේවයේ නිරත තෙරපිවරියන් 137 දෙනා ද වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන ලද අවස්ථාවේදී හෙළි වන්නේ ඉන් දෙදෙනකුට ඒඩ්ස් වැලඳී ඇති බවය. මේ සිද්ධිය ගැන ජනමාධ්‍ය මඟින් දිගින් දිගටම හෙළිදරවු කරද්දී රටපුරා හතු පිපෙන්නාක් මෙන් බිහිව ඇති ස්පා හෙවත් සම්බාහන මධ්‍යස්ථානවලට ‘කණ කොකා’ හඬමින් සිටින බවද වාර්තා වන්නේ ගනුදෙනුකරුවන් බොහෝ දෙනෙක් ස්පා ආයතනවලට යාම මීගමුවේ සිද්ධියෙන් පසු නවත්වා තිබීම නිසාය.
මීගමුව පොලිස් කොට්ඨාසයට අයත් ප්‍රදේශවල පිහිටි ස්පා හෙවත් සම්බාහන මධ්‍යස්ථාන 53ක් පමණ පොලිසියෙන් වැටලීමත් සමඟ සමාජය අතර සුවිශේෂි කතාබහක් ඇතිවූයේ අදාළ සම්බාහන මධ්‍යස්ථාන අතරින් එකක සිටි අවුරුදු 15ක පමණ දැරියක් ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීම නිසාය.
මේ දැරිය අත්අඩංගුවට ගැනීමත් සමඟම ස්පා හෙවත් සම්බාහන මධ්‍යස්ථානවල සිදු කෙරෙන දූෂිත ක්‍රියා ගැන මහජන විරෝධතාවය ද වැඩි වූ අතර ඒ ගැන දැන ගැනීමට සහ සෙවීමට ජනතාව උත්සුක වන්නේ එතැන් සිටය.
මීගමුවේ සම්බාහන මධ්‍යස්ථානයකදී අත්අඩංගුවට ගන්නා ලද දැරිය ගැන තොරතුරු සෙවීම සඳහා මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරි එරික් පෙරේරාගේ අවධානය ද දැඩි ලෙස යොමු විය.
මේ ළාබාල දැරියගෙන් ප්‍රශ්න කර ඇය මේ සම්බාහන මධ්‍යස්ථානයට පැමිණීම ගැන තොරතුරු විමර්ශනය කරන පොලිස් අධිකාරි එරික් පෙරේරාට දැනගන්නට ලැබෙන්නේ මෙවැනි කාරණාවකි.
මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද 15 හැවිරිදි දැරිය නිවෙසේ අය සමඟ පසුගිය දිනෙක හදිසියේ අමනාප වන්නේ කිසියම් කාරණයක් සඳහා ඇතිවූ මත ගැටුමක ප්‍රතිඵලයක් වශයෙනි.
මේ ගැටුම අවසානයේ මේ 15 හැවිරිදි දැරිය තීරණය කරන්නේ නිවෙසින් පිටවී යාම සඳහාය. එහෙත් එසේ යන ස්ථානයක් ගැන ඇයට කිසිම නිනව්වක් නොතිබිණි. දැරිය නිවෙසේ අය සමඟ එලෙස තරහ වී නිවෙසින් පිටවෙද්දී ඇය හමුවට එන්නේ ඇගේ ඥාති සහෝදරයෙකි.
මේ පුද්ගලයා දැරියට පිහිට වෙනවා වෙනුවට සිදු කරන්නේ ඇය මීගමුවේ සම්බාහන මධ්‍යස්ථානයකට කැඳවාගෙන විත් ඇය එහි රැකියාවක් සඳහා යොමු කිරීමයි. ඒ සඳහා මේ ඥාතියා සම්බාහන හලේ අයිතිකරුගෙන් රුපියල් 15,000ක් පමණ ලබා ගෙන තිබිණි.
තමා රැවටුණ බව දැනගත් දැරිය එම ස්ථානයෙන් ඉවත්වීමට උත්සාහ කළද ඊට ඉඩ ලැබී නැත. අදාළ සම්බාහන මධ්‍යස්ථානයට පැමිණි ගැනුම්කරුවකුට මේ දැරිය ලොකු මුදලකට අලෙවි කිරීමට එහි අයිතිකරුවෝ ඒ වන විටත් තීරණය කර තිබිණි.
දැරිය හමුවට ආ එක් ගැනුම්කරුවෙක් ඇය මුහුණපා සිටින තත්ත්වය දැක ඇයට අනුකම්පා කරන්නේ ඇයට උදවු කිරීමේ අදහසිනි. මේ පුද්ගලයා ඔහුගේ නම, ගම, දුරකතන අංකය සඳහන් ‘විසිටින්’ කාඩ්පතක් ද දැරියට දී තිබිණි.
“ඔයාට ප්‍රශ්නයක් නම් මට කියන්න” යැයි ඔහු ඇයට කියන්නේ විසිටින් කාඩ්පත ඇයගේ අතට පත් කිරීමෙන් අනතුරුවය.
15 හැවිරිදි දැරිය අදාළ ස්පා ආයතනයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කරන ලද පරීක්ෂණයේදී ගනුදෙනුකරු ඇයට දුන් විසිටින් කාඩ්පත දැරිය සතුව තිබී පොලිසිය සොයා ගන්නා ලදි.
එහි සඳහන් ජංගම දුරකතන අංකයට ඇමතුමක් දී එම පුද්ගලයා පොලිසියට ගෙන්වාගෙන ඔහුගෙන් ප්‍රශ්න කරද්දී ඔහු මේ සිද්ධිය පිළිගෙන පොලිස් නිලධාරින්ට පවසා ඇත්තේ “මේ ළමයා මං දැක හැඬුවා… මට දුක හිතුනා… මම මගේ විසිටින් කාඩ් එක ඇයට දීලා ඔයාට ප්‍රශ්නයක් නම් මට කතා කරන්න කියා… මම එතැනින් පිටවුණා යැයි” කියාය.
අදාළ පුද්ගලයාගේ ප්‍රකාශය කටඋත්තරයක් ලෙස සටහන් කරගෙන ඇත. මීගමුව පොලිස් කොට්ඨාසයට අයත් ස්පා 53ක සේවය කළ තෙරපිවරියන් 137 දෙනකු අත්අඩංගුවට ගැනීමත් සමඟ රටපුරා හතු පිපෙන්නාක් මෙන් බිහිවී ඇති ස්පා මධ්‍යස්ථාන රැසක් මේ වන විට වැසී යමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග දක්වයි.
මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ අදාළ ස්පා ආයතනවල සිටි තෙරපිවරියන් දෙදෙනකුම ඒඩ්ස් ආසාදිතයන් වී ඇති බව සැලවීමත් සමඟය.
පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇති අන්දමට මෙලෙස වැඩිපුර ස්පා ආයතන පිහිටා ඇති තලවතුගොඩ සහ නුගේගොඩ ප්‍රදේශවල අදාළ ආයතනවල සේවය කළ තෙරපිවරියන් සිය වෘත්තියට මේ වන විට සමු දෙමින් සිටින අතර එම ස්ථාන වැසී යමින් පවතී. මෙලෙස ඇතැම් ස්පා ආයතනවල සේවයේ නිරත තෙරපිවරියන්ගෙන් ඇතැමෙක් අයිස් මත්ද්‍රව්‍යවලට හුරුපුරුදුව සිටින බවද හෙළි වී ඇත.
දීපාල් සමරසේකර