Home » ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විස්කම් පාන අවුරුදු 14 මොනරාගල බට්ටි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විස්කම් පාන අවුරුදු 14 මොනරාගල බට්ටි

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

ජීවිත වෙනස්වීමට නිමේෂයක් වුවද සෑහේ. මොනරාගල දුෂ්කර ගම්මානයක 14 හැවිරිදි හුරුබුහුටි පුංචි කෙල්ල චමුදි ප්‍රබෝධාගේ ජිවිතය වෙනස් වූයේ ද නිමේෂයක සිදුවීමකිනි. මීට අවුරුදු දෙකකට පෙර මොනරාගල පඤ්ඤානන්ද මහ විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පරිත්‍යාග කළ පැති විකට්ටුව විවෘත වූ මොහොතේදී පන්දු යැවීමට තෝරාගෙන සිටි එවකට 12 හැවිරිදි වියෙහි පසු වූ ඇය අද අවුරුදු 19න් පහළ ජාතික කාන්තා ක්‍රිකට් පිලේ ළාබාලතම සාමාජිකාව ලෙසත්, පෙරළිකාර දස්කම් දක්වන දඟ පන්දු යවන්නියක ලෙසත් කාගෙත් අවධානය දිනා ගැනීමට සමත් වූයේ එවැනි එක නිමේෂයක සිදුවීමකිනි.

‘මොනරාගල බට්ටි..!‘ නමින් රට පුරා ‘වයිරල්‘ වූ මේ පුංචි ක්‍රීඩිකාවගේ දස්කම් ගැන ශ්‍රී ලංකාවේ පමණක් නොව දැන් විදෙස් මාධ්‍යවලත් පුවත් පළවීමට පටන් ගෙනය. සංචාරක එංගලන්ත සහ ඔස්ට්‍රේලියා අවුරුදු 19න් පහළ කණ්ඩායම් සමඟ පැවැති විස්සයි20 හා එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ කැපී පෙනෙන දඟ පන්දු යවන්නියක වූ ඇය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පසුගියදා එංගලන්තයට එරෙහිව පැවැති එක්දින තරගයේදී ප්‍රතිවාදී පිතිකාරිනියන් අන්දමන්ද කරමින් කඩුලු 5ක් දවාලීමට සමත් වූවාය. ඇගේ මේ විස්මිත දස්කම ශ්‍රී ලංකා පිලට ලකුණු 118 ක ජයක් අත්කර ගැනීමට ද ඉවහල් විය. ඊට පෙර ඔස්ට්‍රේලියාව සමඟ පැවැති තරගයේදී ද කඩුලු 3ක් දවාලූ ඇය සිය පළමු ජාත්‍යන්තර තරගාවලියේදීම කාන්තා ක්‍රිකට් පිටියේ අනාගත තරුව බවට පත්වී හමාරය.

මේ හුරුබුහුටි කෙල්ල ගෙදරට ‘පොඩී‘ ය. මොනරාගල දිස්ත්‍රික්කයේ ඇය ජීවත්වන දුෂ්කර කුඹුක්කන ගම්මානයේ වැසියන්ට නම් ඇය චමුදි ය. කුඩා සිරුරැති එහෙත් දඟ පන්දුවෙන් දස්කම් දක්වන ඇය 19න් පහළ කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන් අතරත්, ශ්‍රී ලංකාව පුරාත් ජනප්‍රියත්වයට පත් වූයේ ‘බට්ටි‘ නමිනි.

බට්ටි දැන් කාගෙත් අවධානයට ලක්වී සිටියත් එදා පාසලේ පැති විකට්ටුව විවෘත කරමින් පන්දු යවද්දී නම් ඇය ගැන දැන සිටියේ අතළොස්සක් පමණි. ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනිය අප්සාරි තිලකරත්න ද වූවාය. ඇය එදා කුඹුක්කන පඤ්ඤානන්ද මහ විද්‍යාලයට ගියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පාසලට පරිත්‍යාග කළ පැති විකට්ටුව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වීමටය. චමුදිගේ ජීවිතය වෙනස් වූයේ එතැනින් ය.

“අපි ක්‍රිකට් ආයතනයෙන් ඒ පාසලට පැති විකට්ටුවක් ලබා දුන්නා. විවෘත කිරීමේ අවස්ථාවට මමත් ගියා. ඒ වෙලාවේ පැති විකට්ටුව විවෘත කරලා බැට් කරන්නයි, බෝල් කරන්නයි ගෙන්නලා තිබුණේ පුංචි ගැහැනු ළමයි දෙන්නෙක්. දෙන්නම හරි දක්ෂයි. පන්දු යැව්වේ අවුරුදු 12ක පුංචි ළමයෙක්. මුල් වතාවටයි ඒ වගේ පුංචි දක්ෂ දරුවෙක් දැක්කේ. මම ඇත්තටම හිතනවා කවදාහරි දවසක ඒ ළමයා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරයි කියලා.”

මීට වසර දෙකකට පෙර මේ ලියුම්කරු සමඟ ‘සිළුමිණ’ වෙනුවෙන් කතාබහට එක්වූ අප්සාරි තිලකරත්න එසේ කීවාය. අද මේ සැබෑ වී ඇත්තේ එදා ඇය පළ කළ ඒ අනාවැකියයි.

බට්ටි…!

අද රටම කතා වෙන මොනරාගල බට්ටි කෙටි කාලයක් තුළ මෙරට කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ නමක් දිනූ ක්‍රීඩිකාවක බවට පත්වීම තවත් එවැනි දහස් සංඛ්‍යාත කෝඩුකාර ක්‍රීඩිකාවන්ට කදිම දිරිගැන්වීමේ කතා පුවතකි.

කුඩා වියෙහි සිටම චමුදිට තිබුණේ අපූරු ගතිපැවතුම්ය. එසේ කියන්නේ ඇගේ මව අනෝමා නිශාන්තිය.

“පොඩි කාලේ ඉඳලම දුව කැමැති වුණේ නෑ ගවුම් අඳින්න. කඩේකට ගියත් ඉල්ලන්නේ කලිසමයි ටී ෂර්ට් එකයි තමයි.” අනෝමා නිශාන්ති එසේ කීවාය.

“සෙල්ලම් කරන්න කියලා කවදාවත් සෙල්ලම් බඩු ඉල්ලලා නෑ. හැබැයි අම්මේ… තාත්තේ මට බයිසිකලයක් අරන් දෙන්නකෝ” කියලා නිතර නිතර ඇවිටිලි කළා. අපි එයාට අවුරුදු 3දී පොඩි බයිසිකලයක් අරන් දුන්නා. පඤ්ඤානන්දෙට දැම්මට පස්සේ දුව නැටුම්වලට තමයි යොමු වෙලා හිටියේ. සංගීතය විෂයක් හැටියට කළා. එයා පහ වසරේදි විතර වාදන අංශයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගත්තා, වයලීනය වාදනය කරලා. ක්‍රිකට් ක්‍රීඩාවට පොඩි කාලේ ඉඳලම ආසයි. මගේ මල්ලිගේ පුතා එක්ක හවසට අපේ මිදුලේ සෙල්ලම් කරනවා. එතකොටත් බෝල් කරන්න තමයි වැඩියෙන්ම ආස වුණේ.” චමුදිගේ මව එසේ කීවාය.

චමුදිට ක්‍රිකට් පිස්සුව කුඩා වියේ සිටම තිබූ බව ‘සිළුමිණ’ට කීවේ ඇගේ පියා දිනේෂ් කුමාර ය.

“ශ්‍රී ලංකා ටීම් එක ගහන මැච් එකක් නෑර දුව ටී.වී. එකේ බලනවා. එයා ගොඩාක් ආස කළේ ධනංජය ද සිල්වාට. 19න් පහළ සංචිතයට ඇතුළු වුණාට පස්සේ ධනංජයගේ ටී ෂර්ට් නොම්මරේ ගන්න තමයි ආසා කළේ. ඒත් ඒක හරි ගියේ නෑ. මට මතකයි පොඩි කාලේ එයා අපේ ගෙදර තිබුණු ප්ලාස්ටික් පුටු තමයි මිදුලේ සෙල්ලම් කරද්දී විකට් එකට ගත්තේ. ඒ පුටුවල ඇඳි ඔක්කොම කඩලා දැම්මා බෝල් කරලම.” දිනේෂ් කුමාර සිය ආඩම්බරකාර දියණිය ගැන එසේ කියන්නේ සිනහමුසු මුහුණින් යුතුවය.

පඤ්ඤානන්ද මහ විද්‍යාලයේ 6 වසරේ සිට ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූ චමුදිට වාසනාවේ දොරටුව විවර වූයේ ඊට වසර දෙකකට පසුවය.

“ඒ කාලේ තමයි ඉස්කෝලෙට ක්‍රිකට් බෝඩ් එකෙන් සයිඩ් විකට් එකක් හම්බවුණේ. අප්සාරි මැඩම් තමයි විවෘත කරන උත්සවයට ආවේ. සයිඩ් විකට් එකේ බෝල කරන්න දුව තෝරාගෙන තිබුණා. බණ්ඩාර සර්, කොඩිකාර සර්, තරිඳු සර්, කසුන් සර් මේ හැමෝම එදා ඇවිත් හිටියා. එදා දුව පන්දු යවපු හැටි ගැන අප්සාරි මැඩම් හරියට පැහැදුණා. එයා තමයි දිස්ත්‍රික් ඇකඩමියේ කෝච් කුමාර් සර්ට කිව්වේ මෙයාව අරන් පුරුදු කරන්න හරි දක්ෂ දරුවෙක් කියලා. ඒ ආපු ගමන් මඟ තමයි මේ. අපි කවදාවත් හිතුවේ නෑ දුව මෙච්චර දුර යයි කියලා” දිනේෂ් කුමාර කීවේය.

මොනරාගල දිස්ත්‍රික් පුහුණුකරු තරිඳු තෙඹුවන, පළාත් පුහුණුකරු චමින්ද කොඩිකාර, දක්ෂතා හඳුනා ගැනීමේ පුහුණුකරු උෂාන්ත ගුණරත්න, කසුන්, බණ්ඩාර, කුමාර් සහ මොනරාගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සෙසු නිලධාරීන්ගේ සහයෝගය සහ දායකත්වය කුඩා චමුදිගේ ක්‍රිකට් ජීවිතය වර්ණවත් කිරීමට අවශ්‍ය පැහැය ලබාදීම විශේෂයෙන් කැපී පෙනේ. අනතුරුව දිස්ත්‍රික් පුහුණුවීම්වලට සහභාගි වූ චමුදිට අවසානයේ අවුරුදු 19න් පහළ බාලිකා සංචිතය තෝරා ගැනීමේ පුහුණු සැසිවලට සහභාගි වීමට ඇරැයුම් ලැබී තිබිණි.

“කොළඹින් කෝල් එකක් ආවා ඛෙත්තාරම ග්‍රවුන්ඩ් එකට එන්න කියලා. මම ඒ කාලේ ගාමන්ට් එකක වැඩ කළේ. එයා සිලෙක්ෂන්වලින් තේරිලා කොළඹ පුහුණුවීම්වලට යද්දී මම රස්සාවෙන් අයින් වුණා. මගේ දුව වෙනුවෙන් හැම තිස්සෙම පස්සෙන් ඉන්න ඕන නිසා. එයා තනියම යවන්න බෑ. පොඩි වැඩියිනේ.” චමුදිගේ මව එසේ කීවාය.

“අවුරුදු 19න් පහළ අවසන් 25 දෙනාගේ සංචිතයට දුව තෝරා ගත්තා කියලා තවත් දවසක් කෝල් එකක් ආවා. එදා තමයි මම රස්සාවෙන් නැවතුණේ. මහත්තයා වැඩ කරන්නේ කඩේක. ඒ රස්සාවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. දුවගේ වැඩවලට වියදම් කරන්නේ. වැඩට යනවාට වඩා මට වටින්නේ දුව ක්‍රීඩාවෙන් ඉදිරියට අරන් යන එකයි. ඒක මට සතුටක්. ඒත් දරුවාගේ වැඩ කටයුතු කරගෙන යන්නේ ගොඩාක් අමාරුවෙන්. සල්ලි භාගේ නැති වෙලාවල් තිබුණා. අපේ අම්මයි තාත්තයි දීපු ඉඩමක් තිබුණා. ඊට පස්සේ මම තීරණය කළා ඒ ඉඩම දරුවා වෙනුවෙන් විකුණලා වියදම් කරන්න. ලක්ෂ තුනකට වගේ මුදලකට තමයි ඉඩම විකිණුවේ. අවස්ථාවේ හැටියට මට ඒ ගාණ හරි වැදගත් වුණා, ගොඩාක් දුරට ගමන් වියදම්වලට. ක්‍රිකට් බෝඩ් එකෙන් එයාගේ වියදම් හම්බවුණා. එයාට කෑම බීම්, ඇඳුම් පැලඳුම්, ක්‍රිකට් ගහන වෙලාවට අඳින ඇඳුම් ඒ ගෙවීම් ඔක්කොම කරනවා. ගමන් වියදම් තමයි ප්‍රශ්නය වුණේ. ඉඩම විකුණපු සල්ලිවලින් තමයි ගමන් වියදම් පිරිමහා ගත්තේ. දරුවා තනියෙන් යවන්නේ නෑ. හැමතැනම මම එක්කගෙන යනවා. හැම වාරයක්ම මම ගිහිල්ලා තියෙනවා. ගොඩාක්ම ප්‍රශ්න ආවේ ගමන් වියදම් දරා ගන්න එක. මොනරාගල ඉඳලා කොළඹ යන්න සෑහෙන්න මුදලක් යනවා. ඒ අතරතුර දුවට පාස්පෝට් හදන්න කියලා දැනුම් දුන්නා. එතකොට අපි ගොඩාක් අසරණ තත්ත්වයේ හිටියේ. ඒක හදන්න කිව්වේ ගිය අවුරුද්දේ. සල්ලි භාගේ ගොඩාක් අඩු තත්ත්වයක තිබුණේ. රුපියල් විසි දාහක් හොයා ගන්න බැරිව මම ගොඩාක් දුක් වින්දා. ඊට පස්සේ අපේ පවුල්වල අය එකතුවෙලා ඒ කියන්නේ මගෙයි මහත්තයාගේ පවුලේ අයයි‍ එකතුවෙලා රුපියල් විසිදාහ හොයලා දුන්නේ. ඊට පස්සේ තමයි දරුවා එක්කගෙන ගිහින් පාස්පෝට් හැදුවේ.” අනෝමා නිශාන්ති කියන්නේ චමුදිගේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් කළ අප්‍රමාණ කැපකිරීම ගැනය.

“දුව හරිම තැන්පත් ළමයෙක්. එයා ක්‍රීඩාවට වගේම ඉගෙන ගන්නත් දක්ෂයි. එයා කියන්නේ අම්මේ ඔයාලා බයවෙන්න එපා මම මගේ ගමන ඉදිරියට කොහොමහරි යනවා කියලයි.” චමුදිගේ මව කීවාය. බට්ටිලාගේ නිවෙස පිහිටා ඇත්තේ කුඹුක්කන් ඔය කිට්ටුවය. විවේකී වෙලාවට ඇය සිය වැඩිමහල් සොහොයුරිය චමෝදනි සෙව්වන්දි සමඟ කුඹුක්කන් ඔයේ තරගයට පිහිනන බව ‘සිළුමිණ‘ට කීවේ ඇගේ පියා ය. චමුදිගේ පවුලේ තවත් සාමාජිකයකු ද වේ. කුඩා සොහොයුරු ගයන්ත ප්‍රමුදිත තවම 2 වසරේය.

මොනරාගලෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ලැබූ පළමු ක්‍රීඩිකාව ලෙස චමුදිට කුඹුක්කන ගම්මානයේ පමණක් නොව මොනරාගල නගරයේ කතාබහට ලක් වී ඇත. ඇය 19න් පහළ ජාතික කාන්තා පිලට එකතු වීමෙන් පසු දැන් දැන් කුඩා දැරියන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති උනන්දුව ඉතා ඉහළ බව පියා කීවේය.

“මේ පැත්තේ දැන් පොඩි ළමයි ගොඩාක් ක්‍රිකට් ගහනවා මෙයා නිසා. එයා ටීම් එකට ආවට පස්සේ තාම ගෙදර ආවේ නෑ. ආවම හැමෝම එයි බලන්න. ගොඩාක් අය කතා කරලා කියනවා අපිට සතුටුයි කියලා. පාරේ යද්දී හැමෝම අහනවා මේ චමුදිගේ අම්මා නේද කියලා. ඒ වෙලාවට මට ලොකු ආඩම්බරයක් ඇති වෙනවා දුව ගැන. මිනිස්සු කියන්නේ මැච් බලන්නේ නැති අපිත් මැච් බලන්න පටන් ගත්තා ඔයාගේ දුව නිසා කියලා. මට ගොඩාක් සතුටුයි. එයාගේ පස්සෙන්ම මම ඉන්නවා එයාව රැක බලාගෙන ඉදිරියට අරන් යන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. මොනරාගල මුළු ටවුමම දැන් දන්නවා දිනේෂ්ගේ දුව තමයි 19න් පහළ ටීම් එකේ සෙල්ලම් කරන්නේ කියලා.” චමුදිගේ මව කීවේය.

චමුදිට ක්‍රීඩා උපකරණ ලබා දීම සඳහා මුල් කාලේදී ඇගේ මවුපියන්ට දුෂ්කරතා රැසකට මුහුණ දී තිබූ අතර, ඒ සඳහා පවුලේ ඥාතීන්ගෙන් මෙන්ම කුඹුක්කන ගම්මානයේ බොහෝ දෙනෙකුගේ ද සහයෝගය ලැබුණු බව දිනේෂ් කුමාර කීවේය. ඔහු සේවය කරන වෙළෙඳ සැලේ හිමිකරුවන් ද විශාල දායකත්වයක් ලබා දුන් බව දිනේෂ් කියන්නේ ස්තූති පූර්වකවය.

චමුදිගේ සියලුම පුහුණුකරුවන්ට ස්තූතිය පුද කළ ඇගේ මාපියන් පඤ්ඤානන්ද මහ විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයට ද කෘතවේදීත්වය පුද කිරීමට අමතක නොකළහ.

“විශේෂයෙන් අප්සාරි මැඩම්ට ස්තූති කරන්න ඕනා. එයා තමයි දුවගේ දක්ෂතා මුලින්ම හඳුනා ගත්තේ. ඉස්කෝලේ ඉරුදක සර් ගැනත් මතක් කරන්නම ඕනා.” චමුදිගේ මව එසේ කීවාය.

පසුගියදා නිමාවට පත් වූ අවුරුදු 19න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති විස්සයි20 තරගාවලිය චමුදිගේ මංගල ජාත්‍යන්තර තරගාවලිය ද විය. එහිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලකුණු 7කින් ජයගත් තරගයේදී චමුදි සිය ඕවර 4ම ලකුණු 21කට වඩා ප්‍රතිවාදින්ට ලබා ගැනීමට ඉඩ තැබුවේ නැත. සිය කුලුඳුල් ජාත්‍යන්තර කඩුල්ල ද දවා ගත්තේය. එම තරගාවලියේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ශ්‍රී ලංකා පිලේ දෙවැනි තරගයේදී ඇය කඩුලු 3ක්ම දවාලීය. ඒ සමඟම ‘මොනරාගල බට්ටි‘ කාගෙත් අවධානයට ලක් වූවාය.

මේ වන විට ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට උදා වී ඇත්තේ වසන්ත කාලයකි. ක්‍රිකට් ආයතනය පෙර නොවූ විරූ අයුරින් දේශීය කාන්තා ක්‍රිකට් අභිවෘද්ධිය උදෙසා විශාල මෙහෙවරක නිරතව සිටී. එහි වැඩි ගෞරවය හිමිවිය යුත්තේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනිය අප්සාරි තිලකරත්නටය.

“දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් පටන් අරගෙන ඒවාට පාසල්වලින් ළමයි ගන්න අමාරු වෙනකොට අපි හිතුවා ඉස්කෝලවලට ගිහින් විදුහල්පතිවරු වගේම දරුවන්ගේ මවුපියන් දැනුම්වත් කරන්න ඕනා කියලා. එතකොටනේ එගොල්ලන්ට බය නැතිව තමන්ගේ ගැහැනු දරුවන් පුහුණුවීම්වලට එවන්න විශ්වාසයක් ඇති වෙන්නේ. මගේ ඒ සංකල්පය හරියටම හරි ගියා. මම ගමෙන් ගමට ගිහින් ඒ විදිහට හොයා ගත්තු දරුවන් තමයි අද 19න් පහළ ටීම් එකේ 80% ක්ම ඉන්නේ. ඒ අතුරින් ‘බට්ටි‘ විශේෂයි. එයාව මම හොයාගත්තේ අවුරුදු 12දිනේ. තව ත්‍රිකුණාමලයේ දරුවෙක් ඉන්නවා. වේල්ස් කුමරි විදුහලේ ක්‍රිකට් පටන් ගන්න අපි සෑහෙන්න මෙහෙවරක් කළා. අද 19න් පහළ ටීම් එකේ නායිකාව මනුදි වේල්ස් කුමරියෙන් ඒ විදිහට බිහිවුණු ක්‍රීඩිකාවක්. ඉදිරියේදී අපේ කාන්තා ක්‍රිකට් අනාගතයට චමුදි දුව වගේ තවත් දක්ෂ දරුවන් ගොඩාක් බිහි වේවි.” අප්සාරි තිලකරත්න එසේ කීවාය.

එය අපූරු කතාවකි. චමුදි දැන් මොනරාගලට පමණක් සීමා වූ ක්‍රීඩිකාවක් නොව සමස්ත ශ්‍රී ලංකාවේහිම කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ අනාගත තරුවකි. ඇගේ දස්කම් මුවහත් වෙද්දී එය තවදුරටත් ඔප මට්ටම් වනු ඇත. තවමත් 14 හැවිරිදි වියෙහි පසුවන බැවින් ඇයට අවුරුදු 19න් පහළ ජාතික කාන්තා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තවත් වසර 5ක්ම ඉතිරිව තිබේ. ඒ අතරතුර ජාතික කාන්තා පිලට ක්‍රීඩා කිරීමට ද වැඩි අවස්ථාවක් නිර්මාණය වී තිබේ. මේ වන විට ජාත්‍යන්තරය ජයගත් චමරි අතපත්තු ඇතුළු ක්‍රීඩිකාවන්ගේ අඩිපාරේ යමින් ඇය කෙදිනක හෝ ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ ‘බට්ටි‘ ලකුණ සටහන් කරනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී හමාරය. අවශ්‍ය වන්නේ ඇගේ ක්‍රිකට් ජීවිතයට තව තවත් අත්දැකීම් එකතු වීමය. ඇය හොඳින් රැක බලා ගැනීමය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division