Home » සිංහල අවුරුද්දට වන්නකු මෙතඩ් මෙන්න

සිංහල අවුරුද්දට වන්නකු මෙතඩ් මෙන්න

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

– දියවැඩියාව මට්ටු කරන්න, බර අඩු කරගන්න “නොනගතය” කියා දෙන අපූරු පාඩම
– අපි වාඩි වී සිටින දියවැඩියාව නමැති බෝම්බයේ භයානකකම දැනගන්න මෙය හොඳ අවස්ථාවක්
– අවුරුදු නෑගම් ගිහින් කැවිලි නොකා නෑයන්ගෙ හිත් රිදවන්න එපා
– අපි ලෙඩ වෙන්නෙ අවුරුදු කෑම නිසා නෙවෙයි, අවුරුද්දට කන කෑම අවුරුද්ද පුරාම කන නිසයි

සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සව සමයේදී දියවැඩියාව, කොලෙස්ටරෝල්, අක්මාවේ තෙල් තැන්පත් වීම හෙවත් ෆැටි ලිවර් (Fatty Liver) වැනි රෝග තත්ත්වයන් උත්සන්න වන බවට සහ සිරුරේ බර වැඩි වන බවට බොහෝ දෙනා තුළ මතයක් පවතී. එහි යම් සත්‍යතාවක් නැත්තේ නැත.

ඒ නිසාම දැනටමත් එවැනි රෝගවලට ගොදුරු වී ඇති පුද්ගලයන් සහ අවදානමක් ඇති පුද්ගලයන් පමණක් නොව නීරෝගී පුද්ගලයෝ පවා අලුත් අවුරුදු රසකැවිලි ආහාරයට ගනිමින් අලුත් අවුරුදු ප්‍රීතිය නිසි ලෙස විඳ ගැනීමට බියක් දක්වති. ඒ බිය සාධාරණ ද? දැනටමත් දියවැඩියාව, කොලෙසට්රෝල්, ෆැටි ලිවර් වැනි රෝගීන්ට අලුත් අවුරුදු ප්‍රීතිය විඳ ගැනීමට ඉඩක් නැද්ද? දියවැඩියාව මට්ටු කරන ‘වන්නකු මෙතඩ්’ මෙරටට හඳුන්වා දුන් බත්තරමුල්ල, ජනකලා කේන්ද්‍රයේ ආයතන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජානක වන්නකු ඒ පිළිබඳ මෙසේ පැවසුවේය.

“වසර දෙදහස් ගණනක් තිස්සේ අපි සිංහල අවුරුද්ද සැමරුවත්, මිනිසුන් දියවැඩියාවට ගොදුරු වුණේ පහුගිය අවුරුදු පනහ ඇතුළතයි. අපේ පැරැන්නෝ අවුරුදු කැවිලි විශේෂයෙන්ම පැණි රස කෑම කෑවේ අවුරුද්දට සැරයයි. ඒ කෑවෙත් අවුරුද්ද පුරාම වෙහෙස මහන්සි වෙලා කුඹුරු හේන් ගොවිතැන් කරලා වැඩිපුර අස්වැන්න ලැබුණු කාලයටයි. ඒ නිසා ඔවුන් ලෙඩ වුණේ නැහැ. මිනිස්සු ලෙඩ වෙන්න පටන් ගත්තේ අවුරුදු කාලෙට කන කෑම අවුරුද්ද පුරාම දිගටම කන්න පටන් ගත් නිසයි. දැන් අවුරුදු කැවිලි අවුරුද්ද පුරාම අපට වෙළෙඳපොළෙන් ඕනෑතරම් මිලදී පුළුවන්. අපේ දේශීය රසකැවිලිවල අඩංගු වුණේ සීනි, හාල්පිටි සහ පොල්තෙල්. නමුත් අද වෙළෙඳපොළේ ඇති සකස් කරන ලද ආහාර processed foodවල පොල් තෙල් වෙනුවට සූරියකාන්ත තෙල්, කෝන් ඔයිල්, එළවළු තෙල්, මාගරින් සහ ෆැට් ස්ප්‍රේඩ් ආදී ලාභදායක කෘත්‍රිම තෙල් ආදේශක භාවිත වෙනවා. මිනිස් ඉතිහාසයේ කිසිම දිනෙක අපේ ආහාර දාමයේ තිබුණේ නැති මේ තෙල් වර්ග සිරුර ලෙඩ කරනවා. තන්තු ඉවත් කළ සංශුද්ධ පිටි ශරීරයේ සීනි මට්ටම වේගයෙන් වැඩි කරනවා වගේම ස්ථුලතාව ඇති කරනවා. බිස්කට්, කේක්, අයිස්ක්‍රීම් සහ පැකට් කරන ලද කෘත්‍රිමව සකස් කරන ලද බොහෝ ආහාර වර්ගවල මූලික සංඝටක වන්නේ සීනි, පාන් පිටි සහ එළවළු තෙල් වර්ගයි. ආහාර සමාගම් සම්පූර්ණයෙන්ම යැපෙන්නේ මෙන්න මේ ලාභදායක, ඇබ්බැහිකාරක, මිනිස් සිරුර ලෙඩ කරවන ආහාර සංඝටක තුන අඩංගු කරන ලද ආහාර මතයි. නමුත් ආහාර හා බැඳුණු සංස්කෘතික මංගල්‍යයක් වන සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සැමරීමෙන් අපට වැළකී සිටිය නොහැකියි. දියවැඩියාව, කොලෙස්ටරෝල්, ෆැටි ලිවර් පාලනය කරගැනීමට අප කළ යුත්තේ අවුරුද්දෙන් පස්සෙත් අවුරුදු සැමරීමෙන් වැළකී සිටීමයි. එසේ නැතිව ලෙඩරෝග වැඩි වෙනවා, බර වැඩි වෙනවා කියලා අවුරුද්දට ඇඟිල්ල දිගු කිරීම වැරැදියි.”

වර්තමානයේ මියයන පුද්ගලයන් පස් දෙනකුගෙන් සිවු දෙනකුම මිය යන්නේ හෘද රෝග, අංශභාගය, ආඝාතය, පිළිකා වගේ දියවැඩියා ආශ්‍රිත බෝ නොවන රෝගවලින් වන අතර ඒ අතර දියවැඩියාව ප්‍රමුඛ වේ. අනෙකුත් රෝග ද දියවැඩියාව වටා බැඳී පවතින අතර මෙරට ජනගහනයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් දියවැඩියාවෙන් හෝ පූර්ව දියවැඩියාවෙන් පෙළන බව සමීක්ෂණවලින් හෙළි වී ඇත. සියයට 45ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් අක්මාවේ තෙල් තැන්පත් වීම හෙවත් ෆැටි ලිවර් තත්ත්වයෙන් පෙළෙති. ඊට අමතරව මෙරට කාන්තාවන්ගෙන් සියයට 25කට පමණ Polycystic Syndrome රෝගය වැලඳෙන බවට උපකල්පනය කර තිබේ. කාන්තාවන්ගේ මඳසරු භාවයට හේතු වන එම රෝගය නිසා අඩු බර දරු උපත් මෙන්ම මළ දරු උපත් ඇතිවීම මෙන්ම දියවැඩියාවට ගොදුරු වීමේ අවදානමක් ද ඇති බව ද වෛද්‍ය වන්නකු පැවසුවේය.

“අමෙරිකාවේ ජනගහනයෙන් සියයට 8ක් පමණක් නීරෝගී බවත් සියයට 92ක්ම සෞඛ්‍ය සම්පන්න නොවන බවත් මෑතකදී එහි සිදු කළ පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. අවාසනාවකට ලංකාවේ දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිශතය අමෙරිකාවේ දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිශතයට වඩා බොහොම වැඩියි. සමස්තයක් ලෙස ගත් විට මෙරට සියලුම වැඩිහිටියන් බහුතරයක් බෝ නොවන රෝගවලට ගොදුරු වී අවසන්. බොහෝ අය අදාල පරීක්ෂණ නොකර ඒ පිළිබඳව දැනුම්වත් වී නොසිටින නිසා තමන් නිරෝගීයි යන මිථ්‍යාවේ එල්බ ගෙන සිටිනවා. මට නම් වැටහෙන්නේ අපි දියවැඩියාව නමැති බෝම්බය මත වාඩිවී සිටින බවක්.” වෛද්‍ය ජානක වන්නකු අවධාරණය කරයි.

එසේ නම් ලෙඩ වැඩි කර නොගෙන අවුරුදු කන්නේ කෙසේද යන්න දියවැඩියා රෝගීන්ට මතුවන බරපතළ පැනයකි. ඒ ගැන වෛද්‍ය වන්නකු මෙසේ කීවේය.

“බොහෝ දෙනෙක් අවුරුදු සමරනවා කියලා කරන්නේ පැණි රස කෑම කන එකයි මත්පැන් පානය කිරීමයි. අවුරුද්ද කියන්නේ සතුටින් ඉන්න උත්සවයක් මිස කෑමවත් මත්පැන්වත් නෙවෙයි. සතුට මත්පැන් සහ ආහාර සමඟ සමානුපාතයි කියන බහුජාතික ආහාර සමාගම් විසින් ඇතිකරන ලද සංකල්පය නිසා මිනිස්සු රෝගී වීමේ වාසිය ගන්නේ බහුජාතික ඖෂධ සමාගම් ඇතුළු පාර්ශ්ව කිහිපයක්. තරුපහේ හෝටල්වල සිට පෙට්ටිකඩ දක්වා අලෙවි කරන කිසිම පෝෂණ ගුණයක් නැති ආහාරවලට රැවටෙන ජනතාවට දෙපැත්තකින් පහර වදිනවා. පළමු වැන්න එම ආහාර නිසා සිරුර මහත් වෙනවා. ඒ වගේම ඒ ආහාර වල කිසිම පෝෂණ ගුණයක් නැහැ. පෝෂණ ඌනතා ඇතිවෙනවා. ඔබ ගන්නා ආහාර වල පෝෂණය නැති නිසා ශරීරය වැඩිපුර ආහාර ඉල්ලනවා. පෝෂණ සංඝටක නොමැති සීනි සහ පිටි බහුල ආහාර නිතර ආහාරයට ගැනීම නිසා ශරීරයට කෑම ඇති කියන සංඥාව දෙන leptin හෝ්මෝනය වැඩ කරන්නෙ නැතුව යනවා. එම නිසා වැඩි වැඩියෙන් එවැනි ආහාරවලටම ඇබ්බැහි වෙනවා.

අවුරුදු කාලයෙදිත් අපි කන්නේ සීනි සහ පිටි බහුල ආහාර. නමුත් අපි ලෙඩ වුණේ අවුරුදු කෑම නිසා නෙවෙයි, අවුරුද්ද පුරා අපි කෑමට පුරුදු වෙලා ඉන්න ක්‍රමය නිසයි. අවුරුදු කාලය තුළ බර අඩු කරගන්න උත්සාහ කිරීම ප්‍රායෝගික නොවන බව මගේ අදහසයි. අපි බොහෝ දෙනෙක් නෑ ගමන් යන්නේ අවුරුදු කාලෙදි විතරයි. එහෙම ගිය දවසටත් දියවැඩියාව වැඩිවෙනවා, බර වැඩිවෙනවා කියලා නොකා ඉන්න එක තේරුමක් නැහැ. නමුත් හැකි පමණ මත්පැන් පානයෙන් වළකින්න. මත්පැන් සමඟ අවුරුද්ද සැමරීම අපේ සංස්කෘතිය නොවෙයි.”

අවුරුදු චාරිත්‍රයක් වන නොනගතය තුළ අපට ගන්නට වටිනා පාඩමක් ඇති බව වෛද්‍ය ජානක වන්නකු පෙන්වා දෙයි.

“නොනගතයෙන් හැඟවෙන දේ සරලව කියනවා නම් මේ කාලයේ මුකුත් කන්න එපා, ඊටපස්සෙ එන නැකතෙදි කන්න. සියලුම ආගම්වල සහ සංස්කෘතීන්වල උපවාසයට විශාල වටිනාකමක් දීලා තියෙනවා. අපි ආහාර නොගෙන උපවාසයෙන් ඉන්නා කාලය තුළ සිරුරේ රෝගකාරක අමතර මේදය දහනය වෙනවා වගේම රුධිරයේ සීනි මට්ටම පහළ බහිනවා. සිරුරේ ඉන්සියුලින් ප්‍රතිරෝධය සමනය වීමට පටන් ගන්නවා. මෙය ඉතාම හොඳ තත්ත්වයක්. නොනගතය කියන්නෙත් යම් උපවාස කාලයක්. මම හිතන්නේ නොනගතය කියන්නේ අපි අවුරුද්ද පුරාම පවත්වාගෙන යා යුතු හොඳ පුරුද්දක්. අපි සිංහල අලුත් අවුරුද්ද ගැන හිතන්නේ පුළුවන් තරම් කැවුම් කන්න හම්බවෙච්ච ලයිසමක් විදිහටයි. නමුත් සිංහල අවුරුද්දේ ඊට වඩා ගතයුතු දේවල් බොහොමයක් අතර නොනගතය මුල් තැනක් ගන්නවා..”

වෛද්‍ය ජානක වන්නකු ඒ ගැන වැඩිදුරටත් මෙසේ පැහැදිලි කළේය.

“අපි බොහෝ දෙනෙක් කෑම නොකා ඉන්නේ දවසට පැය 10ක් පමණ කාලයක්. ඉතිරි පැය 14 තුළ මොනවා හෝ ආහාරයට ගන්නවා. නමුත් නොනගතයේදී කෑම නොකා ඉන්න වගේම කන්නත් වේලාවක් තියෙනවා. ඒ අනුව දවසේ පැය 14-16ක් උපවාසයේ ඉඳලා පැය 8-10ක් ඇතුළත ආහාරවේල් 2ක් හෝ 3ක් පමණක් ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර අඩු වෙනවා වගේම දියවැඩියාව හොඳින් පාලනය කරගන්නත් අනෙක් ලෙඩරෝගවලින් වැළකෙන්නත් හැකියි. ඒ වගේම නොනගතයෙන් ගත යුතු අනෙක් පණිවිඩය, සැරෙන් සැරේ ටික ටික ආහාර ගැනීම හොඳ නෑ කියන දේ. දැනට අපි බොහෝ දෙනකුගේ ආහාර සංස්කෘතිය හැදිලා තියෙන්නේ පැය 2න් 2ට මොනවා හරි කටේ ඔබා ගන්න. එහෙම කන බොහෝ ආහාරවල තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්. එයින් සිරුරේ බර වැඩි වෙනවා. අපට දිනකට ප්‍රධාන ආහාර වේල් 2 ක් හෝ 3ක් පමණක් ගැනීම හොඳටම ප්‍රමාණවත්. ඒ අතරින් වැදගත්ම දේ රාත්‍රී ආහාරයයි. රාත්‍රී ආහාරය හැකිතරම් වේලාසන ගැනීම ඉතාම සෞඛ්‍යසම්පන්නයි. රැකියාවක නියුතු අය අඩුම ගානේ රාත්‍රී 8 වෙද්දිත්වත් රෑ කෑම ගන්න. හැකි නම් හවස 7ට ගන්න. නිවෙස්වලම ඉන්න අය සවස 6 වෙද්දි රාත්‍රී ආහාරය ගන්න.

සරලව කියනවා නම් බිම් කළුවර වැටෙන්න කලින් රාත්‍රී ආහාරය ගැනීම වඩාත් සුදුසුයි. රාත්‍රී ආහාරය ගැනීම ප්‍රමාද වෙන්න වෙන්න දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග වැලඳීමේ වැඩි අවදානමක් තියෙන බවත් ප්‍රමාද වී රාත්‍රී ආහාරය ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම වැඩි වී දියවැඩියා නැඹුරුතාව වැඩිවන බවත් සමීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.” වෛද්‍ය වන්නකු වැඩිදුරටත් පැවසුවේ උදෑසන ආහාරය ගැනීම හැකිතරම් ප්‍රමාද කළ යුතු බවය.

” උදෑසන ආහාරය උදෑසන 9-10ත් අතර හෝ හැකි තරම් ප්‍රමාද වී ගැනීම සුදුසුයි. හැකිනම් උදෑසන ආහාරය සම්පූර්ණයෙන්ම අතහැර දවල් සහ රාත්‍රී ආහාරය පමණක් ගන්න. ඒ වගේම බොහෝ දෙනා උදෑසනින්ම බිස්කට් සමඟ තේ කෝප්පයක් බීමට පුරුදු වී සිටිනවා. මෙයත් අතහැරිය යුතු පුරුද්දක්. රාත්‍රියේ අප ගත් ආහාරවේලේ අඩංගු මේදය උදෑසන දහනය වීමට පටන් ගන්නවා. කෙනෙක් උදේම බිස්කට් කාලා කිරි තේ කෝප්පයක් පානය කළාම නැවත අමතර සීනි ප්‍රමාණයක් අපි සිරුරට ඇතුළු වෙනවා. එවිට මේදය දහනය වීම වෙනුවට ශරීරය සීනිවලින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම උදේම ඇවිදීම, ව්‍යායාම් කිරීම හිස් බඩ කරනවා නම් ශරීරයේ තැන්පත් වී තිබෙන අමතර මේදය දහනය වෙලා ඉක්මනින්ම බර අඩු වෙනවා වගේම දියවැඩියාවත් සමනය වෙනවා.

අපේ මුතුන්මිත්තෝ උදේ කහට කෝප්පයක් බීලා කුඹුරට ගිහින් වැඩ කරලා උදේටයි දවල්ටයි දෙකටම ආහාර ගත්තේ ඉර මුඳුන් වීගෙන එනකොටයි. ආපහු කුඹුරු වැඩ කරලා ගෙදර ගිහින් බිම් කළුවර වැටෙන්න කලින් මොනව හරි කාලා ඉක්මනින්ම නිදා ගත්තා. ඒ නිසා ඔවුන්ට ඉහෙන් බහින රෝගයක් වැලඳුණේ නෑ. අපි ඒ පාඩම ඉගෙන ගත්තොත් දියවැඩියාව ඇතුළු රෝග රැසක් සමනය කරගන්න පුළුවන්. ඒ නිසා මේ සිංහල අවුරුද්දෙ ඉඳලවත් හැමදාම උදේ ඉඳලා දවල් 12 වෙනකම් නොනගතය කියලා හිතාගෙන දවල් 12 වෙනකම් වතුර විතරක් බීලා නොකා ඉන්න පුළුවන් නම් අපිට ලෙඩ ගොඩක් අඩු කරගන්න පුළුවන්. ” උදෑසන ආහාරය නොගැනීම හෝ ප්‍රමාද කිරීම ගැස්ට්‍රයිටීස් රෝගය වැලඳීමට හේතු වන බවට ඇති මතය මිථ්‍යාවක් බව කී වෛද්‍ය වන්නකු පැවසුවේ එම තත්ත්වය ඇතිවීමට බලපාන හේතු අතර ප්‍රධාන හේතුවක් වන්නේ සීනි, පාන් පිටි සහිත ආහාරපාන සහ පිටිකිරි සහ බිස්කට් වැනි කෘත්‍රිම ආහාරපාන බවය. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එකිනෙකා අතර සුහදතාව ඇති කරන සංස්කෘතික මංගල්‍යයක් බැවින් අවුරුදු සමයේ ප්‍රියසාදවලින් අඩුවක් නැත. දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝගවලින් පෙළෙන බොහෝ අයට පවා අවුරුදු සාද මගහැරිය නොහැකිය. ලෙඩ වැඩි කර නොගෙන අවුරුදු සාදවලට සහභාගි වන ආකාරය සහ එවැනි සාද සූදානම් කරන ආකාරය ගැනත් වෛද්‍ය ජානක වන්නකු අදහස් රැසක්ම ඉදිරිපත් කළේය. ” බොහෝ සාද පැවැත්වෙන්නේ දවල් සහ රාත්‍රී කාලයේ. ඔබ දහවල් පැවැත්වෙන සාදයකට සහභාගි වෙනවා නම් එදින උදේ වරුවම නොකා ඉන්න. එයින් බර වැඩිවීම පාලනය කරගත හැකියි. උත්සව සමයේ කාබෝහයිඩ්‍රේට් ආහාර වෙනුවට මස්, මාළු සහ බිත්තර වැඩිපුර ආහාරයට එකතු කරගන්න. සාද සඳහා ආහාර වර්ග ගොඩක් හදනවට වඩා වැඩිපුර බිත්තර ටිකක් තම්බන්න, කුකුළු මස් හදන්න. එයින් ප්‍රෝටීන් අවශ්‍යතාව හොඳින් සම්පූර්ණ වෙනවා. ඒ වගේම රාත්‍රී සාදවලදී සවස 6-7 හෝ හැකි තරම් වේලාසනින් ආහාර ගැනීම කරන්න. අවුරුදු නිවාඩු කාලේ නිදිමරන්න එපා. රාත්‍රී 10 හෝ ඊට කලින් නිදාගන්න. නිදාගන්න යද්දි ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කරලා හොඳින් නිදා ගන්න. නිදිමැරීම නිසා ලෙඩරෝගවලට ගොදුරු වීමේ අවදානම වැඩි වෙනවා.

අවුරුදු නෑගම් යද්දි අයිස්ක්‍රීම් වෙනුවට මී කිරි ගෙනියන්න. මේදය සහ ප්‍රෝටීන් අඩංගු නිසා මීකිරි කෑවට මහත් වෙන්නෙ නැහැ. බර අඩු වෙනවා. නමුත් පැණි එක්ක මී කිරි කන්න එපා. දකුණේ ජනතාව මීකිරි කන්නෙ බත්, කිරිහොදි, පොල්, පොල් සම්බෝල එක්ක. දමිළ ජනතාව මීකිරිවලට ගම්මිරිස්, ලුණු කුඩු ටිකක් දාලා ලූනු ගෙඩියක් කපලා දාලා හරිම රසවත්ව කනවා. එහෙම ගොඩක් කන්නත් පුළුවන්, නමුත් බර වැඩි වෙන්නෙත් නැහැ. ඒ වගේම දියවැඩියාව සහ අනෙකුත් රෝග ඇතිවීමේ අවදානමකුත් නැහැ. මී කිරි කියන්නේ පෝෂණ ගුණය ඉතාම අධික ආහාරයක්. ඒ නිසා සාදවලදී අතුරුපසට මී කිරි තියන්න.

බත්ත­ර­මුල්ල, ජන­කලා කේන්ද්‍රයේ ආය­තන භාර වෛද්‍ය නිල­ධාරි වෛද්‍ය ජානක වන්නකු

බත්ත­ර­මුල්ල, ජන­කලා කේන්ද්‍රයේ ආය­තන භාර වෛද්‍ය නිල­ධාරි වෛද්‍ය ජානක වන්නකු

දරුවන්ටත් අයිස්ක්‍රීම් වෙනුවට මී කිරි කෑම පුරුදු කරන්න. නෑගම් යද්දි බහුලව ගෙනියන සීනි සහ පාන්පිටි සහිත බිස්කට් වර්ග වෙනුවට හොඳ පිරිසිදු පොල්තෙල් බෝතලයක් ගෙනියන්න. බටහිර රටවල පවා දැන් ඉරිඟු, සූරියකාන්ත සහ එළවළු තෙල් භාවිතය නවතා පොල්තෙල්වලට පුරුදු වෙලා. නමුත් ලංකාවේ හොඳම පොල්තෙල් ටික අපි බටහිර රටවලට අපනයනය කරනවා. “වෛද්‍ය ජානක වන්නකුගේ උපදෙස් අනුගමනය කිරීමෙන් ඔබට දියවැඩියාව ඇතුළු බෝනොවන රෝගවලින් වැළකී සිංහල අවුරුදු ප්‍රීතිය විඳගත හැකි වුවද තවත් සුවිශේෂී කරුණක්ද ඔහු අවධාරණය කළේය.

” අවුරුදු පහුවුණාට පස්සෙත් පැණිරස කෑමවලට තියෙන ආශාව දිගටම තිබීම සාමාන්‍යයි. නමුත් ඔබ එයින් පරෙස්සම් විය යුතුයි. ඒ නිසා අවුරුදු දවස් කිහිපය ගතවුණාට පස්සෙ කිසිම පැණිරස කෑමක්, ක්ෂණික කෑමක් ගෙදර තියාගන්න එපා. සියල්ල ඉවර කරලා දාන්න. නැතිනම් අහලපහල ඉන්න තරහ කාරයන්ට බෙදලා දෙන්න. ඔබේ නිවෙසේ ශීතකරණයේ සුලභව තිබිය යුත්තේ මස්, මාළු, බිත්තර, එළවළු සහ මී කිරි විය යුතුයි. ක්ෂණික හෝ සකස් කරන ලද කිසිම ආහාරයක් අවුරුද්දෙන් පසු ආහාරයට ගැනීමෙන් වැළකී සිටින්නට උත්සාහ ගන්න. ඔබ ආහාරයට ගත යුත්තේ ස්වාභාවික ආහාරපාන පමණයි.

සරලව කියනවා නම් ඔබේ ආච්චී හෝ සීයා මීට වසර සියයකට පෙර ආහාරයට නොගත් කිසිම ආහාරයක් ආහාරයට ගන්න එපා. එවැනි ස්වාභාවික ආහාර රටාවකට පුරුදු වුණොත් ඔබට දියවැඩියාව ඇතුළු අනෙකුත් බෝ නොවන රෝගත් බරත් පහසුවෙන් පාලනය කරගත හැකියි.”

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division