– එදා කැවුම් ජාති 25ක්
– චීන ජාතිකයන් – මුස්ලිම් ජාතිකයන් අවුරුද්දට ගමට ගෙනා රෙදි පොට්ටනි
– අවුරුදු කුමාරයාගේ ‘බත් ගොටුව’
– කෝඳුරු කැවුම සොයා ගන්නටත් නැත
අවුරුද්දත් කිට්ටු කිට්ටු
එරබදු මල් පොට්ටු පොට්ටු
අවුරුද්ද කිට්ටු වෙද්දී අපට කොහෝ නාදය මෙන්ම එරබදු මල් ද මතකයට එන්නේ නිතැතිනි. ඒත් අද අපට ඉතිරිව ඇත්තේ රබාන පමණකි.
එරිත්‍රිකා වාරිගෙහාටා නොහොත් එරබදු ගහ වෙනුසියුලාවේ මෙන්ම ජපානේ ප්‍රාන්තයක නිල පුෂ්පය බවට පසුකාලීනව පත්විය. ඒත් අපේ ජනතාව එරබදු දලු ව්‍යංජනයක් ලෙස කවදාවත් අවුරුදු සිරිතට කිරිබත් කන්නට අවුරුදු මේසයට වද්ද ගත්තේ නැත.
අවුරුද්දට එදා පළාතම දෙවනත් කරන රබන් හඬක් නෑසුනොත් මදිකමකි. එදා සිංහල අවුරුද්දට රබන් ගැසීම ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම විනෝදාත්මක ක්‍රීඩාවක් විය. එදා එක්සයිස් කරන්නට ජිම් එකට නොගිය ගැහැනු පිරිමි කාටත් එය ශාරීරික ව්‍යායාමයක් ද විය. රබන් කෙළිය අපේ සංස්කෘතිය හුවා දැක්වෙන ක්‍රියාවක් ද විය. අලුත් අවුරුද්දේදී ප්‍රීතිය ප්‍රකාශ කරන ලද්දේ මෙරට සිංහල පොදු ජනතාව රබන් ගැසීමෙනි. ඒත් අද ගමෙන් මෙන්ම නගරයෙන් ද රබන් ගැසීම වියැකී ගොස් හමාරය.
එදා මෙන් අද අවුරුදු උදාවත් සමඟ සියලු කටයුතු අත්හැරීමක් සිදු නොවේ. මේ පුණ්‍ය කාලයේ විහාරස්ථානවලට ගොස් පින්කම් කරන්නේ කීයෙන් කීදෙනාද?
දැන් අවුරුදු ක්‍රීඩා ද විපරීත වී හමාරය. පසුගියදාක අවුරුදු උත්සවයක පුද්ගලයකු මිය ගියේ මත්පැන් බෝතලයක් වැඩිම වේගයකින් බොන තරගයට ඉදිරිපත්වූ දෙදරු පියෙකි. පොර පොල් ගැසීම, දාං ඇදීම, රබන් වාදනය, ඔන්චිලි වාරම්, ඔලිඳ කෙළිය, එළුවන් කෑම, පංච කෙළි, කොපර කොපර වැනි සාම්ප්‍රදායික ජන ක්‍රීඩා දැන් බොහොමයක් ඇත්තේ පොත්වල පමණය. තිරික්කල රේස්වලට නම් සත්ව අවිහිංසා සමිති හිටු කියා බැට දෙන්නේ එය සත්ව හිංසාවක් ලෙසය. එහෙත් අවුරුද්දට පෙර දින ඝාතනය කරන දහස් ගණන් බ්‍රොයිලර් කුකුලන්, එළුවන්, හරකුන්, ඌරන් ගැන කතා කරන්නට මේ සත්ව අවිහිංසාවාදීන් ඉදිරිපත් නොවී සැඟවීම ඔබ අවුරුදු ක්‍රීඩාවක් ලෙස වරදවා තේරුම් ගත යුතු නැත.
අවුරුද් සමයේ එදා ගැසූ චක්ගුඩු, එල්ලේ, තාච්චු, වළකජු, කැට ගැසීම් අද පරම්පරාව දන්නේ නැත. අද පරම්පරාව ඒ වෙනුවට මුහුණුපොතට, කොම්පියුටර් ගේම්ස්වලට ඇබ්බැහිවීම ජාතියක අවාසනාවක් වී තිබේ. සිංහලයට පරවේණියෙන් උරුම වූ කෙළි සෙල්ලම් වත්මන් පරපුරට හුරු කිරීමට මෙරට සංස්කෘතික දෙපාර්තමේන්තුව ගත් උත්සාහයක් නම් නැත.
අවුරුද්දේ අවුරුදු කුමාරයාට ‘බත් ගොටුව දීම’ දැන් අපෙන් ඈත්වූ චාරිත්‍රයකි. ඉරූලියක් මත ගොක්කොළ සැරසිල්ලක් මත ව්‍යංජන හතක් මුසු බතක් තැබීම මෙම ක්‍රමවේදයයි. පස්දුන් කෝරලයේ බුලත්සිංහල, පාහියංගල ආශ්‍රිත ගම්මාන මෙන්ම සබරගමු පළාතේ ද මෙම චාරිත්‍රය එදා සිට පැවත එන්නකි. ගෙදර ගෘහිණිය මෙම බත් ගොටුවට බත සහිත ව්‍යංජන හත ගෙනයද්දි ඇගේ පිටුපසින් දරුවන් ගමන් කිරීම චාරිත්‍රයකි. එම බත කපුටන් මෙන්ම වෙනත් සතුන් ආහාරයට ගතහොත් එය අලුත් අවුරුද්දේ අවුරුදු කුමාරයා එම ආහාරයට පිළිගත් බවට සුබ ලකුණක් ලෙස සැලකුණි.
අපේ අවුරුදු ආහාර රටාව ද අද වෙනසකට බඳුන්වී ඇත. එදා කැවුම්, කොකිස්, අතිරහ, ආස්මි, මුංගුලි ආදී අවුරුදු රසකැවිලි හැදුවේ ගෙදර අම්මා විසිනි. එදා ගෙවල් වත්තේ කජු ගස් ඕනෑ තරම් තිබුණි. අවුරුදු කාලෙට ඒවා පුහුලම් වලින් පිරී අතු නැමී යයි. කජු ගස් යට වැටෙන කජු මැටි මුට්ටියකට එක් කරන්නේ අවුරුද්දටය. අවුරුදු දිනට පෙර දින ඒවා පුච්චා සුද්ධ කොට කජු මද ගෙන බදිනු ලැබේ. ඉන්පසු ඒවා මුංඇට සමඟ කලවම් කොට මුංගුළි සාදා ගන්නා ලදී. ඒත් අද ඉතින් නියම මුංගුළි හදන්නට කජු ගන්නට ගියොත් කිලෝවක් රුපියල් 8,000ක් පමණ වී ඇත.
එදා සිංහල අවුරුද්දේ බයිසිකල්වල තබාගෙන රෙදි පොට්ටනි ගෙනවිත් ඇත්තේ චීන ජාතිකයන් විසිනි. කරේ සහ ඔළුවේ තබාගෙන රෙදි පොට්ටනි තබාගෙන ගමට ආවේ මුස්ලිම් ජාතිකයන් විසිනි. ඔවුන් තමන් රෙදි වෙළඳාමට ගෙනා බවට ශබ්ද නගා ඇත්තේ ‘ඊයෝප්’ යනු හඬිනි. මේ වෙළෙන්දන් එනතුරු ගම්වල විශේෂයෙන් බලා සිටියේ තරුණියන්ය. ගෙදර ඉස්තෝප්පුවේ තමන් ගෙනා පොට්ටනිය දිගහැර තැබීම එදා සිරිත විය. ඒත් දැන් එහෙම නැත. හන්දියක් ගානේ ඇති රෙදිකඩවලින් තමන්ට ඕනෑ පරිදි රෙදිපිළි තෝරා ගන්නට දරු දැරියන්ට, දෙමාපියන්ට මෙන් ආතලා සියල්ලට අතේ මොනරු ඇත්නම් මොනම බාධාවක්වත් නැත.
සිංහල අවුරුද්දේ ප්‍රධානම රසකැවිල්ල වන්නේ කැවුම්ය. සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා යනුවෙන් අපේ මුතුන් මිත්තෝ තමන්ටම සිනාසිනි.
ඒ සන්දියේ ගැටවර වියේ කොලු කුරුට්ටන් අත් පුඩි ගසමින් ඉල්ලුවේ
“අත්පුඩු පුඩි පුවත්තා
කැවුම් දෙකක් දියත්තා” යනුවෙනි.
ඒත් අද ගැටවරයෝ අවුරුද්දට ඉල්ලන්නේ පීසා හට් කෑම, මැක්ඩොනල්ඩ් රයිස් ඒත් නැත්නම් කේ එෆ් සී චිකන්ය.
ඒ කාලේ කැවුම් හදන්නට පිටි කඩෙන් රෙඩි මේඩ් ගෙනාවේ නැත. ඒ සන්දියේ හාල් දියේ දමා පිටි කොටා ගන්නේත් අසල්වැසියන්මය. ඒ කාලේ හැම ගෙදරකම වංගෙඩි තිබුණේ නැත. ගෘහිණියෝ තරුණියෝ තුන්හතර දෙනේ වරෙන් වර මෝල්ගස වංගෙඩිය තුළට යවමින් පිටි කොටන්නේ ව්‍යායාමයක් ද සමඟය. මේ අවුරුදු සමගිය පිටි කෙටීම තුළින් ඇති විය. සමගිය, සහෝදරත්වය, සුහදත්වය අසල්වැසියන් මෙන්ම ඥාතීන් අතර ද අවුරුද්දට ඇති වූයේ සිංහල අවුරුද්දේ මේ අන්දමිනි. සියලු දෙනා පරන අමනාප අමතක කරමින් මෙසේ අවුරුදු කැවුම් හැදූ අයුරු අද දැකගන්නට නැත. අද දැක ගන්නට ඇත්තේ සුපර් මාරකැට්ටුවෙන් ගෙනා කැවුම්ය. අවුරුදු චාරිත්‍රයට උණු උණුවෙන් ගන්නාක් මෙන් ඩිංගක් ඉතින් මයික්‍රෝවේව් අවන් එකට දමා රත්කර ගත හැකිය.
ඒත් ඉතිං එදා අපේ ආච්චිලා සීයලා හදපු කැවුම් අද සුපර්මාකට්වල දැක ගන්නට නැත. 1965දී මකුලොළුව මහතා සිළුමිණට ලියූ ලිපියක ඇත්තේ එවකට මෙරට කැවුම් වර්ග 18ක් තිබූ බවය. හැඳි කැවුම්, මුංකැවුම්, උළුඳු කැවුම්, කොණ්ඩා නාරං කැවුම්, උඳු කැවුම්, දියකැවුම්, පැණි කැවුම්, කුඩු කැවුම්, ගෑරුප්පු කැවුම් එයින් කීපයකි. එම ලිපියට පසු සතියේම ප්‍රතිචාර දක්වා ඇත්තේ පුංචිබණ්ඩාර සන්නස්ගල වියතා විසිනි. දළදා වහන්සේට පූජා කරන්නට විශේෂයෙන් හදන කෑම වර්ග 7ක් සමඟ කැවුම් වර්ග 26ක ඌන පූර්ණයක් සන්නස්ගල විද්වතා ඉදිරිපත් කොට ඇත්තේය.
අපේ මේ සිංහල රසකැවිලි ගැන රොබට් නොක්ස් පවා සඳහන් කොට ඇත්තේ “සිංහලයාගේ රසකැවිලි අතර ප්‍රධානත්වයක් ගන්නේ කැවුම්ය. කැවුම් සහල් පිටියෙන් හා පැණියෙන් සාදා ගන්නා අතර සහල් පිටි අනා ගුළිගසා කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලි කොට පෑහෙන තෙක් තෙල් ඇතිලියේ ගැඹුරු තෙලේ පදමට කරවූ පසු තෙලෙන් එළියට ගෙන වේවැල් වට්ටියට තෙල් බේරෙන්නට තබන බව” එහි සඳහන්ය.
අපේ සිංහල අවුරුද්ද ආපු බවට එදා තිබූ ප්‍රධාන සංකේතය ‘කෝඳුරුවා’ය. සිංහල අවුරුද්දට එදා කැවිලි හදන විට හැම ගෙදරකටම කෝඳුරුවන් ආවේ රෑන් පිටිනි.
ගෙදරක ගෘහණිය නොහොත් අම්මා මුලින්ම හදනා කැවුම හොර වහලයේ ගැට ගැසූ වැල්පටක් තෙල් තාච්චිය අසලට රූටන ලෙස ගැටගසා එහි මුල්ම කැවුම ගැටගැසීම එදා සිරිත විය. ඉන්පසු කෝඳුරුවන් වහන්සේ ඒ කැවුමටය. ඒකට ඒ කාලේ කිව්වේ ‘කෝඳුරු කැවුම’ කියාය.
එදා සිංහල අවුරුද්දට ජනතාව සූදානම් වූයේ පෙර කන්නයේ කපා පාගාගත් අස්වැන්නෙනි. ආදි සිංහලයා අපේ වී වර්ග, කුරහං, මෙනේරි, ඉරිඟු ආදී වූ අපේම වත්තේ ධාන්‍ය මෙන්ම මුං, කොල්ලු ආදිය ද නෙළා ගත් ඒවා විය. ඒවා අද මෙන් ඉන්දියාවෙන්, ඕස්ට්‍රේලියාවෙන්, චීනයෙන් ඉම්පෝට් කරපුවා නොවීය. සිංහල කැවිලිවලට පැණි රස ගන්නේ තම වත්තේම කිතුල්, පොල්, මී, බඹර සහ උක් ආදී පැණිවලිනි. එදා අවුරුද්දට රසකැවිලි හදන්නට වර්ජින් කොකනට් ඔයිල්, වෙජිටබල් ඔයිල් මෙන්ම මාගරින් ද අවශ්‍ය නොවීය. වත්තේ තෙල් හිඳින පොල් ගසෙන් හිඳින ලද පොල්තෙල් බෝතල් ගණනකින් සෙක්කුවේ දමා කොටා ගැනීම එදා සිරිත විය. එමෙන්ම අවුරුදු සිරිතට ආහාර පිසින්නට අවශ්‍ය කුරුඳු, ගොරකා, ගම්මිරිස්, සියඹලා කලින්ම රැස්කර තිබුණි. එදා අද මෙන් ඉන්දියාවෙන් සියඹලා ගෙනාවේ නැත. ඒත් අද මේ සියල්ල වෙනස් වී අපේ සිංහල අවුරුද්දේ කැවිලි පෙවිලි මෙන්ම අවුරුදු ආහාරපාන ද මුළුමනින්ම ආනයන මත යැපෙන පරාදීන යුගයක් බිහිවී හමාරය.
මෙදා ළිප ගිනි මොළවන්නට එදා දර ළිප වෙනුවට ඇත්තේ ගෑස් කුකර් රාජයාය. අද තවමත් කොහා නම් ඉඳහිට නාද කරනු අපට දැකගත හැකිය. ඒත් ඉතින් අවිච්චියෝ අඬනවා නම් අවුරුද්දට ඇහෙන්නට වත් නැති තරම්ය. එදා අවුරුද්දට පත්තු කළ උණ වෙඩිල්ල දැන් සොයා ගැනීමත් අපහසුය. හැම තැනම ඇත්තේ කන්අඩි පුපුරන රතිඤ්ඤා හඬය.
අපේ මේ සිංහල අවුරුද්ද බෙහෙවින් මෙරට ජනතාවගේ සුන්දරතම හා චමත්කාර ජනක උත්සවයකි. ඒත් එදා අපේ පරපුර සිංහල අවුරුද්ද අත්විඳි ස්වරූපය අත්විඳින්නට අද පරම්පරාවට වරම් ලැබී නැත. අද අවුරුද්ද ‘විඳිනවාට’ වඩා ‘විඳවන’ තත්ත්වයකට පත්ව ඇත්තේ ඒ නිසාය. අවුරුද්ද මුළුමනින්ම වාණිජකරණයට ලක්වී ඇති නිසා අපි අවුරුදු කනවා නොව අවුරුද්ද අපිව කනවා යනුවෙනි. එදා සැහැල්ලු සුන්දර සරල දිවි පෙවතට සමුදුන් මෙරට ජනතාව සියල්ල නාගරීකරණය සහ වාණිජකරණය වීම නිසා අවසානයේ සිදු වූයේ එදා අභිමානයෙන් සැමරූ අවුරුදු සිරිය සමඟ අනුගත වූ සරල සැහැල්ලු දිවි පෙවෙත වාණිජකරණය විසින් කාබාසිනියාකරණය කිරීම නොවේද?
එදා සිංහල අවුරුද්ද ගැන සිහකරවූයේ පෙර සිරිතය. එහෙත් එවැනි කවියක් අවසානයට එක්කරන්නේ මේ කවි අද පරම්පරාව කෙසේ තේරුම් ගනු ඇත්දැයි ප්‍රශ්නයක් ද ඉතිරි කර තබමිනි.
අං කෙළි දිය කෙළි චක්ගුඩු බල කජු ජම්බු මාල බැඳි මදුරු බලී
පංචි ඉඩොක් මහ සොහොන් පැනුම් බුං ගැහිම් ගති පිටු දකින මැලී
උන්චිලි වාරම් තරග රබන් පද සොකරි නැටුම් සහ ඔලිඳ කෙළී
සිංහල අවුරුදු කල එළි බැස ගම සිහි කරවයි පෙර සිරිත යළී