Home » කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය

කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

මෙවර කෞටිල්‍යගේ අවධානය යොමු වන්නේ මෙරට වැදගත් ජාතික පුවත්පතක පළ ව තිබූ කතුවැකියක් කෙරෙහිය. එම කතුවැකියේ පහත දැක්වෙන ජේද පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරේ. .

‘ජ්‍යෙෂ්ඨ පුරවැසි ක්‍රමය යටතේ සෑම ජ්‍යෙෂ්ඨ පුරවැසියකුටම රුපියල් ලක්ෂ 15ක් සඳහා සියයට 15ක ස්ථාවර පොලියක් ගෙවනු ලැබීය.

ආර්ථිකයේ සිදුවූ කඩා වැටීමත් සමග සිදු වූ බැංකු පොලී අනුපාත ඉහළ නැගීමත් සමඟ සෑම ස්ථාවර ගිණුමකටම ගෙවනු ලැබූ පොලිය ඉහළ ගිය අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ද එහි වාසිය ලැබිණි. බැංකු මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවමින් තිබූ සියයට 15 ඉබේම අහෝසි වී ගියේ ඒ පසුබිමේය. බැංකුවලින් නිල නොවන මට්ටමින් ප්‍රකාශ කෙරුණේ පොලී අනුපාතය ඉහළ නැඟීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පමණක් සියයට 15ක පොලියක් ගෙවීමේ අවස්ථාවක් පැන නොනඟින බවය. එය ඒ අවස්ථාවේදී සත්‍ය තත්ත්වය විය. එහෙත් ආර්ථිකය ස්ථාවර වෙමින් රටේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙද්දී පොලී අනුපාත එයට අනුරූප ලෙස අඩු කෙරිණි. එහිදී සියයට 15 මට්ටම පසුකරගෙන අඩුවූ පොලිය මේ වනවිට සියයට 8 මට්ටමට වැටී තිබේ. ඒ සමග ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිදුවී ඇත්තේ තමන්ට කලින් ලැබුණු ආදායම අහිමි වී ඇති බව සිහිපත් කරමින් සුසුම් හෙළීම පමණි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර ගිණුම්වල ඇති ලක්ෂ 15කට සියයට 15ක ඉහළ පොලියක් ලබාදීමේ තීන්දුව යළිත් ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමු කළ යුතුය.

දත්ත මඟින් පෙන්වා දෙන්නේ රටේ ආර්ථිකයේ ධනාත්මක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවය. එවැනි තත්ත්වයක් තුළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට යළිත් සියයට 15 ඉහළ පොලිය ලබාදීමට නොහැකි වීමට හේතුවක් නැත.‘

මේ තත්ත්වය ඇතිවීමට ඉතා ප්‍රබල හේතුවක් ඇත. මක්නිසාද යත් රට මරණාසන්නව උත්සන්න රෝගී තත්ත්වයට පත් වූ ආර්ථිකය රනිල් වික්‍රමසිංහයන් විසින් හුස්ම වැටෙන තත්ත්වයට ගෙනවිත් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ 2027 වනතෙක් විස්තීර්ණ ණය ගිවිසුමකට එළැඹ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ජාත්‍යන්තර එකඟතා ඇති කර ගනිමින් පුරා වර්ෂ 2ක් බහුපාර්ශ්වික නොවන විදේශ ණය නොගෙවා සිටීමෙනි. ඒ තුළින් යාන්තම් ආර්ථිකයේ වෘද්ධි අනුපාතය ඍණ මට්ටමින් උඩට පමුණුවා ඉතා කුඩා ධනාත්මක වර්ධනයක් පෙන්වනු ලබන්නේ මේ 2024 වර්ෂයේදීය. 2024 වුවද ආර්ථික වර්ධන වේගය 2.5%ක් වැනි අඩු අගයකින් යුක්තය. සිංගප්පූරුව වැනි කුඩා දූපත් රාජ්‍යය අමෙරිකානු ඩොලර් බිලියන 800ක පමණ දළ විදේශ සංචිත පවතිද්දී අපේ මුළු විදේශ සංචිත ප්‍රමාණය තිබෙන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 4.5කි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා ලංකාවෙන් පිටත්ව යන විට ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන් කළේ ‘ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය ගමන් කරන්නේ පිහිතල ඇතිරු මාවතක‘ බවයි. ඒ නිසා පුපුරා ගිය සුබසාධනවාදී ආර්ථිකය නැවතත් කඩිනමින් ස්ථාපිත කළ යුතු යැයි සිතන්නෝ ආර්ථිකයේ ඇත්ත ගැඹුරු අර්බුදය වටහාගෙන නොමැති බව කනගාටුවෙන් වුව ද සඳහන් කළ යුතුය.

ජාත්‍යන්තර වෙබ් අඩවියකට ගිය විට ලෝකයේ රටවල පොලී අනුපාතය හැසිරෙන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය. රටක්, ජාතියක් ගොඩනැඟීමට නම් ණය පොලී අනුපාතය තනි ඉලක්කමේ සංඛ්‍යාවක් විය යුතුය. මෙය මුළු ලෝකයටම පොදු සිද්ධාන්තයකි. කෘෂි කර්මාන්තය, කර්මාන්ත, ව්‍යාපාර හෝ පත්තර රස්සාව කිරීමට හෝ ණයක් ගන්නා විට 6%කට 7%කට හෝ 8%ක වාර්ෂික පොලියට ණයක් ලබා ගත හැකි විය යුතුය. 10%කට වඩා වැඩි පොලියට ණය ලබා ගෙන කර්මාන්තයක්, ව්‍යාපාරයක් හෝ කුටුම්බයක් ගොඩයන්නේ නැත. උදාහරණයක් වශයෙන් නිවසක වැසිකිළියක් තැනීම සඳහා රුපියල් ලක්ෂයක ණය මුදලක් වාර්ෂිකව 25% පොලියට බැංකුවතින් ලබාගතහොත් වර්ෂ 4ක් යනවිට මුලින් ගත් ණය මුදල මෙන් මුදලක් පොලිය වශයෙන් ගෙවිය යුතුය.

එම මුදල දියුණු රටවල මෙන් 5%ක වාර්ෂික පොලියට ලබා ගතහැකි නම් පොලී මුදල වශයෙන් රුපියල් ලක්ෂයක් ගෙවනු ලබන්නේ වසර 20කිනි. එම නිසා ලංකාව මෙන්ම ලෝකයේ ඕනෑම රටක ජනතාවට වගතුවක් වීමට නම් බැංකුවක ණය පොලී අනුපාතය අවශ්‍යයෙන්ම තනි ඉලක්කමේ සංඛ්‍යාවක් විය යුතුමය.

තනි ඉලක්කමේ පොලියට ණය දීමට බැංකු මුදල් උපයා ගන්නේ කෙසේද? ඕනෑම බැංකුවක් ප්‍රධාන වශයෙන් ණය දෙන්නේ මහජනතාවගෙන් ලබා ගන්නා තැන්පත්වලිනි. සරල උදාහරණයක් වන්නේ ගමේ පවතින සමූපකාර ණය දෙන සමිතියක් ණය දෙන්නේ ඒ ගමේ මිනිසුන්ගෙන් රැස් කරගනු ලබන තැන්පත්වලිනි. ලංකා බැංකුව, මහජන බැංකුව වැනි රාජ්‍ය බැංකු වුවත් පෞද්ගලික බැංකු වුවත් තැන්පත් ලබා ගැනීම සඳහා අනේකවිධ අලෙවි ප්‍රවර්ධන උපක්‍රම භාවිත කරන්නේ තැන්පත් වැඩි කරගතහොත් ණය වැඩියෙන් දිය හැකි නිසාය. ඒ අනුව තැන්පත් රැස්කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇතුළු අනෙක් තැන්පත්කරුවන්ට වාර්ෂිකව 15%ක පොලියක් ගෙවුවහොත් තනි ඉලක්කමේ පොලියට ණය දෙන්නේ කෙසේද? බැංකුවලට තැන්පත් රැස්කිරීමේ පිරිවැය වැඩි නම් ණය දීමේදී අය කරන පොලිය ද අවශ්‍යයෙන්ම වැඩි කළ යුතුය. අඩුම තරමින් තැන්පත්කරුවන්ට 15%ක් ගෙවන්නේ නම් බැංකුවට පරිපාලන වියදම් මෙහෙයුම් වියදම් දරාගෙන බැංකු ක්‍රමය පවත්වාගෙන යාමට 22%කවත් පොලියක් අය කළ යුතු ය.

එසේ නම් එදා අයවැය යෝජනා මඟින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක් පොලියක් ලබා දුන්නේ කෙසේද? ඒ ලබා දුන්නේ වෙළෙඳපොළේ පොලියට වඩා වැඩිවන ප්‍රමාණය ලංකා ආණ්ඩුව විසින් සහනාධාරයක් වශයෙන් බැංකුවලට ගෙවූ නිසාය. ලංකා ආණ්ඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම්වලට පොලී සහනාධාර ගෙවීමට මුදල් ලබා ගන්නේ කාගෙන් ද? ඒ සුවහසක් බදු ගෙවන ජනතාවගෙනි. ඒ අනුව රටේ බදු ගෙවන ජනතාව කැමැති නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේ 15% පොලී සහනාධාරය ලබා දිය හැකිය. ඒ සඳහා දැනට අය කරන වැට් බදු ප්‍රතිශතය 1%කින් පමණ වැඩි කළහොත් ප්‍රමාණවත් විය හැකිය.

අපේ රටේ බහුශ්‍රැත කර්තෘතුමන්ලා සමහර දේශපාලන නායකයන් ලෙස හැසිරිය යුතු නොවේ. රජයට ඕනෑම යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය. වැටුප් රුපියල් 20,000කින් වැඩි කිරීම, ආබාධිත ජනතාවට මසකට රුපියල් 30,000ක් ලබාදීම පාසල් දරුවන්ට තුන්වේලටම පෝෂ්‍යදායි ආහාර වේල් 3ක් ලබා දීම වැනි වටිනා යෝජනා තිබිය හැකිය. මේ සෑම යෝජනාවකටම පිරිවැයක් නැතහොත් වියදමක් දැරිය යුතුය. ඒ වියදම් කිසිවක් කතා පවත්වන දේශපාලඥයන් විසින් දරන්නේ නැත. ආණ්ඩුවක් දරන සෑම වියදමක්ම දැරීම සදහා මුදල් ලබා ගන්නේ මහජනයා මත බදු පැනවීමෙනි.

මහජනයාගේ වියදම රජයේ ආදායමයි. රජයේ වියදම් මහජනතාවගේ ආදායමයි. මේ ගනුදෙනු අතර අසමතුලිතතා ඇතිවන විට රාජ්‍ය ණය ගැනීම් සහ රාජ්‍ය දේපළ විකිණීම අනිවාර්ය අංග බවට පත් වේ. පොලී අනුපාතික, උද්ධමන, අවධමන, විනිමය අනුපාතික, සේවා වියුක්ත අනුපාතික, ඉතුරුම් ආයෝජන අනුපාත වශයෙන් පවත්නා ආර්ථික විද්‍යාත්මක සිද්ධාන්තයන් පිළිබඳ ප්‍රබුද්ධ සංවාදයක් ගොඩනඟා ගැනීම සෑම ජාතික පුවත්පතකම විශාල වගකීමකැයි කෞටිල්‍යයට සිතේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division