නිවාස අහිමි ජනතාවට නිවාස 50,000කට අධික සංඛ්‍යාවක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනතාවට අධ්‍යාපන, ඉඩම්, නිවාස හා ව්‍යාපාර අයිතිය ලබා දෙමින් ඔවුහු ශක්තිමත් ආර්ථිකයක කොටස්කරුවන් බවට පත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඉකුත් 9 වැනිදා මෝදර, රන්දිය උයන මහල් නිවාස ලබාදීමේ ජාතික උත්සවයට එක්වීමෙනි. වසර 2010දී කජීමා වත්තේ ගිනිබත් වූ නිවාස වෙනුවෙන් රන්දිය උයන නිවාස සංකීර්ණයේ නිවාස 294ක් ජනතාවගේ සින්නක්කර අයිතියට පවරා දීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එහිදී සිදු කෙරිණි.
මෙම නිවෙස් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 12,855ක් වැයකර ඇති අතර, ඉඩම් හෝ නිවාස අයිතිය සින්නක්කරව ලබා දීමක් මීට පෙර සිදු වී නැත.
ජනතාවට මෙම නිවාසවල සින්නක්කර අයිතිය ලබාදී ඇත්තේ මාසික කුලිය වන රුපියල් 4,500ක මුදල ද අයකර ගැනීමකින් තොරව වීම විශේෂත්වයකි. එසේම තමා අගමැතිවරයා ලෙස සිටියදී චීන රජයෙන් ලබාදුන් නිවාස 1,996ක් ද ඉදිරි වසර දෙක තුළදී ජනතාවට ලබාදීමට පියවර ගන්නා බවත් ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමෙන් නොබිඳෙන පුළුල් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.